ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ තිබී කඩා වැටුණු නිවස සොයා වරින්වර වෙනත් පෙදෙස්වලින් තවමත් ජනයා පැමිණෙන්නේ සිදුවීම දැකගැනීමටය. ඉහළ සිට පහළට සම්පූර්ණයෙන් ගැලවී කැබලි වී පහළ තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටී එහි සිටි තිදෙනෙකුගේ ජීවිත අහිමි කළ මේ සිදුවීම වූ ස්ථානය නරඹා කම්පා වී ස්ථානයේ ඡායාරූප ද සටහන් කරගෙන යන පිරිස් බොහෝය. එහෙත් ස්වාභාවික විපතක් යැයි නම් කළ නොහැකි මෙවැනි ඛේදවාචකයකින් පසුවවත් කම්පාවී ටික දිනකින් එය අමතක කරනවාට වඩා ඉන් කිසිවකු පාඩම් ඉගෙනගනී දැයි යන සැකය තිබෙන්නේය. එසේ පාඩම් ඉගෙන ගෙන මේ වන විටත් තිබෙන අනාරක්ෂිත ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් මෙන්ම ඉදිවෙමින් තිබෙන ඒවා සම්බන්ධයෙන්ද නිසි පිළිවෙතක් අනුගමනය කිරීමට කටයුතු සිදුවේ දැයි යන සැකය තිබෙන්නේය.


බූවැලිකඩ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විවිධ කතාන්දර කියැවෙයි. ප්‍රදේශවාසියකු අප සමග පැවසුවේ සිදුවීමට යන යම් විනාශයක් කල්තියා දැන නිවැසියන් එහි වූ බඩුබාහිරාදිය ඉවත් කරගෙන ඇති බවකි. එමෙන්ම මේ නිවාසය එම ස්ථානයේ ගොඩනැගීම සම්බන්ධයෙන් ඇතැම් ප්‍රදේශවාසීන් ද එම නිවැසියන් සමග හිත් අමනාපකම් තිබූ බවකි. ගොඩනැගිල්ල සාදා තිබෙන ආකාරයත් ඊට අවශ්‍ය අවසරයන් සම්බන්ධයෙන් ද මේ වන විට විවිධ දේ වාර්තාවෙමින් තිබෙන්නේය. කෙසේ වෙතත් අනාරක්ෂිත ලෙස ඉදිව තිබූ මෙම නිවාසය සම්පූර්ණයෙන් පහළට කඩා වැටී එහි වූ තවත් නිවාසයක තිදෙනෙක් මියගොස් තවත් නිවාස කීපයකටම හානි වූයේය. සිදුවීමට යට ගැසීමේ උත්සාහයක් දියත් වන බවට ප්‍රදේශවාසීහු චෝදනා කළහ. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ පැවැත්වෙන අතර කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු වන හිටපු බස්නායක නිලමේවරයෙකු වන අනුර ලෙව්කේ සැප්තැම්බර් 29 වන දින අත්අඩංගුවට ගෙන තිබුණේය.


නිසි ප්‍රමිතියට හදලා නැහැ


ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් භාර භූ විද්‍යාඥ සමන්ත කුමාර බෝගහපිටිය මෙම සිදුවීම සම්බන්ධයෙන් රාවයට පැවසුවේ මෙවැන්නකි. “ඒ ගොඩනැගිල්ල ඉදිවී තිබූ භූමියේ දුර්වලතා කීපයක් තිබුණා. ඒක නිම්නයක් සහ ජලය ගලාගිය කඳුරක් සහිත ස්ථානයක්. ඒවගේම එතැන අංශක තිහකට වැඩි අධික බෑවුම් සහිත තැනක්. එවැනි බෑවුම් සහිත ස්ථානයක විධිමත් ඉදිකිරීමක් වෙනවා නම් ඒ ගොඩනැගිල්ල සැලසුම් කරන්නේ එතැන පාංශුවල තත්ත්වය බලලයි. සාමාන්‍ය තැනිතලාවක් නොවන මෙය අධික බෑවුමක් නිසා ගොඩනැගිල්ල මතුපිට පස් ස්ථරයේ රඳවන්න බැහැ. ඒ නිසා එය එහි මවු පාෂාණයට සම්බන්ධ කරන්න ඕනෑ. එතැන දී ශක්තිමත් පාෂාණ ස්ථර තිබෙන තැන් පරීක්ෂා කර ඒ අනුව ගොඩනැගිල්ල සැලසුම් කර ඉදිකිරීම් කළ යුතුයි. මෙතැන දී ඒ දේවල් පිළිවෙළට වෙලා නැහැ. එහෙම කරලා තිබුණා නම් කඩා වැටෙන්න විධියක් නැහැ. මේක ලිහිල් පාංශු ස්ථරයට සම්බන්ධවෙලා හදලා තිබුණු ගොඩනැගිල්ලක්.”


