නිමල් අබේසිංහ

මීගමුව කලපුවට ඉහළින් පල්ලම් බසින සුරත් ඵල වන් හිරුගේ දසුන චමත්කාර ජනකය. කලපුවට මුහුණලා මා අසල වාඩිලාගෙන සිටින මිතුරා හෙළිකරන කතා බහ තුළ ඇත්තේ ශෝකාලාපයක් වුව එහි අවසන සතුටක් දනවන්නේ කිසිදා නෙතින් නොදුටු සිය මව්වරුන්ගේ සෙනෙහස අත්විඳින්නට වරම් ලැබු දරු දැරියන්ට ඒ උතුම් අවස්ථාව හිමිකර දෙන්නට මේ මිනිසා සාමාර්ථයකු වී ඇති හෙයින්ය.


ඔහු ඇන්ඩෘ ප්‍රනාන්දුය. පදිංචිය මීගමුව මුන්නක්කරයේය. වෘත්තියෙන් සංචාරක මග පෙන්වන්නෙකු සේම සංචාරකයින්ට ප්‍රවාහන සේවා සපයන්නෙකි.

ඇන්ඩෘ ප්‍රනාන්දු


ක්‍රීඩා ඇඳුම් සමඟ ඇරඹි මිතුරුදම

මීගමුවේ ජුපිටර් ක්‍රීඩා සමාජයේ ගෝල් රකින්නා ලෙසින් පාපන්දු ක්‍රීඩා ලෝලින් අතර ඉමහත් ප්‍රසාදයක් දිනු ඔහු වෘත්තිය ජීවිතය අරඹනුයේ ස්වයං රැකියාවක් ලෙස තමන්ගේම වාහනයකින් මෙරටට පැමිණෙන සංචාරකයින්ට ප්‍රවාහන සේවා සැපයීම මෙන්ම මාර්ගෝපදේශනයද සපයමිනි.


ඕනෑම මිනිසෙකුගේ දිවියේ සුවිශේෂි හැරවුම් ලකුණු පහලවනුයේ බොහෝවිට අපේක්ෂා නොකළ අයුරින්ය. ඇන්ඩෘට ද එය පොදුය. ෆුට්බෝල් ක්‍රීඩකයින් සඳහා ක්‍රීඩා ඇඳුම් කට්ටල තොගයක් රැගෙන නෙදර්ලන්ත ජාතික පීටර් බ්‍රොන්ගා මීගමුවට පැමිණියේය. මේ ඇඳුම් ප්‍රදානය කිරීමේ කර්තව්‍යයට ඇන්ඩෘ හවුල්වන්නේ ඔහුගේ මිතුරකුගේ ඇරයුම මතය.
නෙදර්ලන්ත පීටර් බ්‍රොන්ගා හා මීගමුවේ ඇන්ඩෘ සිල්වා සමීප මිතුරන් වන්නේ මේ හමුව සමඟය. පීටර් ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය දැරිවියන් තිදෙනෙකු දරුකමට හදාගත් අයෙකි. ඔහු හදාගත් දැරිවියනට තමන්ගේ මව්වරු සොයා ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවක ඔවුන් සොයා දෙන්නේ ඇන්ඩෘය. ඔහු පවසන විදියට මේ දැරිවියන් රැගෙන ගොස් ඇත්තේ වත්තල කන්‍යාරාමයකිනි.


ප්‍රභූ කාන්තාවන්ගේ ඩීල්


ඊළඟ ජවනිකාව ආරම්භ වන්නේ 2001 වසරේදීය. නෙදර්ලන්තයේ පවුලක් විසින් මෙරටින් රැගෙන ගිය දැරියක් හදාවඩාගත් දෙමාපියන් සමඟ මෙරට පැමිණෙන්නේ ඇයගේ මව සොයාගෙනය. දැරිය නෙදර්ලන්ත ජාතිකයන්ට ලබාදීමේ ගනුදෙනුවේ ඩීල්කාරිය ගල්කිස්සේ ප්‍රභූ නෝනා මහත්මාවකය.

නෙදර්ලන්තයෙන් පැමිණි මෙම තිදෙනා ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන්නේ ඇන්ඩෘගේ වාහනයේය.
ඩොලර් 400 ඒ අයට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒත් දරුවා නෙදර්ලන්තයට රැගෙන යන්න සම්බන්ධය ඇති කළේත් උදව් කළේත් මේ කාන්තාව නිසා ඔවුන්ට කිසියම් සැකයක් ඇතිවෙලා තිබුණා. ඇත්තටම මේ කාන්තාව කරලා තියෙන්නේ බිස්නස් එකක්.


