ලොරන්ස් ෆර්ඩිනැන්ඩු


මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් මතුවූ කොවිඞ්-19 වෛරසය ආසාදිත පොකුර දිවයින තුළ මෙතෙක් වාර්තා වූ රෝගීන්ට වඩා සුවිශේෂීත්වයක් දරන බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති. ඊට හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ දෙවන රැල්ලේ රෝගීන්ගේ වෛරසයේ සාන්ද්‍රණයේ ඉහළ අගයක් ගන්නා බවය. වෛරසය ආසාදිතයන් 1800ක් පමණ සොයා ගැනීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන කොපමණද යන්න නිශ්චිත වශයෙන් කිව නොහැකි තත්ත්වයක් තුළ වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය විසින් යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබේ. එම ක්‍රියාමාර්ග අතර වෛරසය ආශ්‍රිතයන් කඩිනමින් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට ප්‍රමුඛත්වයක් ලබාදෙනු ලබන අතර එහි අඩුපාඩුකම් රාශියක් තිබෙන බව වාර්තා වේ. විශේෂයෙන් වෛරසය ආසාදිත සහ ආශ්‍රිත පුද්ගලයන් රැගෙන යාමේදී තර්ජන කරමින් කුදලාගෙන යාමට මිලිටරි ක්‍රමවේද අනුගමනය කිරීම සහ නිරෝධායන මධ්‍යස්ථානවල තිබෙන යටිතල සහ සෞඛ්‍ය පහසුකම් පිළිබඳව පුරවැසියන්ගේ මානව ගෞරවය පිළිබඳව උනන්දුවක් දක්වන සිවිල් පුරවැසි සංවිධානවල දෝෂාරෝපණයට ලක්ව තිබේ. ඊට මූලික හේතුව රජය ජාතික ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂණය යන කාරණා පිළිබඳව නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීමය. එපමණක් නොව වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා පුරවැසියන්ගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් අඩු මට්ටමකින් පැවතීම හේතුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුව තිබේ. එසේ වුවද ජනතාව එවැනි තත්ත්වයකට ඇද දමනු ලැබුවේ පසුගිය මහ මැතිවරණ සමයේ සෞඛ්‍ය ආරක්ෂක ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකිරීමට පොහොට්ටු නායකත්වය ජනතාවට ලබා දුන් ආදර්ශය විසිනි.


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවේ, “කිසිම තැනැත්තකු වධ හිංසනවලට හෝ ක්‍රෑර, අමානුෂික හෝ අවමන්සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය”යි සඳහන් වුවද කොවිඞ්-19 වෛරසය ආසාදිතයන් සහ ආශ්‍රිතයන් රැගෙන යාමේදී රජය විසින් අනුගමනය කරනු ලබන මිලිටරිමය ක්‍රියාපිළිවෙත හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සිදුවන බව නොවලහා පැවසිය යුතුය. කොවිඞ්-19 ආසාදිතයන් සහ ආශ්‍රිතයන් ඍජු හෝ වක්‍ර අයුරින් රෝගීන් වන හෙයින් ඔවුන්ගේ ආත්ම අභිමානය අවතක්සේරු වන අයුරින් කටයුතු නොකිරීම රාජ්‍යයේ වගකීමක් වන්නේය. කවුරුන් හෝ රෝගීන්ගේ මානව ගරුත්වයට හානියක් සිදුකරන්නේ නම් ඒ පිළිබඳ කඩිනමින් විමර්ශනය කොට ඊට වගකිවයුතු පුද්ගලයන් දැනුවත් කොට නැවත එතුළින් ක්‍රියා සිදු නොවීමට කටයුතු කිරීමද රාජ්‍යයේ වගකීමක් වන්නේය.


