ටිරන් කුමාර බංගගමආරච්චි


වත්මන් ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිසරය ගැන වැනූයේ මහා ඉහළිනි. ජනපති ගෝඨාභය දරුවන් සමග පැළ සිටුවන දැන්වීම් කියාපෑවේ මේ පහළවන්නේ පරිසරයේ ඉටු දෙවියා බවය. රුක් දෙවියා බවය. යහපාලන සමයේ බදියුදීන්ගේ කැලෑ කැපිල්ල ප්‍රතික්ෂේප කළ පරිසර සංවිධාන නියෝජිතයන් පවා ගෝඨාභය ජනපති කරන සටනට උපරිම දායකත්වය සැපයීය. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? පරිසර වැනුම පසකලා පරිසරය නසන තැනකට ගාල්වීම නොවේද? ගෝඨාභය ආණ්ඩුව ගෙන නව මසක් ගෙවෙන තැන පරිසරයට සිදුකර ඇති විනාශය සුළු පටුද?


අද පරිසරවේදීන් ජනතාව කොතෙක් කෑ මොර දුන්නද ඒ කිසිවක් ආපස්සට ගතහැකිවී ඇත්ද? එදා පරිසරවේදීන්ට ප්‍රවෘත්ති අතරතුර වොයිස් කට්වලට වෙනම කාලයක් වෙන් විය. අද ඒ ඉඩත් කප්පාදු කර නැද්ද?


අපි මින් පෙර අත් නොවිඳි මට්ටමේ පරිසර විනාශයක් මේ කෙටි කාලය තුළ අත් වින්දෙමු. තමාට මිනිසුන් ඡන්දය දුන්නේ ඕනෑම දෙයක් කරන්න යන පටු මානසිකත්වයේ සිටින ගෝඨාභය කැලෑ පාළුවෙක් වීම අනුමත කළ නොහැකි දෙයකි.

ප්‍රසිද්ධ වන සංහාර පරිසර විනාශ හැරුණු විට රහසේ කරන විනාශයන් කොතෙක් වේදැයි කිසිවකු ගණන් බලා නැත. ප්‍රසිද්ධ ස්ථාන හෝ රැක ගැනීමට පරිසරවේදීන් ගන්නා උත්සාහය වුව බෙහෙවින් අගය කළ යුතුය. ඒ අයට ශක්තියක් සැපයිය යුතුය. එසේ නොවූවහොත් ගෝඨාභයලා වවන ගස් ලොකු වනතුරු කාන්තාරයක ලගින්නට මේ රටේ මිනිස්සුන්ට සිදුවනු ඇත.


නව රජය පත්වූ පසු වන විනාශය පිළිබඳ පළමු පුවත කන වැටෙන්නේ සිංහරාජය ආශ්‍රිතවය. ඒ දෙනියාය සිට ලංකාගම දක්වා පාරක් ඉදිකිරීමට හමුදාව පියවර ගැනීමත් සමගය. ඒ සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක් පරිසර සංවිධාන විසින් ඇති කෙරිණි. මේ සම්බන්ධයෙන් තදින්ම පෙනී සිටි පරිසරවේදියකු වූයේ සජීව චාමිකාරය. සජීව කිව් හෝ නොකිවා වූ කතාවක් මතුවූයේ මේ මාර්ගය තනනුයේ යෝෂිත රාජපක්ෂගේ සිංහරාජයේ පිහිටි හෝටලයට යෑමට බවය. ඒ කතාවත් සමග රෝහිත කරළියට ආ අතර තමාට එවැනි හෝටලයක් නැති බවත්, එලෙස චෝදනා කළ අයට නඩු දමන බවත් සමාජ මාධ්‍ය ජාලවල ප්‍රසිද්ධ කළේය. ඒ සමග පාර අමතක වී යෝෂිතගේ හඬ මතුවිය. සජීවගේ හඬ යටපත් විය. එහෙත් මාර්ගය ඉදිකිරීම අපූරුවට සිදුවිය. සියලු කතාබහ අස්සේ ජනපති ගෝඨාභයත් පාර කපන එක බලන්නට ගියේය. අවසාන ප්‍රතිඵලය වූයේ පරිසරයට හානි නොවන ලෙස පාර ඉදිකරන ලෙස අණ කිරීමය. කලින් සැලසුම් කළ මේ ගමන්වලදී තමාගේ පිරිස් ගෙන්වා ආණ්ඩු පිනවන කතා කීවත්, ඒවා ඉතාම ඉහළින් ප්‍රචාරය කිරීමටත් ගෝඨා දක්ෂය. ඒ ඔහුගේ දැන්වීම් භාරව ඉන්නේ දිලිත් ජයවීර නිසාය. මේ සියල්ල ඔහුගේ මවාපෑම්ය. අවසානයේ ගෝඨා කී නිසා පාර කැපෙන්නේය. මුලින් පාර කපන්නට භාර ගත්තේද ගෝඨා කී නිසා බව දැන් කාටවත් මතක නැත.


