ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


එම්ටී නිව් ඩයමන්ඞ් නම් බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුමේ සිටි ශ්‍රී ලංකාවට ඊට අදාළව හිමිවිය යුතු ප්‍රධානයන් හිමි නොවී යාමේ අවදානමක් ඇති බව මේ වන විට මතුව ඇති තත්ත්වයකි. මෙම නෞකාව බොරතෙල් මෙටි්‍රක් ටොන් දෙලක්ෂ හැත්තෑ දහසක් සමග මෙරට මුහුදු සීමාවේ දී හදිසි ගිනි ගැනීමකට ලක්වූයේ ඉකුත් 3වන දා ය. ගින්න මැඬපැවැත්වීමට මෙරට නාවික හමුදාව, ගුවන් හමුදාව, වරාය අධිකාරියට ඇතුළු පාර්ශ්වයන්ට දින ගණනාවක් ගතවූ අතර ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවූයේ ය. එහෙත් අවසානයේ සිංගප්පූරු සමාගමක් මෙම නෞකාවේ ගැලවුම්කාර පාර්ශ්වයක් ලෙස පැමිණ නෞකාවට ඇතුළුවීම සමග ඇතිව තිබෙන්නේ අර්බුදකාරී තත්ත්වයකි. එමෙන්ම නෞකාවේ කපිතාන්වරයා මෙම අනතුර අවස්ථාවේ කටයුතු කර තිබූ ආකාරය ද සැකයට මගපාදන්නක් විය. එවැනි බොහෝ ගැටලුකාරී තත්ත්වයන් මධ්‍යයේ මෙම ක්‍රියාවලියට මැදිහත්වූ ශ්‍රී ලංකාව ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊට මැදිහත්වූ නිලධාරීන්ට නිසි අවබෝධයකින් යුතුව කටයුතු කළාද යන්න හා ඒවා සිදුව තිබෙන ආකාරය සම්බන්ධයෙන් ද දැන් තිබෙන්නේ වියවුල් තත්ත්වයකි.


ජාත්‍යන්තර තත්ත්වය


ජාත්‍යන්තර නෞකා පිළිබඳ සංවිධානය International Maritime Organization (IMO) 1989 ගලවා ගැනීමේ ජාත්‍යන්තර සම්මුතියේ (International Convention on Salvage, 1989) තෙවන පරිච්ඡේදයේ 12 වන වගන්තියට අනුව මෙවැනි නෞකාවක් සාර්ථකව ගලවා ගැනීමක දී එය ගලවා ගත් පාර්ශ්වයට ත්‍යාගයක්/ප්‍රදානයක් හිමිවන බව සඳහන් වන්නේය. Salvage operations which have had a useful result give rights to a reward) ගලවාගැනීමේ සමාගමක් ලෙස SMIT Singapore Pte Ltd සමාගම එම්ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ කටයුතුවලට මැදිහත්වන්නේ ශ්‍රී ලංකාව ඒ සඳහා ප්‍රධාන මැදිහත්වීම සිදුකර මූලික කටයුතු සමථයකට පත් කර තිබෙන අවස්ථාවකය. එහෙත් මෙම සිංගප්පූරු සමාගම තෙවන පාර්ශ්වයක් ලෙස මැදිහත්වන අවස්ථාවේ ඔවුන්ට නෞකාවට පිවිසීමට අවශ්‍ය සියලු උපකාර සැපයීමට ද ශ්‍රී ලංකාව කටයුතු කර තිබුණි. එවැන්නක් සිදුවන්නේ අන්තර්ජාතික වශයෙන් මෙවැනි අවස්ථාවල කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් මෙරට බලධාරීන් නිසි දැනුවත්වීමක් නොමැතිව සිටීම ද එසේත් නැති නම් වෙනත් කාරණා ඊට හේතුවූවා දැයි පැහැදිලි නැත. කෙසේ වෙතත් ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රධාන ගැලවීමේ කාර්යභාරය සිදුකළ නිව් ඩයමන්ඞ් නෞකාවේ ගැලවුම්කාර පාර්ශ්වය ලෙස ඒ අනුව සිංගප්පූරු සමාගම ඇතුළු වන්නේය. නෞකා ගලවා ගැනීමේ සමාගමකට ඉදිරි මෙහෙයුම් කටයුතු භාරදීම නිසා මෙරටට හිමිවිය යුතු වන්දි මුදල් ද අහිමිවීමේ අවදානමක් නිර්මාණය වී ඇති බව ක්ෂේත්‍රයේ පළපුරුදු ඇතැම් අයගේ අදහස වූයේය. ඊට හේතුව, මහා පරිමාණ ව්‍යාපාර ලෙස එවැනි සමාගම් ලෝකයේ තිබෙන බැවිනි. අනතුරට පත් නෞකා බේරා ගැනීම සඳහාම ඔවුන් වසර ගණනාවක් සාගරයේ සැරිසරමින් අති දැවැන්ත මුදල් සම්භාරයක් වැය කරමින් බලා සිටින්නේ එවැනි නෞකා බේරාගත් විට එහි ගලවාගැනීමේ ප්‍රදානය හිමිවන බැවිනි. දැන් සිදුව තිබෙන්නේ එම්ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ සැබෑ ගැලවුම්කාර පාර්ශ්වය ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාව තෙවන පාර්ශ්වයක් වන එවැනි සමාගමකට මෙම නැවට ඇතුළුවීමට අවස්ථාව ලබාදීමය.