කෙසේ වුවද කොරෝනා ආසාදිත හෝ ආශ්‍රිත පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ රෝහල් වෙත රැගෙන යාමේදී ඔවුන්ගේ මානව ගරුත්වයන්ට සිදුව තිබෙන හානිය සැලකිල්ලට ගෙන සිවිල් සංවිධාන කිහිපයක් ඔවුන්ට යුක්තිය ඉටු කිරීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට මේ වන විට කටයුතු කර ඇත. ඔවුන්ගේ ක්‍රියාදාමය පිළිබඳ කරන ලද විමසුමකදී ඔවුන් දැක්වූ අදහස් මෙසේය:


රජය රෝගීන්ට පිහිට විය යුතුයි
නීතිය හා සමාජ භාරයේ සඳුන් තුඩුගල

බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව හරහා ඇතිවූ කොවිඞ්-19 දෙවන රැල්ල මේ වන විට කටුනායක ප්‍රදේශය ආශ්‍රිතව ව්‍යාප්තවෙමින් යනවා. විශේෂයෙන් කර්මාන්තශාලාවලින්, බෝඩම්වලින් සේවිකාවෝ මේ වන විට හඳුනා ගනිමින් යනවා. මෙසේ හඳුනා ගන්නා ලද සේවිකාවන් නිරෝධායන ක්‍රියාවලියට ගෙනයෑම සම්බන්ධයෙන් රජය ගෙන යන ක්‍රියාමාර්ග මගින් අතිවිශාල වශයෙන් එම පුද්ගලයන් නොසලකා හැරීමක් සිදුවෙමින් පවතිනවා. පසුගිය පළමු රැල්ල තුළ හමුදාවේ නිරෝධායන ක්‍රියාවලිය ගැන යම් පැහැදීමක් මිනිසුන්ට තිබුණා. නිරෝධායන ක්‍රියාවලියට ලක්වූ බොහෝ අය ඔවුන්ට ලැබුණු කෑම – බීම සහ පහසුකම් ගැන පැහැදීමකින් කතා කළා. නමුත් මේ වතාවේ එය ඉතාමත් වෙනස් ආකාරයකින් තමයි සිද්ධ වෙන්නේ. මෙම ඇඟලුම් සේවිකාවන්ට සලකන්නේ සම්පූර්ණ අපරාධකාරයෝ හැටියටයි. ඔවුන්ගේ බෝඩිං නිවාස හමුදාවෙන් වට කර විනාඩි පහක් ඇතුළත බඩු බාහිරාදිය රැගෙන බස්වලට නගින්න කියා තිබෙනවා. මේ අතර ගර්භනී මාතාවෝ මෙන්ම දරුවන් සිටිනවා. ඔවුන්ට අත්‍යවශ්‍ය දේවල් පවා එකතු කරගන්න වෙලාවක් ලැබී නැහැ. එක බස් එකේ වෛරසය ආසාදිත සහ ආශ්‍රිත අයයි එකට දමාගෙන දවස පුරා තැන් – තැන්වලට ගිහිල්ලා තව – තව අය පටවාගෙන තිබෙනවා. ඔවුන්ට කෑමක්-බීමක් දීලා නැහැ. අවසානයේදී වේයන්ගොඩ ගෙන යනවා කියමින් කළුතරට ගෙන ගොස් තිබෙනවා. ඔවුන්ට කිසි තොරතුරක් දීලා නැහැ. ඔවුන්ව ගිහින් දමන ලද ස්ථානවල පහසුකම් නැහැ. 30 දෙනෙකුට පමණ පිරිසකට වැසිකිළි දෙකක් පමණක් එම ස්ථානවල තිබෙන බව වාර්තා වෙනවා. මේ අය නොසලකා හරින මට්ටමකට ඇද දමමින් අපරාධකාරයෝ හැටියට සලකා තිබෙනවා. මීට බලපාන කාරණා දෙකක් තිබෙනවා. එකක් මෙහි ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී අය ඉන්නවා. ඔවුන්ට වෙනස් කොට හෝ වෙනත් පුරවැසියන්ටසේ සලකනවාද කියා අපට ප්‍රශ්නයක් නැගෙනවා. ඒත් ඒ අය රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. දෙවැනි කරුණ වන්නේ අපරාධකරුවන් ලෙස සැලකීම නිසා රෝග ලක්ෂණ මතුවූ අය සැඟවී සිටීමට උත්සාහ කරනවා. එමගින් සිදුවන්නේ, මෙම රෝගය තව – තවත් ව්‍යාප්තවීමයි. ඒ නිසා එම කාරණා ගැන ඉකුත් ඔක්තෝබර් 15 වැනිදා අපි පුවත්පත් සාකච්ඡාවක් මරදානේ සීඑස්ආර් ආයතනයේදී පැවැත්වූවා.