නිවාස හෝ ගොඩනැගිලි ඉදිකිරීමේ දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (RMBO) නිර්දේශය ද ලබා ගත යුතුය. එම ක්‍රමවේදය ආරම්භ වන්නේ 2011 වසරේ වුවත් කඩා වැටුණු මේ නිවස ඉදිවීම ආරම්භ වන්නේ 2006 දී ය. කෙසේ වෙතත් මෑත කාලයේ ද ඊට තවත් කොටස් එකතු වී ඇති බව දැනගන්නට ඇත. එය ඉදිවන කාලයේ වුව ද ඍඵඊධ නිර්දේශ ලබාදීමේ වැඩපිළිවෙළ නොතිබුණ ද ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් යම් ක්‍රියාවලියක් තිබුණි. ඒවාට අනුකූලව කටයුතු සිදුවනවා නම් අනවසර හෝ අවදානම් සහිත ගොඩනැගිලි මෙතරම් විශාල සංඛ්‍යාවක් දක්නට නොලැබෙනු ඇත. “මේ ගොඩනැගිල්ල හැදෙන කාලයේ ඍඵඊධ ක්‍රියාවලිය නැති වුණත් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය තිබුණා. ඒක ආදේශ වෙන්න ඕනෑ. ඒක කොහෙන්ද කවුද කරන්නේ කියන්න බැහැ. තමන්ගේ දැනුවත්භාවයෙන් හෝ දැනුවත්භාවය තිබෙන අයගෙන් උපදේශන ගන්න පුළුවන්. දැන් අපි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විධියට කරන්නේත් ඒ උපදේශනයයි. අපි ඒක 2011 සිට දුන්නාට කෙනෙකුට ඒ උපදේශනය නොතකා වැඩ කරන්නත් පුළුවන්. ඒ නිසා වැදගත් වෙන්නේ ඒ ආදේශය සිදුකිරීමයි. අපි කිවුවා කියලා හෝ අපි කොළයක ලියලා දුන්නා කියලා වැඩක් නැහැ. තමන්ගේ ගොඩනැගිල්ල ශක්තිමත්ව හදාගන්න තමන්ට වුවමනාව තියෙන්න ඕනෑ. ඒක සමාජ වගකීමක්. එහෙම නැතිව අවසර ලැබුණා කියලා වැඩක් නැහැ.” භූ විද්‍යාඥ සමන්ත කුමාර බෝගහපිටිය පවසයි.


ක්‍රියාත්මවීමේ අක්‍රමිකතා


බූවැලිකඩ මෙන්ම මහනුවර ම තවත් බොහෝ ස්ථානවල මෙවැනි අවදානම් ගොඩනැගිලි තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකිය. වෙනත් කඳුකර ප්‍රදේශවල ද එවැනි අවදානම් සහිත ඉදිකිරීම් දක්නට ඇත. ඉදිකිරීම් සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී ඇති බවක් ඒ බොහෝ ස්ථානවල පෙනෙන්නට නැත. ක්‍රමවේදයක් තිබුණ ද ඒවා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විශාල ගැටලු තිබේ. ඍඵඊධ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමට පෙර මෙන්ම පසු ද අදත් එවැනි අවදානම් සහිත ගොඩනැගිලි ඉදිවෙයි. එවැනි ඉදිකිරීම්වලට ඇතැම්විට දේශපාලනය බලය හෝ ආර්ථික බලය භාවිත වන බවත් ඒවා හමුවේ දැනට තිබෙන ක්‍රියාවලීන් හා නීති ප්‍රතිපාදන ද නම්‍යශීලී වන බවට ඕනෑතරම් උදාහරණ තිබෙන්නේය. එබැවින් කුමන නීති ප්‍රතිපාදන හෝ ක්‍රියාවලි තිබුණ ද ඒවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අතිවිශාල ගැටලු රාශියක් තිබේ. ඒවා නොවිසඳෙන තාක් මෙවැනි විනාශයන් තව තවත් වීමට ඕනෑ තරම් ඉඩකඩ සෑදී ඇත.


කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට මහනුවර විවිධ ස්ථානවල අවදානම් යැයි ජනයා සැක කරන ගොඩනැගිලි සම්බන්ධයෙන් පැමිණිලි එකසිය පනහකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව භූ විද්‍යාඥ බෝගහපිටිය සඳහන් කරයි. එම පරීක්ෂා කිරීමේ කටයුතු යම් මට්ටමකට ආරම්භ කර ඇති බවත් එය තම ආයතනයට පැවරී තිබූ කාර්යයන්ට අමතර කාර්යයක් බැවින් ආයතන අවශ්‍යතා ද සම්පූර්ණ කරගනිමින් ඒ කටයුතු සිදුකළ යුතුව තිබෙන බව ද ඔහු පැවසුවේය.


පසු විපරමක් වෙන්නේ නැහැ


මහනුවර නියෝජ්‍ය නගරාධිපති ඉලායි ආබ්දීන් රාවයට අදහස් දක්වමින් පැවසුවේ මෙම ගොඩනැගිල්ලේ සැලසුම් පවතින ක්‍රමවේදය තුළ අනුමත වී තිබුණත් අනුමත ක්‍රමවේද තුළ ඉදිකිරීම් කටයුතු සිදුවනවාද යන්න සම්බන්ධයෙන් නිරීක්ෂණයට හෝ අධීක්ෂණයට නීතිමය ප්‍රතිපාදන පළාත් පාලන ආයතනවලට නැති බවය. ඒ අනුව යම් ගොඩනැගිල්ලක් අනුමත වූ පසු එම ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් වන නිර්ණායක අනුගමනය කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අධීක්ෂණ ක්‍රියාවලියක් සිදුවන්නේ නැත. අනුමැතීන් ලබා දීමේ ක්‍රියාවලිය සිදුකිරීම සම්බන්ධයෙන් ද දූෂණ අක්‍රමිකතා ඇති පසුබිමක ඉන්පසුව ඉදිකිරීම සම්බන්ධයෙන් පසුවිපරමක් වෙන්නේ ද නැත. අවදානම් සහිත ආකාරයේ ඉදිකිරීම් විශාල වශයෙන් මේ වන විට දක්නට ලැබෙන්නේ මේ සියලු හේතු කාරණා ද හේතුවෙනි.


“අපි සැලැස්ම අනුමත කළාට ගොඩනැගිල්ලේ බදාම ඇනීම කම්බි බැඳීම ගැන බලන්න අපිට වෙලාවක් හෝ කාර්ය මණ්ඩලයක් හෝ නෛතික ප්‍රතිපාදන තිබේදැයි කියාවත් අපි දන්නේ නැහැ. මේවා අපි අනුමත කරන්නේ නගර සංවර්ධන අධිකාරී පනතේ විධිවිධාන අනුව නගර සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් අපේ නිලධාරියෙක් ආදී ලෙස සංයුතියක් සහිත කමිටුවකිනුයි. මහා පරිමාණයේ ගොඩනැගිල්ලක් නම් ඒවායේදී සැලකිල්ලට ගන්නා නිර්ණායක වැඩියි. එසේ නැති සාමාන්‍ය එකක් නම් අදාළ තාක්ෂණ නිලධාරියා ස්ථානයට ගිහින් නිරීක්ෂණය කර පැමිණ අදාළ නීති රෙගුලාසි නිර්ණායක අනුව අදාළ සැලසුමේ ඇති ගොඩනැගිල්ල ඒ පොළොවේ ස්ථානගත කරන්න පුළුවන් ද කියන දේ මූලිකව බලනවා. නෛතිකව අපි ඒ අකාරයෙන් අනුමත කළත් ඉන්පසු ඉදිකිරීම්කරුවා ඉදිකිරීම එහි පැවැත්මට අවශ්‍ය ප්‍රමිතියට අනුව ඉදිකරගත යුතුයි. අපි අනුමත කරන්නේ සැලැස්මයි, ප්‍රමිතිය නෙමෙයි. ඉදිකිරීමේ ප්‍රමිතිය ඉදිකිරීම්කරුවාට භාරයි.” ඒ මහනුවර නියෝජ්‍ය නගරාධිපති ඉලායි ආබ්දීන්ය.


