ජයදේව උයන්ගොඩ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ පළමුවැනි වසර සම්පූර්ණ කරන මේ සතිය වනවිට එතුමාගේ පාලන තන්ත්‍රයෙත්, එතුමාත් නාගරික මධ්‍යම පන්තියේ විවේචනයටත්, තියුණු හාස්‍යයටත් පාත්‍ර වී තිබේ. ග්‍රාමීය ජනතාව අතර ප්‍රතිචාරය කෙසේදැයි මම ඒ ගැන නොදනිමි. එතුමා විවේචනයට වඩා හාස්‍යයට ලක්කරන බොහෝ නාගරික මධ්‍යම පාන්තිකයන්, මීට වසරකට පෙර එතුමාට බොහෝ උනන්දුවෙන්ද, උද්වේගයෙන්ද, බලාපොරොත්තු සහිතවද ඡන්දය දුන් අයයි.


අප රටේ නාගරික මධ්‍යම පන්තික සමාජයේ වෙනස්වන දේශපාලන විඥානය ගැන දැන ගැනීමට මට ඇති විශ්වාසය තැබිය හැකි එක් මූලාශ්‍රයක් වන මගේ භාර්යාවට අනුව, රාජපක්ෂ මහතාට ඡන්දය දුන් බොහෝ දෙනා දැන් කියන්නේ, ඔවුන් ඡන්දය දුන්නේ අනුර කුමාර දිසානායක මහතාට බවයි. “දැන් මේ අය කියන කතා ඇත්ත නම් අනුරට ලේසියෙන්ම දිනන්නත් ඉඩ තිබුණා” යැයි, මෙම අලුතෙන් වර්ධනය වන මධ්‍යම පන්තික දේශපාලන උපහාස සාහිත්‍යයට සුළු එකතුවක් කරමින් ඇයද ලඟදි දවසක කියා සිටියාය.


එහෙත් දේශපාලනය ගැන බැරෑරුම්ව සිතන විශ්වවිiාල ශාස්ත්‍රඥයින් වන අප වැනි අය උනන්දුවන තවත් දෙයක් තිබේ. එනම් ජනාධිපතිතුමා වැනි නැවුම් දේශපාලන නායකයින් තමන්ගේ ආධාරක ප්‍රජාවන්ගේ උපහාසයට මේ තරම් ඉක්මණින් පාත්‍රවීමෙන් ප්‍රකාශ වන දේශපාලන ප්‍රවණතාවයයි. මේ කෙටි ලිපියේ අරමුණ ඒ සඳහා උත්සාහයක් ගැනීමයි.


එපාවීමේ දේශපාලනය


ඡන්දයෙන් බලයට පත්වූ දේශපාලන නායකයින්, ජනතාවටත්, තමන්ට ඡන්දය දුන් අයටත් එපාවීමට සාමාන්‍යයෙන් අවුරුදු තුනක්වත් ගතවේ. එපාවීමෙන් පළමුවැනි අවුරුද්දේ නම් සිදුවන්නේම නැති තරම්ය. ප්‍රබල විරුද්ධ පක්ෂයක් නැති අකර්ශණහීලි විරුද්ධ පක්ෂ නායකයකුවත් නැති, මනබඳිනා විකල්ප දේශපාලන වැඩ පිළිවෙලක් රැඩිකල් ජවිපෙන්වත් ඉදිරිපත් වී නැති පසුබිමක් තුළ පත්වී ඇති මෙම තත්ත්වය ගැන බැරෑරුම් විග්‍රහයන් හෝ පැහැදිලි කිරීමක් හෝ ඉදිරිපත් කිරීමට තවමත් කල් මදිය. කෙනෙකුට කළ හැක්කේ තාවකාලික ප්‍රවාද කිහිපයක් ඉදිරිපත් කිරීමක් පමණි.

