Home Uncategorized පනස් වසරකට පෙර: අපේ‍්‍රල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද?

පනස් වසරකට පෙර: අපේ‍්‍රල් කැරැල්ල විප්ලවයක්ද? මර්දනයට මුහුණ දීමක්ද?

0
1289

සුනන්ද දේශප‍්‍රිය

අපේ‍්‍රල් කැරැල්ලට පනස් වසරක් පිරෙන මේ අවස්ථාවේදීත් ඉන් ඉගෙන ගතයුතු පාඩම් සඳහා ඇත්ත කතා කරනු වෙනුවට අසත්‍ය සමාජ ගතකිරීම අතිශය කනගාටුවට කරුණකි.

අප මෙම කරුණු සාකච්ඡා කළ යුත්තේ 1971 සහ 1988-89 මෙන් අමනෝඥ සන්නද්ධ අරගලයක වරද වටහා ගැනීමටය. 1971 කැරැල්ලේ පාඩම් ඉගෙන ගත්තේ නම් 1989-90 විනාශය සිදු නොවන්නට ඉඩ තිබුණි.

අපේ‍්‍රල් නැගිටීම පිළිබඳ ප‍්‍රබන්ධයේ ලොකුම වසන් කිරීම නම් අපේ‍්‍රල් කැරැල්ල හුදෙක් මර්දනයට මුහුණදීමක් බවයි. ඉන් කියැවෙන්නේ එය ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කළ බලය අල්ලා ගැනීමේ විප්ලවය නොවන බවය.

* අපේ‍්‍රල් කැරැල්ල හුදෙක් මර්දනයට මුහුණදීමක් යැයි කියන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙක් පිරිස් සියල්ලටම කලින් ඔවුන් කියන එම මර්දනය ආරම්භ වූයේ කවරදාකදැයි හෝ කවර කාලයකදැයි මුලින්ම කිව යුතුය.

* දෙවනුව ඔවුන් කිවයුත්තේ එම මර්දනයට හේ්තු වූ කරුණු මොනවාද යන්න පැහැදිලි කළ යුතුය.

* තෙවනුව මේ කියන අන්දමට සිදුවූයේ හුදෙක් මර්දනයට මුහුණ දීම පිණිස ආයුධ රැස් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළේ කුමන වර්ෂයක කුමන මාසයකද යන්න කිව යුතුය.

මා විජේවීර දන්නේ 1966 සිටය. ඔහු මා දන්නා කාලයක සිටම ආයුධ නිෂ්පාදන කිරීමට, රටින් ගෙන්වා ගැනීමට සහ එක් රැස්කිරීමට ඔහු උනන්දු විය. ජවිපෙ නායකයින් හතර දෙනාගෙන් එක් අයකු වූ ඉන්කම්ටැක්ස්කරු අපේ ගෙදරට හමුදා බූට්ස් පෙට්ටියක් ගෙනැවිත් තිබ්බේ 1967 අවසන් භාගයේ හෝ 1968 මුල් භාගයේය.

1968 වර්ෂයෙහිම එකල ලයියා සහ සිරා යනුවෙන් හඳුන්වන ලද තරුණ සරසවි සිසුන් දෙදෙනෙකු සමග අපේ නිවසට විජේවීර පැමිණයේ හිස් ග්‍රෙනේඞ් බෝම්බයක් ද ඇතිවය. එවැනි බෝම්බ නිෂ්පාදනය පිණිස මුලික සැලසුමක් සකස් කිරීම එම සාකච්ඡාවේ අරමුණ විය. ඔවුහු ඒ් සඳහා කටු සටහනක් කොළයක ඇන්දේය. ග්‍රෙනේඩයෙහි ඇතුළත ඇති දුන්න කොපමණ ශක්තිමක්දැයි බැලීමට අපේ නිවසට යාබදව තිබූ කරුණාසේන මුදලාලිගේ කඩයෙන් රාත්තල් දෙකේ පඩියක් ඉල්ලා ගෙන ආවේ මාය.

