ටිරන් කුමාර බංගගමආරච්චි


“කොකාගේ සුද පෙනෙනුයේ ඉගිල්ලෙන කොට” යැයි කතාවක් ඇත. ගෝඨාභය රාජපක්ෂ ගැන මවා තිබූ අති දක්ෂ ලේබලයේ හැඩ පෙනෙනුයේ ඔහුගේ වැඩ දුටු කලය. මේ ආණ්ඩුව කරන හැම වැඩක්ම මේ වනවිට අලවී ඇත. යහපාලන ආණ්ඩුව මුල් දින සියයේ ඉතා ඉහළ වැඩ කොටසක් කළේය. එය පිරිහෙන්නට ගත්තේ වසර දෙකක් පමණ යන විටය. ඒ දෙපැත්තට අදින්නට වූ නිසාය. එවැනි ප්‍රශ්න අද නැතත්, මේ ආණ්ඩුවේ දින සියය නොව දින දෙසීය බැලුවද එතරම් දෙයක් නොපෙනේ.


යහපාලන කාලයේ බොහෝ හොඳ දේ වුවද ඒ හැම වරදක් ලෙස හෝ අඬු කොට දැක්වීමට විපක්ෂයේ ගොබෙල්ස්ලා සමත් විය. එහෙත් අද ආණ්ඩුව කොතරම් පිස්සු නැටුවද විපක්ෂයට ඒ ගැන ජනතාවට කියන්නට අපහසුය. බැරියාවය. නැතහොත් නොහැකියාවය. එයම අභාග්‍යයකි. නිකමට යහපාලන කාලයේ දින සියය තුළ කළ වැඩ බලමු.


යහපාලන දින 100


කාලීන සැලසුම් වශයෙන් ගැබිනි මවුවරුන්ට රුපියල් 20,000ක පෝෂණ මල්ලක් ලබාදෙන ව්‍යාපෘතිය ආරම්භ කිරීම. විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර රුපියල් 5000ක් දක්වා ඉහළ දැමීම, තාරුණ්‍යය වෙනුවෙන් නොමිලේ වයිෆයි කලාප ඇති කිරීම, සියලු ගොවි ණය සියයට පනහකින් කපා හැරීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ගේ තැන්පතුවල පළමු රුපියල් ලක්ෂ 10 සඳහා ගෙවන පොලිය සියයට පහළොවක් දක්වා ඉහළ දැමීම. රජයේ රෝහල්වල බාහිර රෝගී අංශය රාත්‍රී 10 දක්වා විවෘතව තැබීම, යහපාලනය අර්ථවත් කිරීම සඳහා නව පනත් කෙටුම්පත් කර සම්මත කිරීම, දුම්වැටි අසුරණවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරීමට විධි විධාන ගැනීම, වින්දිතයින් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත දින සියයක් තුළදී පාර්ලිමේන්තුවේ සම්මත කිරීම, විධායක ජනාධිපති බලතල සීමා කිරීම සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම වැනි වැඩ කළේය. ඒවායින් අවැඩට වඩා සිදුවූයේ හොඳය. එය කවුරු කළත් පිළිගත යුතුය. මහපොළ ශිෂ්‍යත්වයත් වැඩිවූ නිසා ශිෂ්‍යයෝ ඕනෑවටත් වඩා පාරට බැස්සෝය. එකල යහපාලනය ලබාදෙන දෙයට වඩා මහින්දගේ හීල්ලිල්ලට මිනිස්සු කම්පාවෙමින් සිටියෝය. ආණ්ඩුවේ වැඩ කතා නොකර මාධ්‍ය බහුතරය මහින්දගේ පන්සල් කතා ප්‍රමුඛ තැනලා සැලකූහ. අපට යහපාලනය ගැන අමුතු ආශ්වාදයක් නැත. එහෙත් එකල ජනතාවට බොහෝ දෑ ලැබුණි. ජනතාව එය එතරම් නොතැකීය. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? මහා වැඩකරුවෙකුයි කී ගෝඨා කරනුයේ කුමක්ද? කළේ කුමක්ද? ගහන ගැසට් නැවත හකුළා ගැනීමම වැඩක් ලෙස දැකිය හැකිය. ඉන් එහා වැඩක් නැත. වැඩක් නැති නිසාම රට වටේ යන බව නම් පෙනෙන්නට ඇත.