තෙවන පාර්ශ්වයකට ඉඩදීම


“මේ සිංගප්පූරු කණ්ඩායම ගලවා ගැනීමේ ස්වේච්ඡා කණ්ඩායමක් නෙවෙයි. මෙවැනි සමාගම් ලෝකයේ තිබෙනවා. ඒ අය අවුරුදු ගණනාවක් විශාල වියදමක් දරමින් මුහුදේ සැරිසරමින් ඉන්නේ මෙවැනි අනතුරකට පත්වෙන නෞකාවක් හමුවෙන තුරුයි. මොකද එවැනි ගලවා ගැනීමක් සාර්ථකව සිදුකළාට පස්සේ ඒ ගලවා ගන්නා පාර්ශ්වයට ගලවා ගැනීමේ ප්‍රදානය හිමිවෙනවා. ඒක අති දැවැන්ත වටිනාකමක්. ඒ වගේම නැව ගලවා ගැනීමේ මෙහෙයුම නිසා රිවෝඞ් එක ලංකාවට හිමිවිය යුතුයි. අපේ රට මේ ගලවා ගැනීමේ මෙහෙයුමේ හිටියත් දැන් තෙවන පාර්ශ්වයක් විධියට ආව සිංගප්පූරු කණ්ඩායමට මේකේ ගැලවුම්කාර පාර්ශ්වය ලෙස ඇතුළුවීමට ඉඩ හදලා දීලා තියනවා. මේ නිසා අපේ රටට හිමි විය යුතු වන්දියවත් ලබා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියනවා. ඒ අයට දැන් මේ නෞකාවේ නම වෙනස් කරන්න වුණත් හැකියාව තියනවා. එවැනි දේ ලෝකයේ සිදුවෙනවා.” ඒ වෙළෙඳ නාවික කපිතාන් ඉෂාරක පෙරේරා රාවයට පැවසූවකි. යාපනය කන්කසන්තුර වරායේ ගිලී තිබූ නෞකා 12ක් ගොඩගැනීම සඳහා ඉන්දියා ආණ්ඩුව විසින් මුදල් වියදම් කළ බවත් එම කාර්යය ඇමරිකාවේ ගලවා ගැනීමේ සමාගමකට ඒක බාර දී තිබූ අතර එහි උප කොන්ත්‍රාත් ලෙස තමන් කටයුතු කළ බැවින් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහුට සෘජු අත්දැකීම් ද තිබූ අයෙකි. එමෙන්ම ඔහු වසර 15කට වැඩි කාලයක් වෙළෙඳ නෞකා කපිතාන්වරයෙකු ලෙස ද කටයුතු කර තිබූ අතර ඒවා සම්බන්ධව එංගලන්තයේ අධ්‍යයන කටයුතු කළ අයෙකි. ඩයමන්ඞ් නෞකාවේ කටයුතු සිංගප්පූරු සමාගමකට භාරදීමත් සමග සිදුවිය හැකි වියවුල් තත්ත්වය පිළිබඳ බලධාරීන් දැනුවත් කිරීමට ඔහු උත්සාහයක නිරත වූයේය. මේ වන විට ඒ වෙනුවෙන් මෙරට තවත් කපිතාන්වරු ද එක්ව සිටිති.