ආයුධ මිලදී ගැනීමත් නිෂ්පාදනය කිරීමත් අරඹන ලද්දේ ආණ්ඩුවේ මර්දනයක් අසලකවත් නොතිබූ කාලක සිටය. යුද හමුදා පාවිච්චි කරන ග්‍රෙනේඞ් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණික හැකියාවන් අපට නොවූ බැවින් ඊට සමාන චීනච්චට්ටි කවර/කේස් නිෂ්පාදනය කිරීම පිණිස කඩවත අසළ අප සහෝදරයකුගේ ගරාජයක කම්හළක් පිහිටුවන ලද්දේ ඒ් අනුවය. එහි එම බෝම්බ කරන සෑදීම බාරව සිටියේ මහ නඩුවේ සැකකරුවන් වූ විජේපාල සිල්වා සහ ආනන්ද පෙරේරාය.

පොඩි අතුල නොහොත් වික්ටර් අයිවන්ගේ එක් අතක කොටසක් කැඞී ගියේ මර්දනයක් ඇතිවීමට පෙර කරන ලද අත් බෝම්බ පර්යේෂණයකදීය. එයට පෙර මමත් බටපොල අතුලත් එවැනිම අත්බෝම්බ පරීක්ෂණයක් සඳහා අනුරාධපුරයට ද ගියෙමි. එදින කාල වේලා පටලැවීම නිසා එම පර්යේෂණය සිදුවූයේ නැත.

1971 පෙබරවාරි මාසය පුරා විජේවීර රට පුරා යමින් ජවිපෙ දිස්ත‍්‍රික්ක කමිටු කැඳවමින් උපදෙස් දුන්නේ අත් බෝම්බ දහසක්, ඇසිඞ් බල්බ් දහසක් සහ ගිනි බෝම්බ දහසක් රැස් කර ගන්නා ලෙසය. එම සාකච්ඡාවලදීම ඔහු කියා සිටියේ ඉඩකඩම් ඇතොත් උගස්කර මුදල් ගෙන එම කටයුතු කරන ලෙසය. විප්ලවයෙන් පසු එම ඉඩම් ආපසු ලබා ගත හැකි බවද ඔහු කීවේය.

විජේවීර අත්අඩංගුවට හසුවූයේ මොනරාගල දිසාවෙහි එම සාකච්ජාව අවසන් කර අම්පාර දිස්ත‍්‍රික්කයේ සාකච්ඡාවට ගිය අවස්ථාවෙහිදීය. මා ආපසු බදුල්ල බලා ඒමට බසයකට නැගුණේ වැල්ලවායෙන් ඔවුන් බස් රථයට ගොඩ වූ පසුය.

1971 මාර්තු මාසය වන විට ජවිපෙ කරා මර්දනය පැමිණි බව ඇත්තය. එමෙන්ම අප විමසා බැලිය යුත්තේ එකී මර්දනය පැමිණියේ කුමක් නිසාද යන්නය. මර්දනයට ඇත්ත හේතුව නම් අප ඒ වන විට සන්නද්ධ වෙමින් සිටි බව රාජ්‍ය බුද්ධි අංශ වෙත වාර්තා වීම මිස වෙනකක් නොවේ. කෑගල්ලේ නෙළුම්දෙණෙියෙහිද, වැළිමඩ මැදවෙළ ද අත් බෝම්බ නිෂ්පාදනය කරමින් සිටියදී විශාල පිපිරීම් දෙකක් ඇති විය. රට පුරා ව්‍යාපාරයේ පිරිස් ආයුධ සමග අත්අඩංගුවට ගැනෙමින් පැවතුණි. මේ ආයුධ මර්දනය නිසා රැස්කරගත් ඒවා නොවේ. ව්‍යාපාරය ආයුධ රැස්කළේ පහරදීමට මිස සඟවා තබා ගැනීමට යැයි කිසිවකු විශ්වාස නොකරනු ඇත.