පස්සේ ඒ අය මගෙන් ඇහැව්වා ඒ අයට උදව් කරන්න හැකිද කියලා. මම හා කිව්වා.
දරුවාගේ මව ගැන ලොකු විස්තරයක් නොතිබුණද, ඔහු තිබෙන තොරතුරු අනුව හෝමාගම කපුරුගොඩ පාර සොයාගෙන ගියේය. කඩයකින් විස්තර විමසන විට එතන සිටි කාන්තාවක කියා ඇත්තේ ඒ ඇගේ නැන්දනිය බවය. තවදුරටත් සොයා බලද්දී එකී කාන්තාව පරිවාස සේවය කළ කාන්තාවක බවද ඔහුට සොයාගත හැකිවිය. මේ පෑදුණු පොට ඔස්සේ අදාළ කාන්තාව සොයාගන්නට ඔහු සමත්විය. එකී කාන්තාව දැරියගේ මව සොයාදෙන්නට සමත්වන අතර ඇය ඇන්ඩෘට තවත් රහසක්ද හෙළි කළාය. ඒ ගල්කිස්සේ මහත්මාව ව්‍යාපාරයක් වශයෙන් පිටරැටියන්ට දරුවන් සපයා දෙන බවය. නෙදර්ලන්තයේ විසූ ඒ ශ්‍රී ලාංකික දැරියගේ නම අමන්දි ටොනස්මා ය.


මේ සිදුවීමත් සමඟ ඇන්ඩෘට දරුවන්ගේ මව්වරු සොයාගැනීමට ඉල්ලීම් ලැබෙන්නේය. ඒ නුවරඑළියේ සහ මඩුවන්වල ප්‍රදේශයෙන් රැගෙන ගියේ යැයි කියන දරුවන් දෙදෙනෙකුගේ මව්වරුන් සොයා දීමටය.


ඉස්සරලම ගියේ නුවරඑළියට. මවගේ නම ගමඇතිගේ අයිරාංගනී. බැලුම්ගල, නුවරඑළිය කියල තමයි ලිපිනය තිබුණේ. ඒ පැත්තේ කඬේකට ගිහින් අහනකොට කීව ඔය කියන වාසගම තිබෙන කෙනෙක් අර මොන්ටිසෝරියේ ඉන්නවා ගිහින් අහන්න කියලා. මොන්ටිසෝරියට ගිහින් අහපුවම එයා කීව ඔය මගේ නෑනා. යමු ගිහින් හම්බවෙමු කියලා. ඒ ගිහින් අහපුවම ඒ ගෑනු කෙනා කීවා කතාව ඇත්ත. මම දරුවා වත්තල කන්‍යාරාමයකට දුන්නා කියල. ඒ වැඩෙත් ලේසියෙන්ම හරිගියා.


මඩුවන්වෙල බේබිනෝනා


මේ දරුවන්ගෙ මව්වරුන් පහසුවෙන් සොයාගත්තද අනෙක් දරුවාගේ මව සොයාගැනීම ඇන්ඩෘට එතරම් පහසුවී නැත. එහෙත් ඔහු එය ලෙහෙසියෙන් අත්හරින්නටද අකමැතිය. එ නිසා ඔහු අනෙක් දරුවාගේ මව සොයා හඹා ගියේ ශුර රහස් පරික්ෂකයකු විලාශයෙනි. මේ සිද්ධිය ඔහු විසඳාගත් අයුර කියවන ඔබට ෂර්ලොක් හෝම්ස් නම් රහස් පරික්ෂකයා සිහිගැන්වෙන්නේ නිතැතිනි. එක් අතකින් ෂර්ලොක් හෝම්ස් පොතේ සිටින රහස් පරික්ෂකයෙකි. ඇන්ඩෘ එසේ නොවේ. ඔහු ප්‍රායෝගික රහස් පරික්ෂකයෙකි.