මෙම ක්‍රමවේදය අනුව ප්‍රමිතිය සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීම ඉදිකිරීම් හිමියාට භාර කටයුත්තක් බැවින් ඒවා බොහෝ ස්ථාන වන නිසි ප්‍රමිතියකට අනුව සිදුවේ යැයි අනුමාන කළ නොහැකිය. ඒවායේ ප්‍රතිඵලය ලෙස සිදුවිය හැකි දේ ද ඉතා බරපතළය, ඒවා යළි නිවැරදි කළ නොහැකිය. බූවැලිකඩ කඩා වැටුණු ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අදියර කීපයකදීම සිදුව ඇති බැවින් 2016 වසරේද එහි අවසාන සැලැස්මට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ ලැබී තිබූ බව නියෝජ්‍ය නගරාධිපතිවරයා පවසයි. කෙසේ වෙතත් ලැබුණු නිර්දේශවලින් පසු හෝ ඒ අනුව ඉදිකිරීම් වූවා ද යන්න සොයා බැලීමේ ක්‍රියාවලියක් සිදුවන්නේ නැත. බූවැලිකඩ ඇතැම් ප්‍රදේශවාසීන් ද පවසන්නේ අනුමැතිය ලැබීමෙන් පසු ඊට අමතරව තවත් තට්ටුවක් නිවාස හිමිකරුවන් විසින් එම ගොඩනැගිල්ලට එකතු කර තිබූ බවකි.


“මේවා සම්බන්ධ නෛතික ප්‍රතිපාදන ශක්තිමත් විය යුතුව තිබෙනවා. අනවසර ඉදිකිරීමක දී වුණත් දැනුම් දීම් සිදුකිරීමෙන් පසු නඩු දැමීම සිදුවුවත් අධිකරණ ක්‍රියාවලිය ප්‍රමාද වන විට ඒ ගොඩනැගිල්ල හදලා ඉවරයි. ගොඩනැගිලි දෙකක් අතර හදා තිබෙන ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේ නියෝග ලබා දුන්නත් යාබද ගොඩනැගිලිවලට හානි නොවන පරිදි එය ඉවත් කිරීම සම්බන්ධ ප්‍රායෝගික ගැටලු තියනවා. මේවාට විසඳුම් ලෙස නෛතික පදනම මීට වඩා ශක්තිමත් විය යුතුයි. ඒ වගේම මේවා යම් ප්‍රමාණයකට හෝ අධීක්ෂණය විය යුතුයි. මිනිස්සු මේවා අනවසර හදන්නේ ඇයි කියන කාරණය ගැන සෙවිය යුතුයි. ඒවගේම සංකීර්ණ ක්‍රියාවලියක් වෙනුවට මීට වඩා සරල ක්‍රමයකට අනුමැතීන් ලබා ගැනීමේ කටයුතු වෙනස් විය යුතුයි. ඒ වගේම මේ මධ්‍යම කඳුකරයට වෙනම නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි තිබිය යුතුයි. තැනිතලා පොළොවේ ඉදිකිරීම්වලට වඩා මධ්‍යම කඳුකරයේ භූමියේ ඉදිකිරීම්වලට අලුත් රෙගුලාසි තිබිය යුතුයි. එසේ නැතිනම් අදියර කීපයකින් සැලසුමක් අනුමත වීමේ ක්‍රමයකට නෛතික ප්‍රතිපාදන සෑදිය යුතු වගේම ලිහිල් ක්‍රමවේදයක් තිබිය යුතුයි. එහෙම වුණොත් අනවසරයෙන් මිනිස්සු මේවා සෑදීම අඩුවෙයි.” මහනුවර නියෝජ්‍ය නගරාධිපති ඉලායි ආබ්දීන් පැවසුවේය.


මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ සහ හන්තාන ආරක්ෂණ කළමනාකරණ කමිටුවේ ලේකම් වන කේ.පී. වැලිකන්නගේගෙන් මෙම සිදුවීම හා ප්‍රදේශයේ සිදුවන වෙනත් අනවසර හා අවදානම් ඉදිකිරීම් සම්බන්ධයෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර නොගෙන පිළිතුරු සැපයිය නොහැකි බවය.


කෙසේ වෙතත් බූවැලිකඩ සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුවිය යුතුව තිබෙන්නේය. එමෙන්ම මෙම සිදුවීමෙන් හෝ සියලු නිල බලධාරීන් මෙන්ම සියලුම ජනතාව පාඩම් ඉගෙනගත යුතුව තිබේ. බොහෝ ඛේදවාචකයන්ට පසු සිදුවන්නේ එසේ පාඩම් ඉගෙන ගන්නවා වෙනුවට ටික දිනකින් ඒ සියල්ල අමතක කරමින් නැවත සුපුරුදු ගමනේ ම යෑමය. එහෙත් එසේ වුවහොත් මේ වන විට ද ඉදිවී ඇති අවදානම් ගොඩනැගිලි මෙන්ම ඉදිවෙමින් පවතින ඒවායේ ප්‍රතිඵල මීට වැඩි ඛේදවාචකයකට මග කියනවා ඇත. එබැවින් මේ විනාශයෙන් පසු හෝ මේවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සැලසීමට රජයට ද අදාළ සියලු පාර්ශ්වයන්ටද අතිවිශාල වගකීමක් තිබෙන්නේය.

නිර්දේශ නොතකා හදලා
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න


බූවැලිකඩ කියලා කියන්නේත් ඒ ප්‍රදේශයේ තිබෙන පස වැලි වගේ එකක් නිසායි. මේ ගොඩනැගිල්ල ඒ වැලි පස මත හැදූ ගොඩනැගිල්ලක් බව බැලූ බැල්මට කියන්න පුළුවන්. එහි ප්‍රශ්නය අත්තිවාරම නියමිත ප්‍රමිතියට හා නියමිත නිර්දේශවලට හදලා නැති එකයි. ඒ නිසා ඔරොත්තු දෙන්නේ නැතිවෙලා තියනවා. වර්ෂා කාලයට පාෂාණ මත තිබෙන පස් තට්ටුව ගැලවී යෑමේ ප්‍රවණතාව වැඩියි. නමුත් මේ ගොඩනැගිල්ලේ පාදම භූමියේ පිහිටි ගලටම සම්බන්ධ කරලා තිබුණා නම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කුඩා නිවාසයකට එලෙස පිහිටි ගලට ම සම්බන්ධ කරන්න ම අවශ්‍ය නැතත් තට්ටු නිවාසවලට නම් එය අත්‍යවශ්‍යයි. එය සිදුකර තිබුණේ නැහැ. ඒ නිසා භූ විද්‍යාත්මකව බලද්දී ඒ අත්තිවාරම ස්ථාවර නැහැ. මේකට හේතුව එය කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ නිවස හදලා තිබෙන්නේ ස්වභාවික පරණ කඳුරක් මතයි. නිවාස ඉදිකිරීම් එක්ක පහුකාලීනව එය වැහිලා තියනවා.
දැන් තිබෙන නීතියට අනුව ගොඩනැගිලි ඉදිකිරීමකදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් නිර්දේශ ලබා ගත යුතුයි. එහෙම නිර්දේශක් නැතිව හදන්න බැහැ. ඒ ආයතනයෙන් භූමිය පරීක්ෂාකර ගොඩනැගිල්ලේ අත්තිවාරම සකස්විය යුතු ආකාරයත් නිර්දේශ කළ පසු ගොඩනැගිල්ල සෑදිය යුතු වෙන්නේ ඊට අනුකූලවයි. ඊට අමතරව භූමිය සකස් කළ යුතු ආකාරය, එය ඉදිවන පරිසරයේ සිදුකළ යුතු දෑ සම්බන්ධයෙන් තීරණය වන්නේත් ඒ ආයතනය ලබාදෙන නිර්දේශය මතයි. මේ ගොඩනැගිල්ලටත් ඒ නිර්දේශ ලබා දීලා තිබුණත් ඒ නිර්දේශවලට අනුව ක්‍රියාත්මක වී නැති බව පෙනෙනවා. අනෙක් දේ මේ නිවාසය හදන්න මුලින්ම පටන්ගෙන තිබෙන්නේ 2006දී යි. ඒ කාලයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් නිර්දේශ ලබා ගැනීමේ වැඩපිළිවෙළ ඒ කාලයේ දී තිබුණේ නැහැ. ඒ කාලයේ එවැනි නිර්දේශ ලැබෙන්නේ නගර සභාවෙන්. දැන් ඉදිකිරීමක දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහතිකය අත්‍යවශ්‍ය වෙනවා. ඒ කාලයේ මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් පළමු සැලසුම අනුමතවෙලා තියනවා. නමුත් ඒ ගොඩනැගිල්ල තට්ටු පහක් දක්වා පසුව වැඩි කරලා තියනවා. මුල් සැලසුමට නිර්දේශ කළ අත්තිවාරම මත තවත් තට්ටු හැදුවාම අනිවාර්යෙන්ම ඒ බර අත්තිවාරමට දරන්න බැහැ. අත්තිවාරම භූමියේ පාෂාණ මතටත් අමුණලා නැති නිසා කොහොමත් ඒක දරා ගන්න බැරි තත්ත්වයක් තියනවා.

