සුමිත් චාමින්ද


එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය දැන් අලුත් වටයකින් ආරම්භ වී ඇත. ඒ මින් පෙර පැවතියාට වඩා තීව්‍ර ආකාරයෙනි. මෙවර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මුහුණ දී සිටින්නේ කලින්ට වඩා අතිශය අසීරු අභියෝගයකටය. මින් පෙර බොහෝ අවස්ථාවල ඔහුගේ නායකත්වය පක්ෂ අභ්‍යන්තරයෙන් අභියෝගයට ලක් වන විට පක්ෂය සමග සන්ධානගත වන සෙසු පක්ෂ හා කණ්ඩායම්වල සහාය ඔහුට හිමි විය. එවිට පක්ෂ අභ්‍යන්තරය සහ පරිබාහිර කණ්ඩායම් අතර යම් යම් උපායික හැසිරවීම්වල යෙදීම මගින් අර්බුදයෙන් ගොඩ යාමට ඔහුට හැකිවිය. වික්‍රමසිංහගේ තවත් ක්‍රමවේදයක් වූයේ පක්ෂයේ දෙවන පෙළ නායකයින් අතර නායකත්ව තරග නිර්මාණය කොට තමන්ට අභියෝගයක් විය හැකි පිරිස් දෙකඩ කිරීමයි. උප නායකයෙකු සහ නියෝජ්‍ය නායකයෙකු (මේ දෙකෙහි වෙනස කුමක්දැයි අදටත් කිසිවෙකු නොදනී!) එකවර පවතින හාස්‍යජනක තත්ත්වයක් නිර්මාණය කෙරුණේ එම උපාය අනුවය. නොඑසේ නම්, තම බලය යළි තහවුරු කර ගන්නා තෙක් නායකත්ව මණ්ඩල නිර්මාණය කිරීම සහ අවසානයක් නැති සාකච්ජා ඔස්සේ කල් මැරීමේ “මැරිගෝ රවුම්” ක්‍රමවේදයක්ද ඔහු අනුගමනය කළේය. නමුත්, මෙවර පක්ෂයේ අභ්‍යන්තරයෙන් එල්ල වන අභියෝගය කළමනාකරණය කර ගැනීම සඳහා ඔහුට බාහිර කණ්ඩායම් වෙත හැරීමට ඉඩක් නොමැත. මන්දයත්, පක්ෂය සමග සාම්ප්‍රදායිකව සන්ධානගත වන සෙසු පක්ෂ සහ කණ්ඩායම් දැන් ඔහුට සහාය නොදක්වයි. එසේම පක්ෂ අභ්‍යන්තරය තුළ බෙදීම් සහ ගැටුම් නිර්මාණය කිරීමට අපහසු වන තරම් දුරට ඔහුට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය බලවත්ය; එක්සත්ය.


කෙසේ වුවත්, වික්‍රමසිංහගේ බලය බිඳ දැමූ සන්දර්භයක වුවද එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය පහසුවෙන් විසඳේ යැයි සිතිය නොහැක. මන්දයත්, එම පක්ෂය හමුවේ ඇති ප්‍රබලම අභියෝගය නම් පක්ෂයේ දෘෂ්ටිවාදය ගොඩ නගන සහ එම දෘෂ්ටිවාදය වටා විවිධ සමාජ පන්තීන් සහ කණ්ඩායම් ඒකරාශී කර ගැනීමට සක්‍රීයව දායක වන ප්‍රබල ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ ( organic intellectuals ) බලකායක් නොමැති වීමයි. සජිත් පාර්ශ්වය හමුවේද මෙම අභියෝගය පවතී. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයේ මෙම පැතිමානය ප්‍රමාණවත් තරමින් සාකච්ජාවට ලක් වී නොමැත. මෙම කෙටි ලිපිය මගින් ප්‍රයත්න දැරෙනුයේ විශේෂිතව එක්සත් ජාතික පක්ෂයත් පොදුවේ ලාංකීය පශ්චාත් යටත්විජිත පාලක ප්‍රභූ හවුලත් ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ බලකායක් ගොඩ නැගීමේ කාර්යයේදී දක්වා ඇති අසමත්කම් හඳුනා ගැනීමටය.


