ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

පසුගිය සතියෙන් ……

ඇරිස්ටෝටල් ග්‍රීසියේ ප්‍රකට වෛද්‍යවරයකුගේ පුත්‍රයකු වූවා පමණක් නොව ඔහුම ද වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව ආදී විද්‍යාවන්හි ව්‍යාවෘත වූ මෙන් ම ඒ පිළිබඳ ග්‍රන්ථකරණයෙහිද යෙදුණු පඬිවරයෙක් විය.ිඅමුතු’ ආකාරයක සත්ත්වයෙක් දුටුවහොත් තමා වෙත ගෙන එන ලෙස ඇරිස්ටෝටල් ඔහුගේ හිතවතුන්ට දන්වා තිබුණි. එසේම අප්‍රිකාවෙන් අලි ගෙන්වා ඔවුන් කපා, ජීව විද්‍යාත්මක අධ්‍යනයන් කළ බව වාර්තා වේ. මේ අනුව ඇරිස්ටෝටල් ව්‍යාවෘත වූ සියලු විෂයන් තුළ ඔහු සතු වූ එකී විද්‍යාත්මක ශික්ෂණය දක්නට ලැබුණි.


සම්භාව්‍ය ග්‍රීක යුගය වන විට විද්‍යාත්මක පර්යේෂණයක නියැලෙන විධික්‍රමයන් දෙකක් තිබුණි. ඒ Genetic ක්‍රමය සහ Analytic ක්‍රමය යි. Genetic ක්‍රමය තුළදී සිදුවූයේ යම් කිසි දෙයක් බීජාවස්ථාවේ සිට ක්‍රමයෙන් වැඩී වර්ධනය වි අවසානය දක්වා ගමන් කරන හැටි සියුම්ව නිරීක්ෂනය කරමින් දැනුම ගොඩනැගීමයි. Analytic ක්‍රමයේදී සිදුවුණේ වඩාත් පරිපූර්ණ ලෙස ගැනෙන නිදර්ශකයක් සියුම්ව කැබලිවලට ඡේදනය කර පද්ධතිය සැකසී ඇති අයුරු පිළිබඳවත් ඒ ඒ ක්ෂුද්‍ර කොටස් පිළිබඳවත් සියුම්ව විමසා බලමින් දැනුම ගොඩනැගීමයි. ඇරිස්ටෝටල් තම කාව්‍ය ශාස්ත්‍රය (Poetics) ලිවීමේදී ද යොදා ගත්තේ මින් දෙවැනි ක්‍රමය වන Analytic ක්‍රමයයි. (ඇරිස්ටෝටල් විසින් ලියන ලද ප්‍රකට දේශපාලන විද්‍යා කෘතිය වන Politics ලිවීමේදී ඔහු ග්‍රීක පෞර රාජ්‍යයන් වල තිබුණු ව්‍යවස්ථා 100ක් විශ්ලේෂණය කර ඇත) එහිදී ඔහු පරිපූර්ණ නාට්‍ය නිදර්ශනය සේ ගත්තේ සොෆොක්ලීස්ගේිඊඩිපස්’ නාට්‍යයයි.

එකී නාට්‍යයේ අංග ප්‍රත්‍යාංග සියුම් කොටස්වලට කඩමින් ඒවා සියුම්ව නිරීක්ෂණය කරමින් හොඳ නාට්‍යයක් තිබිය යුතු හා නොතිබිය යුතු කාරණා පිළිබඳ ඇරිස්ටෝටල් සටහන් තබන්නේ යටකී විද්‍යාත්මක ශික්ෂණයකින් යුතුව ය.


කාව්‍ය කලාව බැහැර කළ ප්ලේටෝ වඩාත් කාව්‍යාත්මක හා නාටකීය ස්වරූපයකින් තමන්ගේ කෘති ලිවීය. නමුත් කාව්‍ය හා කලාව වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඇරිස්ටෝටල් තමන්ගේ කාව්‍ය ශාස්ත්‍රය ඇතුලු කෘති වඩා ශාස්ත්‍රීය හා විද්‍යාත්මක ශෛලියකින් නිර්මාණය කර තිබීමේ උත්ප්‍රාසය ඇතැම් විචාරකයෝ මතුකරති.


