අතුලසිරි සමරකෝන්

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ කොටස් ආයෝජන වටිනාකමින් සියයට 49ක අයිතියක් ඉන්දියානු වරාය සමාගමකට පවරා දීම අරබයා ඇතිවූ අර්බුදය තවමත් විසඳී නොමැත. නමුත් තාවකාලිකව වරාය සේවක වර්ජනය අත්හිටුවා තිබේ. ඒ ආණ්ඩුව පාර්ශ්වයෙන් ලබාදී ඇති පොරොන්දුවකට අනුවය. මෙම ජැටියේ ආයෝජන සම්බන්ධයෙන් ‘ඉන්දියාව සහ ජපානය සමග ඇති කොටගෙන තිබෙන එකඟතාව’ අහෝසි කිරීම නීත්‍යනුකුලව සිදුවනතුරු අර්බුදය සමතයකට පත්වුණා යයි පිළිගත නොහැක. අනෙක් අතට දේශීය පාර්ශ්වයන්ගේ බලපෑම තාවකාලිකව නතර වී තිබුණත් ඉදිරි ක‍්‍රියාමාර්ගවලදී ආණ්ඩුව සහ ඉන්දියාව අතර ඇතිවන එකඟතාවන් හෝ නොඑකඟතාවන්ගේ ස්වරූපය අනුව ඉන්දියානු ප‍්‍රතිපත්තියේ බලපෑම තීරණය වනු ඇත. එසේම නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය පිළිබඳව ගිවිසුමක් ඇතිකර ගැනීම ද අර්බුදයකින් තොරව සිදුකරගත නොහැකිවනු ඇත. සමහරවිට වරාය අර්බුදය තුළම ආණ්ඩුවේ ඉදිරිය පිළිබඳ අර්බුදය ද තීව‍්‍ර වීමේ වැඩි ඉඩකඩක් පවතී.

කලකිරෙමින් සිටින ජාතිකවාදී කඳවුර

කෙසේමුත් වරාය අර්බුදය සමග යළි උත්සන්නවූ ඉන්දීය විරෝධය තුළින් ප‍්‍රධාන වශයෙන් හෙළිවන යථාර්ථයන් කිහිපයක් පවතින බව උපකල්පනය කළ හැක. ඉන් එකක් වන්නේ රාජපක්ෂ කඳවුර ඉන්දියානු විරෝධය සමග තම දේශපාලන බලයට දේශීයව එල්ල විය හැකි තර්ජනයන්ට අනාගතවාදී පිළිතුරක් ලබාදීමට උත්සාහ කරන බවත් හා යළිත් කලකිරෙමින් සිටින ජාතිකවාදී කඳවුර තමන්ගේ බල කක්ෂයේ සීමාව තුළ තබා ගැනීමට උත්සාහ කිරීමයි. අනෙක විය හැක්කේ විපක්ෂයට පවා එරෙහිවිය නොහැකි ඉන්දියානු විරෝධයක් දේශීයව ගොඩනඟා චීනය සමග වඩාත් කිට්ටු ප‍්‍රතිපත්තියකට යාම තුළින් තමන්ගේ දේශීය ඒකාධිපති හා මිලිටරිවාදී ව්‍යාපෘතියට සුජාතභාවය ලබා ගැනීමය. මෙවැනි අභිප‍්‍රායන් යමෙකුට හිතළු සේ පෙනී ගියත් රාජපක්ෂ කඳවුර ලබමින් සිටින දැඩි අප‍්‍රසාදයන් කළමනාකරණය කරගැනීමට වරාය අර්බුදය ඔවුන් විසින් භාවිත කළ බවත් නැවතත් ජාත්‍යන්තරව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ මානව අයිතිවාසිකම් දේශපාලනයෙන් එල්ලවන බලපෑම හමුවේ දේශීය ජාතිකවාදය ඇවිස්සීම සඳහා වන පරිසරය ඔවුන් විසින් නිර්මාණය කරගනිමින් සිටිනු ලබන බවත් පැහැදිලි වියයුතුය.

