කුසල් පෙරේරා


පරිසරය සමග සම්මුති ගැසිය නොහැක
සංවර්ධනයද අත හැරිය නොහැක
මේ අතර නිවැරදි තුලනයක් නැතිව ඉදිරියට යාමටද නොහැක

ගාල්ල දිස්ත්‍රික්කයේ සිංහරාජය මායිම්ව ඇති “ලංකාගම” මේ දිනවල මාධ්‍යයන්හි නිතර සඳහන් වන දුප්පත් හුදකලා ගමකි. එහි ගම්වැසියෝ පාරක් තැනීම සම්බන්ධයෙන් පරිසරවේදීන් හා සංවිධාන සමග කඹ ඇදිල්ලකට පැටලී සිටිති. ගම්වැසියන් කියන අයුරු ඔවුන් හැම ආණ්ඩුවකින්ම මෙන් නෙළුව දක්වා වන කි.මී 18 ක පාර පුළුල් කර හදා දෙන්න යැයි ඉල්ලූවත් කිසිදු ආණ්ඩුවකින් එය ඉටුකර දී නැත. ලංකාගම සිට නෙළුව දක්වා වන පාර, ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා පොදු පහසුකම් හා රාජ්‍ය සේවා සමගත් හොඳ වෙළෙඳපොළ සම්බන්ධතා තහවුරු කර ගැනීමටත් ඇති එකම පොදු මාර්ගය වන්නේය. හදිසි අවස්ථාවන්හි ගැබිනි මව්වරුන් හා අත දරුවන් කි.මී. 18 ක් දුර නෙළුව රෝහලට ගෙන යාමට සිදුවන්නේද මේ අබලි පාරෙනි. එවැනි අවස්ථාවලදී නොවිය යුතු ඛේදවාචකවලට ඔවුන් මුහුණ දුන් අවස්ථා ඇතැයිද ගම්වැසියෝ කියති.


ඒ සියලු දිළිඳුකම් හා දුෂ්කරතා ඇති ගමේ පාසලේ විශාලත්වය එක්තරා අතිශයෝක්තියකි. ඒ කතාව කෙටියෙන් මෙසේය. තිබුණු පරණ පාසල් ගොඩනැගිල්ල 2002 වසරේ මහා ගංවතුරෙන් ඇද වැටී ඇත. එය නැවත ඉදිකර දීමට එවක අගමැති වික්‍රමසිංහ පොරොන්දු වී, ඒ සඳහා මුදල් ලබාදීමට ලේක්හවුස් ආයතනයේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ඇරඹීමට දැනුම් දී ඇත. ඒ අතර, ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග, වික්‍රමසිංහ ආණ්ඩුවේ මාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ 03 ක් පවරා ගත්තාය. ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබූයේ පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ කරුණාරත්න පරණවිතාන ය. ඒ සමග ලංකාගම පාසල් ව්‍යාපෘතියේ සුපරීක්ෂණය පැවරුණේ පරණවිතානට ය. මේ ඔහු, ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනකින් උපුටා ගත්තකි. “පාර දුෂ්කරය. ෆෝවීල් වාහනයකටවත් එක දිගට යා නොහැකි විය. සමහර දිනෙක අපි වාහන අතරමග දමා පයින් ගියෙමු. එක දිනෙක ගිය වාහනයක් අතරමග පෙරළිණි.”


මීට අවුරුදු 17 ට පෙර 2003 වන විට ලංකාගම- නෙළුව පාර තිබූ තත්ත්වය එවැනිය. ඒ ගැන තමන් පාසලේ ඉදිකිරීම් කෙරෙන කාලයේ ලංකාගම වැසියන් සමග කතා කළ බවත් එහි සුළුතර හා බහුතර යැයි මත දෙකක් වූ බවත් පරණවිතාන සිය ෆේස්බුක් සටහනෙහි ලියා ඇත. “සුළුතරයක් දෙනා පාර හැදෙනවාට විරුද්ධ වූහ. මේ ගමට වාහන යන පාරක් ආවොත් ගමත් ඉවරයි. සිංහරාජෙත් ඉවරයි.” ඔවුන් සුළුතරයේ අදහස විය. එහෙත් බහුතරයේ මතය ඊට ප්‍රතිවිරුද්ධ වූවකි. “හදිසියකට ලෙඩෙකුට බෙහෙත් ටිකක් ගන්න නෙළුවට හරි තවලමට හරි යන්න, ත්‍රීවීල් එකක්වත් ගෙනියන්න පාරක් තිබුණොත් හොඳයි.” බහුතරයේ ඉල්ලීම විය.