ප්ලේටෝට එරෙහිව ඇරිස්ටෝටල්


තමා ප්ලේටෝගේ මිත්‍රයකු බවත්, එසේ නමුත් තමා “සත්‍ය” සමග ඊටත් වඩා මිතුරු බවත් ඇරිස්ටෝටල් කී බව අපි ඉහත දුටිමු. එමෙන්ම තම ගුරුවරයා වූ ප්ලේටෝ මියයන තෙක්ම ඔහුගේ මතයන්ට එරෙහි මතවාද ඇරිස්ටෝටල් විසින් අණාවරණය නොකළ නමුත් ඔහු ඒවා සිතින් ගොඩ නගමින් සිටි බවත් දුටිමු. එසේ නම් අපි මෙහිලා ඇරිස්ටෝටල් තම කාව්‍ය ශාස්ත්‍රය ප්‍රමුඛ කරගනිමින් ප්ලේටෝගේ “ජනරජය” (Republic) නම් කෘතිය තුළ මූලික වශයෙනුත් “මධුසාදය” (The Symposium), “යුතිෆ්‍රෝ” (Euthyphro), “විත්තියට කරුණු” (The Apology), “ක්‍රිටෝ” (Crito) ද, ෆීඩෝ (Phaedo) ආදී ප්ලේටෝගේ සෞන්දර්යාත්මක අදහස් ගොණුවන සංවාදයන්හි දක්වා ඇති එකී අදහස් වලට එරෙහිව ඇරිස්ටෝටල් විසින් මතවාද ගොඩ නගා ඇත්ද එසේනම් ඒ මොනවාද යන්න විමසා බලමු. ඇරිස්ටෝටල් ප්ලේටෝට විරුද්ධව අදහස් ගොඩනැඟුවේද, එසේනම් ඔහුගේ පරමාර්ථය වූයේ කුමක්ද යන්න පිළිබඳව ආචාර්ය කමනී ජයසේකර තම “ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍ය විචාර” නම් ග්‍රන්ථයේ මෙසේ සටහන් තබයි.


“ඇරිස්ටෝටල් ප්ලේටෝට විරුද්ධව මත දැරුවේයැ’යි කිවහොත් එය සාවද්‍ය කියමනකි. ඇරිස්ටෝටල් ප්ලේටෝගේ හොඳම ගෝලයා වශයෙන් හැඳින්විය හැක. ඔහුගේ සම්පූර්ණ දර්ශනයම ප්ලේටෝ හඳුන්වා දුන් ආකෘති මත ගොඩනැංවීය. එනමුදු ඇරිස්ටෝටල් උත්සාහ කළේ ප්ලේටෝගේ දර්ශනයෙහි ඇති අඩුලුහුඩුකම් මගහරවා දර්ශනයෙහි හරවත් අංශයන් වැඩි දියුණු කිරීමටය.”


පෙර ද සඳහන් කළ පරිදි ප්ලේටෝ තම ඥානවිභාගය සම්බන්ධයෙන් කී වැදගත් කාරණයක් වූයේ දැනුම ලබාගත හැක්කේ මනේන්ද්‍රිය මගින්ය යන්නයි. ඒ අනුව ප්ලේටෝ භෞතික ද්‍රව්‍ය හා කරුණු පිළිබඳව එතරම් උනන්දු වූයේ නැත. අප ස්වභාවධර්මයේ දකින සියලු දේ “සබන් බුබුලකට” සමාන බව ඔහුගේ විශ්වාසය විය. පංචේන්ද්‍රියන්ගෙන් දකින ලෝකයේ තියෙන කිසිම දෙයක් නිශ්චිත නැත. විනාශ වී යෑමට නියමිතය. නිතර වෙනස්වන ස්වභාවයක් ඇති එවන් දේ ගැන අපට සැබෑ ඥානයක් ලබාගත නොහැකි බව ප්ලේටෝ කියයි. ඔහුට අනුව බුද්ධියෙන් වටහාගත හැකි දේ පිළිබඳව පමණි අපට සැබෑ ඥානයක් ලබාගත හැක්කේ.