උපහාසය තුළින් දැනට වඩාත්ම විවේචනයට ලක්වන බව පෙනෙන්නේ ජනාධිපතිතුමාට තිබෙන රූපවාහිනි සහ පුවත්පත් ප්‍රධාන කොටගත් ජනමාධ්‍ය විසින්ද, එතුමාගේ මාධ්‍ය ඒකකය විසින්ද, එතුමාම විසින්ද ඉදිරියටම දමා ඇති එතුමාගේ ප්‍රතිරූපයකි. මෙය ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට එතුමා ප්‍රචාරණයට පාත්‍ර කළ වෙළඳ දැන්වීම් ව්‍යාපාරය, දැන් අර්බුදයට පත්වීමේ ප්‍රකාශනයකි. එතුමාගේ ගොඩනගන ලද ප්‍රතිරූපය වූයෙත්, එතුමා තමන් ගැනම අව්‍යාජව විශ්වාස කළ දේ බව පසුගිය අවුරුද්ද තුළම පෙනුණෙත්, අප සමාජයේ සියලු ප්‍රශ්ණ විසඳීමේ පෙර නොවු විරු හැකියාවක්, බුද්ධි මහිමයක් පෙර සුදානමක්, වාසනා ගුණයක් සහ පුහුණු සහ විශේෂඥ පිරිස් බලයක් එතුමාට තිබෙන බවයි. එහෙත් ඒ ගැන මූලික සැකයක් එතුමා ඡන්දයෙන් දිනූ මුල් මාස තුන තුළම ප්‍රදර්ශනය විය. අලුත් ආණ්ඩු සහ අලුත් පාලකයින් පත්වීම පිළිබඳව තිබෙන දේශපාලන ව්‍යවහාරඥානයේ ඇති එක් ආත්තෝපදේශයක් නම් “ඕනෑම අලුත් ආණ්ඩුවක හැකියාව හෝ නොහැකියාව පළමුවැනි දින සියය තුළ ප්‍රදර්ශනය වේ” යන්නයි. අගමැති රනිල් වික්‍රමසිංහ 2015 දී තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිවත්, “දින සියයේ” වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළේ මේ අදහස ගැන දැන සිටි නිසා විය හැකියි. එහෙත් එවැනි වැඩ පිළිවෙලක් රාජපක්ෂ මහතාගෙන් ඉදිරිපත් නොවුණි. ඒ වෙනුවට තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබීම” තම අකර්මණ්‍යතාවයට හේතුව ලෙස එතුමා ඉදිරිපත් කළේය. එහෙත් එතුමා නොකළ යුතුව තිබූ එක් දෙයක් කළේය. එය නම් ආණ්ඩුවේ අය බදු ආදායම විශාල ලෙස අඩු කිරීමකි.