කෙසේමුත් ඉන්දියානු විරෝධය හමුවේ අමතක වී යාමට හැර ඇති අනෙක් යථාර්ථය වන්නේ මෙරට ජාත්‍යන්තර වරායන් පාලනය කිරීමේ වැඩි බලයක් චීනය මේ වනවිටත් හිමිකරගෙන සිටින බවයි. නමුත් ජාතිකවාදීන් සහ වාම ජාතිකවාදීන් යන දෙපිරිසම වැඩි අවධානයක් නොදෙන ක්ෂේත‍්‍රයක් වශයෙන් චීනය පිළිබඳ රාජපක්ෂ ප‍්‍රතිපත්තිය හඳුනා ගැනීම අපහසු නොවේ. චීනය අපගේ මිතුරු රාජ්‍යයක් වුවද ඉන්දියානු සහ අමෙරිකානු පාර්ශ්වයන්ට අනුව චීනය සහ ලංකාව අතර ගොඩ නැඟී ඇති මුලෝපායික ගනුදෙනුව ඔවුන්ගේ කලාපීය ආරක්ෂාවට තර්ජනයකි. එබැවින් එම රාජ්‍යන් බොහෝ දුරට ක‍්‍රියා කරමින් සිටින්නේ ලංකාව තුළ හා කලාපය තුළ චීන බලය දුර්වල කිරීමටය. නමුත් ලංකාවේ නාවුක බල කලාපය තුළ චීනය අත්පත් කරගෙන සිටින අද්විතීය ස්ථානයට බලපෑම් කිරීමට නම් ඔවුන්ට රාජපක්ෂ කඳවුර ක‍්‍රියා කිරීමට සිදුවෙයි. කෙසේමුත් බැලූ බැල්මට මහින්ද හා ගෝඨාභය අතර ඉන්දියානු ප‍්‍රතිපත්තිය හෝ අවම තරමින් නැගෙනහිර ජැටිය පිළිබඳ එකඟතාවක් හෝ නොවීම නිසාම ආණ්ඩු පක්ෂයට හිතවත් වෘත්තීය සමිති බහුතරයක් දියත්කළ හා ජාතිකවාදී භික්ෂු කඳවුරේ අනුග‍්‍රහය ලැබූ වරාය සටන තුළින් විශාල හා ආණ්ඩුවේ අනුග‍්‍රහය ලැබූ ඉන්දීය විරෝධයක් දිස්විය.

හම්බන්තොට වරාය

මෙරට ප‍්‍රධාන වෙළෙඳ වරායන්ගේ මෙහෙයුම් අයිතිය පිළිබඳ ගැටලූව ජාත්‍යන්තර වශයෙන් මෙරටට බලපෑම් එල්ල කරන විදෙස් සබඳතාමය ගැටලූවක් වශයෙන් නිර්මාණය වූයේ ඊලාම් යුද්ධයෙන් පසු අවධියේදීය. ඒ චීනය සමග හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා ඇතිකොට ගත් එකඟතාවන් සමගය. හම්බන්තොට වරාය පළමු අදියර සඳහා ඇස්තමේන්තු මුදල ඩොලර් මිලියන 361ක් වූ අතර එයින් සියයට අසුපහක ණය ලැබුණේ චීනයේ එක්සිම් බැංකුවෙනි. 2010 නොවැම්බර් මස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලද හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප‍්‍රථම අධියර ඉන් දශකයකට ආසන්න කාලයක් තුළ පවා ලාබ ලබන වරායක් බවට පත්නොවුණ බව එයට එල්ල වූ ප‍්‍රධානතම චෝදනාවයි. ‘හම්බන්තොට වරාය යනු සුදු අලියෙක්’ බව එවකට විපක්ෂය දිගින් දිගටම නැඟූ චෝදනාවයි. අවසානයේදී ‘ජාත්‍යන්තර නෞකා නොපැමිණි’ වරායක් වශයෙන් යහපාලන ආණ්ඩු සමයේ පැවති ආර්ථික අර්බුදය සමථයකට පත්කර ගැනීම සඳහා 2017 දී වරායේ සියයට 70 ක අයිතිය අනූනව වසරක් සඳහා චීනයටම පැවරුණි. මේ ආකාරයට මෙරට ප‍්‍රධාන ජාත්‍යන්තර වරායන්ගේ අයිතිය විදෙස් රටවලට පැවරීමේ ක‍්‍රියාවළිය ඇරඹෙන්නේ ‘සංවර්ධන ණය ගෙවා ගැනීමේ අපහසුතාව නිසා ණය හිමියාටම වත්කම් පැවරීමේ ක‍්‍රියාවළියක්’ වශයෙනි.

