නිමල් අබේසිංහ

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසාදමා මේ වනවිට වසර 34 කට ආසන්නය. දිරායමින් තිබෙන යන්ත්‍ර සූත්‍ර යාන වාහන ඇතුළු එහි දේපොළට වන විනාශය ගැන විවිධ මාධ්‍යවලින් කතා බහටද ලක් කෙරුණි. ඒ හා බැඳුණු නවතම ප්‍රවෘත්තිය වුයේ බඩඉරිඟු ව්‍යාපෘතිය සඳහා අක්කර 2000 ක භූමියක් සකසා තිබුණද එයද අතරමඟ ඇනහිටීමය.
අතීතයේ සීනි නිශ්පාදනය කළ දැවැන්ත කර්මාන්ත ශාලාවක් මෙන්ම සීනි කර්මාන්තයට අවශ්‍ය උක් වගා කිරීම සඳහා අක්කර 22000 ක්ද එය සතුවේ.


කම්හලේ ඉතිහාසය


වසර 34 ක් තිස්සේ අතහැර දමා තිබෙන මෙම කර්මාන්තය නැවත ඇරඹීම සඳහා රජයේ උත්සාහයක් තිබුණද කරුමයකට මෙන් එය තවමත් ආරම්භ කිරීමේ බාධා වැටකඩොළු නිර්මාණය වෙමින් තිබේ. මේ කතාව ඒ සම්බන්ධයෙනි.

වර්ෂ 1960 ඔක්තෝබර් මස 02 දින අරඹන ලද කන්තලේ සීනී කර්මාන්ත ශාලාව මුළුමනින්ම චෙකොස්ලොවැකියානු රජයේ ප්‍රදානයකි. ඒ යුගයේදී මෙය හඳුන්වනු ලැබුවේ ආසියාවේ විශාලතම සීනි කර්මාන්තශාලාව යන විරුදාවලියෙනි.


එතැන් පටන් වර්ෂ 1986 දක්වා අතිශය සාර්ථක ව්‍යාපාරයක් ලෙසට ක්‍රියාත්මක වුයේය. එතැන් පටන් ක්‍රමයෙන් දුර්වල වෙමින් අභාවයට ගිය කර්මාන්ත ශාලාව අවසන වසා දමනුයේ සිදු වූ පාඩුව තවදුරටත් දරාගත නොහැකි බැවිනි. වසා දමන ලද මෙම කර්මාන්ත ශාලාව යළි විවෘත කර පවත්වාගෙන යා යුතු බවටත් එය රජයේ සහ පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් සිදු කළ යුතු බවටත් කතිකාවතක් ඇතිවන්නේ වර්ෂ 2011 දී පමණය.


වැසුණු කර්මාන්තය නැවත ඇරඹීමේ උත්සාහය


දෙදහස් පහළොව වසරේදී කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ඇරඹීම සඳහා එවකට පැවති රජය විසින් කටයුතු සුදානම් කළ බව එවකට ඉඩම් අමාත්‍යවරයා වූ ඇම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන විසින් ඉදිරිපත් කරනු ලබන කැබිනට් සංදේශ අනුව පැහැදිලි වේ. 2015.02.14, 2015.06.17 දිනැති එම කැබිනට් සංදේශ අනුව ප්‍රසිද්ධ ටෙන්ඩර් මගින් ආයෝජකයින් කැඳවනු ලදුව එම්. ජී. සුගර් ලංකා ප්‍රයිවෙට් ලිමිටඞ් (MG SUGAR ZANK (PVT) LIMITED) සමාගමට පවරා තිබේ. එහෙත් ව්‍යාපෘතියේ කොන්දේසි අනුව ආයෝජකයාට 49% ක් ද ශ්‍රී ලංකා රජයට 51% ක් ද හිමිවෙන බව මේ සඳහා වු ගිවිසුමෙහි සඳහන් කර ඇත.

උක්ත ගිවිසුම අනුව වසර තිහක කාලයක් මෙම සමාගමට කන්තලේ සීනි ව්‍යාපෘතිය හිමිවන අතර ඉන්පසුව එය ශ්‍රී ලංකා රජයට හිමිවේ. ව්‍යාපෘතිය සඳහා ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 100 කි. එය දරනුයේද ආයෝජන සමාගම විසින්මය.