අපේ‍්‍රල් පස්වනදා පහරදීම සිදුවූයේ මර්දනය නිසා බවත් මර්දනය නිසා පහර දීම වරදක් බවටත් මහ නඩුවෙහිදී විජේවීර සහ ඔහුට පක්ෂපාත කණ්ඩායම දැරූ ස්ථාවරය විය. එසේ නම් එවැනි තර්ක ඉදිරිපත් කරන පිරිස් එදා බලාපොරොත්තු වූයේ සාමකාමී ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිසංසල හඳ පෑයූ රැයක රහසේ ගොස් පහරදීමටද?

මර්දනය සහ සන්නද්ධ කැරලිකාරත්වය ගමන් කරන්නේ එකටය. එම ක‍්‍රියාවලීන් දෙක එකිනෙකින් පෝෂණය වෙයි. සහමුලින්ම රහසිගතව සන්නද්ධ කැරැල්ලක් සංවිධානය කළ හැකි යැයි තර්ක කළ හැක්කේ සමාජ යථාර්ථයන් නොදන්නා අයකුට පමණි.

1970වේ මහා මැතිවරණයට පෙර එජාප ආණ්ඩුව යටතේ බුද්ධි අංශ විසින් ජවිපෙ පිළිබඳ එක්රැස් කර තිබූ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ කබඞ් එකක් දමා වසා නොතිබුණේ නම් මර්දනය ඊටත් කලින් එන්නටත් කැරැල්ල සම්පූර්ණයෙන්ම වාගේ වැළකී යන්නටත් ඉඩ තිබුණි. එම බුද්ධි අංශ වාර්තා ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයකට සූදානම් වන බවට වාර්තා කර තිබුණි. මෙම ලිපිගොනු පිළිබඳව මහ මැතිවරණයෙන් පසු පත්වූ සමගි පෙරමුණු ආණ්ඩුව දැන සිටියේ නැත. එම බුද්ධි අංශ වාර්තා හෙළිදරව් වූයේ කැරලි නිසා සිදුවූ විනාශයෙන් පසුය. මෙම ලිපිගොනු නිසි පරිදි බාර නොදුන්නේ සන්නද්ධ කැරැල්ලක් ඇතිවීමට ඉඩ සලසනු පිණිස යැයි සමගි පෙරමුණු ආණ්ඩුව එජාප ආණ්ඩුවට චෝදනා කළේය. මේ පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය නම් එකල පාර්ලිමේන්තු හැන්සාඞ් කියවා බැලිය හැකිය.

එය එක්තරා ආකාරයකට පාස්කු ඉරිදා ප‍්‍රහාර පිළිබඳ ඇතිවී තිබෙන සාකච්ඡාවට සමානය. අද වැනි යුගයක නම් ඒ සම්බන්ධයෙන් කොමිසමක් පවා පත් කැරෙන්නට ඉඩ තිබුණි.

1971 අපේ‍්‍රල් පස්වනදා සිදුවූයේ ජවිපෙ අපේක්ෂා කළ විප්ලවයට විජේවීරගේ මේ කතාව විසින් සනාථ කිරීමය.

ඔහුගේම වචනයෙන් කියන්නේ නම් ”පොලිස් මරලතෝනිය විප්ලවයේ කාහළ නාදයයි.” එම වැකිය අඩංගු පෝස්ටර් රටපුරා ඇලවීමට උපදෙස් දුන්නේ විජේවීරය.

1971 අපේ‍්‍රල් කැරැල්ලට පෙර අවසන් ජවිපෙ රැස්වීම පැවැත්වූයේ පෙබරවාරි 27 වන දින කොළඹ හයිඞ්පිටියේදීය. එහිදී ඔහු මෙසේ කීවේ දෑත් ඉහළට ඔසවමිනි: ”විප්ලවය කවදාද කියල හැමදෙනාම අහනවා. කවදාද ඔහේලා මහා පරිමාණයෙන් විප්ලවය මර්දනය කරන්න ඉදිරිපත් වෙන්නේ. කවදාද ඔහේලා තීරණාත්මක අයුරින් ජවිපෙට එරෙහිව ආයුධ ඔසවන්නේ. එදාට විප්ලවය කෙරෙයි.”

