විමලනාත් වීරරත්න

ඇමති වීරවංශ සම්බන්ධයෙන් මතුවු ප‍්‍රශ්නය සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් රැස්වී තිබුණි. එම හමුව තනිකරම බැසිල් රාජපක්ෂගේ වුවමනාවක් බව පෙනී යයි. පසුපෙළෙහි පොදු අදහස වී තිබුණේ ආණ්ඩුව නියෝජනය කරමින් විපක්ෂයේ කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බවය. එය ලංකාවේ දේශපාලනය වරද්දාගත් තැනකි. ආණ්ඩුව වුව විපක්ෂය වුව කළ යුත්තේ රාජ්‍යයේ ප‍්‍රගමනයට අවශ්‍ය කටයුතුය. ඒ අනුව වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව විපක්ෂයේ පෙළ ගැසීමත් රාජ්‍යයේ කටයුත්තකි. එය ආණ්ඩුවේ ව්‍යාපෘතියකට විරුද්ධවීමක් විය හැකිය. එහෙත් ඉන් සැලසෙනුයේ රාජ්‍යයේ ප‍්‍රගමනයය. ස්ථාවරයය. ආණ්ඩුව නියෝජනය කරන මන්ත‍්‍රීවරු මේ මොහොතේම විපක්ෂය නියෝජනය කරන තැනට පත්වුයේ නම් ඔවුන්ට මේ පිළිබඳ ක්ෂණික අවබෝධයක් ළගා කර ගත හැති වනු ඇත. වසර පහකින් සෙමින් සෙමින් ඔවුන් විපක්ෂයට ගිය විට මේ සාම්‍යය හඳුනා ගැනීම තරමක් අපහසු වෙයි. ආණ්ඩුවේ හා විපක්ෂයේ බොහෝ දෙනෙක් එම අර්බුදයට මුහුණ දී සිටිති. නායකයෝ පවා එම අවුලේ සිටිති. අණ්ඩුකරණය යනුම විපක්ෂය සමග බද්ධ වු ගමනක් යන දියුණු සිතීම ලංකාවට නොමැතිවීම බරපතළ පාඩුවකි. ආණ්ඩුව හා විපක්ෂය කියන භේදයට රාජ්‍ය පාලනයේදී ඇත්තේ දෙපැත්ත කැපෙන අර්ථයකි.

පසුපෙළ ඉලක්ක

පසුපෙළ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුව රැකගත යුතුය. එහෙත් ආණ්ඩුව කරන ඕනෑම වැරදි ක‍්‍රියාවක් ඔවුහු අනුමත නොකළ යුත්තෝය. වීරවංසට විරුද්ධව එකතු වූවා සේම ජැටිය විකුණන එකටත් එරෙහිව පසුපෙළ මන්ත‍්‍රීවරුන් පෙළ ගැසිය යුතුව තිබේ. එසේ වුයේ නැත. ආණ්ඩුව බේරා ගැනීම යනු ආණ්ඩුව වැරදි ගමන් මගෙන්ද බේරා ගැනීම බව පසුපෙළ මන්ත‍්‍රීවරු සිතිය යුතුය.

වර්තමානයේදි දැකිය හැක්කේ පසුපෙළ, විවාදාපන්න හා තම තමන්ගේ ශරීර රිදෙන්නට ඉඩ ඇති ප‍්‍රශ්න වලට අත නොගසන බවය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිදු කුමාරතුංග නීති විභාගය ඉංග‍්‍රීසියෙන් පැවැත්වීමට පැමිණි යෝජනාවට එරෙහි වී තිබුණි. ඔහු ඒ ගැන අගමැතිටත් කරුණු කී බවට වාර්තා නිය. එම මැදිහත්වීම ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් සිදුවන සෑම වැරදි ක‍්‍රියාවකටම එරෙහිව කළ යුතුය. ජැටිය විකිණීම, වන විනාශය, නිෂ්පාදන ආර්ථිකයකට නොයෑම, නාස්තිය, දුෂණය, මරණීය දඩුවම ලැබුවන්ට ජනාධිපති සමාව දීම, අධිකරණ බලයට පටහැනිව පළිගැනීම් පිළිබඳව විමර්ශනයට ඇති කළ කොමිසම වැනි ආයතන පිහිටුවීමට විරුද්ධවීම දක්වාම පසුපෙළ මන්ත‍්‍රීවරුන්හට ආණ්ඩුව පිළිබඳ වගකීමක් තිබිය යුතුය. ඒවාට විරුද්ධවී ආණ්ඩුවේ වසන්නේ කෙසේද යනුවෙන් පෙරළා ප‍්‍රශ්නයක් නැගිය හැකිය. එම ප‍්‍රශ්නය සැබෑවකි. ප‍්‍රශ්නය සැබෑවක් සේම ඊට ප‍්‍රතිචාර වශයෙන් කිව යුත්තේ එම අනතුර භාර නොගැනීමෙන් රටත් දේශපාලකයාත් සපුරාම පරිහානියට යන බවය. ලංකාවේ බලපවත්වන කුණුවු දේශපාලන සංස්කෘති එම සාධාරණ එරෙහිවීම් වලට ඉඩ නොතබයි. ක‍්‍රමය විසින් එරෙහි වන්නන්ගේ ගෙල සිඳලයි. රටේ ප‍්‍රධාන නායකයන් සමාජ දේශපාලන ප‍්‍රතිසංස්කරණ සමුදායකට එකග විය යුත්තේ මේ තත්ත්වය සමනය කර ගැනීම සඳහාය. ඒ ක‍්‍රියාවලියේදි යළි මෙහි ආරම්භයට යා හැකිය.එනම් එම ප‍්‍රතිසංස්කරණ දිනා ගැනීම ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ පොදු එක`ගතාවයකින් සිද්ධවීම වැදගත්ය. එවැනි සම්මුතියක් තුළ ආණ්ඩුවේම පසුපෙළටත් තම ආණ්ඩුව පිළිබඳව ස්වයං විවේචනයක් කර ගත හැකිය.