“ගංගා” නම් අනෙක් දැරිවියගේ ලිපිනය තිබුණේ රත්නපුර වේවැල්වත්තේ බඹරබොටුව කියන ගමේ එහෙත් මවගේ ගම විදියට සඳහන් වෙලා තිබුණේ මඩුවන්වෙල. ඒකත් හරියට පැහැදිළිව තිබුණේ නෑ. සැකයට තමයි එහෙ ගියේ.
උඩවලවට සංචාරකයන් රැගෙන ගිය අවස්ථාවක ඇන්ඩෘ නගරයේ සිටි අයකුගෙන් මඩුවන්වෙල ගැන ඇසුවේය. ඔහු පෙරළා ඇන්ඩෘගෙන් අහන්නේ අලුත් ජනපදය ගැනද නැතිනම් පැරණි ගමද ඔබ අහන්නේ යනුවෙනි.
සැකයට මෙන් ඔහු පවසන්නේ පැරණි ගම යන්නය. මඩුවන්වෙල ගැන ඇන්ඩෘ අසා තිබුණද ඔහු එහි ගොස් තිබුණේ ද නැත. වැඩි විස්තර සොයද්දී උඩවලවේ සිට සැතපුම් 18 ක් පමණ දුර මඩුවන්වෙලට යා යුතුය. ඔහු පසුදිනම මඩුවන්වෙලට යාමට සුදානම් වූයේය. අතරමග හමුවු අයෙකුගෙන් විස්තර විමසුවේය. ඔහු කීවේ ඔහුගේ මාමා මඩුවන්වෙල හිටපු ග්‍රාම නිලධාරියා බැවින් ඔහුගෙන් විස්තර ලබාගත හැකි බවය. ඇන්ඩෘ ඔහුද වාහනයට නංවාගෙන මඩුවන්වෙල ගොස් ග්‍රාම නිලධාරියා මුණ ගැසුණේය. “රදීගේ බේබිනෝනා” “ආ ඔය උන්දැ ඒ කාලේ ළමයින්ගෙ හුටපටයක් කළා තමා” නම කියූ සැණින් ග්‍රාම නිලධාරියාගේ මුවින් පිටවිය.


ඔවුහු බේබි නෝනා මුණ ගැසුණහ. ඇය මුලින් කීවේ තමන් එවැන්නක් කිසිදා සිදු නොකළ බවය. පසුව ඇන්ඩෘ ගංගා පාරුඩා හියුස්මන් නම් දැරිවියගේ ඡායාරුපයක් පෙන්වා ඇය නෙදර්ලන්තයේ සිටින බවත් ඇය මවට උදව්කිරීමේ අපේක්ෂාවෙන් සිටින් බවත් පැවසූ විට බේබි නෝනා කියා ඇත්තේ “ඔව් ඒ දරුවා මගේ දරුවා තමා යනුවෙනි” ඉන්පසුව දැරිය පැමිණ බේබිනෝනා මුණගැසී උදව්ද කර තිබුණද ඇන්ඩෘ බේබිනෝනාව විශ්වාස නොකළේය. එනිසා බේබිනෝනාව ඩී. එන්. ඒ පරික්ෂාවකට කොළඹ කැඳවාගෙන විත් කළ පරීක්ෂණයේදී ඇයගේත් දැරියගේත් ජාන අසමාන විය.


මැණිකෙගෙ ළදරු තවාන


ඇන්ඩෘ එතකින් වැඬේ අත් හරින්නට සුදානම් නැත. ඔහු දිගින් දිගටම බේබි නෝනාගෙන් ප්‍රශ්න කළේය. අවසානයේ ඇය රහස හෙළිකළාය.


