ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

“මගේ දරුවා ඉන්නවා කියලා මම හිතනවා. ඒ අයට දරුවා දෙන්න බැරි මොකක්හරි හේතුවක් ඇති.”ඒ වසර එකොළහක් තිස්සේ තවමත් තම පුතු වන ඩිලාන් පැමිණෙන තුරු කදුළු සලමින් බලා සිටින මවක් වන ජෙනිෆර් වීරසිංහ මහත්මිය යි. නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් ළමුන් පස්දෙනෙකු ඇතුලු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාලව ඩිලාන්ගේ මාපියන් මෙන්ම තවත් මවු පියවරු වසර ගණනාවක සිට සාධාරණය ඉටුවන තුරු බලා සිටිති. මෙය වැඩිම සාක්ෂි සහිත නඩුවක් බවට පත්ව තිබුණද තවමත් වින්දිතයන්ට සාධාරණයක් ඉටුවීම දුර ය. පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට ගෙන ඒමේ පොරොන්දු අතර එක් ප්‍රධාන කරුණක් වූයේ ඒ මිනිසුන්ට සාධාරණය ඉටු කිරීමත් අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමත් ය. දැන් මෛත්‍රීපාල ජනාධිපති යුගය අවසන් දොරකඩ ය, එහෙත් වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම කෙසේ වෙතත් සිදුව තිබෙන්නේ ඔවුන්ගේ සිත් තවත් බිද වැටෙන සිදුවීම් ය.


“පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ අපි හිතුවේ මෛත්‍රීපාල සිරිසේන ජනධිපතිවරයා අපිට සාධාරණය ඉටු කරාවි කියලා. ඒ නිසා අපි ඔහුට ඡන්දය දුන්නා. විවෘත අධිකරණයේ නඩුව විභාග කරන්න පටන් ගත්තේ ඔහුගේ ආණ්ඩුව යටතේ, ඒක හොද දෙයක්. හැබැයි ඔහුත් හුගක් වැරදි දේ සිදුකළා. ඔහු නාවික හමුදාවේ මේ වැරදි කළ අයව හමුවෙලා තිබුණා. මම ඔහුට ලිපි ගණනාවක් ලියුවා, පත්තර වලටත් කියුවා, අපේ ළමයි වෙනුවෙන් කතා කරන්න ඔහුව හමුවෙන්න එක දවසක් ලබා දෙන්න කියලා ඉල්ලුවා. ඒ කිසිම දේකට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ. ඉන්ටනෙට් හරහා ගිහින් වෙබ් සයිට් එකක බලන්න කියලා එක ලිපියක් ලැබී තිබුණා. ඔහු ඡන්දය දිනා ගත්තේ අපිට සාධාරණය ඉටු කරනවා කියලා. ඒත් අඩුම තරමේ අපිට ඔහුව හමුවෙලා කතා කරන්නවත් අවස්ථාව දුන්නේ නැහැ. අඩුම තරමේ මේ අම්මලා පස්දෙනා ගෙන්නලා අපිට වුණු අසාධාරණය ඔහුට අහන්න තිබුණා. ඔහු එහෙමවත් කළේ නැහැ. ඒත් වැරදි කළ අයට ඔහුව හමුවෙලා කතා කරන්න ඔහු අවස්ථාව ලබාදුන්නා.” ඩිලාන් ගේ මව කදුළු සලන්නීය.


පසුගිය කාලයේ ඇයට නාවික හමුදාවේ ඇතැම් නිලධාරීන් ෆේස්බුක් පණිවිඩ හරහා පවා පවසා තිබුණේ ‘එතැන කිසිම සිංහල ළමයෙක් නෑ නේද, ඔක්කොම ඉන්නේ දෙමළ අය නේද කියා ය. මම ඇහුවා ‘එහෙනම් දෙමළ ළමයි විතර ද ගන්නේ, ඒ අය ළමයි නෙමෙයි ද කියලා’ ජෙනිෆර් මහත්මිය පවසන්නීය. ඩිලාන්ගේ පියා යුද හමුදාවේ සේවය කර විශ්‍රාමද ගිය අයෙකි.

ඔහු සිංහල ජාතිකයෙකු වූ අතර ජෙනිෆර් මහත්මිය මැලේ ජාතික කාන්තාවක් වූවාය. ඔවුන්ගේ නිවසේ සෑම ආගමකට ජාතියකටම ගරුත්වයක් හිමිව තිබුණි. එමෙන්ම දරුවාගේ නමට ද එම සංයෝජනය ලැබී තිබුණි.‘ෆේස්බුක් එකෙන් පණිවිඩ එවූ කෙනා මගේ දරුවාගේ නම අහලා තිබුණා. මගේ නම ජමාල්ඩීන් ජෙනිෆර්, මගේ දරුවාගේ නම ජමාල්ඩීන් ඩිලාන් කියලා මම යැවුවා. ඔහු කියා තිබුණා එතන සිංහල ළමයි නැහැ, ඒ නිසායි මම ඇහුවේ කියලා.

