නිමල් අබේසිංහ

මහරගම නගර සභාවේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු මහරගම පැරණි බස් නැවතුම්පොළේ ඇගලූම් වෙළෙදාමේ යෙදී සිටි තමන්ව ඉවත් කර එම ස්ථානයේ වෙළදාම් කිරීමට වෙනත් පිරිසකට ලබා දී තමන් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කළැයි ඇගලූම් වෙළෙන්දෝ අද ජනවාරි 13 විරෝධතාවක නියැලූනහ.
මෙම විරෝධතාවට පොදුජන එක්සත් පෙරමුණේ වෙළඳ සංගමය, මහරගම පැරණි පාර නිමි ඇඳුම් කර්මාන්තකරුවන්ගේ සංගමය, අලූත් පාර නිමි ඇඳුම් අලෙවිකරන්නන්ගේ වෙළෙඳ සංගමය, එකමුතු රෙදි වෙළදුන්ගේ සංගමය යන සංගම්වල සාමාජික සාමාජිකාවෝ එකතු වී සිටියහ. රුවන් සේනාරත්න හා නිශාන්ත මඩලවත්ත යන නාගරික මන්ත‍්‍රීවරුන් දෙදෙනා මෙම සිද්ධියට සම්බන්ධ බවත් නගරාධිපතිවරයාගෙන් මේ ගැන විමසූවිට නිශ්ශබ්දව සිටින බවත් උද්ඝෝෂණයට සහභාගීව සිටි සංගම් නියෝජිතවරියක වන අශෝකා රණවක රාවයට පැවසුවාය.