මේ ගැන තරමක් වෙනස් අර්ථකථනයක් කෙනෙකුට ඉදිරිපත් කළ හැකිය. මෙය වනාහී අවුරුද්දකට පසුව අදටත් වලංගු අර්ථකථනයකි. එය නම්, ජනාධිපතිවරයෙක් ඉහළින් දිනුවත්, ඉන්පසු කළ යුත්තේ කුමක්ද යන්න ගැන බැරෑරුම් සුදානමක් එතුමා හෝ එතුමාගේ කඳවුර තුළ හෝ නොතිබිණ යන්නයි. තමන් ජනාධිපතිවරණය ජයගත් පසු තමන්ට ගනුදෙනු කරන්නට සිදුවන්නේ විරුද්ධ පක්ෂයට බහුතරය තිබෙන පාර්ලිමේන්තුවක් සමග බවත්, එම පාර්ලිමේන්තුව තව මාස ගණනාවක්ම තම පාලනයට යටත් නොවී පවතින බවත් දැන සිටිය යුතු වූ එතුමා සහ එතුමාගේ උගත් උපදේශකයින් කළයුතුව තිබුණේ, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරය ලබාගෙන තමාට පක්ෂපාත ව්‍යවස්ථාදායකයක් ලබා ගන්නා තුරු, තමන්ට පක්ෂපාත නැති පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් තම ප්‍රතිපත්ති සහ විසඳුම් ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර කිහිපය තැබීමයි. සාර්ථක දේශපාලන නායකයකුගේ නියම සාර්ථකත්වයේ මිණුම් දණ්ඩ වන්නේ, තමන්ට අවාසි සහගත වන ලෙස විරුද්ධ පක්ෂ සමග ඇති ප්‍රතිවිරෝධතා තියුණු කරගෙන, බලයේ කේන්ද්‍රීය ආයතන ලෙස පැවැති පාර්ලිමේන්තුවෙන් ප්‍රයෝජන නොගැනීම නොවේ. සිය අරමුණු දේශපාලන අතරමග සමාදානය සහ සාකච්ඡාව තුළින් ඉටුකර ගැනීමයි. එවැන්නක් සඳහා තමන්ට හැකියාවක් නොතිබුණු බව ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නොකළා පමණක් නොවේ. එවැන්නක් මගින් ඉටුකරගත හැකි වැඩ පිළිවෙලක්, ජනාධිපතිවරණය ජයගන්නා විට, එතුමාට නොතිබුණු බවද එතුමා ප්‍රදර්ශනය කළේය.
මෙම දුර්වලතා නැවත වරක් ජනාධිපතිතුමා විසින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලබාගත් පසුය. තමන්ට නීත්‍යානුකූලව බලය ලැබුණු පළමුවැනි දවසේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රටේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා තමන් සතු අවුට් ඔෆ් ද බොක්ස් විසඳුම් ක්‍රියාත්මක කිරීම තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතර බලයක් තමන්ට ලබා දෙන ලෙසයි. මෙය වනාහී මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ දෑත ශක්තිමත් කිරීමට තුනෙන් දෙකක බලයක් ලබාදෙන ලෙස 2010 දී ඡන්ද දායකයාගෙන් කළ ඉල්ලීමද විය. මේ අවස්ථා දෙකේදීම පෙනුණේ තුනෙන් දෙකක බලයක් ලබාගෙන රටේ ප්‍රශ්න විසඳීමට කළ යුත්තේ කුමක්ද යන්න ගැන සූදානමක් නායකයින් දෙදෙනාම සතුව නොතිබුණු බවයි.


මෙය වනාහී 2015 ජනවාරි මාසයේ සිටම මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන දෙපොළගෙන්ද ප්‍රදර්ශනය වූ, අප රටේ දේශපාලන නායකයින් සතු සුපුරුදු දුර්වලකමකි. බලය නැතිව සිටිද්දී බලයේ සිටින ආණ්ඩුව දුර්වල කරමින් ඡන්දය දිනා බලයට ඒමට අවශ්‍ය දක්ෂකම සහ අධිෂ්ඨානය ඔවුන්ට තිබේ. එහෙත් බලය ආ පසුව කළ යුත්තේ කුමක්ද ? යන්න ගැන සුදානම් වීමක්, පෙර සිතීමක්, සැලසුම් නිර්මාණය කිරීමක් ඔවුන් තුළ නැත. එහෙත් ඒවා තමන් වෙත තිබෙන බව නම් ඔවුහු මැතිවරණයට පෙර ජනතාවද විශ්වාස කරන පරිදි කියා සිටිති. ගෝඨාභය ජනාධිපතිතුමා පළමු වසර මුළුල්ලේම ප්‍රදර්ශනයකර ඇති අසාර්ථකත්වයට මූලික දායකත්වයක් කර ඇත්තේ මෙම දුර්වලතාව විසිනි.


