විජයානන්ද ජයවීර


මීට අවුරුදු හැත්තෑ පහකට පෙර ජර්මනියේ නි්‍යුරම්බර්ග් නගරයේ යුක්තියේ මාලිගය යන නමින් හඳුන්වන ලද ගොඩනැගිල්ලේ අංක 600 දරන අධිකරණ ශාලාවේ විත්ති කූඩුව 20 වන සියවසේ ජීවත් වූ ඉතාමත්ම අශෝභන චරිතවලින් පිරී තිබුණිග ඒ කූඩුව තුළ දෙවැනි ලෝක මහා යුද්ධයේ සතුරු පාර්ශ්වය මෙහෙය වූ හර්මන් ගොරිං, රැඩොල්ෆ් හෙස්, ජෝකිම් වොන් රිබෙන්ට්‍රොප් සහ හිට්ලර්ගේ තවත් ඉහළ පෙළේ නාසි සගයන් 18 දෙනක් ප්‍රධාන විත්තිකරුවන් ලෙස පෙනී සිටියහ. න්‍යුරෙම්බර්ග් මහ නඩුව යන නමින් හැඳින්වුණු න්‍යුරෙම්බර්ග් නඩු විභාගය 1945 නොවැම්බර් 20 දින ආරම්භ වන විටත් යුධ අපරාධ යනුවෙන් අපරාධ විශේෂයක් ජාත්‍යන්තර නීතියේ නොතිබිණි. 1941-45 අතරතුර යුදෙව්වන්ට විරුද්ධව ජර්මන් වෛරය කුළු ගැන්වූ හිට්ලර්ගේ රජය වෙනත් කිසිවක් නිසා නොව හුදෙක් යුදෙව් ජාතිකයන්ව ඉපදීම නිසාම නොදරුවන්ද ඇතුළු මනුෂ්‍යයන් මිලියන 5.4 මරා දමා තිබුණි.


විශාලතම යුදෙව් සමූල ඝාතනය ලෙස සැලකුණේ ඔපෙර්ෂන් රයින්හාර්ඞ් නමින් හැඳින්වුණු 1942-1943 අතර දින 100ක් ඇතුළත පෝලන්ත යුදෙව්වන් මිලියන 1.7ක් මරා දැමීමයි. ඒ අයගෙන් බොහෝ දෙනෙකු බෙල්සෙක්, සොබිබෝර් සහ ටෙබින්කා මිනීමරු කඳවුරුවල නොකඩවා ක්‍රියාත්මක වුණු ගෑස් කාමරවලට දමා මරා දැමිණි. බොහෝ මළ සිරුරු සමූහ අදාහනාගාරවල පුළුස්සා තිබූ අතර මේ කඳවුරුවලට කෙළින්ම දුම්රිය මගින් ප්‍රවාහනය කළ යුදෙව්වන්ගේ සංඛ්‍යා ලේඛන පිළිබඳ ලියකියවිලි චෝදකයන් විසින් සොයාගෙන තිබුණි. එහෙත් පසුව සොයාගත් කරුණුවලට අනුව හිට්ලර්ගේ සියලූ ජනඝාතනවලින් මරා දැමුණු යුදෙව්වන් සංඛ්‍යාව කලින් ඇස්තෙම්න්තු ගත කොට තිබුණාට වඩා බෙහෙවින් වැඩි බව තහවුරු විය.


යුද්ධ කාලය තුළ චේතනාත්මකව සිවිල් වැසියන් මරා දැමීම යුධ අපරාධයක් වශයෙන් මහ නඩුවෙන් පිළිගැනීමත් සමග න්‍යුරෙම්බර්ග් මූලධර්මවලින් හඳුන්වා දුන් ජාත්‍යන්තර නීතියේ නව යුගයක් උදාවිය. මිලියන සංඛ්‍යාත අහිංසකයන් ඝාතනය කිරීමේ වරදට ජර්මන් රජයේ නායකයන් තනි තනිව වගකිවයුතු බව න්‍යුරෙම්බර්ග් අධිකරණය තීන්දු කෙළේය. යුධ අපරාධයට අතිරේකව සාමයට එරෙහි අපරාධ, ආක්‍රමණික යුද්ධයක් පැවැත්වීම සහ මානව වර්ගයාට එරෙහි අපරාධ පිළිබඳ චෝදනාද න්‍යුරෙම්බර්ග් නඩුවලදී විභාග විය.



දින 218 ක් තිස්සේ සිය ගණනක් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි විභාග විය. ඔවුන්ගෙන් එක් අයෙක් වූයේ අවුෂ්විට්ස් මරණ කඳවුරේ අණදෙන නිලධාරි රැඩොල්ෆ් හොස් ය. ‘ඔහු කැලෑවක ගස් කපා දැමීමේ නියෝගයකට අවනත වනවාට සමාන ආකාරයට මිනිසුන් මරා දැමීමේ නියෝගයට අවනත වීය’ යනුවෙන් චෝදක නිතීඥ විට්නි ආර් හැරිස් නඩු විභාගය ගැන සිය මතක සටහන්වල ලිවීය.