ගෝඨාගේ ගැසට්


ජනපති ගෝඨාගේ ගැසට් ගැහිල්ල නිහාල් නෙල්සන්ගේ කැසට් ගැහිල්ල පරදනවා නියතය. 2020 මාර්තු 19 වැනි දින සිට සායින්දමරුදු සඳහා වෙනම නගර සභාවක් ප්‍රකාශයට පත් කරමින් 2020-02-14 දින 2162/50 නමින් ආණ්ඩුව ගැසට් එකක් ගැහැව්වේය. එහෙත් ඉන් සතියක් ඉක්ම යන්නට මත්තෙන් එම ගැසට් නිවේදනය විසිකර දැමුවේය.


කොරෝනා සමයේ ජනාධිපති ජාතිය ඇමතුවේය. අමතා කීවේ පරිප්පු හා සැමන් මිල අඩු කළ බවය. ඒ අනුව සැමන් 100ටත්, පරිප්පු 65 විය යුතු බවටත් 2167/9 හා 2020-03-17 ගැසට් එකක් ගැසීය. එම මිලට සැමන්, පරිප්පු සෙවීමට ජනතාවට වෙනම පරිප්පුවක් කෑමට සිදුවිය. මේ නිසාම දින 47කට පසුව 2173/9 හා 2020-04-30 ගැසට් එකෙන් පරිප්පු හා සැමන් සඳහා වූ පාලන සහන මිල ඉවත් කළේය.


ඉඩම් අමාත්‍යාංශ නිලධාරීන් ජනාධිපති කාර්යාලයට කැඳවා දැනුම් දුන්නේ දැනට අනවසරයෙන් රජයේ ඉඩම් භුක්ති විඳින අය සඳහා ස්ථිර ඔප්පු ලබාදීමට පියවර ගන්නා ලෙසය. එසේම අනවසර හෝ ඉඩම් අල්ලා ගැනීමට සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලයද දික් කළේය. අමාත්‍යාංශය 2020-09-10 දින 2192/36 ගැසට් එකක් ගැසුවේය. ඒ හරහා රට පුරාම ඉඩම් මංකොල්ලයක් නම් අපූරුවට සිදුවිය. එය අවශ්‍ය ප්‍රමාණය වූ පසු ඉඩම් ලේකම් වහාම එම ගැසට් එක ආපස්සට ගත්තේය.


ආණ්ඩුව කහ ආනයනය තහනම් කළේය. කහ සඳහා උපරිම සිල්ලර මිලක්ද දැමුවේය. 2020-04-21 දින 2172/5 ගැසට් එකක් ගැහැව්වේය. ඒ අනුව කහ කුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රු. 750ක් විය. හත්සිය පනහට තබා හත්දහස් පන්සියයටවත් කහ කුඩු ගැනීමට නොහැකි විය. කහපාට පාන් පිටි ඒ වෙනුවට මිනිසුන් කහ කියමින් අනුභව කළේය. ඉන්පසු හීන්සීරුවේ කහ කුඩුවලට දැමූ උපරිම සිල්ලර මිල සීමාව ඉවත් කළේය. එහෙත් අදටත් කහ හිඟය.
ජනපති වී මාසයක් යනවිට කීවේ සම්බා සහ නාඩුවල උපරිම සිල්ලර මිල රු. 98ක් කරන බවය. එය ගැසට් කළේය. 2019-12-19 දින 2154/19 ලෙසටය. වැඬේ පහසු නැති බව වැටහුණු කල අලුත් හාල් ගැසට් එකක් ගැහැව්වේය. 2020-04-10 දින 2170/7 එහි වූයේ සම්බා හා නාඩු අලෙවිය රුපියල් 90ක් විය යුතු බවය. 98ටත් කරගන්නට බැරිවූ කෙළිය 90ට කරන්නට ගියේය. ආණ්ඩුව වී මෝල් වැටලීය. හාල් සෙවීමේ යුද්ධය පටන් ගත්තේය. එය තනිකරම මාධ්‍ය සංදර්ශනයක් විය. හොඳින් නොව තගින් හාල් 90ට දෙන්නට ගියේය. මෝල්කරුවෝ 90 නොව 98ම කීවෝය. ආණ්ඩුව හාල් මෝල් ඉදිරියේ හාල් කෑල්ලක් විය. 2020-06-28 දින 2177/9 ගැසට් එක හරහා එන්නේ ආණ්ඩුව හාල් කෑල්ලක් වූ ගැසට් එකය.