ඊට අමතරව අප අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් යොමු කළා. එමගින් අප කියා සිටියේ මේ වේලාවේ නිරෝධායන ක්‍රියාවලිය සිද්ධ වන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුව සිද්ධ වන රෙගුලාසි වහාම ගැසට් කරන්න කියන කාරණාවයි. ආණ්ඩුව මේ වන විට ගැසට් කරලා තිබුණත් එහි සම්පූර්ණයෙන් තියෙන්නේ මිනිසුන්ට දඬුවම් කිරීම ගැන විතරයි. එවැනි ක්‍රමවේදයක් නොවේ සිදුවිය යුත්තේ අපරාධකාරයෝ ලෙස සලකා කටයුතු නොකර ඔවුන්ට පිහිටවීමේ ක්‍රමයක් තුළින් කොවිඞ් පාලනය කළ යුතු වෙනවා. ■


සෞඛ්‍ය අංශවල මැදිහත්වීම ඕනෑ
රෙඞ් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රා දේවනාරායන්


මේ වෙලාවේ නිරෝධායන කටයුතුවලට ගෙන යෑමේදී සෞඛ්‍ය අංශවල මැදිහත්වීමකින් තොරව හමුදාව විසින් තමයි ඇඟලුම් සේවිකාවන් අරගෙන ගිහින් තිබෙන්නේ. සෞඛ්‍ය නිරෝධායන නීති-රීති කිසිවක් අනුගමනය නොකර නිරෝධායන මධ්‍යස්ථාන මගින් කොවිඞ් 19 වෛරසය වැළඳීමේ තත්ත්වයක තමයි අරගෙන ගිය පිරිස් තබා තිබෙන්නේ. ඒ පිළිබඳව නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයගේ සාමාජිකයන් අප දැනුවත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන්න කියා ඉල්ලා සිටියා. ■


පුද්ගල ගරුත්වය නැතිවුණා.
නීතිඥ ප්‍රියලාල් සිරිසේන


දැනට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. එමගින් සෞඛ්‍ය අමාත්‍යවරිය නිකුත් කරන ලද රෙගුලාසි දෙස බැලූ විට එය මේ වසංගතය පාලනය කිරීමේදී පුරවැසියා හසුරුවීමට සහ පුරවැසියාට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ රෙගුලාසි පද්ධතියක්. උදාහරණයක් විදියට මුඛ ආවරණයක් දැමිය යුතුයි, මීටරයක පරතරය තබා ගත යුතුයි යනාදී වශයෙන් පුරවැසියා හැසිරිය යුතු ආකාරය නියම කරමින් ඒකට අවශ්‍ය දඬුවම් කිරීමේ යාන්ත්‍රණයක්ද එම රෙගුලාසි තුළින් සාදා තිබෙනවා.


අපි අභියාචනාධිකරණයට යොමු කළ රිට් පෙත්සම මගින් ඉල්ලා සිටින්නේ එවැනි රෙගුලාසි තත්ත්වයක් නොවේ. එවැනි රෙගුලාසි පද්ධතියක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඊට අමතරව, නිරෝධායනයට යොමු වන පුරවැසියන්ගේ ගරුත්වය සහ ඒ අයගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයක්, රෙගුලාසි පද්ධතියක් හෝ මගපෙන්වීම් පද්ධතියක් අවශ්‍යයි. මොකද, විශේෂයෙන්ම අපි දන්නා කරුණක් වන්නේ නිරෝධායන ක්‍රියාවලිය හසුරුවන්නේ හමුදාවයි. එහිදී පුද්ගලයන්ගේ ගරුත්වය සහ අයිතිවාසිකම් ආරක්ෂාවීමේ අවශ්‍යතාවක්ද තිබෙනවා. එය විශේෂයෙන් මතුවන්නේ පසුගියදා නිදහස් වෙළෙඳ කලාපය තුළ මතුවූ තත්ත්වයත් එක්ක. මුල් වතාවේදී කරගෙන ගිය නිරෝධායන ක්‍රියාවලිය ගැන බොහොම ලස්සනට මාධ්‍ය මගින් පෙන්නුවා. ඒ ඒ නිරෝධායන මධ්‍යස්ථාන හොඳින් කරගෙන ගිය ආකාරය එමගින් දැකගැනීමට ලැබුණා. නමුත් කටුනායකට මේ රෝගය ව්‍යෘප්තවීමත් සහ ඉතා ශීඝ්‍රයෙන් දහස් ගණනක් රෝගීන් වාර්තාවීම තුළ පුද්ගලයන්ගේ ගරුත්වය සහ අයිතිවාසිකම් ආරක්ෂා නොවන විදියට නිරෝධායන ක්‍රියාවලිය සිදුකරන බවට අපිට වාර්තා වූ කරුණු අනුව පෙනී ගියා.


