ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ

ප‍්‍රධාන දේශපාලන කඳවුරු දෙක ජයග‍්‍රහණය උදෙසා අපේක්ෂකයන් තෝරා ගැනීමටත් වඩා ඒ කඳවුරුවල බලය තහවුරු කර ගැනීම උදෙසා ක‍්‍රියාකරමින් සිටින්නේ යැයි සිතිය හැක. තිරය පිටුපස සිදුවුවත් යම් ප‍්‍රමාණයකට වේදිකාවට විවර වූ එවැනි ක‍්‍රියාකාරකම් දෙකක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. එක් සිදුවීමක් වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ කිහිපයක නායකයන් පිරිසක් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යොමු කරමින් හා ඔහු හමුවී සිය කඳවුරේ සන්ධානය ගොඩනැගීම, ජනාධිපති අපේක්ෂකයා, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ආදිය කඩිනම් කළයුතු බවට කළ ඉල්ලීමය. පසුගිය ජූලි 22 වන දා රැුස් වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැුස්වීමේදී ද එයාකාරයෙන් ම නොවුණත් නොසිතූ යෝජනාවක් ඉදිරිපත් විය. ඒ, එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා විය යුතු යැයි එජාප සභාපති කබීර් හෂීම් අමාත්‍යවරයා කළ යෝජනාවය. මේ දෙක ම තනි ක‍්‍රියාකාරකම් නොවුණු අතර සැලසුම් සහගත කණ්ඩායම් ක‍්‍රියාකාරකම් ලෙස සැලකිය හැකිය. තම කඳවුරෙන් එන ජනාධිපති අපේක්ෂකයා තමන් අපේක්ෂා කළ පුද්ගලයා නොවිය හැකියැයි එම කණ්ඩායම් තුළ අලූතින් ගොඩනැගී ඇති අවිනිශ්චිතභාවය මෙයින් පිළිඹිබු වන්නේ යයි අනුමාන කළ හැකිය.


සජිත් සහ අගෝස්තුව


කබීර් හෂීම් එජාප සභාපතිවරයා ඇතුළු කණ්ඩායමේ සැලසුම පේ‍්‍රමදාස මහතා සටනට කැඳවීම වන්නා සේම වාසු, විමල්, ගම්මන්පිල වැනි පක්ෂ නායකයන්ගේ සැලසුම ගෝඨාභය මහතා සටනට කැඳවීමය. එහෙත් මෙම සැලසුම් වෙනස්වීමේ සම්භාවිතාවක්ද පවතින්නේය. මෙම සැලසුම්කරුවන් ඉක්මන්වීම පිටුපස ඇත්තේද එම තත්ත්වය බව සිතිය හැක. විශේෂයෙන් කඳවුරු දෙකේ නායකයන් වන රාජපක්ෂ මහතා හා වික‍්‍රමසිංහ මහතා අපේක්ෂකයා පිළිබඳ සිදුකරමින් සිටින බව පෙනෙමින් තිබෙන්නේ කල් මැරීමය. රාජපක්ෂ මහතා එය කල් දමා තිබෙන්නේ අගෝස්තු 11 පොජපෙ සමුළුව දක්වා වන්නා සේම වික‍්‍රමසිංහ මහතා එය කල්දමා තිබෙන්නේ අගෝස්තු 5 ගොඩනගන එජාප මැතිවරණ සන්ධානය වන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ පිහිටුවන කාලයෙන් පසු කාලයටය.


ජූලි 22 වන දා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අරලියගහ මන්දිරයේ දී රැුස්වූයේ සතියේ පාර්ලිමේන්තු කටයුතු සාකච්ඡුා කිරීමේ සුපුරුදු හමුවක් ලෙසය. එහෙත් න්‍යාය පත‍්‍රයෙන් පිට කබීර් හෂීම් මහතා, පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ නම යෝජනා කළ අතර තවත් ජ්‍යෙෂ්ඨයෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා එය ස්ථිර කළේය. අජිත් පී පෙරේරා අමාත්‍යවරයා ඊට සහාය දක්වමින් කතා කළ අතර රවි කරුණානායක අමාත්‍යවරයා සජිත්, ජනාධිපතිවරයා සමග පවත්වන සබඳතා ද සිහිපත් කරමින් කතාකර ඇතැයි දැනගන්නට ඇත්තේ ඊට එරෙහිවය. එහිදී පේ‍්‍රමදාස මහතාගේ ස්ථාවරය වී ඇත්තේ, තමන් සිරිසේන ජනාධිපතිවරයා සමග පවත්වන සියලූ සබඳකම්, පක්ෂ නායකවරයා දැනුවත්ව සිදුකරන ඒවා බවය. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම එකවිට රැුස්කර ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීන්දුවක් ගන්නා බව එහිදී වික‍්‍රමසිංහ පක්ෂ නායකවරයාගේ ස්ථාවරය වී තිබෙන්නේය.