නමුත් ඇරිස්ටෝටල් පංචේන්ද්‍රියන් තුළින් ලැබෙන ඥානය පිළිගනී. පංචේන්ද්‍රියන් හරහා අපට දැනුම එන බවත් පංචේන්ද්‍රියන් නොවන්නට මනේන්ද්‍රිය හිස් විය හැකි බවත් ඔහු කියයි. එසේ නමුත් ඔහු මනේන්ද්‍රිය බැහැර කරන්නේද නැත. පංචේන්ද්‍රියන් මගින් ලැබන දැනුම විශ්ලේෂණය කිරීමට මනේන්ද්‍රිය ඉතා වැදගත් බව ඇරිස්ටෝටල් කීය. එපමණක් නොව ඇරිස්ටෝටල් පංචේන්ද්‍රියන් මගින් ලබන තොරතුරුිහොඳ’ ඒවාදිහොඳ ඒවා නොවේද’ යන කාරණය පවා සියුම්ව විමසා බලයි.


මේ කාරණය පැහැදිලි කරන්නට ප්ලේටෝ මෙවන් එක්තරා පුරාණෝක්තිමය උපමා කතාවක් ඉදිරිපත් කරයි;
“අත් කකුල් ගැටගහපු මිනිස්සු කිහිපදෙනෙක් පොළොව යට ගුහාවක ජීවත් වෙති. ඒ අය ගුහාවේ ඇතුළට හැරී සිටින අතර ඔවුන්ට පේන්නේ ගුහා කටට විරුද්ධ දිශාවේ ඇති ඇතුළත බිත්තිය පමණකි. ඒ අයට නිතර ගුහාවේ ඇතුල් බිත්තියේ පතිතවන යම් යම් හෙවණැලි චලනය වනු පෙනේ. ඒ ගුහා කටට එපිටින් එහෙ මෙහෙ යන මිනිස්සුන්ගෙ සෙවණැලියි. නමුත් ගුහාව තුළ සිටින මිනිස්සුන්ට උපන්දා සිට පේන්නේ ඇතුළු බිත්තියේ සටහන් වන අර හෙවණැලි පමණි. ගුහාවෙන් එපිට ඇති නිදහස් මිනිස්සු නොපෙනේ. ඒ නිසා ඒ අය හිතන්නේ ඇත්තටම පවතින්නේ හෙවණැලි විතරක්ම බව.


යම් අවස්ථාවක, ගුහාව ඇතුළේ ඉන්න මිනිස්සු අතරින් එක් මිනිසෙක් තමාගේ බැමි ලිහාගෙන ගුහා කට දෙසට ගමන් කර එපිට ඇති නිදහස් ලෝකය දකී. ඔහු ගුහා කට අසල ඇති තාප්පයෙන් පැන එපිටට යෑමට සමත් වුවහොත් ඔහු හැම දෙයක්හි ඇති ලස්සන දැක පුදුම වන බවත්, ගුහාවේදී තමා දුටු ප්‍රතිබ්ම්බ අසම්පූර්ණ බවත්, ඒවායේ සැබෑ රූප එපිට ලෝකයේ ඇති බවත් අවබෝධ කරගන්න බව ප්ලේටෝ කියයි. ඔහු ඒ දේ අත්වින්දද ඔහුට ගුහාව ඇතුළේ මෙතෙක් කල් තමා සමග සිටි සෙසු මිනිසුන් සිහිවේ. ඔවුන් ගැන සිතා ඔහු නැවත ගුහාව තුළට පැමිණේ. එසේ පැමිණ ඔහු අනික් අයට කියන්නේ ඔවුන් මේ ඇතුළු බිත්තියේ දකින ප්‍රතිබිම්බ හෙවණැලි බවත් සැබෑ ලොව මෙය නොවන බවත් ය. ඒත් ඔවුහු ඔහුගේ බස විශ්වාස නොකරති. අවසන ඔවුන් එකතුව මේ මිනිසාව මරා දමති.”


