පසුගිය සතියෙන්……

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ප්ලේටෝ කීවේ කවියා තුළ භාවිත ඥානය හෙවත් කාර්මිකයා විසින් සිදුකරන මූලික අනුකරණ කාර්යය කිරීමේ ඥානය නොමැති බවය. “කවියා ඔහු ලියන දේ ගැන දැන සිටියා නම් ඔහු ඒ වැඬේ කරාවි, ඒ ගැන ලියන්නේ නැතිව. ඇයි ඔහු අනුන්ව පැසසුමට ලක්කරන්නේ තමාට ප්‍රශංසා ලබාගන්න පුළුවන්කම තියෙද්දී?” “හෝමර් යුද්දේ ගැන දැන සිටියා නම් ඔහු යුද නිලධාරියෙක් වේවි කවියකු වෙන්නෙ නැතිව” (ප්ලේටෝගේ සාහිත්‍ය සංකල්ප හා නිර්මාණ – 27/28 පිට) යනුවෙන් ප්ලේටෝ නිර්දය විචාරයක යෙදේ. නමුත් ඇරිස්ටෝටල් පෙන්වා දෙන්නේ “කවියාට තමා තුළ නැති නැව් තැනීම හෝ යුද්ධ මූලෝපාය පිළිබඳ ඥානය හෝ තමා තුළ තිබෙන සේ දැක්විය හැකි වුවත්, පුද්ගලයින්ගේ මානසික තත්ත්වයන් පිළිබඳ ඥානය තමා තුළ නැතිව එය තමා තුළ තිබෙන සෙයක් මවා පෙන්විය නොහැකිය” (සෞන්දර්ය විද්‍යා ඉතිහාසය, ගම්ලත් සුචරිත – 46 පිට) යනුවෙනි.


කලාවේ ඇති ‘නරක’ හොඳ මිනිස්සු විසින් අනුකරණය කිරීමේදී ඔවුන් ගැටලුවට පත්වන බව ප්ලේටෝ කීය. විශේෂයෙන් ප්‍රභූචරිත සහ දෙවිවරුන් වැනි චරිත සදාචාරාත්මක නොවන ආකාරයෙන් නිරූපණය කිරීම හානිදායකයි. දෙවිවරුන් මනුෂ්‍යයන් ලෙස ඉදිරිපත් කර තිබීම නිසා සමාජය එය පිළිගැනීමට ඉඩ ඇත. මනුෂ්‍ය දුර්වලකම් දෙවිවරුන් ළඟ තිබේ නම් ඔවුන් දෙවියන් වන්නේ කෙසේදැ’යි ප්ලේටෝ අහයි. නාට්‍ය ආදී සකලවිධ කලාවන් තුළ පුද පූජා, යාතිකා ආදියෙන් දෙවිවරු තමා වෙත නම්මා ගත හැකි බව නිරූපණය කිරීම හානිදායක බව කියන ප්ලේටෝ කලාව සදාචාරාත්මක විය යුතු බව කියයි.


නමුත් ඇරිස්ටෝටල් මේ කාරණය පිළි නොගනී. “අනුකරණය කරන්නන් විසින් ක්‍රියාවෙහි යෙදී සිටින පුද්ගලයන් අනුකරණය කරනු ලබන හෙයින් මොවුහු සැබෑ ජීවිතයේදී අප දන්නා පුද්ගලයින්ට වඩා හොඳ හෝ උසස්, එසේත් නැත්නම් නරක හෝ පහත්, එසේත් නැත්නම් සාමාන්‍ය තත්ත්වයේ ගතිගුණ ඇත්තෝ විය යුත්තාහ” (කාව්‍ය ශාස්ත්‍රය – 02 පරිච්ඡේදය, 63 පිට) ප්ලේටෝට විපරීත ලෙස ඇරිස්ටෝටල් කියන්නේම ශෝකෝත්පාද නාට්‍යයකදී සාමාන්‍ය පුද්ගලයින්ට වඩා හොඳ පුද්ගලයින්ද, හාස්‍යෝත්පාදක නාට්‍යයකදී පියවි මිනිසාට වඩා පහත් ගති ඇත්තන් ද අනුකරණයට ලක් විය යුතු බවයි.