“මට ඔය ළමයා දීලා අම්මා විදියට ඉදිරිපත් වෙන්න කීවේ හෙට්ටිආරච්චි මැණිකේ”
ඇයගෙන්ම හෙට්ටිආරච්චි මැණිකෙගේ ගැන විස්තර විමසුවේය. ශ්‍රීමා මැණිකේ හෙට්ටිආරච්චි, ගල්ලෑල්ල, වේවැල්වත්ත. වේවැල්වත්තට ඇන්ඩෘ යනවිට ශ්‍රීමා මැණිකේ හෙට්ටිආරච්චිගේ තොරතුරු සොයා ගත්තේය. රත්නපුර රෝහලේ උපස්ථායිකාවක සේ සේවය කළ ඇය අමතර ව්‍යාපාරයක් ලෙස පිටරැටියන්ට දරුවන් විකිණීමේ ව්‍යාපාරයක් ජයටම කරගෙන ගොස් ඇත. ඇයගේ නිවසේ නිරන්තරයෙන්ම කුඩා බිළිදුන් හත් අටදෙනෙකු හදා වඩාගෙන ඇති අතර ඔවුන් බලාගැනීම සඳහා සේවිකාවන්ද සිට ඇත. දරුවන් විකිණීමට කැමැත්ත දැක්වූ ගැබිණියන්ද දරුවන් සමඟ මව්වරුන්ද රඳවාගෙන සිට ඇත. මේ දරු ජාවාරමේ සුල මුල ඔහු සොයාගත්තද අවාසානාවකට මෙන් ශ්‍රීමා හෙට්ටිආරච්චි මැණිකේ සහ ඇයගේ දරුවන් සිව්දෙනාද 1989 භීම සමයේදී නිවෙස තුළ මරා දමා බැවින් බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමේ අවස්ථාව අහිමිව යන්නේය. එහෙත් ඔහු පසුකලෙක මෙම කාන්තාව විසින් රෝහලේ ඉපදුන දරුවන් මියගිය බව ඔවුන්ගේ මව්වරුන්ට පවසා පැහැරගෙන ගිය අවස්ථා දෙකක් හෙළිදරව් කරගන්නේ එකී මව්වරුන්ගෙන්මය. 1989 භීෂණ සමයේදී මේවා සිදුවූ බැවින් මව්වරුන්ට කිසිවක් කරකියාගත නොහැකි වී ඇතිවා සේම ඔවුන්ගේ දිළිඳු අසරණභාවයද එයට හේතුවී තිබේ.


ශ්‍රීමා හෙට්ටිආරච්චි මැණිකේගේ ස්වාමි පුරුෂයා මෙන්ම පිටරැටියන්ට දරුවන් අලෙවිකිරීම සඳහා එක්වර දරුවන් හතර පස්දෙනා කොළඹට රැගෙන යනවිට හෙට්ටිආරච්චි මැණිකේ සහාය කරගත් ආරක්ෂකයාද සොයාගැනීමට ඇන්ඩෘ සමත් වන්නේය.
හෙට්ටිආරච්චි මැණිකේ හරහා දරුවෙකු පිටරැටියකුට අලෙවි කළ තවත් ගැහැණියක වන්නේ බේබිනෝනාය.


නර්ස්ගේ මල්ලෙ දරුවෙක්


දෙදහ වර්ෂයේදී පමණ ඇන්ඩෘ තවත් පුදුම සහගත ලෙසින් දරුවකුගේ මව සොයා ගත්තේය. දරුවා ඉපිද ඇත්තේ ගොඩකවෙල රෝහලේදීය. මේ දරුවාගේ මව රෝහලට පැමිණෙන විට ගැබිණි වාට්ටුවේ සිටි හෙදියක් ඇහැ ගහගෙන සිටියාය. දරුවා ඉපදුණ පසු තමන්ට දෙන ලෙසත් ඇයගේ සහෝදරයා වෛiවරයකු බවත්, ඔහුට දරුවන් නැති බැවින් මේ දරුවා දරුකමට හදාගන්නා බවත් පවසා දරුවා ඉල්ලුවෙන් මව එයට එක පයින් කැමති වූවාය.
දරුවා රැගෙන යාමට මේ හෙදිය කොපමණ තදියම් වීද යත් දරුවා ඉපදි දින දෙක තුනකින්ම ඔහුව බෑගයකට දමාගෙන හෙදිය රෝහලෙන් පිටවූවාය. කුමක් හෝ හේතුවකට රෝහලේ ආරක්ෂකයින් බෑගය පරික්ෂා කළ විට එහි සිටි දරුවාව දැක ගත හැකි වූයෙන් ඔවුහු හෙදිය සමඟ දරුවාද පොලිසියට භාර දුන්හ. හෙදියට දින දෙකක් පොලිසියේ සිටින්නට සිදුවූවවත් මව දරුවා ඇයට භාරදුන්නේ කැමැත්තෙන් බව ප්‍රකාශ කිරීම නිසා හෙදිය නිදහස් වී ඇති අතර දරුවා පරිවාස භාරයට යවා ඇත. මේ දරුවා ද පිටරටකට විකිණී තිබේ. එය සිදුවුයේ කෙසේද යන්න “ගැටලුවකි” කෙසේ නමුත් මේ දරුවා ද සිය මව සොයාගන්නට උදව් පැතුවේ ඇන්ඩෘගෙනි. ඔහු දරුවාගේ මව සොයා දුන්නා පමණක් නොව ඩී.එන්.ඒ පරික්ෂණයකින්ද එය තහවුරු කරගෙන තිබේ.