ඔවුන් රඳවා තිබූ ස්ථානවල පහසුකම් පිළිබඳ ගැටලුවක් තිබෙනවා. වාර්තා වූ එක සිද්ධියකට අනුව තිස්දෙනකු රඳවා තිබූ ස්ථානයක ජල පහසුකම් අඩු වගේම ඔවුන් සියලුදෙනා සඳහා තිබුණේ වැසිකිළි දෙකක් පමණයි.
තවත් ස්ථානයක උදේ සිට සවස දෙක වනතුරු ජලය තිබිලා නැහැ. ඒ ආකාරයේ පහසුකම් ඉතාම අවම ආකාරයේ තත්ත්වයක තමයි මේ පිරිස් රඳවා තබාගෙන ඉන්නේ. ඒ වගේම ඔවුන් ප්‍රවාහනය කරන ලද ආකාරයට ගත් විට, බස් රථයේ ගොඩාක් අය පටවා ගෙන අරගෙන ගිහින් තිබෙනවා. එහි එක් රෝගියකු සිටියා නම් සියලුදෙනාටම කොවිඞ්-19 බෝවීමේ ඉඩකඩ තිබෙනවා.


ඒ අනුව බැලූවිට අපි යෝජනා කරන්නේ පුරවැසියාගේ පැත්තෙන් රජය විසින් පිළිපැදිය යුතු රෙගුලාසි පද්ධතියකුත් තිබිය යුතු බවයි. රජය විසින් පුරවැසියාට මෙන්න මේ දේවල් කළ යුතුයි කියා සිටිනු සමානව අපුරවැසියාටද අයිතියක් තිබෙනවා තමාගේ ගරුත්වයට ගැළපෙන විදියට නිරෝධායන ක්‍රියාවලියට යොමුවීමට. එහිදී ආණ්ඩුවක් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති සහ මූලධර්ම තිබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් රෙගුලාසි පද්ධතියක් පනවන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට නියෝග කරන්න කියලා. ■


මේක යුද්ධයක් නෙමෙයි
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ හර්මන් කුමාර


කොවිඞ්-19 ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි අධිකරණයට යන්ට හේතුවුණේ මේ වසංගතයට මුහුණ දෙන්න වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ මගපෙන්වීම යටතේ. මේක යුද්ධයක් නොවේ. සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක විය යුතු වසංගතයක්. මෙම වසංගතය බලහත්කාරය ඒකාධිපති ක්‍රියාකාරීත්වය හරහා ක්‍රියාත්මක කිරීමෙන් කිසිසේත්ම වළක්වන්න බැහැ. ඒක වැළැක්වීම සඳහා වඩාත් යහපත් සෞඛ්‍ය නීති-රීති අනුගමනය කළ යුතු වෙනවා ජනතාව. එය පිළිපැදීම සඳහා මගපෙන්වීමේ කාර්ය සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මේ රටේ මෙවැනි වසංගත වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය වෛi නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ වින්නඹුවරු සිටිනවා. මේ සෞඛ්‍ය ජාලය මෙරට පුරා විහිදුණු ඉතාමත් සාර්ථක ක්‍රියාවලියක්. එය කාලයක් පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා ඔවුන්ට මගපෙන්වන්න නීති-රීති සකස් කරලා එය ලබාදීමේ ක්‍රියාවලියකින් මිසක් හමුදාමය ක්‍රියාමාර්ගයක් හරහා බලහත්කාරය මත, ඒකාධිපතිත්ව ක්‍රියාමාර්ග හරහා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියකින් යුතුව මානව හිමිකම් උල්ලංඝනය කරමින් කරන්නාවූ ක්‍රියාමාර්ග තුළින් කොවිඞ් වසංගතයෙන් ගැලවෙන්නට බැරි බව අවධාරණය කරමින් එහි නීති-රීති සකස් කර දෙන්නට කියන එක සෞඛ්‍ය බලධාරීන්ට මගපෙන්වන්න නියෝග කරන්න කියන කාරණය මත තමයි අපි අධිකරණයට ගියේ. ■