මෙරට දැවැන්ත ව්‍යාපාරිකයෙකුට ද මෙවැනි අවස්ථාවකට මුහුණදීමට සිදුව තිබුණි. ඒ ඔහුට අයත් නෞකාවක් බංග්ලාදේශ මුහුදු සීමාවේ හිරවීමත් සමග එය ගලවා ගැනීමට බංග්ලාදේශ හමුදාව ක්‍රියා කිරීමත්, ඒ වෙනුවෙන් ගලවා ගැනීම් ප්‍රදානයන් ගෙවීමට ඔහු සතු අනෙකුත් නෞකා දෙකක් විකිණීමට ද ඔහුට සිදුව තිබුණු බව මෙම කපිතාන්වරු පවසති. එබැවින් ඔවුන් පවසන්නේ මෙය ඉතා බරපතළ කටයුතත්තක් වන බව හා ඒ සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවය.


කපිතාන් හිතාමතා කළ දෙයක් ද?


මෙම නිව් ඩයමන්ඞ් නෞකාව අනතුරට පත්වන අවස්ථාවේ එහි කපිතාන්වරයා කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද මෙරට නෞකා කපිතාන්වරු සැක පළ කර තිබුණි. නැවක කපිතාන්වරයෙක් යනු නැවේ සිටින සියලු ජීවිතවලට වගකිව යුතු පුද්ගලයෙක් වන අතර නෞකාවට සිදුවන ඕනෑම අනතුරක් ලෝකයට දැනුම්දීම වෙනුවෙන් ද ඔහු බැඳී සිටින්නේය. එවැනි දැනුම් දීමක් නොකර මහ මුහුද මැද තනිව සටනක් කර බේරීම පහසු කාර්යයක් නොවන බව කපිතාන්වරුන්ගේ අදහසයි. එහෙත් මෙම නිව් ඩයමන්ඞ් නෞකාව අනතුරට පත්වන අවස්ථාවේ ගත යුතු මූලික කාර්යයන් එහි සිටි කපිතාන්වරයා ගෙන නොමැති බවට ද මේ වන විට චෝදනා එල්ල වන්නේය. එබැවින් නෞකාවේ අනතුර සම්බන්ධයෙන් ද මේ වන විට විවිධ සැකසංකා මතුව තිබෙන්නේය. අනතුරකදී නෞකාවෙන් ඉවත්වීමට ප්‍රථම නෞකාව අනතුරක බවට නිකුත් කරන සංඥාව තත්ත්පර කීපයක් තුළ යැවීමේ තාක්ෂණික හැකියාව තිබුණ ද එය සිදු නොකරන්නේ ඇයි ද යන්න ගැටලුවකි.


එමෙන්ම මෙවැනි නෞකාවල Global Maritime Distress and Safety System එකක් තිබෙන්නේය. නැවෙහි ඇතිවන ගින්නක, ගිලීයෑමේ අනතුරක් ආදී ලෙස අනතුර කුමක්ද යන්න එම පද්ධතියේ තෝරා :ීැකැජඑ) අදාළ පණිවුඩය යැවීමට හෝ ඒ සඳහා ද ප්‍රමාණවත් තරම් කාලයක් නොමැති නම් සාමාන්‍ය පණිවුඩයක් යැවීම සඳහා නෞකාවක විවිධ ස්ථානවල ස්ථාන ගත කළ බොත්තම් තිබෙන්නේ. එවැනි පණිවුඩයක් යැවීමට ගතවන කාලය තත්ත්පර පහක් පමණ කාලයකි. එමගින් Maritime Rescue Coordination Centres (MRCC) වෙත ඒ පණිවුඩය ලැබෙන්නේය. මේ මුහුදු කලාපයේ ලංකාව ද එවැනි එක් මධ්‍යස්ථානයකි. කෙසේ වෙතත් එවැනි පණිවුඩයක් යැවීමට මෙම කපිතාන්වරයා කටයුතු නොකරන්නේ එන්ජින් කාමරයේ ඇතිවූ ගින්නෙන් ඔහු කලබලයට පත් වූ නිසා ද එසේත් නැති නම් වෙනත් කරුණක් නිසා ද යන්න තවමත් පැහැදිලි නැත.


