ඒ. වික‍්‍රමසූරිය

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ඉදිරි දැක්ම කෙබඳුදැයි සිතීම චෙස් ඇදීමක් බඳුය. සූක්ෂ්ම සිතා බැලිය යුත්තකි. ඔහු බොහෝ විට අතපොවනුයේ අමුතු ආරයකටය. ක‍්‍රීඩා පනත එහෙම් පිටින්ම කනපිට ගසා එය ඉබාගාතේ යන ලියවිල්ලක් බවට පත් කිරීම මොහුගේ වෑයම බව පෙනේ.

ඉදිරියේදී කී‍්‍රඩා ඉසව් පාලනය කිරීම සංගම් විසින් කරනු වෙනුවට ඒවා කුඩා කල්ලිවල එකතුවකින් සැදුම්ලත් ක්ලබ් මට්ටමට වැටෙනු ඇත. ඒ කිසිවකට ඇඟිලි නොගැසීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය වග බලාගනු ඇත. නීත්‍යනුකූලවම ඉන් මගහැරීමට ක‍්‍රීඩා අමාත්‍යාංශයට සිදුවනු ඇත. එසේ නම් ක‍්‍රීඩා අමාත්‍යාංශයක් කුමකටද? ක‍්‍රීඩා ඇමතිවරයෙක්, ක‍්‍රීඩා නිලධාරීන් කුමකටද යන පැනය නාමල්ගෙන් පසු එන ක‍්‍රීඩා ඇමතිවරුන්ට මෙන්ම ආණ්ඩුවලටද මතුවනු ඇත. අද ක‍්‍රිකට් ආයතනය ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් ගිලිහී ගොස් ඇති අයුරින්ම අනෙක් ක‍්‍රීඩාද ඉදිරියේදී කිිහිපදෙනකුගේ කුඩා ව්‍යාපාර බවට පත්වනු ඇත. දැනටත් ක‍්‍රීඩා බලධාරීන්ගේ සොයා බැලීමක් නොමැතිකමින් ක‍්‍රීඩා සංගම් අයාලේ යමින් තිබේ.

පිහිනුම් වැනි ක‍්‍රීඩාවක් ගතහොත් එය තනිකරම රැුකියාවක් නැති කිහිපදෙනකුන් ලැගුම් හලක් වී ඇත. ඒ අයගේ කුස පුරවන ව්‍යාපාරය වී ඇත්තේ පිහිනුම් තරග සංවිධානය කිරීමය. මේ අය පිහිනුම් තරග සංවිධානය කරනුයේ ක‍්‍රීඩාවේ අභිවෘද්ධියට නොව තම බඩගෝස්තරවාදය වෙනුවෙනි. මේ සියලූ තත්ත්වයන් තව බොහෝ සංගම්වලට පොදුය. එහෙත් එවැනි දෑ කෙරෙහි අඩු සැලකිල්ලක් දක්වන ක‍්‍රීඩා ඇමති මහා හයියෙන් පුප්පනුයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ටය.

නොබෝදා ඔහු කියනුයේ මින් ඉදිරියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ගෙවීම් සිදුකරනුයේ ඔවුන්ගේ දක්ෂතාව මත බවය. තරගාවලිවලදී ජයග‍්‍රහණ ලබා ගන්නවා නම් හැර ඒ අය කෙරෙහි වගකීමක් නොගැනීමට ඇමතිවරයාගේ කතාවය. ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක උපතින් ගෙනෙන සහජ දක්ෂතාව ඔප් නැංවීමට අවශ්‍ය දැක්ම වැඩපිළිවෙළ අහිමි ක‍්‍රීඩා බලධාරීන් කියනුයේ තරගාවලි ජයග‍්‍රහණය කොට පැමිණි පසු රැුක බලා ගන්නා බවය. මේ නවක ඇමතිවරයාට නොවැටහෙන ප‍්‍රධාන කාරණය නම් වඩා උනන්දුවෙන් රැුක බලාගත යුත්තේ ජයග‍්‍රහණ ලබන්නට පෙර බවය. ජයග‍්‍රහණවල ප‍්‍රතිඵල ලැබෙනුයේ එවිටය. ඔහු මේ බව ප‍්‍රකාශ කරනුයේද මලල ක‍්‍රීඩා, බොක්සිං, පිහිනුම්, ජූඩෝ යන ක‍්‍රීඩාවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමේ උත්සවයකදීය.

අප මුලදී මේ ක‍්‍රීඩා සංගම්වල ඛේදවාචකය ලියාගෙන ආවේ මේ තත්ත්වය පහදන්නටය. දැන් ක‍්‍රීඩා ඇමති එම සංගම්වල ප‍්‍රධානීන් ඉදිරියේ තබාගෙන අදාළ ක‍්‍රීඩාවන්හි යෙදෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තෙල බෙදති. ඔවුන්ගේ දස්කම් අඩු නම් අඩු සැලකිලි බවට ගෝරනාඩු වෙති. එහෙත් ක‍්‍රීඩා සංගම්වල රිංගාගෙන සිටින විනාශකාරීන් ඒවා හප කරද්දී ඒ අයට විරුද්ධව වචනයක් හෝ නොදොඩති. මේ නම් නාමල්ගේ ක‍්‍රීඩා සංවර්ධනය ගමන් කරන මානය ගැන කදිම නිදසුනකි.

ඔහු රටේ අනාගත නායකයාවීමට සිහින මවනවා විය යුතුය. ඒ සඳහා යන සෝබනකාරී ගමනට පදනම මේලෙස දමා ගන්නවා විය හැකිය. එසේ නොවන්න අවංක වුවමනාවක් ක‍්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් ඔහුට ඇතැයි නොපෙනේ.

ජනප‍්‍රිය ක‍්‍රීඩා චරිත ළං කරගෙන ඔහු මවනුයේ සිහින ක‍්‍රීඩා වටපිටාවකි. මහේල, සංගාගෙන් තොරව අද ඔහුට ක‍්‍රීඩාව ගැන සිතන්නටත් බැරිවී ඇත.

අතීතයේ රාජපක්ෂ දේශපාලනයේ හිසරදකාරීන් වූ මහේල, සංගා අද නාමල්ගේ කිට්ටුමවන්තයන් වී ඇත. ඔහුගේ ඉදිරි දේශපාලනයේ අලංකාරත්වය සඳහා මේ දෙපළ මනාව යොදා ගන්නවා නියතය. අද මහේලගේ කමිටුවක් නැතිව නාමල්ට ක‍්‍රීඩා තරගයක් හෝ බැලීමට නොහැකිය. ඒ අනුව බලන කල ක‍්‍රීඩාව හෙට දවසේ කොතැනක නතරවේදැයි යන්න ප‍්‍රශ්නයකි.