ඓන්ද්‍රීය බුද්ධිමතුන්


ඓන්ද්‍රීය බුද්ධිමතුන් පිළිබඳ මාක්ස්වාදී සංකල්පය වර්ධනය කෙරුණේ අන්තෝනියෝ ග්‍රාම්ස්චි විසිනි. ඔහු බුද්ධිමතුන් යනුවෙන් හඳුනාගත්තේ අප සාමාන්‍ය ව්‍යවහාරය තුළ ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් යැයි සලකන සුළුතරය නොවේ. ඔහුට අනුව, පොදුවේ සෑම මනුෂ්‍යයෙකුම බුද්ධිමතෙකි. ලෝකය සහ ජීවිතය පිළිබඳ කිසියම් දැක්මක් සියල්ලන් සතුවම තිබේ. නමුත් ඓන්ද්‍රීය බුද්ධිමතුන් යනු කිසියම් සමාජ පන්තියක් සමග සෘජුවම සම්බන්ධ කොටසකි. ඔවුන්ගේ කාර්යභාරය වන්නේ තම පන්තියට නොහොත් කණ්ඩායමට සමජාතීය ගුණයක් ලබා දීමයි; එයට ස්වකීය ඓතිහාසික භූමිකාව පිළිබඳ අවබෝධයක් සහ දැක්මක් ලබා දීමයි; ආර්ථික ක්ෂේත්‍රය තුළ පමණක් නොව සමාජයීය සහ දේශපාලනික ක්ෂේත්‍රයන් තුළද පන්තියේ නායකත්වය ස්ථාපිත කර ගැනීමට ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ දායකත්වය ඉතාම තීරණාත්මක වේ. යම් පන්තියක හෙජමොනිය ස්ථාපිත වනවා යනු එය දේශපාලනමය පමණක් නොව බුද්ධිමය සහ සදාචාරමය ලෙසද නායකත්වය අභ්‍යාස කරන්නේය යන්නයි. එසේම ග්‍රාම්ස්චි ලියූ “දකුණේ ප්‍රශ්නයේ ඇතැම් පැතිමාන” නමැති රචනාවේ මනාව පැහැදිලි කොට ඇති පරිදි යම් යම් සමාජ කණ්ඩායම් අතර එක්සත්භාවයක් නොහොත් හවුලක් ගොඩ නැගීමේ දේශපාලන කර්තව්‍ය සපුරනු ලබන්නේද ඓන්ද්‍රීය බුද්ධිමතුන් විසිනි. නිදසුනක් ලෙස දකුණු ඉතාලියේ ඉඩම් හිමියන් සහ දුගී ගොවීන් උතුරු ඉතාලියානුවන්ට එරෙහිව එක්සත් වූහ; හවුලක් තනා ගත්හ. මෙම පන්ති දෙක එකට තබා බඳින ලද්දේ දක්ෂිණවාදය නමැති දෘෂ්ටිවාදී හුයෙනි. එය කළ හැකිවූයේ දක්ෂිණවාදී බුද්ධිමතුන්ගේ මැදිහත්වීමෙනි.


එජාපයේ අර්බුදය


වත්මන් එක්සත් ජාතික පක්ෂයට සංගත දැක්මක් සපයන්නා වූත් එම දැක්ම සෙසු සමාජ කණ්ඩායම්වලද පොදු දැක්ම බවට පරිවර්තනය කිරීමට සමත් වන්නා වූත් ප්‍රබල ඓන්ද්‍රීය බුද්ධිමය ශ්‍රේණියක් නොමැත්තේ මන්ද? මෙම ගැටලුව අපට ආකාර දෙකකින් විමසා බැලිය හැකිය. පළමුවැන්න නම් 1977 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ පුරෝගාමීත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු ආර්ථික විවෘතකරණ වැඩපිළිවෙළ පිළිබඳ පර්යාවලෝකනයෙහි පිහිටුවා එය තේරුම් කිරීමය. දෙවැන්න වන්නේ 19 වන සියවසේ අග භාගයේ මෙරට ස්වදේශික ධනේශ්වරය ගොඩ නැගීමේ කාලපරිච්ජේදය දක්වා දිවෙන පුළුල් ඓතිහාසික පර්යාවලෝකනයක් තුළ පිහිටුවා එය තේරුම් කිරීමය.