ව්‍යාපෘති ප්‍රකාරව ප්‍රථම අදියරේදි වාර්ෂික සීනි නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් 80000කි. එයට අමතරව කර්මාන්ත ශාලාවෙන් බැහැර කෙරෙන අපද්‍රව්‍යවලින් මෙගාවොට් 30 ක ධාරිතාවයකින් යුත් පුනර්ජනනීය බලශක්ති බලාගාරයක්ද දිනකට ලීටර් 30 ක ධාරිතාවයෙන් යුත් එතනෝල් නිෂ්පාදන ව්‍යාපෘතියක්ද මෙමගින් සිදු කෙරේ.

එයිනුත් බැහැරව අවසන් අපද්‍රව්‍ය වලින් කාබනික පොහොර හා සත්ව ආහාර නිෂ්පාදන ව්‍යාපෘතියක් ද සිදු කෙරෙයි. එනයින් බලන කළ මෙම සමස්ථ ව්‍යාපෘතිය තුළින් විවිධ නිෂ්පාදන රැසක් බිහිවෙයි. ව්‍යාපෘතිය ඔස්සේ සිදුවෙන ඍජු සහ වක්‍ර රැකියා අවස්ථාවන්ද විශාල ප්‍රමාණයක් බව සැළකිය හැකිය. එයින් ඍජු රැකියා අවස්ථාවන් 4500 ක් බිහිවේ. වර්ෂ 2016 අගෝස්තු 11 දින මේ සඳහා වන ගිවිසුම අත්සන් කර තිබුණද ? මේ වන තුරුත් සීනි කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක තලයට ගෙනඒමට නොහැකි වූයේ ඇයිද යන ගැටලුව පැන නගී. ඒ ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව කර්මාන්තශාලා භූමිය සහ කර්මාන්ත ශාලාවත් උක්පැළ තවාන සඳහා වන භූමියක් නිදහස් කර තිබීමේ පසුබිමක් තුළය. ඒ අතරේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ගිවිසුම් ප්‍රකාරව ඇමරිකන් ඩොලර් මිලියන 10 ක බැංකු ඇපකරයක්ද ගිවිසුම්ගත සමාගම විසින් තබා තිබෙන බවද කැබිනට් සංදේශයන්ට අනුව හෙළිවේ.


ව්‍යාපෘතිය ආරම්භ කරනු වස් සමාගම විසින් වරින් වර මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 08 කි. ඒ 2015.09.09 සිට 2020.11.20 දක්වා කාලය තුළය. මින් 2015.09.09 දාතමින් යුතුව එවා ඇති ඇමරිකන් ඩොලර් 100000.00 බැංකු ඇපකරය වෙනුවෙන් මෙරටට එවන ලද මුදල්ය.


මෙහිලා වඩාත් වැදගත් වනුයේ මෙම ව්‍යාපෘතිය සඳහා කිසිසේත්ම දේශිය අරමුදල් යොදාගත නොහැකිය යන කොන්දේසියක් ගිවිසුමේ ඇතුළත්ව තිබීමය. ඒ අනුව මෙය පූර්ණ වශයෙන් විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නැවතද ප්‍රශ්නගත වනුයේ එසේනම් මෙකී ව්‍යාපෘතිය දියත් නොවුයේ ඇයිද යන ප්‍රශ්නයය. ඒ සඳහා පිළිතුරක් එවකට රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ විසින් 2017.08.15 දාතමින් යුතුව පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කාර්යාංශයේ ලේකම්වරයා අමතා යවන ලද ලිපියෙන් පැහැදිළි වේ.


“මේ අනුව කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යළි ආරම්භ කිරීම සඳහා රජයේ ආයෝජන ප්‍රතිපත්තියට අනුව පූර්ණ වශයෙන් කැපව ඇතත් එය ක්‍රියාකාරි තලයට ගෙන ඒමට නොහැකිව ඇත්තේ ඉඩම් අමාත්‍යාංශයේ නොසැලකිල්ලත්, මුදල් අමාත්‍යාංශයේ නිසි අධික්ෂණය හා මෙහෙයවීමත් නොමැතිකම නිසා බවට චෝදනාවක් ඇත.


අබලි යකඩ සෙල්ලම


තත්ත්වය එසේ පවතිද්දී කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ පිහිටි අබලි යකඩ විකිණීම සඳහා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පුවත්පත් මගින් ටෙන්ඩර් කැඳවා තිබුණි.