ඇරිස්ටෝටල්ට අනුව, ඊඩිපස් රජු කොයිතරම් ඛේදජනක දේවල් සිදු කළද ඔහු තමා කළ දේවල් දැනගැනීමේදී ඇති කරගන්නා ලද මනෝභාවාත්මක කම්පනය විශාලය. අවසානයේ ඊඩිපස් අනුකම්පනීය පුද්ගලයෙක් බවට පත් වේ. ඒ අනුව නාට්‍ය විකාශනය තුළ ඊඩිපස් කළ නපුරු ක්‍රියාව ශුද්ධ පවිත්‍ර වේ. ඔහු අතින්ිරුධිර දූෂණ’ අපරාධය සිදුවුවද ඊඩිපස් පිළිබඳ ප්‍රේක්ෂකයා තුළ ඇතිවන්නේ අනුකම්පාවකි. මේ අනුව ප්‍රේක්ෂකයා නොමග යෑමකට වඩා සිදුවන්නේ ඔහුගේ නරක භාව විශෝධනය වීමයි.


එමෙන්ම ඛේදාන්තය මගින් ප්‍රේක්ෂක සන්තානය තුළ එක්තරා සුවිශේෂී සංවේදනාවක් ඇති කළ යුතුය. එනම් කරුණාව හා භයයි. කාරුණ්‍යය යනු හුදෙක් ආවේගාත්මත චිත්ත වේගයක් නොව බිය සමග මුසුවුණ එකක් බව ඇරිස්ටෝටල් පෙන්වා දෙයි. ඇරිස්ටෝටල් ප්ලේටෝ මෙන් මිනිස් සංවේදනා (Emotions) මිනිස් භාවිතයට හානිකර ඒවා ලෙස නොගත් අතර ඒවා මිනිස්බවේ ස්වභාවික ගතිලක්ෂණයන් ලෙස දකී.


ඇරිස්ටෝටල් ප්ලේටෝ මෙන් මනුෂ්‍ය හැඟීම් උද්දීපනය කිරීම පිළිබඳ බියක් නොදැක්වීය. හැඟීම් යටපත් කරගෙන සිටීම මානසික ආතතියට තුඩුදිය හැකි බවත්, එය භයානක ප්‍රතිඵල ගෙන දෙමින් යම් නුසුදුසු අවස්ථාවක නුසුදුසු අන්දමකට පිටවිය හැකි බවත් ඔහු කීය. නාට්‍යයකින් මේ හැඟීම් පිරිපහදු කළ හැකි අතර (Catharsis) ඉන් මිනිසා යම්කිසි සහනයක් ලබන බව ඔහු පෙන්වා දේ.


ඇරිස්ටෝටල් කාව්‍ය කලාව ඉතිහාසයෙනුත් දර්ශනයෙනුත් වෙන් කර දක්වයි. “ඉතිහාසකාරයා හා කවියා අතර සැබෑ වෙනසනම් පළමුවැන්නා සිදුවූ දෑ පවසන අතර දෙවැන්නා සිදුවිය හැකි දෑ පැවසීමයි. මේ අනුව කාව්‍යය වඩාත් දාර්ශනික ස්වරූපයක් භජනය කරන අතර ඉතිහාසයට වඩා උසස් තත්ත්වයක් දරයි” (කාව්‍ය ශාස්ත්‍රය – 09 පරිච්ඡේදය, 84 පිට) එසේම දර්ශනය නිරන්තරයෙන්ම තර්කණය පදනම් කරගෙන න්‍යායාත්මක පදනමක් සහිතව ගොඩ නැගී ඇති බවත් කාව්‍ය යනු මිනිසාගේ අත්දැකීම් පදනම් කරගෙන ගොඩනැගී ඇති බවත් ඇරිස්ටෝටල් පවසයි. කලාව තුළ වඩා සාර්වික සත්‍යයක් (Universal Truth) ගොඩනැගේ. මේ පැහැදිලි කිරීම ද හුදෙක්ිඅනුකරණය’ පදනම් කරගෙන කලාව පහත මානයක ස්ථානගත කිරීමට ගිය ප්ලේටෝගේ ඉගැන්වීම්වලට ඍජුව පිළිතුරු දෙමින් කවිය ඉහළට ඔසවාතැබීමට ඇරිස්ටෝටල් ගත් වෑයමකි.


මේ අනුව පැහැදිලි වන්නේ ඇරිස්ටෝටල් විශේෂයෙන් තම කාව්‍ය ශාස්ත්‍රය මගින් කලාවට එරෙහිව ප්ලේටෝ ගොඩනැගූ තර්කයන්ට සවිඥානිකව පිළිතුරු සැපයීමක් සිදු කරන බව හා එය තම ගුරුවරයා වෙත ඇති භක්තිය පෙරදැරිකොට, ගුරුවරයාගේ දර්ශනයෙහි ඇති අඩුලුහුඬුකම් මගහරවා දර්ශනයෙහි හරවත් අංශයන් වැඩි දියුණු කිරීමේ ආධ්‍යාසයෙන් යුතුව සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here