කොවිඞ් අර්බුදයේ අභියෝගය


අප ඉහත සාකච්ඡා කළ කාරණයම, ජනාධිපතිතුමාට පක්ෂපාත දෘෂ්ඨිකෝණයකින් බලා පහත සඳහන් ආකාරයේ වෙනස් විග්‍රහයක්ද ඉදිරිපත් කළ හැකිය. එනම්, ජනාධිපතිවරණයෙන් දිනන විට, ජනාධිපතිතුමාට සහ ඔහුගේ කණ්ඩායමට අදහස් සහ සැලසුම් තිබිණ. එහෙත් ඒවා අවුල් කරන ලද්දේ නොසිතු විරූ කොරෝනා අර්බුදය විසිනි.
එහෙත් මෙම පැහැදිලි කිරීමේ ඇත්තේ දුර්වල වලංගුතාවයකි. එයට හේතුව, කොරෝනා අර්බුදය නියම ලෙස අප රටට දැනෙන්ට පටන් ගන්නේ පෙබරවාරි අග කාලයේදී සිට වීමයි. එය වනාහී විශාල මහජන වරමකින් ජයග්‍රහනය කළ කෙනෙකු, මාස තුනක් නිකම් සිටි තත්ත්වයක සිටියේ මන්ද යන පහසුවෙන් පැහැදිළි කළ නොහැකි ප්‍රශ්නයට දිය හැකි දුර්වල පිළිතුරකි.ඒ කෙසේ වෙතත්, කොරෝනා අර්බුදයේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ පළමු වසරට බලපෑ හැටි පරික්ෂා කිරීම කළ යුතු දෙයකි. එතුමාට යම් කිසි සැලසුමක් තිබුණ නම් කොරෝනා අර්බුදය විසින් ඒ සියල්ල සම්පූර්ණයෙන්ම අවුල් කරන ලද බව කීම අඩු තක්සේරුවකි. ලෝක සහ ජාතික ආර්ථික පසුබෑම සහ කඩාවැටීම ඉදිරියේ ලංකාවේද ආණ්ඩුව ඉදිරියේ තිබෙන අභියෝග සුළුපටු නොවේ. මෙවැනි කාලයක ආණ්ඩුවක් ඍජුව සිටීම තමාගේ අවාසනාවයැයි පාලකයෙකු සිතනවානම් ඒ ගැන ඇතිවියයුත්තේ සහකම්පිත ප්‍රතිචාරයකි.


මිත්‍යාවේ බලය නැතිවීම


එහෙත් පසුගිය මාර්තු මාසයේ සිට ගිය මස දක්වා ජනාධිපතිතුමා කර තිබෙන්නේ කුමක්ද ? තමා පිළිබඳව තමා තුළම පවතින්නා වූත් ඡන්දදායකයන්ට ඉදිරිපත් කරන ලද්දාවුත් එක්තරා පුද්ගලවාද මිත්‍යාවක් මත වැඩ කිරීමයි. රටේද ඉරණම තම තමන්ද අනන්‍යවී තිබෙන, රටේ ප්‍රශ්න විසඳීමේ ගුණමහිමය සසඳනා බලය ඇති එකම පුද්ගලයා තමාය යන විශ්වාසය මත, සියලුම දේශපාලන බලය 19 වැනි සංශෝධනයට පිටතින් යමින්ද, ඉන් පසුව එය අහෝසිකර 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමෙන්ද, ලංකාවේ ආණ්ඩුක්‍රමය ඒක පුද්ගල අධිකාරිවාදී පරිවර්තනයකට භාජනය කිරීමයි. “ජනාධිපති” යන තනිපුද්ගලයා වටා සියලු රාජ්‍ය බලය කේන්ද්‍රගත කර ගැනීමයි. 1958 දී ප්‍රංශයේ ජෙනරාල් චාල්ස් ඩිගොල් මහතාද ශ්‍රී ලංකාවේ 1978 දී ජෙනරාල් කෙනෙකු නොවු ජේ. ආර්. ජයවර්ධන මහතාද 2010 දී මහින්ද රාජපක්ෂ මහතාද මෙවැනි පුද්ගල කේන්ද්‍රීයවාදි ඒකාධිපති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට යෑමේ පූර්වාදර්ශයයන්ය.


