සරත්චන්ද්‍ර වල්පොළ

”එයාව ඉස්සෙල්ලා ම දකිද්දී මගේ වයස දාහතර යි. ඒ කාලෙ, ඒ කියන්නේ එක්දහස් නවසිය හැට හතරෙ දි විතර අපි හිටියෙ දෙහිවල සිරිවර්ධන මාවතේ ගෙදරක. අපේ ගෙදෙට්ට බෝඩිං වෙන්න තරුණයෙක් ආව. එයාව එක්කගෙන ආවෙ ‘එක වල්ලෙ පොල්’ වගේ හිටපු හේමන්ත වර්ණකුලසූරිය කියලා එයාගෙ යාළුවෙක්. එයා තමයි ඔය ලෝයර්.”

සොඳුරු ජීවන මතක ගොමුවෙන් ‘නිල්කට්රොල්’ සිලිටි මල්පෙති මෙසේ විකසිත කළේ දැන් හැත්තෑඑක් අවුරුද්දක ජීවිතාවබෝධයක් තිබෙන දිරිය කාන්තාවක්, දිරිය මවක් වගේ ම මිත්තණියක්. එකල ඈ අළු ගසා දාගෙන පීදෙන දුටුනෙත් වශීකෘත කෝපි පාට ළමිස්සියෙකි. ඈ එදා නමින් කහදුවආරච්චිගේ සීලවතී වූවා ය. මේ කෝපි පාට ළමිස්සිය සෙලෝලයිඞ් රූපාකුරු පත්තර පිටුවලින් සිහින මුද්‍රිත තාරකා රූප කපාගෙන පොත්වල අලවා ගන්නී ය.

දෙහිවල ගමගේ හෝටලයේ උඩු මාලින් සිරිවර්ධන මාවතේ බෝඩිමට ආ නාට්‍ය හාදයාව මුණ ගැහීමට පැමිණි මුහුණු අතරේ ඇගේ සිහින මුද්‍රිත තාරකා රූපත් වරින්වර පෑයූහ. එසේ පෑයූවන් අතර ටෝනි රණසිංහ, පේ‍්‍රමා ගණේගොඩ, නාමෙල්-මාලනී වීරමුණි, මාලිනී ෆොන්සේකා, වික‍්‍රම බෝගොඩ වැන්නෝ ය.

ඉදින් දුටුදා ඉඳලා ලූහුබැන්දා සේ ‘තට්ටු ගෙවල්’වලින් බිමට බට සොඳුරු ආඥාදායක බෝඩිංකාරයාගේ පේ‍්‍රමාන්විත ඇමුණුම් සහිත වාචික අයදුම් පත‍්‍රය ගැන කෙළිලොල් දාංගලේ පාන එදා සීලවතීගේ සිතට එක එල්ලේ එවන් හැඟීමක් හෝ දැනීමක් නොතිබුණාය.

සීලවතී ගැන ඔහුගේ පළමු පේ‍්‍රමාන්විත යෝජනාවට ම බෝඩිං ගෙදරින් වැට කඩුලූ දැමුණි. ඒ ඔහු සහ ඇය අතර තිබූ අහසට පොළොව මෙන් වයස අවුරුදු ඉලක්කම් දුරස්ථභාවය නිසාවෙනි.