“මෙවැනි සුවිශාල නෞකාවල CO2 ගබඩා කර තියනවා. ඒ CO2 කාමරයට නළ පද්ධතියක් සම්බන්ධ කරලා තියනවා. ඒ මගින් එන්ජින් කාමරයටම CO2 යැවීමේ හැකියාවත් එමගින් ගින්න නිවීමට උත්සාහ කිරීමටත් මේ අවස්ථාවේ තිබුණා. නමුත් එයත් කර තිබුණේ නැහැ. කොවිඞ් වසංගතය සමග නැව්වලටත් ආදායම් තිබුණේ නැහැ. ඇතැම් ග්‍රීක නාවික සමාගම් රක්ෂණ සමාගමෙන් මුදල් ලබා ගැනීිමේ අරමුණෙන් නැව් ගිල්ලවලා, ගිනි තියලා තියන අවස්ථා තියනවා. ඒ නිසා සාධාරණ සැකයක් ඇතිවෙන්න පුළුවන්. මොකද මේ වෙද්දී ගලවා ගැනීමේ යාත්‍රාවක් මේ අසලම තිබුණේ ඇයි කියන ප්‍රශ්නයත් තියනවා. ඇයි මේක ලෝකයට දැනුම් නොදී කපිතාන්වරයා එළියට එන්නේ කියන ප්‍රශ්නයත් තියනවා. ඒ නිසා මේක සාධාරණ සැකයක්.” ඒ කපිතාන් ඉෂාරක පෙරේරාය. මේ අතර 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සම්බන්ධව සාධාරණ සැකයක් ඉදිරිපත්ව ඇති බැවින් නිව් ඩයමන්ඞ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන්වරයා සම්බන්ධව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත සැප්තැම්බර් 16 දින නියෝග කර තිබුණි.


කෙසේ වෙතත් මෙරට අත්දැකීම් සහිත ඇතැම් කපිතාන්වරුන්ගේ අදහස වූයේ ඉතා ඉක්මනින් මෙම නෞකාව අත්අඩංගුවට ගැනීමට මෙරට කටයුතු කළ යුතුව තිබූ බවය. ඊට නිමිත්ත ලෙස එහි කපිතාන් විසින් රාජකාරිය පැහැර හැරීම ගත හැකි බවට ඔවුහු සඳහන් කර තිබුණි. නැව මෙරට භාරයේ තිබියදී අදාළ නීතිමය කටයුතු හා වන්දි සම්බන්ධ කටයුතු සිදුකළ හැකි බැවින් නොපමාව එසේ කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමට ඕනෑතරම් හේතු සාධක ඇති බවත් ඔවුහු සඳහන් කරති. “අන්තර්ජාතික සම්මුතියට අනුව මේක අපිට අයත්වෙලා ඉවරයි. නැවේ අයිතිකරුවෝ අප්‍රිකානු රටක ඉන්නා වෙනම කණ්ඩායමක්. කළමනාකරණ සමාගම ග්‍රීක සමාගමක්. ඒ අය අපේ නිලධාරීන් නොමග යවා තියනවා. අපි නැව අත්අඩංගුවට අරගෙන අපේ මුහුදු සීමාවට ගේන්න ඕනෑ. එහෙම ගේන්නේ නැතිව හිටියොත් වෙන අයට ඇවිත් ඒ නැව එළියට අරගෙන යන්න පුළුවන්, නැවේ නම වෙනස් කරන්න පුළුවන්. එතකොට අපි කළ වියදමවත් අපිට ආවරණය කරගන්න අපිට බැරිවෙනවා. හානිය පියවාගන්නත් අපිට බැරිවෙනවා.” මෙරට කපිතාන්වරයෙක් රාවයට පැවසුවේය.


සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නැව තිබෙන මුහුද අවටින් ලබාගත් ජල සාම්පල යවා එහි වාර්තාව ලැබුණු බවය. එයට අනුව ඒ අවට මුහුදේ තිබුණේ නැවේ ඉන්ධන මිස බොර තෙල් සංඝඨක නොමැති බවත් ඒ අනුව බොරතෙල් කාන්දුවක් සිදුව නොමැති බවය. එමෙන්ම එම අධිකාරියේ අදහස වූයේ මෙම නෞකාව අත්අඩංගුවට ගැනීමට හෝ එය මෙරට සන්තකයේ තබා ගැනීමවත් නොව අපේ කලාපයේ දී නැවක් අනතුරට පත් වුවොත් ඊට පිහිට වී උදවු කර අපේ කලාපයේ පරිසර හානියක් නොවන ආකාරයට ඔවුන්ගේ අදාළ ගමනාන්තය දක්වා යැවීම කළ යුතු හොඳම දේ බවත්ය. ඒ සඳහා මෙරටට වැයවූ වියදම් රක්ෂණ වන්දි ලෙස ලබාගැනීමට බලාපොරොත්තු වන බවද එම අධිකාරිය සඳහන් කරයි. නමුත් අත්අඩංගුවට ගෙන එය මෙරට කලාපයට ගෙන ඒම මෙරටට දරාගත නොහැකි වගකීමක් බවය. මෙය මෙරට මුහුණ දුන් පළමු අත්දැකීම බැවින් මෙයින් පාඩම් උගෙන ඉදිරියේ දී මෙවැනි අවස්ථාවල මෙරටට ආදායම් ඉපයිය හැකි ආකාරයට කටයුතු කළ යුතු බව ද එම අධිකාරියේ වගකිවයුතු පාර්ශ්වයන් සඳහන් කරයි. ඒ අතර තවත් පාර්ශ්වයන් පවසන්නේ මෙම ක්‍රියාවලියේ දී නිලධාරීන් නොමග යැවීමක් සිදුව තිබෙන බව පෙනී යන බවත් එයින් මෙරටට හිමිවීමට තිබූ විශාල ආදායමක් අහිමිව යන බවය.