පාසල හදා නිමකොට අවුරුදු 15කට පමණ පසු මේ පාසලේ ගුරුවර ගුරුවරියන් වෙනුවෙන් පසුගිය නොවැම්බර් 28 වන දින, සේවා ඇගැයීමේ උත්සවයක් විදුහල්පති විසින් සංවිධානය කරනු ලැබූයේ “….මේ ගුරුවරුන් කි.මී. 07 ක් 08 ක් පයින්ම ඇවිත් පයින්ම යනවා. මේ ගුරුවරුන් කණ්ඩායමක් වශයෙන් පාසලේ දියුණුවටත් ළමුන්ගේ ඉගෙනීමටත් ලබා දෙන සේවය අවංකවම අගය කරන බව” කීමටය.


විදුහල්පතිගේ කතාවෙන් කියන්නේ 2003 දී අබලන්ව තිබූ පාර, අවුරුදු 16 ට පසුවත් එවැනිම යැයි කියා ය. මෙහි තේරුම කුමක්ද? ගමේ වයස හා ජනගහනය යෝජිත පාර පුළුල්කර හැදීමට එතරම් අදාළ නැත. බොහෝවිට ගමට අවශ්‍ය පහසුකම් සම්බන්ධ කර ගැනීමට පාරක් ලැබුණු පසු ගම දියුණු වන්නේය. ගම අතහැර යෑම අඩු වන්නේය. එහෙත් අවම අවුරුදු 40 ක් මේ ගම්වැසියන්ට ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය පාරවත් ඔවුන්ට ලබාදී නැත. ජීවිතයේ “දියුණුව” යන ප්‍රාථමික අයිතියද ඔවුන්ට අහිමි කරමින් ඇත. ඒ අහිමි කිරීම, ඔවුන් දිගින් දිගටම දිළින්දන් සේ තබා ගැනීමකි. වරක් නොව මෙවරත් සමග දෙවරක්ම, ලංකාගම හා අවට වැසියන් දිළින්දන් ලෙස තබා ගැනීමට පරිසරවේදීන් දායකව ඇත.


ලංකාගම නෙළුව පාර පුළුල් කිරීමට එරෙහිව පරිසරවේදීන් ඉදිරිපත් කරන හේතු කාරණා වන්නේ, (1) මේ පාර අනවසර පාරකි (2) මෙය සිංහරාජ වන රක්ෂිතය අභ්‍යන්තරයේ ඉදි කෙරෙන්නකි (3) මෙය සිංහරාජයේ ඇති යෝෂිත රාජපක්ෂගේ යෝධ සංචාරක හෝටලයක් වෙනුවෙන් ඉදි කෙරෙන්නකි. (4) මේ පාර ඉදිකිරීමෙන් ඒ පාර අවට ඉන්නා ඉතා විශේෂ ආවේණික කෘමී වර්ග දෙකක් වඳවීමට ඉඩ ඇත (5) සිංහරාජය යාබදව ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් සිංහරාජයට එකතුකිරීමේ ක්‍රියාවලිය අඩපණ කරමින් ඒවා මහ පරිමාණ ව්‍යාපාරිකයින්ට ලබාදීමේ කූඨ උත්සාහක් ඇත (6) මේ පාර ඉදිකිරීමෙන් සිංහරාජ පරිසරය හේතුවෙන් වැඩි වටිනාකම් ඇති, ඉහළ මිල ගණන් ලබන්නාවූ කුඩා තේ වතු හිමියන්ට බරපතළ තරගයකට මුහුණ දෙන්නට සිදුවීමෙන් ඔවුන් අනාථ විය හැකිය.


(1 සහ 2) මේ පාර අනවසර පාරක් යැයිද මෙය සිංහරාජ වන රක්ෂිතය අභ්‍යන්තරයේ ඉදි කෙරෙන්නක් යැයිද වන චෝදනාව ගැන පළමුවෙන් කිවයුත්තේ මෙය මීට අවුරුදු 40 ට වඩා ඉහතින් 1980 ට පෙර සිට පවතින පාරක් බවය. දෙවනුව, මෙහි කි.මී 18 න් සිංහරාජ මායිමට ඇතුළෙන් ඉදිවී ඇති දෙපළක සමස්ත දුර ප්‍රමාණය කි.මී. 02 ට වඩා අඩු බවය. තෙවනුව කිවයුත්තේ මේ පාරට 2010 දී කොන්ක්‍රීට් දමා අලුත්වැඩියා කර ඇත්තේ නෙළුව ප්‍රා.ලේ කාර්යාලය හරහා රජයේ මුදලිනි.