මේ උපමා කතාව එක්තරා අතකට සැබෑ ඥානය ලබන්නේ දාර්ශනිකයින් බවට වන ප්ලේටෝගේ ප්‍රවාදය තහවුරු කරන්නක් හැටියට ගත හැකියි. තවත් පැත්තකින් කලාකරුවාගේ ක්‍රියාව පිළිබඳ ඔහුගේ දර්ශනයද යම් අයුරකින් මේ තුළ හකුලා දක්වයි. අවසන් වශයෙන්, ඇත්ත පෙන්වීමට ගිය තම ගුරුවරයා වූ සොක්‍රටීස්ට සිදුවූ ඛේදනීය ඉරණම පිළිබඳ පුවත ද තුළ හකුළා දක්වන්න ප්ලේටෝ සමත් වෙයි.


ප්ලේටෝගේ සෞන්දර්ය විද්‍යාවත්, දර්ශනයත් පදනම් කරගත් මූලික පිළිගැනීමක් වූයේ භෞතික පරිසරයේ ඇති ස්පර්ශක ද්‍රව්‍ය සෑම දෙයම “ගලන” හෙවත් වෙනස් වන බවට ඇති පිළිගැනීම. භෞතික ලෝකයට අයත් සියලු දේ සැදී ඇත්තේ කාලය ගතවීමේදී ගෙවී යා හැකි ද්‍රව්‍යයන්ගෙන්. නමුත් ඒ සෑම ගලන දෙයක්ම සෑදී ඇත්තේ අකාලික “අච්චුවකින්” බව ප්ලේටෝ කීවේය. එය සදාකාලික හා නිත්‍ය වන අතර මනේන්ද්‍රිය මගින් අත්දැකිය යුතු මේ සියලු ආකෘතීන් අතර “පරම යහපත” නම් එක ආකෘතියක් ද තිබේ. ඒ උත්තරීතර ආකෘතිය දෙවියන් වහන්සේ බව ප්ලේටෝ කියයි. (එම්පිඩොක්ලීස් (ක්‍රි.පූ 494-434) හා ඩෙමොක්‍රීටස් (ක්‍රි.පූ 460-370) යන දාර්ශනිකයින් දෙදෙනාද ස්වභාවික ලෝකයේ හැම දෙයක්ම “ගලන” බව පිළිගත්හ. ඔවුන්ට අනුව කිසිදා වෙනස් නොවන පදාර්ථය හතරමහා භූතයන් හා පරමාණු විය. ඒ අනුව ප්ලේටෝගේ ආකෘතිවාදී පැහැදිලි කිරීම මීට වඩා වෙනස් වේ.)


වඩුවෙක් විසින් සාදන ලද “ඇඳක්” වනාහි දෙවියන් වහන්සේ විසින් නිර්මාණය නරන ලද කාල්පනික ඇඳක (ආකෘතියක) අනුකරණයයි. වඩුවා විසින් සාදන ලද ඇඳේ කාර්යය සිද්ධිය තීන්දු වන්නේ මිනිස් සිරුරේ ස්වභාවය, නිදාගැනීමේ අවශ්‍යතා ආදිය පදනම් කරගනිමිනි. ඒ අනුව එකී ඇඳට කිසියම් භාවිත වටිනාකමක් හිමිවන අතර නිර්මාණ කුසලතාවේ සාමාර්ථය අනුව බැලූ කල එකී ඇඳට හිමිවන්නේ දෙවැනි ස්ථානයයි. නමුත් චිත්‍රකරුවා නිර්මාණය කරන්නේ වඩුවා විසින් ගොඩනගන ලද ඇඳෙහි අනුකරණයයි. ප්ලේටෝට අනුව එය යථාර්ථයෙන් තවදුරටත් ඈතය. සැබැවින්ම ඒ කලා කෘතිය යථාර්ථයෙන් දෙවරක් ඈත් වූවකි.