මෙය නීත්‍යානුකූල වුවක් නොවන බව නීතිපතිවරයා විසින්ද තහවුරු කර තිබේ. කෙසේ වුවත් එම අබලි යකඩ වෙන්දේසි අනුව වැඩිම ලංසුවක් ඉදිරිපත් කළ පුද්ගලයා ඉදිරිපත් නොවුයෙන්, රුපියල් මිලියන 530 කට මිළ ගණන් ඉදිරිපත් කළ දෙවැනි ගැණුම්කරුට ටෙන්ඩරය ලබාදීම සඳහා කැබිනට් අනුමැතියක්ද ඉල්ලා ඇත. පසුව මෙම අබලි යකඩ ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමට සුදානම් වූ අවස්ථාවේදී ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා අත් අඩංගුවට පත්ව මේ වන විට සිරදඬුවම් විඳිමින් සිටී. අල්ලස් ලබාදීමට ඉදිරිපත් වූ සහ ඒ ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා වන කේ. පී. නාගරාජා නමැත්තා එවකට එම්. ජී. සුගර් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයාය. ඔහු එසේ කළේ ඇයිද යන්න වෙනමම කතා කළ යුත්තකි.

කෙසේ වුවද මෙම ගැටුම් සහ ආරවුල් නිසා සිදුව ඇත්තේ කන්තලේ සීනි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම දිගින් දිගටම ප්‍රමාද වීමය. එය මෙරටේ කිනම් පාර්ශ්ව වලින් සිදුවූ බාධාවන්ද යන්න ගැන සොයා බැලීමෙන් ඵලක් වේ යැයි සිතිය නොහැකිය.


බේරුම්කරණ තීන්දුවක්


කෙසේ වුවද අබලි යකඩ විකිණීම සම්බන්ධයෙන් ඇතිවු ආරවුලද දුරදිග ගොස් අවසානයේ එම්. ජී. සුගර් සමාගම එම ආරවුල බේරුම්කරණය කරගැනීම සඳහා සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ (Singapore International Arbitation Center) ආයතනය වෙත ගොස් තිබේ. එම ආයතනය විසින් දෙන ලද තීන්දුව අනුව ශ්‍රී ලංකා රජය විසින් උක්ත එම්. ජී. සුගර් සමාගමට වන්දි ගෙවිය යුතු බවට තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇත.


මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ කැබිනට් සංදේශය


එකී තීන්දුව තහවුරු කරන සහ මෙම අර්බුදයේ ප්‍රමාණය කියැවෙන කැබිනට් සංදේශයක් ඇත. මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව 2020 ජනවාරි 30 දාතමින් යුතු එම අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් පැහැදිළිවෙන තොරතුරු උද්ධෘත ඇසුරින්ම ඉදිරිපත් කළ හැකිය.


අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය අනුව 2016 අගෝස්තු මාසයේදී කන්තලේ සීනි කර්මාන්ත සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් එම්. ජී. සුගර් පුද්ගලික සමාගම (M.G. SUGER (PVT) LTD) සහ එස්. එල්. අයි. ඩිවලොපර්ස් පුද්ගලික සමාගම (SLI DEVELOPERS (PVT) LTD) සමඟ කොටස් හිමිකාරිත්ව ගිවිසුමකට එළඹ තිබේ. කන්තලේ සීනි කර්මාන්ත සමාගමේ කළමනාකරණය බද්ධ ව්‍යාපාරික සමාගමක් විසින් සිදුකිරීමට අපේක්ෂිත අතර එහි සම්පූර්ණ කොටස් හිමිකාරිත්වයෙන් සියයට 51 ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය විසින්ද ඉතිරි සියයට 49 ක ප්‍රමාණය ආයෝජකයා විසින්ද දැරීමට සැලසුම් කර තිබේ.


කෙසේ වුවද ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව වන විට කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ දේපළ අයෝජකයා වෙත පවරා දීම පිළිබඳව ගැටලුකාරි තත්ත්වයක් ඇතිවිය.


ආයෝජකයා විසින් කොටස් හිමිකාරිත්ව ගිවිසුම අනුව අපේක්ෂිත ව්‍යාපාරික මෙහෙයුම් සඳහා යටිතල පහසුකම් යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි හා ඉඩම්වල අයිතියද ඉල්ලා සිටිනු ලැබීය. නමුත් එවකට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉහත කී යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි විකිණීම සඳහා 2017 ජූනි මාසයේදී පුවත්පත් දැන්වීම් පළකරනු ලැබු අතර 2017 අගෝස්තු 09 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින්ද එම යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි ඉහළම ලංසුකරුට විකිණීම සඳහා අනුමැතිය ලබාදී ඇත. ඉහළම ලංසුකරු විසින් පෞද්ගලික හේතුවක් නිසා ලබාදී තිබූ කාලසීමාව තුළදී ප්‍රතිචාර නොදක්වන ලද හෙයින් ඊළඟ වැඩිම ලංසුකරු වෙත ලබාදීම සඳහා එවකට ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටින ලදි.