මේ රටේ ඕනෑම තැනක සැලකිය යුතු කාලයක් ජනතාව විසින් අවහිරයකින් තොරව භාවිත කළ පාරක් එහි දුර ප්‍රමාණය නොතකා පොදු පාරක් බව නෛතිකව පිළිගනු ලබන්නකි. එලෙසින්ම, මේ පාරේ අලුත්වැඩියාව වෙනුවෙන් රජයේ මුදල් රජයේ ආයතන හරහා යොදවා තිබීමෙන්ම මෙය “අනවසර” පාරක් නොවන බවට සාක්ෂියකි. එවගේම මෙය සිංහරාජ රක්ෂිතය තුළ ඉදිකරන්නාවූ පාරක් යැයි කීමත් වැරදි සහ සාවද්‍ය ප්‍රකාශයකි.


(3) යෝෂිත රාජපක්ෂගේ යෝධ සංචාරක හෝටලයක් ගැන කතාවත් එවැනි ය. ලංකාගම ආසන්නයේ සංචාරක නිවාස නැතුවා නොවේ. පැවරෝන් ඊකෝ ලොජ්, සිංහරාජ ෆොරස්ට් ගේට්, රේන්ෆොරස්ට් මවුන්ට් ලොජ්, මවුන්ට් ක්‍රෙස්ට් ඉන්, එවැනි කිහිපයකි. ඇතැම්වා අවුරුදු 30 – 40 ක් පැරණි සංචාරක නිවාස ය. අන්තර්ජාලයෙන් ඒවායේ කාමර වෙන්කර ගැනීමටද හැකිය. එනිසා ඒවායේ අයිතිකරුවන් කවුරුන්දැයි සොයා ගැනීම අපහසු කාර්යක් නොවේ. යෝෂිත රාජපක්ෂගේ හෝටලයක් ගැන කෙරෙන මේ කතා බේගල් ගණයට අයත් වන්නේ කිසිම අවස්ථාවක හෝටලයේ නමක් හා තැනක් සඳහන් නොකර, සාක්ෂියක ඉඟියක් හෝ නැතිව කෙරෙන කතා හෙයින් ය.
(4) ලංකාගම සිට නෙළුව දක්වා මේ පාර ඉදිකිරීමෙන් ඒ පාර අවට ඉන්නා ඉතා විශේෂ ආවේණික කෘමී වර්ග දෙකක් වඳවීමට ඉඩ ඇතැයි කීමත් කියන්නං වාලේ කීමකි. දැනට අඩි 10 ක් පමණ පළල් පාර අඩි 20 ක් දක්වා පුළුල් කිරීමෙන් මේ කෘමි විශේෂ වඳවන්නට ඉඩ ඇතැයි කී විට, ඉන් කියැවෙන්නේ මේ කෘමි විශේෂ ඉන්නේ පාර දෙපැත්තේ අඩි 10 ක පමණ තීරුවකැයි යනුවෙනි.


(5) මේ තවත් හිතලුවකි. සිංහරාජයට යාබදව ඇති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් සිංහරාජයට එකතු කිරීමේ ක්‍රියාවලිය අඩපණ කරමින් ඒවා මහ පරිමාණ ව්‍යාපාරිකයින්ට ලබාදීමේ කූඨ උත්සාහක් ඇතැයි කියන විට, ඒ සම්බන්ධ කිසියම් සාක්ෂියක් තිබිය යුතුය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් සිංහරාජයට එකතු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට අදාළ ඉඩම් මායිම් සඳහන් ගැසට් පත්‍රයක් තිබිය යුතුය. මිණුම් කටයුතු පිළිබඳ තොරතුරු තිබිය යුතුය. යම් ක්‍රියාවලියක් අඩපණ කළේ යැයි කිවහැක්කේ එවැනි ආරම්භයක් තිබුණි නම් පමණි. අවම තරමින් ඒ සම්බන්ධ යම් විස්තරයක් හෝ ඉදිරිපත් කළ යුතුය. එවැනි කිසිත් නැතිව කෙරෙන මෙවැනි ප්‍රකාශ හිස් බංකොළොත් ප්‍රකාශයන්ය.