මෙම දරුවා සිය මව බලන්නට ගොඩකවෙලට පැමිණියේ ඇන්ඩෘ සමඟය. ඒ අවස්ථාවේදී දරුවා බෑගයක දමාගෙන ගිය හෙදිය දරුවාගේ මවගේ මාර්ගයෙන් ඇන්ඩෘගේ දුරකථනයට කතාකර ඇයටද රුපියල් ලක්ෂ 10 ක් අවශ්‍ය යැයි ඉල්ලා ඇත. ඒ කුමකටදැයි ඇන්ඩෘ ඇයගෙන් විමසූවිට කියා ඇත්තේ මේ පවුලට උදව් කළේ තමන් බැවින් ඒ මුදල අවශ්‍ය බවය.


ඇන්ඩෘ ගේ විශේෂත්වය වන්නේ කොතරම් වෙහෙසක් දරා හෝ මෙවැනි දරුවන්ගේ මව්වරුන් සොයාගත්තද එතකින් නොසෑහි සැමවිටම ඩී.එන්.ඒ පරික්ෂණයක් මගින් සත්‍යතාව තහවුරු කරගැනීමට උනන්දු වීමය.


ළමා ලිංගික අතවර


විදේශයන්ට විකුණු සෑම දරුවෙකුගෙම පාහේ අතීත කතාව අතිශය දුක්ඛ දායකය. බොහෝ මව්වරුන් අගහිඟකම් හෝ අතවරයට පත්වූ අවස්ථාවන්හීදි තම දරුවන් මෙසේ අන් අයට දීමට පෙළඹී තිබේ. සැබැවින්ම මව්වරුන්ට සතපහක්වත් ලැබී නැතිමුත් මේවාට සහ සම්බන්ධ ජාවාරම්කරුවෝ යහමින් මුදල් උපයාගෙන ද ඇත. නීතිඥයින් ප්‍රසිද්ධ දානපතියන් පමණක් නොව දේශපාලන සබඳතා ඇත්තවුන්ද මේවාට දායක වී තිබේ. ඒ ගැන තොරතුරු ඇතද මේ මොහොතේ ඒවා හෙළිදරව් නොකරමු. සීදුව අඳගොළු බිහිරි ආයතනයේ නේවාසිකව සිටි වයස අවුරුදු 14 ක දැරිවියක අතවරයට පත්වූවාය. ඇයට උපන් දරුවාද ළමා නිවාසයක් හරහා පිටරට යවා ඇත. මේ දරුවාද ඇන්ඩෘගෙන් මව සොයාදෙන ලෙස ඉල්ලීමක් කරනු ලදුව රටපුරා රවුම් ගසා කෙසේ හෝ මේ කථන ආබාධ කාන්තාව සොයාගත්තාය. ඇයගේ නිවෙසට ගොස් මේ ගැන විමසන ලදුව ඇයගේ සහෝදරිය පවසා ඇත්තේ ඇයට එවැනි දරුවකු නොසිටි බවය. එහෙත් එය ඔවුන් ප්‍රතික්ෂේප කළෙන් තවදුරටත් සොයා බලා තමන්ට දන්වන ලෙස පැවසු ඇන්ඩෘ සිය දුරකථන අංකය දී ආපසු ආවේය.


දින කිහිපයකින් ඇයගේ සහෝදරියක් ඇන්ඩෘ අමතා පවසන්නී කතාව ඇත්තක් බවය. එපමණකුදු ඇය තවදුරටත් කියා ඇත්තේ මේ කථන ආබාධිත දැරිවිය සමග තවත් ආබාධිත දැරිවියකද අතවරයකට බඳුන්ව ඇයද දරුවකු බිහිකර ඇති බවය. එදා ඔවුන්ට තර්ජනය කර බියගැන්වූ බැවින් රහස සඟවාගෙන සිටි බවට ඇය කියු බවත් සහෝදරිය ඇන්ඩෘට කියා තිබේ. පුදුමය නම් මේ මවගේ හා දරුවාගේ ඩී.එන්.ඒ සැසඳී තිබීමය.


