ධනංජය දීඝායු
නීතිවේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ලංකාව සිටින්නේ ඛේදවාචකයක් එළිපත්තේය. අප තවම අත්දකින්නේ එකී ඛේදවාචකයේ ආරම්භක සලකුණු පමණකි. එක් පසෙකින් කොවිඩ් වසංගත තත්ත්වයෙන්ද අනෙක් පසින් ඇති මහා ආර්ථික අර්බුදයක් විසින්ද අර්බුදයෙන් අර්බුදයට ගෙන යන ලද්දේ සාමාන්‍ය ජන ජීවිතයයි. එක් අතකින් සාමාන්‍ය ජන ජීවිතය යන්නෙහි පැටලිය නොයුතු වන්නේ කොවිඩ්වලට පෙර පැවති සාමාන්‍ය ජන ජීවිතය යනු සුරපුරයක් සිහි කැඳවන්නක් නොවන බැවිනි. එහෙත් මෙහිදී අප අවධාරණය කළ යුත්තේ පැරණි සාමාන්‍ය ආකාරයෙන්වත් ජීවත්වීමට නොහැකි තත්ත්වයට පවා සාමාන්‍ය ජනතාව පත් කිරීමට ආණ්ඩුව මේ වන විට කටයුතු කර ඇති බවයි. කොරෝනා සම්බන්ධයෙන් අනුගමනය කරන ලද අතිශය අසාර්ථක මෙන්ම දේශපාලන ප්‍රචාරකවාදී වැඩ පිළිවෙළ නිසාවෙන් මේ වන විට කබළෙන් ළිපට වැටී සිටින්නේ සාමාන්‍ය ජනතාවය.


එහෙත් පාලක පැළැන්තීන්, මෙවන් ආකාරයේ සාමාන්‍ය තත්ත්වයෙන් පරිබාහිර වූ ව්‍යතිරේඛීමය තත්ත්වයන්ට වඩාත් ප්‍රිය කරන බවට “ජියාජියෝ අගම්බෙන්” නම් දේශපාලක විචාරකයා කරන ලද ප්‍රකාශය සත්‍යයක් බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුව සමත්ව ඇති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුය. ඒ මන්ද පාලකයා ප්‍රිය කරන්නේ වඩාත් අත්තනෝමතික පාලනයන්ට වන බැවිනි. පසුගිය 2020 අවුරුද්දේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබියදී මුදල් පාලනය අත්තනෝමතික ලෙස ව්‍යවස්ථාදායකයෙන් උදුරා ගත් අවස්ථාවෙන් පටන්ගෙන මේ වන විට ගත වූ කාලය තුළ සිදුකර ඇත්තේ කොරෝනා මර්දනය නොව ඒ ඇසුරින් ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීම බව නම් සැබෑවකි. එනම් කොවිඩ් කළමනාකරණය කරමින් දේශපාලනය කිරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී ඇති බවයි.


සංඛ්‍යා දත්ත සෙල්ලම්


දැනට ලංකාව තුළ කොරෝනාවලට අදාළ සංචරණ සීමාවන් අවස්ථාවන් කිහිපයකදී විවිධ ආකාරයෙන් පනවා ඇති අතර විවිධ ලෙසින් ඉවත් කිරීම් ද සිදු කර ඇත. මෙහිදී මතුවන ගැටලුව වන්නේ මෙම සංචරණ සීමාවන් පැනවීමෙහි විද්‍යාත්මක පදනම අවබෝධ කර ගැනීමට ඉතා අසීරු වූවක් වීමය. පළමු රැල්ලෙහි නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන්නේ 2020 මාර්තු මාසයේදීය. ඒ එක් දිනකට රෝගීන් වාර්තාවීම සාමාන්‍ය අගයක් ලෙස දහයට අඩුවන අවස්ථාවකදීය. එකී ඇඳිරි නීතිය පැනවීම තේරුම් ගැනීම අසීරු දෙයක් නොවේ. එය කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට දරන ආරම්භක උත්සාහය වශයෙන් අපට සැලකිය හැකිය. එහෙත් 2020 ඔක්තෝබර් මස දමන ලද දෙවෙනි රැල්ලේ ඇඳිරි නීතිය දැමීමේ පටන් මෙම ක්‍රියාවලිය ගැටලුසහගත වෙයි. එනම් දෙවන රැල්ලේ ඇඳිරි නීතිය දැමෙන්නේ දිනකට සාමාන්‍ය අගයක් වශයෙන් කොරෝනා රෝගීන් සියයක් දෙසියයක් ඉක්මවා වාර්තාවන අවස්ථාවලදීය. එම සංඛ්‍යාව සමහර අවස්ථාවලදී 500 ඉක්මවූ ආකාරයක්ද සංඛ්‍යා දත්ත හරහා අපට පෙනෙයි.