සිදුවන්නේ කුමක්ද

ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රිවරුන්ගේ දෙපා යටින් නාය ගියත් නැගී නොසිටින අතර නැගිසිටිය යුතු එකම ප‍්‍රශ්නය වීරවංශට අභියෝග කිරීම බව ඔවුහු සිතුවෝය. වීරවංශත්, ගම්මන්පිලත් 20 වැනි සංශෝධනය ගැනත් මැසිවිලි නැගුවෝය. එහෙත් අවසානයේදී ජනාධිපතිවරයා තමන් හමුවේ සංවේදී වු බව කියමින් විස්සට පක්ෂ වූහ. විරවංශ වැනි මන්ත‍්‍රීවරුන්ගේ විරෝධය පෑම්වලට පදනමක් නැති බව පසුපෙළ මන්ත‍්‍රීවරු වටහා ගත යුත්තෝය. ජනාධිපතිවරයාට පොදු ජන පෙරමුණේ ඉහළ තනතුරක් ලබාදිය යුතුය යනුවෙන් විරවංශ කළ ප‍්‍රකාශයත් එවැනි පදනමක් නැති කතාවකි. අනෙක් අතට ජනාධිපතිවරයා, සිය තනතුරට අදාළ කටයුතුත් නිසි පරිදි එකලස් කරගෙන සිදු කරන බවක් නොපෙනෙයි. අප දකින්නේ ඉවක් බවක් නැතුව රට පුරා දුවන ජනාධිපතිවරයෙකි. ජනපති යනු තැන්පත්ව රට මෙහෙයවන කෙනෙකු විය යුතුය. ග‍්‍රාමසේවක තනතුරක රාජකාරිය කරන ජනපති කෙනෙක් රටට අවශ්‍යද ? පළමුව විරවංශ ජනපතිට කිව යුත්තේ ධුරයට අදාළ භුමිකාව හරියට නිරූපණය කරන ලෙසය. අනතුරුව සෙමින් නායකත්වයට පත්විය හැකිය. පුද්ගලයන් බලහත්කාරයෙන් නායකයන් බවට පත් කළ නොහැකිය. එය ක‍්‍රමිකව සිදුවන්නකි. ජනපතිධුරය සමග පක්ෂ නායකත්වයද ගෝඨාභය මහතා පිට පැටවුවහොත් ඔහුට එය නිසැකවම අතිරේක අධික බරක් විය හැකිය. අනෙක් අතට වීරවංශගේ මැදිහත්වීම අයාලේ යන රට සැබෑ මාතෘකාවලින් බැහැර කිරීමේ ප‍්‍රයත්නයක්ද වෙයි. රටේ නොවිසඳුණු ප‍්‍රශ්න කන්දරාවක් ගොඩ ගැසි තිබියදී පක්ෂ නායකත්වයක් ගැන කතා කිරීම නිරර්ථක බව සිහිබුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට පෙනී යයි. පොදු ජන පෙරමුණේ නායකත්වය රටේ ප‍්‍රශ්නයක්ද, නැතහොත් එය ජනපති ගෝඨාභයගේ ප‍්‍රශ්නයක්ද ? එසේත් නැතහොත් වීරවංශගේ ප‍්‍රශ්නයක්ද ? එය රටේ ප‍්‍රශ්නයක් නොවන බව නම් කිව හැකිය.