ඔහු සිය කතාව අවසන් කළේ ”ගජබාව අවුරෝරාවක් වේවා. (කොළඹ කොටුවෙහි වූ) ඇචිලන් බැරැක්කය ප්ත්රෝගෑඕ ගැරිසණය (රැසියානු විප්ලවයට පක්ෂපාත වූ හමුදා කාණ්ඩයකි) ක් වේවා, කම්කරුවන්ගේ, ගොවීන්ගේ, සෙබළුන්ගේ විප්ලවය දිනේවා” යනුවෙන් සිංහල හා රුසියන් බසින් කියමිනි.

විජේවීරගේ මෙම උද්යෝගිමත් මවිල් කෙළින් කරවන කතාව ඉතා පැහැදිලිව කියන්නේ මර්දනය සහ විප්ලවය එකම කාසියක දෙපැත්ත බවයි. එම රැස්වීමට පැමිණි ජවිපෙ නායක පිරිස් පහර දීමක් අත ළග වියයුතු යැයි නොසිතා ඉන්නට ඇත්ද?

ජවිපෙ පන්ති පහේ අවසාන පන්තිය වූයේ ”ගතයුතු මග කුමක්ද” යන්නයි. ලෝකයේ අනෙක් රටවල විප්ලව පිළිබද කෙරුණු මතුපිට විග‍්‍රහයකින් පසු ශ‍්‍රී ලංකාවට යෝග්‍ය වන්නේ රටපුරා විසිරුණු එක්රැයේ අරගලයක් මගින් බලය අල්ලා ගැනීම බව එම පන්තියේ නිගමනය විය.

එම පන්තියෙහි කිසිම තැන පසුබැසීම ගැන හෝ සැඟවී සිටීමට ස්ථාන පිිළිවෙළ කිරීම ගැන හෝ ඉඟියක්වත් නොවීය. අනෙක් කාරණය නම් දීර්ඝකාලීන ගරිල්ලා අරගලයක නිරතවීම ජවිපෙ විසින් න්‍යායිකවම මෙන්ම උපහාසයෙන් ප‍්‍රතික්ෂේප කළ බවයි.

උදාහරණයක් වශයෙන් පනස් වසරකට පෙර එම රාත‍්‍රියෙහිදී කොළඹ කඩවත පොලීසියට පහර දුන් පිරිස්වලට පසුබැස යා හැකිවූයේ කොහිද? ව්‍යාපාරයේ මුල්කාලීන නමුත් නොසලකා හරින ලද නායකයකු වූ මිල්ටන් සහෝදරයා මියගියේ එම ප‍්‍රහාරයේදීය. අගමැතිනි සිරිමා බණ්ඩාරනායක අත්අඩංගුවට ගැනීමට ගිය පියසිරි ගුණරත්න ඇතුළු සහෝදරවරුන්ට පසු බැසිය හැකිවූයේ කොතැනකටද?

පසුබැසීම ගැන සැලැස්මක් 1971 ජවිපෙට හෝ 1989 ජවිපෙට හෝ තිබුණේ නැත.

බදුල්ල දිස්ත‍්‍රික්කයෙහි ප‍්‍රහාර අසාර්ථකවීමෙන් පසු පනහක පමණ අප කණ්ඩායමක් නකල්ස් කඳුකරය වෙත යෑමේ අරමුණින් වලපනේ කැළයට පසුබැස ගියමුත් කිසිදු සැලැස්මක් නොවූ නිසා එම ගමන සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. සිංහරාජයට පසු බැසීමට ගිය බටපොළ ප‍්‍රදේශය අල්ලාගෙන සිටි පිරිස් ද සම්පූර්ණයෙන් අසාර්ථක විය. වනගතව කලක් දිවි රැකගත් කුඩා කණ්ඩායම් දෙකක් විල්පත්තු වනයෙහි සිටි නමුත් කුමක් කළ යුතුදැයි ඔවුන්ට කිසිදු සැලැස්මක් වූයේ නැත. ඔවුන් කළේ අත්අඩංගුවට පත්වන තුරු දිවි රැක ගැනීම පමණි.