ඔහු කියනවා සමහර නිලධාරීන්ට උසස්වීම් නැති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, ඒ නිසා ඒ අයට සාප කරන්න එපා කියලා. ඒත් මේ නඩුවෙන් චෝදනා ලැබුණු අයට උසස්වීම් ලැබී තිබුණා. ඒත් අපේ දරුවන්ට මොකද වුණේ කියලා අපි තවම දන්නේ නැහැ. අපි හැමදාම උසාවි යනවා, සමහර දෙමවුපියන්ට ඒ වෙනුවෙන් වියදම් කරන්න, බස් ගාස්තු ගෙවාගන්නත් සල්ලි නෑ. සමහර අය අසනීප වෙලා. අපිට සාධාරණය ඉටු කරන බව කියූ අයත් කළේ අපරාධකාරයන් ආරක්ෂා කරන එකයි. ඒත් මේක අපි අත්හරින්නේ නෑ, සාධාරණයක් ඉටුවන තුරුම සටන් කරනවා”ඇය පවසන්නීය.


පුද්ගලයන් 11දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධ නඩුව ආරම්භ වන්නේ 2009 වසරේ දීය. එනම් මීට පෙර පැවති රාජපක්ෂ පාලන සමයේ ය. මෙම අතුරුදන්වීම් සිදුවන්නේ ද එම කාල වකවානුවේ ය. එම කාලයේ ද විවිධ ආකාරයේ බලපෑම් මධ්‍යයේ කෙසේ හෝ නඩුව ඇදී යමින් පැවතුණි. ඒ වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අචලා සෙනෙවිරත්න ද විවිධ ආකාරයේ බාධක මධ්‍යයේ ඇද නොවැටෙමින් කෙසේ හෝ එය ඉදිරියට ගෙන ගියා ය.

අදාල භීෂණ චෝදනා තිබෙන්නේ සහ ඒවා සගවා සිටීමේ කටයුතු සිදුවූයේ රාජපක්ෂ පාලන සමය තුළය. ඒ කාලවකවානුව තුළ සිටි සැකකරුවන් අධිකරණයේ දී ද සැකකරුවන් බවට පත්වූ නමුත් පෙර තිබූ රාජපක්ෂ පාලන සමයේ මෙන්ම වත්මන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේ ද සිදුවූයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවට අපරාධකරුවන්ට රැකවරණය සැපයීය.නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් දෙහිවල දී පැහැරගත් ළමයින් පස්දෙනා ඇතලු පුද්ගලයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට පත් නාවික හමුදා නිලධාරීන් 15දෙනා අතරින් 10වන සැකකරු හැර අනෙක් අය ඇප ලබා සේවයේ ද නිරතවේ, ඇතැමුන්ට උසස්වීම් ද හිමව තිබේ. යහපාලන ආණ්ඩුව මොවුන්ට සාධාරණයක් ඉටු කරාවි යැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව වුවත් ආණ්ඩු වෙනස් වූවත් සිදුවූ අපරාධ වල වින්දිතයන් බවට ලක්වූවන්ගේ ජීවිතවෙනස්වූයේ නැත. වෙනස් වූවාන් වූයේ ඔවුන් සිටි අඩියෙන් ද තවත් පහළට ඇද දැමීම ය. එහෙත් අපරාධකරුවන්ට එරෙහිව ගොනු වූ සාක්ෂි ද නොවෙනස්ව තිබෙන්නේ ය. සිදුවිය යුතු වන්නේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කිරීමය, වරද කරුවන්ට දඩුවම් ලබා දීමය,අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමට පාලකයන් ඉඩ ලබා දීමය.

එහෙත් එදා සහ අද ද සිදුවන්නේ එම කටයුතු වලට දේශපාලනය මැදිහත්වීමය, වින්දිතයන් තව තවත් පීඩනයට හා බලපෑම් වලට ලක්වීමය, එමෙන්ම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නන්ට ද බලපෑම් සිදුවීමය. ඉදිරියේ ද කුමන ආණ්ඩුවක් පැමිණිය ද කොන්දේසි විරහිතව මේ මිනිසුන්ට සාධාරණය ඉටු කළ යුතුය. තමන් බලයට පත් වන තුරු මිනිසුන්ගේ කදුළු විකුණා දමා එම මිනිසුන් හපයක් කර විසිකර දැමීම මෙරට පාලකයන්ගේ ලජ්ජා විරහිත පුරුද්දක් බවට දැන් පත්ව තිබෙන්නේ ය.