මේ අතරතුර කොටස් හිමිකාරිත්ව ගිවිසුමේ විධිවිධාන වලට අනුව ව්‍යාපෘතියේ ආයෝජකයා විසින් ශ්‍රී ලංකා රජය විසින් කන්තලේ සීනි කම්හලේ යන්ත්‍ර සූත්‍ර හා ගොඩනැගිලි විකිණීම වළක්වාලමින් අතුරු සහනයක් ඉල්ලා සිංගප්පූරු ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයේ (Singapore International Arbitation Center) නඩුවක් ගොනු කරන ලදි. මෙම බේරුම්කරණයේදී නීතිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශය නියෝජනය කරනු ලැබීය.


සිංගප්පූරු ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය විසින් ඉහත කී යටිතල පහසුකම් යන්ත්‍රසූත්‍ර හා ගොඩනැගිලි විකිණීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමෙන් ශ්‍රී ලංකා රජය වළක්වාලමින් ආයෝජකයාට වාසිදායක ලෙස අතුරු සහනයක් නිකුත් කරනු ලැබීය.


මෙම කැබිනට් සංදේශයේ තවදුරටත් සඳහන් කරනුයේ සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලය දෙන ලද තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රජය විසින් පැමිණිලිකාර සමාගමට වන්දියක් ද ගෙවිය යුතු බවය.


“බේරුම්කරණයට අදාළ වියදමින් 50% ක වන සිංගප්පූර් ඩොලර් 626877/54 හා අතුරු නියෝගය විමසීම සඳහා වන වියදම සිංගප්පූර් ඩොලර් 30070 ක් වගඋත්තරකරු වන ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුය.


හිමිකම් ඉල්ලා සිටින අයගේ නෛතික ගාස්තුවෙන් 95% ක් වන ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 211913/93 ක් මුදලක් ගෙවිය යුතුබව තීරණය කර ඇත.


එලෙසම මේ වන විටත් බේරුම්කරණ ගාස්තුවෙන් අත්තිකාරම් ලෙස සිංගප්පූර් ඩොලර් 64,764 ක මුදලක් ශ්‍රී ලංකා රජය මේ වන විටත් තැන්පත් කර තිබේ.


අවසාන බේරුම්කරණ තීන්දුව මත ගෙවිය යුතු මුදල මත පොළිය එකතුවීම වැළැක්වීම සඳහා හැකි ඉක්මනින් ගෙවීම සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශය වෙත දන්වා එවා ඇත.


එලෙසම බේරුම්කරණ පිරිවැයෙන් 50% ක මුදල වන සිංගප්පූර් ඩොලර් 626877/54 හා අතුරු නියෝගය විමසීම සඳහා ගාස්තුව වන සිංගප්පූරු ඩොලර් 30070 හා 15% ක් පිරිවැය ප්‍රමාද ගාස්තුව වැනි අනෙකුත් ගෙවීම් සම්බන්ධයෙන්ද අනුමැතිය ඉල්ලා තිබේ.


මෙහිදී අවධාරණය කර ඇති තවත් විශේෂ කාරණාවක් වන්නේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව එම්. ජී. සුගර් සමාගමට එහි 7.1.1.(අ),(ආ) සහ (ඇ) වගන්ති ප්‍රකාරව විස්තර කර ඇති ඉඩම් හා පරිශ්‍ර ඒවායේ යටිතල පහසුකම්, යන්ත්‍ර ගොඩනැගිලි හා එහි ඇති ඉඩම් හා එහි ඇති ඉදිකිරීම් සමඟ ඒවායේ ඇති සැටියෙන් ආයෝජක ආයතන වෙත භාරදීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඉඩම් අමාත්‍යාංශයේ හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට උපදෙස් දීම යනුවෙන්ද එම කැබිනට් සංදේශයේ සඳහන් වේ. මෙම කැබිනට් සංදේශයේ ඒ සම්බන්ධ වැදගත් කරුණක්ද දක්වා ඇත. ඒ 1.13 වගන්තියේය. එහි 2019 ඔක්තෝබර් මස 09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි ඒ සඳහා අනුමැතිය ලබාදුන් අතර ඒ අනුව එවකට ඉඩම් අමාත්‍යාංශයේ හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරුන් වෙත එම තීරණයන් ක්‍රියාත්මක කරන ලෙස දන්වන ලදි, යනුවෙන්ය. මේ කැබිනට් සංදේශය අනුව පැහැදිලි වන්නේ කන්තලේ සීනි කර්මාන්තය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බොහෝ කටයුතු ඉටුවී ඇතත් කුමක් හෝ හේතුවක් නිසා එය අතරමග හිරවී ඇති බවය.