පසුවිපරම් නැහැ
හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම් අමිත් සේනානායක


මහනුවර බොහෝ ප්‍රදේශවලත් හන්තානේත් අනවසර ඉදිකිරීම් සහ අවදානම් ගොඩනැගිලි ඉදිකිරීම් යන දෙකම තිබෙනවා. 2010 පෙබරවාරි 17 ගැසට් කරලා තියන හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ගැසට් එකට අනුව හන්තාන භූමි ප්‍රදේශය තුළ ඉදිකිරීමක් සිදුකරනවා නම් හන්තාන පාරිසරික ආරක්ෂණ කළමනාකරණ කමිටුවෙන් අවසර ලබා ගත යුතුයි කියලා තියනවා. හැබැයි මේ වසර දහය වන විට එම කමිටුවටත් පාලනය කරගන්න බැරි විධියේ ඇතැම් දේශපාලන මැදිහත්වීම් සිදුවෙනවා. ඒ බලය භාවිත කර සමහර ඉදිකිරීම් සිදුකරනවා. ඒවා අනවසර සහ අවදානම් සහිත ඒවායි. බූවැලිකඩ සිදුවීමත් සමග අපි නිරීක්ෂණය කළ තවත් මහනුවර නගරය ආසන්නයේ ඇති ගොඩනැගිල්ලක් වන කාමර නවයක ලැගුම්හලකට හන්තාන පාරිසරික ආරක්ෂණ කමිටුවෙන් අනුමැතිය ලැබී තිබෙනවා, අනෙකුත් ආයතනත් ඒකට නිර්දේශ නිකුත් කර තිබෙනවා. ඒක අධික බෑවුමක ඉදිවූ ගොඩනැගිල්ලක්. ඒක එල්ලලා වගේ තිබෙන ආකාරය ඉතා භයානකයි. මෙතැන තිබෙන විශාලම දුර්වලකම පසුවිපරම් නොකිරීමයි. මේ රාජ්‍ය ආයතන එකක්වත් පසුවිපරම කරන්නේ නැහැ. ඒ අය ලබාදෙන අනුමැතීන්වලට අනුව ඉදිවනවා ද කිසිවක් හොයන්නේ නැහැ. ව්‍යාපෘති යෝජකයාට ඕනෑ විධියට කරගෙන යනවා. අනෙක් ප්‍රධානම කාරණය ඒවා සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සමග මුදල් ගනුදෙනු විශාල වශයෙන් සිදුවෙනවා. ඒවා නිසා මේවා පාලනය කරගන්න බැරි තැනකට පත්වෙලා තියනවා. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here