අපි ප්‍රථමයෙන් ආර්ථික විවෘතකරණයේ පර්යාවලෝකනය දෙසට හැරෙමු. 1977 ආර්ථික විවෘතකරණ ප්‍රතිපත්තීන් හඳුන්වා දෙන විට ජේ.ආර්. ජයවර්ධන මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වූයේ එම ප්‍රතිපත්තීන්වලට දෘෂ්ටිවාදීමය සුජාතභාවයක් ලබාදෙන බුද්ධිමය ශ්‍රේණියක් නොපැවතීමය. එක් අතකින් ඒ වනවිට සමාජ ප්‍රජාතාන්ත්‍රික වාමාංශය දේශපාලනිකව පසුබෑමට ලක්ව සිටියද දෘෂ්ටිවාදීමය තලයෙහි එහි බලපෑම අහෝසි වී ගොස් තිබුණේ නැත. අනෙක් අතින්, විවිධ ධාරාවල ජාතිකවාදී බලවේග වම සමග පොදුවේ බෙදා ගත් යමක් වී නම්, ඒ රාජ්‍ය සුබසාධනවාදයයි. ජේ.ආර් ගේ පාලනය යටතේ වුවත් ජනසවිය, මහපොළ ශිෂ්‍යත්ව සහ නිවාස සහ ඉඩම් බෙදා දීම වැනි සුබසාධනවාදී වැඩ රාශියක් ක්‍රියාත්මක කිරීමට සිදුවූයේ එබැවිනි. විවෘත ආර්ථික ප්‍රතිපත්තිවලින් ප්‍රතිලාභ ලැබූ සමාජ කණ්ඩායම් පැවතුණද, ඔවුනට දෘෂ්ටිවාදීමය ක්ෂේත්‍රයේ එතරම් නියෝජනයක් තිබුණේ නැත.


නමුත්, ජයවර්ධන පාලනයට මේ අභියෝගයට මුහුණ දීමේ විකල්ප උපායන් සොයාගත හැකිවිය. පළමුව, මින් පෙර අන් කවර කලෙකවත් නොපැවති පරිදි සංවර්ධනය පිළිබඳ ආර්ථික දෘෂ්ටිවාදය පෙරට ගෙන එනු ලැබුවේ ජයවර්ධන යුගය තුළදීය; ඒ, අලුතින් හඳුන්වා දෙන ලද රූපවාහිනිය වැනි නව දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ භාවිත කරමින්ය. දෙවනුව, ආර්ථිකමය තලයේදී ගිලිහුණු සුජාතභාවය දේශපාලනික තලයේදී නැවත අත්පත් කර ගැනීමයි; එසේ කළ හැකිවූයේ ජනවාර්ගික ජාතිකවාදය සහ යුදවාදය ඉහළට එසවීම මගින්ය. (එකල මහා බි්‍රතාන්‍යයේ මාගරට් තැචර් ෆෝක්ලන්ත යුද්ධය ඇවිලවීමෙන් සිදු කළේද එවැන්නකි). නමුත්, 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග ජනවාර්ගික ජාතිකවාදයේ සහ යුදවාදයේ ධජය එජාපයට අහිමි විය. තෙවනුව, විධායක ජනාධිපති ක්‍රමය මගින් බලය සංකේන්ද්‍රණය කරගැනීම සහ මර්දනකාරී රාජ්‍ය උපකරණ ශක්තිමත් කර ගැනීමය. මේ අනුව, ආරම්භයේදීම ශ්‍රී ලංකාව තුළ නව-ලිබරල්වාදය ස්ථාපිත වූයේ හෙජමොනියෙන් තොර අධිපතීත්වයක් ලෙසය. 1980 දශකය පුරාම පැවති දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය සහ ගැටුම් මේ ක්‍රියාවලිය ඇසුරින් වටහාගත හැකිය.