ව්‍යාපෘතිය ඇරඹීමට ඇති බාධා කවරේද


මෙහිදී අප පුදුමයට පත්වන්නේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තවත් ඇති බාධා කුමක්ද ? ඒවා නිරාකරණය නොවන්නේ මන්ද ? යන පැනයය. ඉන් එපිටට ගියහොත් මෙකී ව්‍යාපෘතිය කිසියම් ආකාරයකින් නතර වුවහොත් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් වන අපකීර්තියය. එය මෙරටට පැමිණීමට අපේක්ෂා කරන තවත් ආයෝජකයින් මැලි කරවන්නක්ද වේ. දැන් පවතින්නේ රටට විදේශ ආයෝජන අත්‍යාවශ්‍යම අවධියක බව පාලකයින් නිලධාරින් මෙන්ම රටේ ජනතාවද හොඳින්ම වටහාගත් පසුබිමකි. එනිසා කන්තලේ සීනි ව්‍යාපෘතිය කෙරෙහි කාගේත් අවධානය යොමුවීම අත්‍යාවශ්‍ය වන්නේය.


නවතම තත්ත්වය වනුයේ මේ වන විට එම්. ජී. සුගර් සමාගම විසින් අත්සන් කරන ලද ද්විපාර්ශ්වික ගිවිසුම පරිදි ශ්‍රී ලංකා රජයට අයත් කොටස් 51 ක් ආණ්ඩුවට පවරා දී තිබීමය. ඒ අනුව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට රජයේ පාර්ශ්වයෙන් අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකුද පත් කර තිබේ. ඔවුන් භාණ්ඩාගාරය නියෝජනය කරන නිලධාරින් දෙපොළක්ය.


කෙසේ වුවත් දැනට රටේ පවතින ආර්ථික අර්බුදය අනුව මෙවැනි ආයෝජකයකු සිටීමද දැඩි පිපාසාවෙන් පෙළෙන අයකුගේ දෙතොළමත දිය බිඳක් වැටුණා හා සමාන වේ. විදේශ විනිමය හිඟවෙමින් යන යුගයකදී දේශීය අරමුදල් රහිතව මුළුමනින්ම විදේශීය අරමුදල් මත දිවෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මකවීමට අකුල් හෙළන්නේ ඇයිද යන්න අපට ප්‍රශ්නයකි.

3 COMMENTS

  1. Sir, cane industry, sugar factory disaster, news. Ud aka hi nay a nth I ne thi ka, as per Lord buddha, pls remove the cause of suffering, unity, brings prosperity, as per Lord buddha.thanks, kumara, my Web truth and harmony.blogspot.com, wish you happiness, prosperity, does not accept any email address?

  2. In Verse (24) the Buddha shows us the way to success in life, thus: “If a person is energetic, mindful, pure in thought, word and deed, if he does everything with care and consideration, restrains his senses; earns his living according to the Dhamma and is not unheedful, then, the fame and fortune of that mindful person increase.” Cane industry, factory disaster, cause of the suffering, 4 elements, do we distroy air quality by burning cane fields, can we add pirith pan water, to cane fields, mighty universal power, can we increase donations ,sugar to Buddhist tempel, do we have a bad karma attached to the factory activities, raha than wha n say was a ya kar a na bu m I y a ra ma nee ya I , as per Lord buddha. Pls try few things to restructure the organisation. Few different products, sugar cubes for tea, coffee, sugar advertising, do not fear, diabetes, try to add few c innermon fresh lefts to you r tea pot, good health, c innermo n tea, thanks, kumara, my Web truth and harmony.blogspot.com, wish you prosperity.

  3. Ape minissu kanthale beraganna, Newatha patan ganna ehe giya neda? 2019 Meda kale wage. e rellata mokd une?

Comments are closed.