රනිල්ගේ උපාය


වැදගත් වන්නේ මෙම සිදුවීම නොව, එහි හරය වන්නේය. අගෝස්තු 5 එජාප සන්ධානය පිහිටුවා සජිත් නොසලකා හරිමින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම වික‍්‍රමසිංහ මහතාගේ සැලසුම වී තිබෙන්නේ යැයි සජිත් කණ්ඩායමේ අනුමානය වී තිබුණේ යැයි සිතිය හැක. එය තවදුරටත් තහවුරු වන්නේ සජිත්ව යෝජනා වූ දිනට පසුදින දිනපතා පුවත්පත්වල ඒ පිළිබඳ පළ වූ පුවත් දෙස බැලීමේදීය. ඒවා බොහොමයක වූයේ, ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදුකළ යුත්තේ, එජාපයේ නොව එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ තීරණය මත බවය. ඒ අනුව චම්පික රණවක, රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් වැන්නන් පමණක් නොව, දෙමළ ජාතික සන්ධානයේ සහ ඔය කියන සිවිල් සංවිධානවල පවා අනුමැතිය ඊට ලැබිය යුතු බව එහි හරය ලෙස අනුමාන කළ හැකිය.


එහිදී එජාප නායකයාගේ සැලසුම වනු ඇතැයි සිතිය හැක්කේ අපේක්ෂකයා ලෙස තමාම ඉදිරිපත් නොවන්නේ නම් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම අවහිර කිරීමය. එසේ වන්නේ නම් සජිත් තවදුරටත් කාමරයේ සිරවන අතර කරු ජයසූරිය මහතාට මාවත විවර වනු ඇත්තේය. මක්නිසාද කරු ඉදිරිපත් වන්නේ නම් එජාපයෙන් ඉවත් වී පොදු අපේක්ෂකයෙකු ලෙස පැමිණිය යුතු බවට ඔහු සමග සිටින සිවිල් සංවිධානවලින් දැනටමත් යෝජනා වී තිබීම හේතුවෙනි. එවිට කරු ජය ගතහොත්, වහා විධායක ජනාධිපති ක‍්‍රමයේ ඉතිරි ටිකත් අවසන් කර විධායක අගමැති හා එජාප නායක ලෙස සැප පහසුව කටයුතු කිරීම වික‍්‍රමසිංහ මහතාගේ සැලසුමේ පළමු කොටස විය හැක්කේය. දෙවැන්න විය හැක්කේ කරු පරාජය වුවහොත් මහින්ද, අගමැති වන පාර්ලිමේන්තුවක විපක්ෂ නායකයා වී, එජාප නායකයා ලෙස සැප පහසුව කටයුතු කිරීමය. එජාපයේ අයෙකු ජනාධිපති වුවහොත් එහි ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකත්වය නිරායාසයෙන් ම ඔහුට හිමි වන්නේය. මේ නිසා පේ‍්‍රමදාස මහතා අපේක්ෂකයා වීම රනිල්ට පැහැදිලි තර්ජනයක් වීම නොවැළක්විය හැකිය. අපේක්ෂකත්වය ලබාදිය යුතු බවත් එය පක්ෂ නායකත්වය සමග ලබාදිය යුතු බවත් සජිත් පාර්ශ්වයේ ස්ථාවරය වීමේ සම්භාවිතාව ඉතා ඉහළය.


කරුගේ විකල්පය


පක්ෂ නායකත්වය නොදී අපේක්ෂකත්වයට සජිත් කැමති වන්නේ යැයි උපකල්පනය කළද ඔහු ජය ගතහොත් වික‍්‍රමසිංහ මහතාට උදාවනු ඇත්තේ සැප පහසු දේශපාලන ජීවිතයක් නොවන්නේය. මේ නිසා දැන් පවතින තත්ත්වය අනුව ඔහු අවසාන මොහොතේ කරුගේ විකල්පය තෝරාගැනීමේ ඉඩකඩ වැඩිය. එහෙත් එය තීරණය වනු ඇත්තේ සජිත් පාර්ශ්වයේ විකල්ප සැලසුම් මතය. මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, හරීන් ප‍්‍රනාන්දු වැනි එජාප ප‍්‍රබලයන් රැුසක් සජිත්ගේ සහායට සිටින නිසා පවතින තත්ත්වය යටතේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහාය ඔහුට ලැබීමේ සම්භාවිතාව වැඩිය. එහෙත් අපේක්ෂකයා තේරීම එජාපයෙන්, එජාපෙට ගෙන යාමට වික‍්‍රමසිංහ මහතා සමත් වුවහොත් ඔහුගේ සැලසුමට වැඩි ඉඩකඩක් ලැබෙනු ඇතැයි සිතිය හැක.