(6) කිසිදු තර්කයකට හසු නොවන ඔවුන්ගේ තේ වතු කතාව තවත් මනඃකල්පිතයකි. සිංහරාජ පරිසරය හේතුවෙන් වැඩි වටිනාකම් ඇති, ඉහළ මිල ගණන් ලබන්නාවූ කුඩා තේ වතු හිමියනට, මේ පාර පුළුල් කිරීමෙන් බරපතළ තරගයකට මුහුණ දෙන්නට සිදූව ඔවුන් අනාථ විය හැකි යැයි කීම, කොයි ලෝකයෙන් සොයාගත් සූත්‍රයක් දැයි නොදනිමි. පාරක් වැටුණම සිදුවන්නේ ඉල්ලුම හා ගැනුම්කරුවන් වැඩිවීම හා මිල ඉහළ යාම බැව් සාමාන්‍ය ගමේ මිනිසුනුත් දන්නා කාරණාවකි.


මෙවැනි කතා මතින් ගැටලුවට හරියාකාර විසඳුම් ලබාගත නොහැක. විසඳුම් ලැබීමට නම් සැබෑ කාරණා ඉස්මතු කළ යුතුය. රටේ කොතැනක වූවත් මෙලෙසින් පාරක් පුළුල් කිරීමේදී අනුගමනය කළ යුතු නීතිමය පිළිවෙතක් ඇත. පළමුව ඒ සම්බන්ධ ව්‍යාපෘතියක් රාජ්‍ය ආයතනයකින් ඊට වැය වන මුදල සමගින් ඇස්තමේන්තු කර අනුමත කරගත යුතුව ඇත. අනතුරුව ඒ වෙනුවෙන් අවසර ලබා ගත යුතු ප්‍රාදේශීය ලේකම්, වනජීවි, පරිසර අධිකාරිය වැනි රේඛීය ආයතන වෙත යා යුතුය. එමෙන්ම, පරිසර බලපෑම් පිළිබඳ තක්සේරුවක් ස්වාධීන ආයතනයකින් ලබා ගත යුතුය. අනතුරුව ඉදිකිරීම් සම්බන්ධව ටෙන්ඩර් පටිපාටියක්ද ඇත. පරිසරවේදීන් ප්‍රශ්න කළයුත්තේ එවැනි පිළිගත් නෛතික පිළිවෙත් නොමැතිව හමුදාව එකවර යෙදවීම ගැනය. ඔවුන් ඉල්ලා සිටිය යුත්තේ පාර පළල් කිරීමට අදාළ ලේඛනය. ආණ්ඩුවට බල කළ යුත්තේ නිල පිළිවෙත් අනුගමනය කිරීමට ය.


පරිසරය හා මානව ශිෂ්ටාචාර අතර මේ ගැටුම අතිශය පැරණි ගැටුමකි. ඒ පෞරාණික ගැටුමෙහි මිනිසාට ප්‍රමුඛතාවක් තිබිණ. එසේ නොවන්නට ක්‍රිස්තු පූර්ව 2,500 ඉන්දු නිම්න මොහෙන්ද ජාරෝ – හරප්පා වැනි ශිෂ්ටාචර බිහිවන්නේ නැත. ලොව කීර්තියට පත්ව ඇති අපේ ඉපැරණි වාරි ක්‍රමයේද මිනිසුන් අප්‍රමාණව පරිසරය හා ගැටුණි. චූලවංශයට අනුව මහා පරාක්‍රමබාහු යුගයේ සිදු කෙරුණු මහ වැව් ප්‍රතිසංස්කරණ හා අලුතින් ඉදි කළ මහ වැව් සංඛ්‍යාව 163 කි. “පරාක්‍රම සමුද්‍රය” වර්ග කි.මි 30 ක යෝධ වැවකි. ඒවායින් සිදුවූ පරිසර විනාශය කෙතරම්දැයි අපි නොදනිමු.
ඒ සියල්ලත් සමග අප පැමිණ ඇති දුර ඉතා දිගුය. ඒ දිගු ගමන පුරා අප ලද අත්දැකීම්, එකතු කරගත් දැනුම, අලුතින් ලබා ගත් තාක්ෂණය, ඉමහත් ය. ඒ සියල්ල වර්තමාන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහ සමගින් ගොනුවූ දැනුම් සම්භාරයකි. ඒ සමග අප හදාගත් නෛතික පදනම් ඇත. අප අත්සන් තබා ක්‍රියාවට නැගීමට එකඟවූ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් ඇත. එනිසා අතීතයේ මෙන් පරිසරය නොතකා සංවර්ධන කාර්යන්ට අත තබන්නට දැන් අවශ්‍ය නැත.