ඔහුගේ දෙවෙනි උත්සාහාත්මක පේ‍්‍රම වීරිය පාරමිතා යෝජනාවට හරස් වූයේ ස්ථිර රැුකියාවක් නොමැති හම්බ කරගන්න බැරි නාට්‍ය විතරක් ම කරන නාට්‍යකාර, සාහිත්‍යකාර බෑනෙකුට සීලවතී දුව ව දෙන්න බැරි බව ය. පීටර් වයිස්ගේ ‘මරා’ හමුවීමට පෙර සිට ම දෙවුර සිපගත් ‘තමාගේ ම කෙස් වැටියෙන් අල්ලා ඇද සිරුර කොට්ට උරයක් මෙන් කණපිට පෙරළා ලෝකය දෙස අලූත් ඇහකින්’ බැලූ මේ සොඳුරු ආඥාදායකයා කොතරම් රැුඩිකල් වුව ද කතා නායිකා ඈ කෙරෙහි උපදවාගත් පේ‍්‍රමාන්විත ය නිසා ම නොපසුබස්නා වීරිය ක‍්‍රියාන්විතය අත නෑරියේ ය. එස්එල්බීසීයේ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදක තනතුරට රැකියාවක් ලැබ සීලවතී විසි වසරක් ගෙවා සපුරාලන තෙක් නොඉවසිල්ලෙන් ඒත් ශිෂ්ටත්වයෙන් බලා සිට 1970 බක් මාසේ 10 දා දෙහිවල වයිඑම්බීඒහි දී සීලවතීගේ හිත තදින් අල්ලාගෙන ඇගේ අත නෑරියේ ය. සුගත්-ශීලා අන්දරය වරින්වර චරිතාභ්‍යයන්තරයෙන් පැන නඟින ගැටුම, කුතුහලය මුසු සුගත්ගේ (1986 දී මාස හතක පමණ ‘මරාසාද්’ නාට්‍ය පුහුණුව නමැති අධ්‍යාපනවත් වින්දනාත්මක වැඩබිමේ දී මේ තීරුකරු නාට්‍ය කලාවේ හෝඩිය දැන හැඳිනගත්තේ සුගතපාල ද සිල්වා නම් වූ දැවන්තයාගෙනි. සුගත් සර් මගේ නිලනොලත් නාට්‍ය ගුරුවරයා යි.) පේ‍්‍රම කූටප‍්‍රාප්තියේ දී ඉක්බිති සියල්ලෝ දුකින් විසිර නොගොස් සතුටින් එකතු වූහ. කහදුවආරච්චිගේ සීලවතී, ශීලා ද සිල්වා බවට අනුවර්තනය වෙන්නේ මෙතැන් පටන් ය. සුගත් අයියා ‘නිල් කට්රොල් මල්’ නාට්‍යයෙන් පසු ‘අපේ කට්ටියේ’ නාට්‍ය සමරු කලාපවල තිරෙන් පිටුපස ‘අත හිත’ ශීලා ද සිල්වා වන්නේ ආදරණීය සුගත්ගේ හදවතේ කෙටූ ටැටූවක් නිසා ම ය.

පහත ෙඡ්දයේ සිට ඇයට ශීලක්කා නමින් ආමන්ත‍්‍රණය කරන්නෙමි. ශීලක්කාට ඈ ගැන ඇගෙන් ම පටන් ගන්නැ යි ආරාධනා කළ විට ඈ පෙරළා ”ශීලාගේ පටන් ගැන්ම ඇරඹෙන්නේ සුගත්ගෙන්” යැ යි සිනා සී තෙපළා ය. බැලූ බැල්මට ශීලක්කාගේ පිළිවදන පූරුෂ මූලික වන්දනාවක් සේ පෙනුණද ඇගේ නිරහංකාර කෘතවේදීත්වය යි. ඒ ශීලක්කාගේ විදිහ යි.

අධිපති කලා සමාජයේ ස්ථාපිත වී දිවංගත වූ ප‍්‍රභූ ප‍්‍රතිරූපයන්ගේ සමහරක් ඇඹේනියෝ ප‍්‍රබුද්ධ ලේයරවල ඇලෙන්නේ තම සැමියාගේ නිර්මාණ රැස් වළල්ලෙන් බැබලීමට ය. ඒත් ශීලා එහෙම ගැහැනියක් නොවේ. ශීලක්කා, සුගතපාල ද සිල්වා නම් වූ නාට්‍ය සහ සාහිත්‍යවේදියාගේ ශාස්ත‍්‍රීය සෙවණැල්ලක් නොවුණාට ඔහු නිර්මාණ වේශයෙන් ආරූඪ වූ සෑම අවස්ථාවක ම ඔහුට ප්ලේන්ටියේ සිගරැට්ටුවේ සිට ලෙන්ගතුව උවටැණේ යෙදුණා ය. තව ද සුගතපාල ද සිල්වා නම් වූ නාට්‍යකරුවා හෝ සාහිත්‍යවේදියා ද සහජීවන සහකරුවාද ශීලාක්කා දුටුවේ මෙයාකාරයෙනි. ”සුගත් නාට්‍යයේ දී ආඥාදායකයෙක් වුණාට පවුල් ජීවිතයේ දී සිනිඳු ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්.”