මර්දනය හමුවෙහි පසුබැසීමට සැලැස්මක් තිබුණේ යන්නද අමූලික බොරුවකි. එවැනි සැලැස්මක් තිබුණේ නම් එවැනි සැලැස්මක් තිබූ බව අද කියන අයට එලෙස පසුබැස ගොස් ජවිපෙ යළි ගොඩනැගිය නොහැකි වූයේ ඇයි?

අවශ්‍ය වුවහොත් සැඟව සිටීමට කඳුකර ගොවිපළවල්ද ඇදීමට සිවුරුද එක්කර ගන්නා ලෙස වරක් දෙකක් කතා කරන ලද නමුත් එවැනි අංශයක් ව්‍යාපාරයෙහි තිබුණේ නැත.

අප ඉතිහාසය එය සිදුවූ හැටියෙන්ම ලිවිය යුත්තේ එමගින් ඉගෙන ගත යුතු පාඩම් ඉගෙන ගැනීමටය. 1971 ජවිපෙ ලද පරාජය 71 මහ නඩුවෙහිදී විජේවීර ඇතුළු පිරිස් බැර කළේ ලොකු අතුළ, සනත්, කරුණාරත්න තිදෙනා ඇතුළු තවත් අයටය. විජේවීර සමග ව්‍යාපාරයේ සිටි ප‍්‍රධාන නායකයින් හතර දෙනා වූයේ ඔවුන්ය.

මහ නඩුවෙහිදී ලොකු අතුල සාක්ෂි දුන්නේය. ඔහුගෙන් විජේවීර දීර්ඝ කාලයක් හරස් ප‍්‍රශ්න ඇසුවේය. සිය අවසාන ප‍්‍රශ්නය වශයෙන් විජේවීර ලොකු අතුලට මෙවැනි යෝජනාත්මක ප‍්‍රශ්නයක් යොමු කළේය.

”මම ඔබට යෝජනා කරනවා 1971 අපේ‍්‍රල් පස්වනදා සිදුවූයේ විප්ලවයක් නොවේ ප‍්‍රතිවිප්ලවයක්ය කියලා”

කටකාර ලොකු අතුල ගත් කටටම මෙසේ කීවේය.

”මෙව්වර වෙලා බොරු කියලා කියලා අන්තිමේ එක ඇත්තක් කියපු එක ගැන මං සතුටු වෙනවා.”

අද 1971 කැරැල්ල සමරණ ජවිපෙ සහ එහි හිතවාදීන්ගේ නායකයාට අනුව එදා සිදුවූයේ ප‍්‍රති විප්ලවයකි! එය කොතරම් සාහසික අපරාධයක්ද යන්න අවබෝධ වන්නේ එමගින් කැරැල්ල වෙනුවෙන් දිවි පිදූ සහෝදර සහෝදරියන්ට කැරෙන අවමානය ගැන සිතන විටය.

තවත් භයානක බොරුවක් දෙස බලමු:

1971 ජවිපෙ ප‍්‍රබලම මතවාදි අවියක් වූ ඉන්දියානු ව්‍යාප්තවාදයෙහි වරද මා ඕවාදය මත පැටවීමද තවත් බොරුවකි. විජේවීර 1966 ඩඞ්ලි-චෙල්වනායගම් ගිවිසුමට විරුද්ධව පෙළපාලි ගියේ මා ඕවාදය නිසා නොවේ. දෙමළ විරෝධය දේශපාලන බලවේගයක් යැයි ඔහු විශ්වාස කළ නිසාය.