මංතීරු නීතිය දමා බස්, ත්‍රීවිලර් හා බයිසිකල් අනිවාර්යයෙන්ම බස් ලේන් එකේම යා යුතු බවට විධාන ගෙනාවේය. අන්තිමේ විධාන දුන් අයත් නැත. පෙර පරිදි පාර නිදහස්ය.


අවසානයේ ආණ්ඩුව පොල් මනින තැනට ආවේය. මනින්නටවත් අද පොල් සොයා ගැනීම අපහසු වී ඇත.


ඊළඟට ආණ්ඩුව පරිසර විනාශය බොරුවක් බවට නිවේදන නිකුත් කළේය. මාස දෙකක් ඇතුළත ලංකාවේ විවිධ ප්‍රදේශවල රක්ෂිත වනාන්තර සහ පරිවාර වනාන්තරවල අක්කර ගණන් ගස් කපා, පටවා ගිනි තබා විනාශ කොට දැවැන්ත පාරිසරික හානි රාශියක් සිදු කොට ඇත. ඒවා බොරු බවට ආණ්ඩුව නිවේදනයක් පවා එව්වේය.
ඒවා බොරු නොවන බව ඒවාට වැරදිකරුවන් වූ ඩෝසර පවා සාක්ෂිය. සනත් නිශාන්ත ස්ථානීය පරීක්ෂාවක්ද කර කිසිවක් සිදුවී නැතැයි කීවේය. එහෙත් ඇමතිවරයාගේ සහෝදරයා ඊට අත්අඩංගුවට ගෙන ඇප ලබා දුන්නේය. එහෙත් ආණ්ඩුව නිවේදනය කරනුයේ එවැනි විනාශයක් සිදුවී නැති බවය. ඉදිරියේදී කිරීමට නියමිත විනාශය අනුව මෙය ආණ්ඩුවට නොදැනෙන පන්නයේ විය යුතුය. කෙසේ වෙතත් මේ ආණ්ඩුව අට ෆේල්ය. එහෙත් කයිවාරු නම් එමටය. ගැසට් ගහන පරක්කුවට ඉවත් කර ගනිති. එහෙත් ඒවා මාධ්‍ය බොහොමයකට නොපෙනේ. පෙනුණද නොදැක්කා සේ සිටිති. දැන් ඇත්තේ කරබාගෙන සිටීමේ කාලයකි.


මුඛ ආවරණ පැලඳීම මිනිසුන් අමතක කර ඇතැයි දොස් පවරන ගෝඨා කිසි තැනක මුඛ ආවරණ පැළඳ ගමන් නොකරයි. අන් අයට ආදර්ශ ගැන කියා දෙන්නට පෙර ඔහු ආදර්ශමත් විය යුතුය. මේ ආණ්ඩුවේ ඇත්තේම බොරුවය. එය පරම සත්‍ය ලෙස සමාජ ගතකොට ඇත. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here