දරුවා පරිවාසයේ මව මානසික රෝහලේ


තවත් අවාසනාවන්ත කතාවක් මෙසේය. රත්නපුර නගරයට සංචාරකයින් දෙපළක් රැගෙන ගිය ඇන්ඩෘ නවාතැන් ගන්නේ ප්‍රසිද්ධ හෝටලයක් වන රත්නාලෝකයේය. නෙදර්ලන්තයෙන් ලද දැවැන්ත ස්ටිකරයක් ඇන්ඩෘගේ වාහනයේ අලවා තිබෙනු දුටු එහි සිටි තවත් සංචාරක යුවලක් ඒ ගැන විමසිලිමත්ව ඇන්ඩෘ සමග ගිය ප්‍රංශ ජාතික සංචාරකයින් දෙදෙනාගෙන් ඒ ගැන විමසා තිබේ. එහිදී ඇතිවූ සුහද කතාබහේදී නෙදර්ලන්ත යුවල පවසා ඇත්තේ තමන්ද කුරුවිට පරිවාසයේ නිවාසයේ සිටින දරුවකු නීත්‍යානුකූලව රැගෙන යාමට ආ බවය. ඒ 2006 වසරේදීය. රත්නපුරයේ සිට කුරුවිටට ගොස් දරුවා වඩාගෙන සිට තම අතට හුරුවෙන තුරු හිඳ සතියකින් දරුවාත් රැගෙන නෙදර්ලන්තයට පිටත්වන බව ඔවුහු ඇන්ඩෘට කීහ.


ඇන්ඩෘගේ ප්‍රථම උපදේශය වූයේ දරුවා රැගෙන යන්නේ නම් ඔහුගේ මවගේ තොරතුරු සොයා මව කවුදැයි නිශ්චිතවම දැනගෙන දරුවා රැගෙන යන ලෙසටය.


එවිට ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ ඔව් අම්මා සිටිනවා. ඒත් ඇය සිටිනුයේ අංගොඩ මානසික රෝහලේ බවය. පසු කලෙක මේ දරුවාගේ මව සොයාදීමේ වගකීම පැවරෙනුයේද ඇන්ඩෘටමය.


නම්ගම් වං හුං කිසිවක් හෙළිනොකරමින් මේ මවගේ අවාසනාවන්ත කතාව පමණක් මෙහි සටහන් කරමු.
මේ මව 2005 මැතිවරණ සමයේදී සිය වැඩිමහල් සහෝදරයා සහ තවත් ඔහුගේ මිතුරන් දෙදෙනෙකුගෙන් අතවරයට පත්වන්නේය. ඒ හේතුවෙන් දරුවා උපන්විට ඇයට මානසික ආබාධයක් ඇතිවිණ. ඇය සුවපත් වන විට දරුවා කොහිදැයි ඇය නොදනී. එහෙත් මේ වන විට ඇය සුවපත්ව සිටිනවා පමණක් නොව ඇන්ඩෘගේ මැදිහත්වීමෙන් ඇයට ඇගේ දරුවා දැකගන්නට අවස්ථාවද එළඹ ඇති අතර ඔහුගේ උදව් උපකාරද ඇයට ලැබෙයි.


කනගාටුවට කරුණ වන්නේ ඇයට අතවර කළවුන් වෙනුවෙන් පැවති නඩුව සම්බන්ධයෙන් ඇයගේ පවුලේ උදවිය උනන්දුවක් නොදැක්වීමය. එහෙත් ස්වභාවික යුක්තිය ඉටුවීමෙන් විත්තිකරුවන් දෙදෙනෙකුම නඩුව පැවතෙද්දීම මියගොස් ඇති අතර ඇයගේ සහෝදරයා චෝදනාවලින් නිදහස් වී තිබේ. නඩුවට පෙනීසිටි නීතිඥවරයා පවසන්නේ ඇයගේ පවුලේ උදවිය ඒ ගැන දැක්වූ උදාසීනත්වය නිසා එසේ වූ බවය.