ප්ලේටෝ විසින් “නිත්‍ය සදාකාලික ආකෘතික ලෝකය” හා “අනිත්‍ය තාවකාලික චලනය හා සම්බන්ධ ධර්මතාව” එකවිට පිළිගැනීම අවිසංවාදී න්‍යාය උල්ලංඝනය කරනසුලුයැ’යි ඇරිස්ටෝටල් කියයි. මීට සාපේක්ෂකව ඇරිස්ටෝටල් මෙකී ගැලීම විශ්වීය ආකෘති රාශියක් වෙනුවටිතමා චලනය නොවී අන් අය චලනය කරවන’ එක්ිඅචල චාලක’ බලයක් (Unmoved Mover) හා සම්බන්ධ කර දක්වයි.


‘අශ්වයා’ යන්න අධි භෞතික පරම ආකෘතියක හෙවණැල්ලක් නොව, සංකල්ප අශ්වයා යනු හුදෙක්ම අශ්වයින් කිහිපදෙනෙක් දැකීම තුළින් මිනිසුන් වන අප විසින් නිර්මාණය කරගත් සංකල්පයක් බව ඇරිස්ටෝටල්ගේ අදහසයි. වෙනත් වචනයකින් කිවහොත් ආකෘතික අශ්වයෙක් යනු අධිභෞතික පදනමක් ඇත්තක් නොව සියලු අශ්වයින්ට පොදු ලක්ෂණ අනුව නිර්මාණය කරගන්නක් වන අතර ඒ අනුව ප්ලේටෝගේිසහජ සංකල්ප’ පිළිබඳ අදහස ඇරිස්ටෝටල් ප්‍රතික්ෂේප කරයි. ඉන්ද්‍රියන් මගින් අත්දැකීම් ලබා නොගත් කිසිවක් මිනිසාගේ විඥානයේ නැති බව ඇරිස්ටෝටල් තවදුරටත් පෙන්වා දෙයි. එසේම ප්ලේටෝගේ මේ ආකෘති විග්‍රහය ගැන කියමින්ිප්ලේටෝ ද්‍රව්‍යවල සංඛ්‍යාව ද්විගුණ කළා’ යැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.


සාහිත්‍ය කෘතියක කාර්යය අනුකරණයක් (Mimesis) බව ප්ලේටෝ කියයි. ඒ අනුව කලාකරුවා සිදුකරන්නේ මිනිසාගේ සිතුම් පැතුම්, ස්වභාව ධර්මය හා ක්‍රියාවන් පිටපත් කිරීමකි. “ප්ලේටෝ අනුකරණය (Mimesis) යන වචනය යෙදුවේ වෙනත් අයකුගේ ක්‍රියාවක්, නැවත වෙන අන් කෙනෙක් මගින් ප්‍රකට කිරීම යන අරුතිනි. කවියා වෙනත් අයකුගේ මුවින් කරන අනුකරණය Mimesis යනුවෙන් හැඳින්වූ අතර, කවියා තමාගේම බසින් යමක් ඉදිරිපත් කිරීම ඔහු හැඳින්වූයේ Diegesis නමිනි. මේ අරුතින් ගත්විට නාට්‍ය මුළුමනින්ම අනුකරණාත්මක වෙයි. වීර කාව්‍ය එහි පාත්‍ර වර්ගයාගේ දෙබස් ඉදිරිපත් කරන විට අනුකරණාත්මක වන අතර, කවියා කෙළින්ම තම අදහස ඉදිරිපත් කරන විට Diegesis තත්ත්වයට පත්වේ. ප්ලේටෝ අනුකරණයත්, අනුකරණය පදනම් කරගත් නාට්‍යයත් දෙකම ප්‍රතික්ෂේප කරයි.” (රණවීර ආරියවංශ, බටහිර විචාර විධි, 15 -16 පිටු)