දෙවැනි එක


සිංහරාජය හරහා කපන මාර්ගය අමතක කිරීමට ඉන්පසු කරළියට එන්නේ ඉස්සන් වගාව සඳහා ආනවිලුන්දාව රක්ෂිතයේ කොටසක් ඩෝසර් කිරීම පිළිබඳවය. එය මහත් අපරාධයක් සේ කසු කුසු ගෑවෙන විට සිංහරාජ කතාව ඉස්සා සේ අහකට පැන්නේය. ඉන්පසු ජනතා විරෝධය හමුවේ ඒ ගැන සොයා බලන තැනට ආණ්ඩුව ගාල් විය. විශේෂ කමිටු පත් කළේය. අවසානයේ කමිටු වාර්තාවෙන් හෙළිවූයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සහෝදරයා මේ කෙරුම්කාරකම කර ඇති බවය.


මුලින් විනාශයට සම්බන්ධ ඩෝසරය සහ රියදුරා අත්අඩංගුවට ගත් මුත් එයට අණ දුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නට සෑහෙන කාලයක් ගතවිය.


කඳුකරය


ඉන්පසු ඒ අස්සේම නැවත කතාබහක් මතුවූයේ හන්තාන රක්ෂිතය සහ නකල්ස් රක්ෂිතයට අදාළව ප්‍රදේශ දෙකක් ඩෝසර් කරන බවය.


ඉන්පසු එළුවන්කුලම ප්‍රදේශයේ අක්කර 100ක් සහ කිරින්ද ප්‍රදේශයේ අක්කර 30ක කඩොලාන පද්ධතියක් විනාශ කර ඇති බවට තොරතුරු වාර්තා විය. එයින්ද නොනැවතී තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝදාගම ග්‍රාම නිලධාරි වසමේ උඩවලව රක්ෂිතයක් හා ලුණුගම්වෙහෙර රක්ෂිතයක් යා කෙරෙන ස්ථානයක අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක් ඩෝසර් කර ඇති බවය. එය අලිමංකඩක්ද වේ.


තවදුරටත්


ඉන් නොනැවතී රටේ හැම දිග් භාගයටම මේ විනාශය රැගෙන යන්නට ආණ්ඩුව උමතු වී ඇති බව හෙළිවන්නේ බලංගොඩ නන්පේරියල් වතුයායේ සිට හෝර්ටන්තැන්න දක්වා වැටී ඇති පැරණි අශ්ව මග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙන බවට වූ කතාවත් සමගය. මේ පිළිබඳ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කර ඇත. ඒ කතාවට පරිසරවේදීන්ගේ දැඩි විරෝධය එල්ල වූ අතර ඒ නිසා කතාව තාවකාලිකව නැවතී ඇත. මේ අතර හොරොව්පතාන ගෝනෑව රත්මලේ රක්ෂිත වනාන්තර තුළද මහා පරිමාණ වන විනාශයක් සිදුවන බව පැවසේ. මීට අමතරව රන්දෙණිගල, මොරවැව, ආඬියාතැන්න, කිරින්ද, මඩකළපුව, ත්‍රිකෝණමඩු සහ මහදිවුල්වැව ප්‍රදේශවලද විශාල වශයෙන් විනාශයන් සිදුවන බව වාර්තා වී ඇත.


ලංකාව සංචාරක ආකර්ෂණයේ ප්‍රමුඛයා කරන්නට ගන්නා මේ ක්‍රියාමාර්ග අවසානයේ ඉතිරි කරනුයේ මුඩුබිමකි. මේ සඳහා කොතෙක් විවේචන විරෝධතා එල්ල වුවද ඒවා නෑසූ කන්ව හිඳ ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ ඒ බලය ජනපති ගෝඨා අණ දුන් පසුවය. එය සජීවීව සිදුවන්නකි. දැන් මේ රටේ සියල්ල ගෝඨාගේය. ඔහු කීවොත් කැලය කැපිය හැකිය. තෙත් බිම් මුඩු බිම් කළ හැකිය. ඕනෑම දෙයක් කළ හැකිය. මේ නරුම ක්‍රමවේදයන් හරහා සිදුවන්නේ මේ රට විනාශවීමය. මේවා අනුමත කර ගෝඨා නිවැරදි කරන මාධ්‍ය රටට කරන විනාශය මේ වන විනාශයටත් වඩා විශාලය.


මේ මාස නවයට ආණ්ඩුව කළ පරිසර විනාශයය. ඉදිරි පස් අවුරුද්ද තුළ මේ රට මොනතරම් විනාශයකට ඇද දමනු ඇත්ද යන්න සිතීමට මෙයම කදිම නිදසුන්ය. මේ සෞභාග්‍යයේ දැක්මය. ආශ්චර්යයෙන් එහාට ගිය සෞභාග්‍යයය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here