බරපතළ ප‍්‍රශ්න

ඇස්ට‍්‍රා සෙනෙකා එන්නත ලක්ෂ 5ක් ලංකාවට ලැබුණි. එය මාත‍්‍රා දෙක බැගින් දෙන විට දෙලක්ෂ පනස් දහසකට ලබාදිය හැකිය. දැනට 1,90000 කට එන්නත ලබා දී ඇති බව වාර්තා වෙයි. ඉතිරිය පාර්ලිමේන්තු සාමාජිකයන්ට ලබා දිය යුතු බවට යෝජනාවක් වෙයි. විශේෂයෙන්ම රටේ නාගරිකව වාසය කරන ජනතාවට මෙම එන්නත පළමුව ලබාදීම වැදගත්ය. ඒ ඔවුන් අතර රෝගය පැතිරයාමේ අවධානම වැඩි බැවිනි. එමෙන්ම මෙම එන්නතෙහි සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ විනිශ්චයකට ඒමෙන් පසු ඉන් තවත් තොගයක් මිලදි ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. පසුපෙළ මන්ත‍්‍රීවරු මෙවැනි ප‍්‍රශ්න කෙරෙහි සාකච්ඡුා කිරීමට නොපෙළඹෙති. ඒ මන්ද යන්න ප‍්‍රශ්නයකි. වීරවංශගේ ගෙදර රැුස්වු පක්ෂ නායකයන්ද සාකච්ඡා කර තිබුණේ සන්ධානය තුළ කුඩා පක්ෂ වලට ප‍්‍රධාන පක්ෂය වැඩි අවධානයක් නොදීමේ ප‍්‍රශ්නයයි. කුඩා පක්ෂවල ඉරණම විසඳෙන්නේ ඒ ආකාරයට බව ඔවුන් තේරුම් ගැනීමද වැදගත්ය. මහින්ද සුළග හෝ කවර හෝ සුළගක් නිර්මාණය කිරීමට හා පවත්වාගෙන යාමට වීරවංශ වැනි කටකාරයෙක් වුවමනාය. එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ පාලන විලාසිතාවට වීරවංශ, ගම්මන්පිල දෙදෙනාම නොගැලපෙන බව පෙනෙයි. ඒ ජනපති ගෝඨාභයගේ පාලන විලාසිතාව මගින් ඔවුන් වැනි කයිකාරයන් රිජෙක්ට් කරමින් තිබෙන තත්ත්වය තුළය. ගෝඨාභයගේ ඇස හා අවධානය යන්නේ හමුදාව වැනි ආයතන කෙරෙහිය. ඒ ඔහු උගත් හා ඔහුගේ පූර්ව අවධානය දිනු වපසරිය හමුදාව වන නිසාය. මහින්ද රාජපක්ෂ, විලාසිතාවෙන් ඊට ප‍්‍රතිපක්ෂ නායකයෙකි. ඔහු කයිවාරුවෙන්, බලාපොරොත්තු වලින් හා හැගීම්බර ප‍්‍රකාශ වලින් ගොඩගිය මිනිසෙකි. එම ව්‍යාපෘතියට වීරවංශ වැදගත් වුවත් ගෝඨාභයගේ මිලිටරි දේශපාලන විලාසිතාවට වීරවංශ වැදගත් නැත. කොළඹදී වීරවංශ පසුපසට යවා වීරසේකර පළමුවැනියා වීමෙන්ද මේ බව තේරුම් ගත හැකිය. ලංකාවේ කයිවාරු දේශපාලනයට තිත තබනවානම් එය වැදගත්ය. එසේ කයියට තිත තබා මිලිටරි චින්තනය බලවත් වීම අයහපත් තත්ත්වයකි. වීරවංශ හෝ ගම්මන්පිල හෝ ඔහුගේ ගෙදර රැස්වු නායකයන් මේ ප‍්‍රශ්නය මගහැර වෙනත් ප‍්‍රවාද මතුකරනු පෙනේ. ප‍්‍රශ්නයට ඍජුව එළඹීමෙන් දේශපාලනිකව අනතුරක් විය හැකි බව ඔවුන් සිතනවා වන්නට පුළුවන. සැබැවින්ම පසුපෙළ මන්ත‍්‍රීවරුන් අවංක නම් ඉහත ප‍්‍රශ්න සියල්ල නොවුවත් ප‍්‍රතිපත්තිමය කාරණා ගැන හෝ පුළුල් ලෙස සංවාදයකට අවතීර්ණ විය යුතුය. ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චරිත හේරත් වැනි පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර පළල් අවකාශයක ක‍්‍රියාකළ මන්ත‍්‍රීවරුන්ට මේ සඳහා ආරම්භයක් ගත හැකිය.