අනෙක් අතට ප්ලේටෝට අනුව කලා කෘතිය අත්‍යන්තයෙන් ම ඇත්තේ යථාර්ථයට පියවර දෙකක් ඈතින් ය. එසේ නමුත් ඇරිස්ටෝටල් මේ මතය ඒ අයුරින්ම පිළි නොගනී. ඔහුට අනුව නාට්‍ය යනු උත්තම වර්ගයේ සත්‍යයකි (Higher kind of Truth). එය කරන්නේ හුදෙක් එළිපිට පෙනෙන කරුණු ඉදිරිපත් කිරීමක් නොව ජීවිතයේ පොදු ධර්මතා විමර්ශනය කිරීමකි. මිනිසා ස්වභාවයෙන්ම අනුකරණයට ළැදි බවත් එය මිනිසා අන් සත්ත්වයින්ගෙන් වෙනස් වන වැදගත් හේතුවක් බවත් ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රයේදී කියයි. එසේම කවියා අනුකරණය කරන්නේ ක්‍රියාවන් බව ඔහු පෙන්වා දෙයි. “කවියා පද්‍ය රචකයකුට වඩා කථා වින්‍යාසය ගළපන්නකු බව පැහැදිලි වේ. ඔහු කවියකු වන්නේ අනුකරණ කාර්යයෙහි යෙදීම හේතුවෙනි. එසේම ඔහුගේ කාර්යය ක්‍රියා අනුකරණයයි” (කාව්‍ය ශාස්ත්‍රය ඒ.වී.සුරවීර පරි- 09 පරිච්ඡේදය, 85 පිට) ප්ලේටෝ කියන්නා සේ අනුකරණය හුදු ‘මේ වනවිටත් පවතින’, ‘භාවිත වටිනාකමින් ඈත’ දෙයක් නොවන බව ඇරිස්ටෝටල් කියයි. “කවියාගේ කාර්යය වන්නේ ඇත්ත වශයෙන්ම සිදුවූ දෑ විස්තර කිරීම නොව සිදුවෙති’යි සැලකිය හැකි, එනම් ඒ ඒ අවස්ථාව අනුව සිදුවිය හැකි හා සිදුවිය මනා දෑ ඉදිරිපත් කිරීමය.” (කාව්‍ය ශාස්ත්‍රය – 09 පරිච්ඡේදය, 84 පිට)

මේ අනුව ප්ලේටෝ විසින් බැහැර කළ කලාවක් වන කවියට ඇරිස්ටෝටල් සැබෑ වටිනාකමක් ලබා දේ. එසේම කවියා අනුකරණය කරන්නේ කොතරම් වේදනාකාරී විෂයයක් වුවද එමගින් රසිකයාට ඉමහත් ආස්වාදයක් ලැබෙන බව ඇරිස්ටෝටල් කියයි. මක්නිසාදයත් එමගින් රසිකයා තම සැබෑ ජීවිතයට කිසියම් සමානකමක් දැක ඉන් යමක් ඉගෙන ගැනීමට උත්සාහ කරන නිසාය. ඒ අනුව අනුකරණය වනාහි මිනිසා දැනුමත්, සතුටත් ලබාගන්නා ප්‍රධාන මාර්ගයක් බව ඇරිස්ටෝටල් කියයි. අනුකරණ කාර්යයක වැදගත්කම ඇත්තේ කවියා අනුකරණ කාර්යයේදී දක්වන හැකියාව (Skill) මතය. කවියා ඕනෑම ජුගුප්සාජනක දෙයක් අනුකරණය කර තිබෙනවා විය හැක. නමුත් අපි එහි වටිනාකම මැනිය යුත්තේ, අනුකරණයට ලක්වූ වස්තුව ගැන සිතා නොව එකී අනුකරණයේදී කවියා දක්වා ඇති දක්ෂතාව මතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here