නීතීඥ ඩෑන් මාලික ගුණසේකර රාවය කළ විමසීමක දී ප්‍රකාශ කළේ මෙවැනි අවස්ථාවක නෞකාවක් ගලවා ගැනීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකාව ව්‍යවස්ථාපිතවම බැඳී සිටින බවය. එබැවින් මෙම අවස්ථාවේ ඒ සඳහා මුලින්ම ලංකාව මැදිහත් වූ බැවින් හැකි ඉක්මනින් එම නෞකාව මෙරට භාරයට ගැනීමටත් වන්දි ලබා ගැනීමේ කටයුතු අධිකරණ මාර්ගයෙන් සිදුකිරීමට ඉක්මන් පියවර ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය. කෙසේ වෙතත් නීත්‍යනුකූලවම මෙවැනි ගලවා ගැනීමේ කාර්යයන් සඳහා බැඳී සිටින ශ්‍රී ලංකාව මෙවැනි සිදුවීමක් හරහාම පාඩම් ඉගෙනගෙන ඊළඟ වතාවකදී එය නිවැරදි කරගැනීමට යැයි බලා සිටිනවා නම් එය එක්තරා ආකාරයක විහිළු සහගතය. ලෝකයේ මෙවැනි සිදුවීමක් වන්නේ ප්‍රථම වතාවට නොවන අතර ඒ සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක් සහිත අය ද මෙරට තුළ නොමැති යැයි පිළිගත නොහැකිය. මෙවැනි අවස්ථාවක පරිසර ගැටලුවක් මතු වුවහොත් සිදුවිය හැකි අනතුර පිළිබඳ නිසි අවධානය යොමු කරනවා මෙන්ම අන්තර්ජාතික වශයෙන් මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳද නිසි අවබෝධයක් හා වගකීම් සහගත මැදිහත්වීමක් සිදුකළ යුතුව තිබෙන්නේය. නැව තුළ ගින්න නිවී ඇති බවටත් එය නැවත ගිනි ගැනීමේ අනතුරක් ද නොමැති බවත් තහවුරු කරගත් පසු ඒ වෙනුවෙන් කටයුතු කළ අය විසින්ම එහි වටිනාකම වෙනත් පාර්ශ්වයකට භාරදීම විහිළුවක් ලෙස පෙනෙන්නේ එබැවිනි.


මේ අතර එම්ටී නිව් ඩයමන්ඞ් බොරතෙල් නෞකාවේ අයිතිකරුවන්ගේ නීතීඥවරුන් වෙත නෞකාවේ ගින්නට අදාළව නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක් යාඞ් සමාගම, මීපා ආයතනය සහ වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලු පාර්ශ්වයන් නෞකාවේ ගින්න නිවීමට දැක්වූ සහායට හා ඊට අදාළ කටයුතුවලට දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් ලිඛිතව ඉදිරිපත් කරනු ලැබ ඇත. එම හිමිකම් ඉල්ලීම නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත්තේ රු. කෝටි 34 (ලක්ෂ තුන්දහස් හාරසියයක්) අයකර ගැනීම සඳහාය. එම ඇස්තමේන්තුව සකස් කර තිබුණේ සැප්තැම්බර් 15 දින වන තෙක් පමණක් වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ තෙල් කාන්දුව නිසා සමුද්‍ර පරිසර උවදුරට අදාළ ඇස්තමේන්තුවක් මීපා ආයතනයේ අදාළ වාර්තා ලැබීමෙන් පසු ඉදිරි දින කීපයේ ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ශ්වකරුවන්ට දැරීමට සිදුවූ මුළු වියදම සම්බන්ධයෙන් පූර්ණ ඇස්තමේන්තුවක් මත වියදම් අයකර ගැනීමට අපේක්ෂා කරන අතර එම ඇස්තමේන්තුව නැව ශ්‍රී ලංකා මුහුදෙන් පිටත්වන තුරු ඉදිරිපත් කළ නොහැකි බව නීතිපතිවරයා විසින් දන්වා තිබුණි. ■