නිමල් අබේසිංහ

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් හත්දෙනා නිල ඇඳුමින් සැරසී මහ නායක හිමිවරුන් මුණ ගැසීමට ගොස් ඇත්තේ පොලිස්පති චන්දන වික‍්‍රමරත්නගේ අවසරය ලබාගෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව රාවය කළ විමසුමකදී පැවසීය. මෙය වාචික අවසරයක් බවත් ඔහු කීවේය.

මෙම නිලධාරීන් සහභාගි වූයේ රාජකාරි ගමනකට නොවන බැවින් නිල ඇඳුම් සහිතව නිල වාහනවලින් ඒ ගමන යාමට අවසර දුන්නේ කුමක් නිසාද යන්න ගැන විමසූ විට ඔහු ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා නොදුන්නේය.

මෙය පූර්වාදර්ශයට ගනිමින් ඉදිරියේදී තවත් නිලධාරීන් තමන්ට එරෙහිව නඩු පැවරීමක් සිදුවුවහොත් ඔවුන්ද නායක හිමිවරුන් මුණ ගැසී තමන් බේරා ගන්නැයි ඉල්ලීමේ ප‍්‍රවණතාවක් ඇතිවුවහොත් එය බරපතළ ප‍්‍රශ්නයක් නොවන්නේදැයි රාවය මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසූවිටද නිශ්චිත පිළිතුරක් නොදුන්නේය.

මෙම නිලධාරීන් නිල ඇඳුම් සහිතව තමන්ගේ පුද්ගලික කාරණා ගැන මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කිරීම වරදක් නොවන්නේද යන්න ගැන විමසූ විට මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ, පොලිස් නිලධාරීන් එසේ මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම වරදක් නම්, එම ප‍්‍රකාශ ලබාගෙන මාධ්‍යයෙන් ප‍්‍රචාරය කිරීම එසේත් නැතිනම් මාධ්‍ය එය ලබාගැනීමත් වරදක් නොවේදැයි යන්න ප‍්‍රශ්න කළේය.

මෙම සිද්ධිය විනය විරෝධී බවට හිටපු පොලිස්පතිවරයකු වන මෙරිල් ගුණරත්න හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන කොටකදෙණිය පවසන බව පැවසූ විට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ එය ඔවුන්ගේ මතය බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here