පෝර්ට් සිටි

චීනය සමග එක්ව මෙරට මෙගා සංවර්ධන ව්‍යපෘති දියත් කිරීමේ රාජපක්ෂ ව්‍යාපෘතියේ දැවැන්තම අවස්ථාව ලෙස කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් පෝර්ට් සිටි හඳුන්වා දිය හැක. ඩොලර් බිලියන 15ක චීන ආයෝජනයක් වශයෙන් 2014 දී ඇරඹි මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ විශේෂ අවධානයට ලක්වූවකි. ෂී ජිං පිං අගමැතිවරයා මෙරටට පැමිණ සාමාරම්භ කළ ව්‍යාපෘතිය මුහුද ගොඩකර තැනෙන කොළඹ වරාය ආසන්න නව ජාත්‍යන්තර නගරයකි. ”වරාය නගරය හේතු කිහිපයක් නිසා විවේචනයට ලක්විය. බොහෝ පරිසරවේදීන් කියා සිටින්නේ වරාය නගර ව්‍යාපෘතිය මගින් ඇතිවිය හැකි පාරිසරික බලපෑම් එය ලබා දෙන ආර්ථික ප‍්‍රතිලාභවලට වඩා බොහෝ සෙයින් වැඩි වනු ඇති බවත්ය; විශේෂයෙන් අධි ආරක්ෂිත කලාපයක ඉඩම්වල පූර්ණ අයිතිය චීනයට ලබා දීමෙන් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ලවන බලපෑම් පිළිබඳව ද කනස්සල්ල පළවී තිබේ.” පෝර්ට් සිටි මඟින් එල්ලවිය හැකි මෙම බලපෑම් හේතුවෙන් යහපාලන රජය විසින් එම ව්‍යාපෘතිය අත්හිටවූ අතර මුල් ගිවිසුම සංශෝධනය කොට නැවත ආරම්භ කෙරිණ. කෙසේමුත් කොළඹ මහ නගර සභාවට අයත් නොවන විශේෂ කලාපයක් වශයෙන් පාලනය වීමට නියමිත, එයටම අනන්‍ය වාණිජ නීති සහිත කලාපයක් වන පෝර්ට් සිටි මෙරට පරිපාලන පද්ධතියේ ව්‍යතිරේකීයමය තත්ත්වයක් වශයෙන් ඉදිරියේ දී ප‍්‍රාදුර්භූත වනු ඇත.

කොළඹ දක්ෂිණ පර්යන්තය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අරබයා රාජ්‍යතාන්ත‍්‍රික අර්බුදයක් නිර්මාණය වන විට අප අමතක නොකළ යුත්තේ එහිම දක්ෂිණ පර්යන්තය 2011 දී චීනයට පවරා දුන් බවයි. එසේම කොළඹ වරාය සංකීර්ණය සංවර්ධනයේදී චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් සමාගම විශාල දායකත්වයක් ලබාදී ඇත. අද වන විට දක්ෂිණ පර්යන්තය ලොව විශාලතම වරාය සංකීර්ණයක් වන විට එහි වැඩි අයිතිය චීනයට ලැබී තිබේ. චීනය සම්බන්ධයෙන් ලංකාව අනුගමනය කොට ඇත්තේ ලිහිල් ප‍්‍රතිපත්තියක් බව බටහිර හා ඉන්දියානු විවේචනයයි. කෙසේමුත් වර්තමානය වනවිට ඉන්දියානු විරෝධය සමග මෙරට විදේශ ආර්ථික සහ දේශපාලන ප‍්‍රතිපත්තිය නැවත ප‍්‍රශ්න කිරීමකට ලක්වීම වැළකිය නොහැක.

ඉන්දියාව රැවටිය හැකිද?

රාජපක්ෂවරුන් මුල සිටම ඉන්දියාව සමග කිසියම් තරගකාරී ආකල්පයක් ඇති කරගෙන තිබේ. නමුත් මෝඩි පාලනය බොහෝවිට රාජපක්ෂවරු සමග කළමනාකාරීව ක‍්‍රියාකරමින් යහපත් සබඳතාවක් ඇතිකර ගැනීමට උත්සාහ ගෙන තිබේ. මයික් පොම්පෙයෝ ඉන්දියාවට පැමිණි අතරවාරයේ ලංකාවට ද පැමිණෙන්නේ ඉන්දියානු උවමනාවටය. නමුත් රාජපක්ෂලා ඉන්දියාව සහ ඇමෙරිකාව තම ජාතිකවාදී දේශපාලනයට අවශ්‍ය ලෙස දේශීයව හංවඩු ගසා තිබේ. චීනයට එවැනි තර්ජනයක් නැත. කෙසේමුත් අද වනවිට රාජපක්ෂ කඳවුර කිසියම් දෙදරුම් කෑමකට ලක්වී ඇති අතර විදේශ ප‍්‍රතිපත්තිය සමග සිදුකරන ඔට්ටු ක‍්‍රීඩාව එයට ප‍්‍රධාන හේතුවක් විය හැක. නැගෙනහිර වෙනුවට බටහිර ප‍්‍රතිපත්තිය තුළින් රාජපක්ෂ කඳවුර තම බලයේ පවතින වියවුල් ස්වභාවය මැනවින් විදහා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here