එකපුද්ගල අධිකාරිවාදී ජනාධිපතිවරුන් 2020 ක් පසුව, එනම් පශ්චාත් කොරෝනා ලෝකය තුළ, මුහුණ දෙන අභියෝග කොතරම් පෙර නොවූ විරූ ලෙස ආරම්භකළ ඒවාද යත්, ඒවා වනාහී කිසිසේත්ම තනි පුද්ගලයකුට කර ගැසිය හැකි, කරගැසිය යුතු ඒවා නොවේ. ඒවා වනාහී හැකිතාක් දුරට සාමුහික, අන් අයගේද සහයෝගය ඇතිවූ, විරුද්ධ පක්ෂ වලද සහභාගීත්වය ඇතිව හැකිතාක් විවෘතව, සාකච්ඡා මාර්ගයෙන්, පොර බැදිය යුතු අභියෝග වෙති. ආඥා, නියෝග සහ ගැසට් පත්‍ර මාධ්‍ය කොටගෙන, විසඳීමේ කීර්තියේ ඒකාධිකාරය තනියම ලබා ගත හැකි ඒවා නොවේ. ඒවා එසේ යැයි කෙනෙකු සිතන්නේ නම්, එය වනාහී ස්වයං රවටා ගැනීමකි.


පණිවුඩයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමුවැනි පදවිප්‍රාප්ත උළෙලේදි එතුමාට සුභ පතන, සෙත් පතා පුවත්පත් වල දැන්වීම් පළකරන, මුහුණු පොතේ සටහන් තබන බොහෝ දෙනා කරනු ඇත්තේ එතුමාගේ පළමුවසරේ අත්දැකීම් ගැන සමතුලිත විග්‍රහයක් එතුමාට ඉදිරිපත් කිරීම නොවේ. තමන් ගැන කරන සමතුලිත විග්‍රහයන්ට විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන නායකයින් තදින් අකැමැතිබව දන්නා මේසියලු දෙනාම පාහේ කරනු ඇත්තේ, එතුමා හැකිතාක් දුරට ව්‍යාජ ලෙස වර්ණනා කිරීමයි. ත්‍ඛ්ඔඔෑඍශ යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන්ද, “මුරුංගා අත්තේ තැබීම” යනුවෙන් සිංහල භාෂාවෙන්ද හඳුන්වන කලාව විශේෂඥ ලෙස ප්‍රගුණ කර ඇති අමාත්‍යවරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, දේශපාලනඥයින්ද, රජයේ ඉහළ නිලධාරින්ද, ව්‍යාපාරිකයන්ද, ජනමාධ්‍ය ව්‍යාහාරිකයින්ද මේ දින කිහිපයම තුළ කරනු ඇත්තේ එයයි.


මගේ විග්‍රහය වනාහී එතුමාගේ අසාර්ථකත්වයට තව දුරටත් ඉදිරියට ගියහොත්, ඉන් ඇතිවීමට හැකි නිෂේධනීය දේශපාලන ප්‍රතිඵල වල බැරෑරූම්කම ගැන සවිඥානිකත්වය වෙතින් ගොඩ නැගුණකි. තව අවුරුදු හතරක් බලයේ සිටීමට නියමිත එතුමාට ස්වාධීන පුරවැසියකු ලෙස මා දෙන කාරුණික පණිවුඩය නම්, දැනට තිබෙන තුනෙන් දෙකේ බහුතර බලය සාධනීය අරමුණක් සඳහා යොදමින්, විසිවැනි සංශෝධනය අහෝසිකර, අඩුපාඩු වලට පිළියම් යොදා යළි සකස් කළ ප්‍රජාතන්ත්‍රවාදි 19 වැනි සංශෝධනය, 21 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තුව ලවා සම්මත කර ගැනීමයි. ජනතාවගේ ඡන්දයෙන් පත්වී ඇති ජනාධිපතිධුරයට අත්‍යාවශ්‍ය අමාත්‍යාංශ එකක් හෝ දෙකක් ලබාදීම, නව 21 වැනි සංශෝධනයෙන් කළ හැකි නරක දෙයක් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here