එහෙත් විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි ආවේණික මහ පරිමාණ දූෂණ සමග පරිසරය රැකීමට වුවමනාවක් බල අධිකාරීන්ට ඇත්තේ නැත. සියලු දූෂණ දේශපාලනඥයින්ගේ ගිණුමට බැර කිරීම ජනප්‍රිය චෝදනාවක් වූවත් විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි දූෂණය දේශපාලනඥයින්ට සීමාවන්නක් නොවේ. තවමත් කිසිදු ඇමතිවරයෙකුට ඔහුගේ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පූර්ණ සහාය නොමැතිව කිසිදු දූෂිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ නොහැකිය. මේ විවෘත වෙළඳපොළ ආර්ථිකයෙහි සියලු දූෂණ සිදුවන්නේ අමාත්‍යාංශ ලේකම්ලාගේ සිට ගණකාධීකාරීන්, ඉංජිනේරුවන්, නීතිඥයින් ඇතුළු වෘත්තිකයින්ගේද ඔවුන්ව නඩත්තු කරන්නාවූ ජාවාරම්කාරයින්ගේද නොමද සහාය ඇතුව ය.
කෝවිඞ්-19 වසංගතය සමග අවුරුදු 40ට වැඩි කාලයක් පවත්වා ගත් අතිශය දූෂිත නව ලිබරල් ආර්ථිකය බරපතළ බිඳ වැටීමකට ගොදුරව ඇත. ගෝලීය වෙළෙඳපොළ හැකිළී ඇත. එනිසා ඔවුන් බලාපොරොත්තු වන ආයෝජන පූර්ව කෝවිඞ්-19 යුගයේ මෙන් සාක්කු පුරවා ගැනීමට දැන් ලැබෙන්නේ නැත. මේ එළැඹෙන්නේ වෙනත් යුගයකි. මේ එළැඹෙන්නේ දේශීය ආර්ථිකයෙහි ග්‍රාමීය නිෂ්පාදන සඳහා වැඩි බරක් තබන්නට සිදුවන අලුත් යුගයකි. ජාතික රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම නැවත ඉල්ලා සිටින යුගයකි. එබැවින් මෙවැනි සංවර්ධන කාර්යන් සඳහා පරිසරවේදීන් මැදිහත් විය යුත්තේ පැරණි ප්‍රචාරකවාදී විරෝධාකල්ප සංස්කෘතිය කර ගසා ගෙන නොවේ.


පාරිසරික ගැටුම් සඳහා උත්තර සෙවිය හැක්කේ තැන තැන කෑලි ප්‍රශ්න වෙනුවෙන් උසාවි තීන්දු ඉල්ලා සිටීමෙන් හෝ හුදකලා සටන් කිරීමෙන් නොවේ. සමස්ත පරිසරය වෙනුවෙන් ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් හැදීමේ සමාජ ව්‍යාපාරයක් වෙත මාරු වීමෙනි. එය නාගරික වායු හා ශබ්ද දූෂණයේ සිට ග්‍රාමීය ඉදිකිරීම් හා නාය යෑම් දක්වාත් කසළ ඉවත් කිරීමේ සිට කඩොලාන, තෙත් බිම් හා වන රක්ෂණය සමග කළමනාකරණය දක්වාත් වෙරළ සංරක්ෂණයේ සිට නගර සංවර්ධනය හා නිවාස සැලසුම් කිරීම දක්වාත් ජාත්‍යන්තර ප්‍රඥප්තීන් ක්‍රියාවට දැමීමත් අමාත්‍යාංශ හා දේශපාලනයෙන් බැහැර නියාමන කාර්යන් සඳහා ප්‍රජා මූලික යාන්ත්‍රණයක් හැදීම සහ පැමිණිලි විභාග කිරීමේ ස්වාධීන යාන්ත්‍රණයක් පිහිටුවීම වැනි සියල්ල ආවරණය වන්නාවූ ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් විය යුතුය.


එය පරිසරවේදීන්ට තනිව කළ හැක්කක් නොවේ. වෘත්තිකයින් කිහිප දෙනෙකුට හුදකලාව කෙටුම්පත් කළ හැක්කක්ද නොවේ. එය පුළුල් කතිකාවක් සමග සමාජ හවුලකින් විය යුත්තකි. කෙටියෙන් කියන්නේ නම් “ජාතික පාරිසරික ප්‍රතිපත්තිය” නීතිගත විය යුත්තේ ජනතා හිමිකාරිත්වයක් ඇති නීතියක් ලෙසිනි. ලංකාගම දියුණුව සමග සිංහරාජය රැකිය හැක්කේ එවැනි සමාජ හිමිකාරිත්වයක් ඇතිව පමණි. ■