ගෝඨාභය


ගෝඨාභයගේ අපේක්ෂකත්වයේ තත්ත්වය ද නිශ්චිත යැයි අනුමාන කළ නොහැක. ඇමරිකා එක්සත් ජනපදය තවම ඔහුව පුරවැසිභාවයෙන් ඉවත් කර නැතුවා මෙන්ම එය සාමාන්‍ය ක‍්‍රමවේදය අනුව ක‍්‍රියාත්මක වනු ඇතැයි ද සිතිය නොහැක. මක්නිසාද ශ‍්‍රී ලංකාවේ අනාගත දේශපාලන නායකත්වය පිළිබඳ ඇමරිකාව අතපොවන්නේ නැතැයි නිගමනය කළ නොහැකි නිසාය. මා කතා කළ මෙරට ප‍්‍රධාන පෙළේ මුස්ලිම් නායකයන් පවා, පාස්කු ඉරිදා ප‍්‍රහාරය Is ප‍්‍රහාරයක් බව එක එල්ලේ විශ්වාස කිරීමට දක්වන්නේ මැලිකමකි. තමන් මුස්ලිම් අන්තවාදයක් පිළිබඳ දැන සිටියත් මුස්ලිම් ත‍්‍රස්තවාදයක් පිළිබඳ කිසිවක් දැන නොසිටි බව ඔවුහු කියති. සාකච්ඡුාවක දී එජාපයේ ඉදිරි පෙළ නායකයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී හෝ කිසිවෙකුත් මුස්ලිම් අන්තවාදයක් පිළිබඳව මිස මුස්ලිම් ත‍්‍රස්තවාදයක් පිළිබඳව කතා නොකළ බවය.


අනෙක් පැත්තෙන් ගෝඨාභය සිය නඩුව කල්දමා ගැනීමේ උපරිම අවස්ථාවට පැමිණ ඇතැයි සිතිය හැක. ඔහු සැත්කමකින් පසු ජූලි 24 වන දා සිංගප්පූරුවේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණියේ ද නඩුවට මුහුණ දීම උදෙසාය. මේ නිසා රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හෝ ඒකාබද්ධ විපක්ෂයට ගෝඨාභය සිය කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා ද යන්න තවමත් නිශ්චිතව ප‍්‍රකාශ කළ හැකි යැයි සිතිය නොහැක. එහෙත් ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ ගොනුකර ඇති නඩුද නොසලකා සිය සාමාන්‍ය ක‍්‍රියා පටිපාටිය අනුගමනය කරමින් එක්සත් ජනපදය ගෝඨාභයට ඉඩදීමේ සම්භාවිතාව බිංදුවක් වීමේ ඉඩකඩක් නැත. එසේ වුවද මැදමුලන ඞී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට රජයේ මුදල් වැය කළ බවට ගෝඨාභය හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ල වූ විට, ඔහු එම මුදල ගෙවීම ම වරද පිළිගැනීමක් ලෙස අර්ථ දැක්වීමේ ඉඩකඩක් නැතැයි කිව නොහැක. එම තත්ත්වයද මහින්ද රාජපක්ෂගේ අපේක්ෂකයා නම් කිරීමේ දිනය කල් යාමට බාධාවක් වී ඇතැයි සිතිය හැක. මේ නිසා ගෝඨාභය නොමැති නම් විකල්පය කුමක්ද යන්න රාජපක්ෂ මහතාගේ සිතිවිලිවලට එක්නොවී තිබීම සිදුවිය හැක්කක් ලෙස සැලකිය නොහැක.

එහෙත් රටට වඩා වැදගත් වන්නේ අපේක්ෂකයන් නොව රට ගොඩනැගිය හැකි නායකයන්ය. එම නිසා ප‍්‍රධාන දේශපාලන කඳවුරු ඡුන්දයෙන් ජයගත හැකි ජනාධිපති අපේක්ෂකයන් සොයන විට ජනතාවට සිදුව ඇත්තේ රට ජයග‍්‍රහණය කරවිය හැකි නායකයෙකු සෙවීමටය.