දරුවන් 15 දාහක් විදේශවලට ගෙනිහින්

ඇන්ඩෘ කියන විදියට වර්ෂ 1980 හා 1990 දශකවල ශ්‍රී ලංකාවේ දරුවන් විශාල වශයෙන් පිටරැටියන්ට දරුකමට හදාගැනීම සඳහා දී ඇත. එය ප්‍රමාණයෙන් 15,000 ක් පමණය. මෙසේ රැගෙන ගිය දරුවෝ සියළු දෙනාම පාහේ නෙදර්ලන්තය, ප්‍රංශය, ස්විඩනය වැනි රටවල යහතින් කල් ගෙවති. ඒ ඔවුන් හදාවඩාගත් දෙමාපියන්ද යහපත් වූවන් වන හෙයිනි. මේ සැමදෙනෙක්ම පාහේ සිය මව්වරුන් දැකගැනීම ට දැඩි ආශාවෙන් පසුවෙති. ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ මේ දරුවන් රැගෙන යනවිට ඔවුන් වෙනුවෙන් නිකුත් කළ සහතික මෙන්ම තොරතුරුද බොහොමයක් ව්‍යාජ ඒවා වීමය. මවගේ නම ලිපිනය පමණක් නොව ඉපදුන ස්ථානය පවා වැරදි ඒවාය. නිවුන් දරුවන් ලෙස හඳුන්වා දුන් දරුවන් නිවුන්නන් නොවේ. එවැනි පිරිස 15,000 ක් වුවත් ඒ සියල්ලම ඇන්ඩෘගේ සහාය ඉල්ලාද නැත. ඔහුට ලද ඉල්ලීම්වලින් මේ වන විට ඉටුකර දී ඇත්තේ 250 ක් පමණකි. අසූව, අනූව දශක වල ශ්‍රී ලංකාවේ සිදුවූ දරුවන් පිටරැටියනට විකිණීමේ ජාවාරම මහා පරිමාණයෙන් සිදුව තිබේ. රජය ළමා නිවාස මෙන්ම ආගමික ආයතනයන් යටතේ පාලනය වන ළමා නිවාසවල සිටි දරුවෝද එසේ යැවූ පිරිස් අතර සිටිති. රෝහල් උසාවි – රෙජිස්ටාර් කාර්යාලවලට සම්බන්ධවුවන්ද මේ ජාවාරමේ කොටස්කරුවන්ව සිට ඇත. රත්නපුර රෝහලේ හෙදියද මේවාට හොඳම නිදසුනකි.


මෙයට අමතරව කිරුලපන, ගල්කිස්ස. මොරටුව නුගේගොඩ ආශ්‍රිතව මෙම ජාවාරමේ යෙදුන ජාවාරම්කරුවන් සිට ඇත. ඔවුන් මේ ජාවාරමේ මහමොළකරුවන්ය.


මේ අතර එසේ විදේශයනට රැගෙන ගිය දරුවන්ගේ මව්වරුන් සොයාදීමේ ව්‍යාපාර මෙන්ම එවැනි දරුවන්ගේ මුදල් ගසාකෑමට ආයතන පිහිටුවාගෙන ජාවාරම්කර සිරගත වූ පුද්ගලයකු ගැන ද තොරතුරු තිබේ. එවැනි දෑ අතරේ ඇන්ඩෘ සිය මෙහෙවර කරනුයේ මුදල් යන සංකල්පය අතහරිමිනි. වසර ගණනාවක සිට ඔහුට මෙය කරදරයකින් තොරව පවත්වාගෙන යා හැකිව තිබෙන්නේ ඔහුගේ පවතින අවංකකම නිසාය. මුදල් පසුපස හඹායන ලොවක ඇන්ඩෘ වැනි පුද්ගලයින් අරුමැසියන්ය. ඔහුගේ දුරකථනය 0779941919

මේ දරුවෝ මව්වරුන් සොයති

රෝහිත
උපන්දිනය – 1991.08.22 කළුතර රෝහල
මව – වාහලතන්ත්‍රිගේ කාන්ති
අත්වැල්තොට, මොරපිටිය

නිලන්ති
උපන්දිනය – 1986.02.15
මව – ගොඩකුමාරගේ සෝමාවතී

සන්ධ්‍යා
උපන්දිනය – 1985.12.23
මව – සෙල්ලපෙරුමගේ කල්‍යාණවතී

නාමලී
උපන් දිනය – 1982.07.21
මව – ග්ලැඩිස් ජයකුමාරි
නාවලපිටිය

පද්මිණි දිල්හානි
උපන්දිනය 1898.02.15
මව මහගෙදර හේමලතා