නඩු විභාගය අවසානයේ 1946 ඔක්තෝබර් 1 වන දින හිට්ලර්ගේ ගුවන් හමුදා ප්‍රධානියා සහ දකුණත් සව්වා වූ හර්මන් ගොරිංට තවත් 11 දෙනෙකු සමඟ මරණ දඬුවම නියම විය. අත්අඩංගුවට ගත නොහැකිව සැඟවුණු හිට්ලර්ගේ නියෝජ්‍ය නායක මාටින් බෝර්මන්ට විරුද්ධ චෝදනා ඔහු නැතිව විභාග විය. චූදිතයන් හත් දෙනෙකුට දිගු සිරදඬුවම් නියම වූ අතර තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලදි.


තීන්දුවෙන් දින පහළොවකට පසු, ද මරණ දඬුවම නියමවූවන් උසාවියට යාබද බන්ධනාගාරයේ එල්ලා මරා දමන ලදි. ඊට පෙර දින රාත්‍රියේ සිය සිරකුටියේදී වස පෙති ගිල දමා ගොරිං සියදිවි නසා ගත්තේය.


නඩු විභාගයේදී සාක්ෂි කූඩුව ළඟ සේවයේ නියුතුව සිටි අමෙරිකානු තරුණයකුවූ එමිලියෝ ඩිපාල්මා මේ වසර මුලදී මැසචුසෙට්ස් හි මහලූ නිවාසයකදී කොරෝනා වෛරසය වැළඳී මිය ගියේය. යුධ සමයේදී ජර්මානුවන් සමග සටන් වැදීමෙන් පසු, 19 හැවිරිදි ඩිපල්මාට න්‍යුරෙම්බර්ග් උසාවියේ මුරභටයෙකු ලෙස සේවය කිරීමේ වගකීම පැවරුණේය. සාක්කි කූඩුව ළඟ සේවයේ නිරත වූ ඔහු සාක්ෂිකරුවන් යුධ අපරාධවල කුරිරු ස්වභාවය අනාවරණය කරන විට හිට්ලර්ගේ නියෝජිතයන් මුහුණුවලින් මතුවන හැඟීම් දෙස විමසිල්ලෙන් බලා සිටියේය. අද දක්වාම, ඕනෑම මිනිසෙකුට මෙවැනි කුරිරු දේ වෙනත් කෙනෙකුට කළ හැකි යැයි මට විශ්වාස කළ නොහැකිය’ යනුවෙන් ඩිපල්මා පසුව සිය මතක සටහන්වල ලීවේය.

ප්‍රථම අන්තර්ජතික අපරාධ යුක්ති විනිශ්චය සභාව ලෙස සැලකිය හැකි න්‍යුරෙම්බර්ග් මහ නඩුවේ තීන්දුව 1945 නොවැම්බර් 20 වෙනිදා ප්‍රකාශයට පත් කිරීම සැමරීම අදටත් වැදගත් වන්නේ වර්ගවාදය පිළිබඳ අසත්‍ය විශ්වාස නිසා මිනිසුන් නොමිනිසුන් බවට වී ‘මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ’ සහ ‘ජන ඝාතය’ කිරීමට පෙළඹෙන බව එය අපට නිරන්තරයෙන් සිහිගන්වන බැවිනි. එම සිද්ධියට මුහුණ නොදුන් අපේ යොවුන් පරම්පුරට න්‍යුරෙම්බර්ග් නඩු විභාගය හැදෑරීමට පාසල් අධ්‍යාපනය තුළ අවස්ථාවක් ලබාදීම වැදගත්ය.


න්‍යුරෙම්බර්ග් නඩු විභාගය නිසා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ මූලධර්මය තහවුරු නොවන්නට යුගෝස්ලෝවියාව හා රුවන්ඩාව පිළිබඳ අන්තර්ජාතික අපරාධ අධිකරණ හෝ ස්ථිර අන්තර්ජාතික අපරාධ අධිකරණය බිහි නොවන්නට ඉඩ නොතිබුණි. ජනඝාතය පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය අනුමත නොවන්නට ඉඩ තිබුණි. ලන්ඩනයේදී චිලියේ හිටපු ඒකාධිපති පාලක අගොස්ටෝ පිනෝචේ අත්අඩංගුවට පත් නොවන්නට ඉඩ තිබුණි. මතක තබාගත යුත්තේ රටක ස්වෛරීයත්වයේ නාමයෙන් තම රට තුළ වෙසෙන කිසිදු මනුෂ්‍ය කොටසක් සමූහ ඝාතනය කිරීමට හෝ අමානුෂික වද හිංසනයට ලක් කිරීමට කිසිදු රටක ආණ්ඩු කරවන අයට අයිතියක් නැති බවයි. රටවැසියන් වීමට පෙර සිටම අප සියල්ලෝම ආදරය කිරීමට කැමැති හා ආදරයට ලක්වීමට කැමති සාමාන්‍ය මනුෂ්‍යයෝය. ■