ඉන්පසුව ගතවූ දශක කිහිපය පුරාම ජනවාර්ගික සහ ආගමික දෘෂ්ටිවාදයන් ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු දක්නා ලදි. නමුත්, ඒ සමගම අඩු තරමින් 1990 දශකයේ මැද භාගය වන විට විශේෂයෙන්ම විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන කේන්ද්‍ර කොටගෙන ලිබරල්වාදී බුද්ධිමය ශ්‍රේණියක ක්‍රමික පැන නැගීමක් අපට නිරීක්ෂණය කළ හැකිය. එම බුද්ධිමය ශ්‍රේණියේ යම් පාර්ශ්වයක් නව-ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් විවෘතවම පෙනී සිටින තත්ත්වයක්ද දැකගත හැකිවිය. විශේෂයෙන්ම 2015 යහපාලන ව්‍යාපෘතියේ ප්‍රමුඛයන් වූ ඒ ඇතැමෙක් සයිටම් අර්බුදයේදී අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සේවයේ පෞද්ගලීකරණය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් වූහ. නමුත්, පසුගිය ජනාධිපතිවරණයේදී මෙම ලිබරල්වාදී බුද්ධිමය ශ්‍රේණියේ එක්සත්භාවය බිඳී ගිය අතර ඒ අතුරින් එක් කොටසක් එජාපයටද අනෙක් කොටස ජවිපෙටද සහාය දැක්වීමට ඉදිරිපත් විය. එජාපයේ සජිත් පාර්ශ්වයට පැහැදිලි දැක්මක් සහ සංගත දෘෂ්ටිවාදීමය හැඩයක් ලබා දෙන බුද්ධිමය ශ්‍රේණියක් සිටියේ නැත. නමුත්, ගෝඨාභය රාජපක්ෂගේ ව්‍යාපෘතිය පසුපස නව තාක්ෂණ කළමනාකරණ බුද්ධිමය ශ්‍රේණියක් ගොනු විය; එසේම, අධිපති ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදී බලවේගද සිටින්නේ රාජපක්ෂ කඳවුර සමගය. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ අනුගමනය කළ නව-ලිබරල් ආර්ථික මාවතට සහාය නොදක්වන නමුත් ඔහුගේ ලිබරල් සාම වැඩපිළිවෙළට සහාය දැක්වූ යම් වාම-ලිබරල් බුද්ධිමය කණ්ඩායම්ද සිටින බව සත්‍යයකි. නමුත්, ඔවුන්ගෙන් සැලකිය යුතු කොටසක් තමන්ගේ පැත්තට දිනා ගන්නට මේ වන විට ජවිපෙ සමත්ව ඇත. මේ පසුබිම තුළ එජාපයේ නව ලිබරල් ප්‍රභූ සංස්ථාපිතය සමාජය මත බුද්ධිමය සහ සදාචාර නායකත්වයක් ගොඩ නගා ගැනීමේ කාර්යයේදී සහමුලින්ම අසමත් වී තිබේ. එජාප නායකත්ව අර්බුදයේ පුළුල් චිත්‍රය එබඳුය.


ඉහත ගැටලුව 19 වන සියවසේ අග භාගය දක්වා දිවෙන දිගු ඓතිහාසික පර්යාවලෝකනයක් තුළ පිහිටුවා තේරුම් කළ හැකි යැයි මම පැවසුවෙමි. එය වඩා සවිස්තරව සාකච්ජා කළ යුතු බැවින් මීළඟ කලාපය දක්වා කල් තබමි.