1980 දශකයේ පුරා යුදවාදී ජාතිවාදී දේශපාලනයක්ද 1990 දශකය පුරා බලය බෙදීමට විරුද්ධව යුද්ධය වීරත්වයට නැංවූ දේශපාලනයක්ද ජවිපෙ ගෙන යෑමද මා ඕ සේතුංගේ වරදක් විය නොහැකිය. මානෙල් මල් ව්‍යාපාරය තුළින් අද සිටින විමල් වීරවංශ බිහිකරන ලද්දේ එම ජවිපෙ විසිනි.

අද පවා ජවිපෙ කියා සිටින්නේ බලය බෙදීම වරදක් බවත් පළාත් සභා අහෝසි කළ යුතු බවත්ය. ඊට හේතුවද 1971 ජවිපෙ තුළ වූ ජාතිවාදී ප‍්‍රවිෂ්ඨය තේරුම් නොගැනීමයි. එයත් මා ඕ සේතුංගේ වරදක්ද?

1971 දී එම ජාතිවාදී දේශපාලන මතතවාදය ස්වයං විවේචනාත්මකව පිළිගත්තේ නම් 1889-90 සමයේත් ඉන්පසුවත් ජවිපෙ යුද්ධයේ හවුල්කරුවන් නොවන්නට ඉඩ තිබුණි.

එමෙන්ම පසුගිය පනස් වසර පුරාම ජනතා විමුක්ති පෙරමුණ කිසිදු විටක 1971 අරගලය පිළිබඳ අවංක විශ්ලේෂණයක් කර ගෙන නැත. එක්රැයේ අරලගයේ අසාර්ථකත්වය පිළිබඳ කිසිදු න්‍යායක විග‍්‍රහයක් අද දක්වාම එයට නැත. එමෙන්ම රහසිගත ප‍්‍රහාරයන් මගින් බලය අල්ලා ගැනීමෙහි අසාර්ථකත්වයද ජවිපෙ විග‍්‍රහ කර ගත්තේ නැත.

ඔවුන් එදත් අදත් කරන්නේ ”ද්‍රෝහීන්” පිට වරද පැටවීමය.

1989-90 සමයෙහි මෙරට සිදුවූ දෙවන ජවිපෙ කැරැල්ල අතිබිහිසුණු ඒ සා විනාශකාරී මාවතක් කරා ගමන් ගත්තේ 1971 නිශේධාත්මක අත්දැකීම් ග‍්‍රහණය කර නොගැනීම නිසාය. 1989-90 ජවිපෙ කැරැල්ල දෙමළ විරෝධයෙන් පණපෙවී රහසිගත සන්නද්ධ ප‍්‍රහාරයන් මගින් භීෂණ දේශපාලනයක් මුදා හැරියේය. එදා ජනතාව පෙළපාලිවලට ගෙන ආවේ සෑම නිවසකින්ම දෙදෙනෙකු ආ යුතු බවට බෙදා හරින ලද වෙඩි බෙහෙත් ගද සහ ලේ වැකුණූ තුණ්ඩු මගිනි.

1971 අපේ‍්‍රල් කැරැල්ල ජවිපෙ මත රජය විසින් පටවන ලද මර්දනයේ ප‍්‍රතිඵලයක් යැයි කියා එහි ඇත්ත වසන් කිරීමත් 1989-90 සමයේ ජවිපෙ විසින් මුදා හරින ලද බිහිසුණු භීෂණය සහමුලින්ම රාජ්‍ය ත‍්‍රස්තවාදයට පැවරීමත් මගින් යළිත් වතාවක් සිදුවන්නේ ඒ ලේ වැකි මඟම ගැනීමට උන්නතිකාමී තරුණ පිරිස් පෙළඹවීම නොවේදැයි මෙම බොරු සමාජ ගත කරන කවරකු වුවත් දෙවරක් සිතා බැලීම වටී.