මෙහිදී ගැටලුව මතු වන්නේ සංචරණ සීමා පැනවීමෙහි නොව සංචරණ සීමා ඉවත් කිරීම සම්බන්ධයෙනි. සංචරණ සීමා ඉවත් වන්නේ දෛනිකව වාර්තා වන සංඛ්‍යාව දෙසියය ඉක්මවා වාර්තා වන පසුබිමක් තුළදීය. අප තුන්වන රැල්ලෙහි සංචරණ සීමා කෙරෙහි අවධානය යොමු කරන විට අපට පෙනෙන්නේ තවත් ව්‍යාකූල තත්ත්වයකි. එනම් දිනකට රෝගීන් දහස ඉක්මවා වාර්තාවන පසුබිමක් තුළ සංචරණ සීමා පැනවෙන අතර මෑතකදී සංචරණ සීමා ඉවත් වන විටදීද දිනකට වාර්තා වන සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව වන්නේ 1000 ත් 1500 ත් අතර ප්‍රමාණයකි. මෙහිදී මරණ ප්‍රමාණයද දිනකට 30ත් 60 ත් අතර ගන්නා බවක් පෙනෙයි. ඒ අනුව අපට ඇතිවන ගැටලුව වන්නේ සංචරණ සීමා දමන අවස්ථාවෙහි හමුවන රෝගීන් සංඛ්‍යාවටම සමාන රෝගීන් සංඛ්‍යාවක් සංචරණ සීමා ඉවත් කරන විටද දක්නට ලැබීමෙන් මෙකී සංචරණ සීමා දැමීමෙහි තාර්කිකත්වය අප අර්ථගන්වන්නේ කෙසේද යන්නයි


මේ අනුව අපට පෙනෙන්නේ මෙකී සංඛ්‍යා දත්ත සමග ක්‍රීඩාවක යෙදීමට ආණ්ඩුව සමත්ව ඇති බවයි. එමෙන්ම මෙහිදී අප අමතක නොකළ යුතු වන්නේ මෙලෙසින් වර්තමානය වන විට ඉතා අඩු පී.සී.ආර්. පර්යේෂණ ප්‍රමාණයක් දෛනිකව සිදු කරන පසුබිමක් තුළ දිනකට රෝගීන් 1000 ඉක්මවමින් වාර්තාවන බවයි. මේ අයුරින් සංඛ්‍යා දත්ත සඳහා තමන්ට අවශ්‍ය ආකාරයේ අර්ථනිරූපණයක් ලබා දෙමින් තම දේශපාලන ව්‍යාපෘතීන් කළමනාකරණයට ආණ්ඩුව විසින් මේ මොහොතේ උත්සාහ දරයි. මේ හරහා ආණ්ඩුව උත්සාහ කරන්නේ තම දෘෂ්ටිවාදී බලහත්කාරය හරහා ජනතාව කොවිඩ් සමඟ ජීවිතයක් යන ඊනියා සංකල්පයට අනුගත කර ගැනීමටය.

මේ අනුව අපට දිය හැකි එකම තාර්කික අර්ථනිරූපණය වන්නේ කොවිඩ් සාමාන්‍ය ජනතාවගේ ඇසට හුරු කිරීමෙහි එක් අදියරක් ලෙස ය. ධනපති පාලකයා විසින් තම මාධ්‍ය බලය ඔස්සේ සාමාන්‍ය ජනයා සාවද්‍ය පරාවර්තනයකට ලක් කරන ආකාරය සම්බන්ධයෙන් නම් කදිම නිදර්ශනයක් වශයෙන් මෙකී සංඛ්‍යා දත්ත සම්බන්ධ කර ගත් ක්‍රීඩාව හැඳින්වීමට හැකිය.


අරගල මර්දනය


අද වන විට අපට පෙනෙන්නේ බහුවිධ අරගලයන්ගෙන් දේශපාලන පිටිය උණුසුම් වී ඇති බවයි. ජීවන වියදම පහළ හෙළා ගැනීම සඳහාද, අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙතෙක් නොවිසඳුණු ගැටලු විසඳා ගැනීම සඳහාද, සෞඛ්‍ය සේවයේ නියුතුවූවන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීම සඳහාද, ගොවීන්ගේ පොහොර ගැටලුව විසඳා ගැනීම සඳහාද, පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහාද මෙකී නොකී බහු විධ පීඩාවන්ට එරෙහිව අරගලයම තෝරා ගැනීමට සාමාන්‍ය ජනතාවට අද සිදුව තිබේ. කොරෝනා අර්බුදයෙන් බැට කෑ අපට දැන් සිදු ව ඇත්තේ කබළෙන් ළිපට වැටීමකි.
එහෙත් මෙකී බහුවිධ අරගලයන්ට එරෙහිව මර්දන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙයි. මෙහිදී පාලක පැලැන්තිය විසින් අලුත් මර්දන උපකරණයක් යොදා ගැනීමද දැකගත හැකිය. එනම් නිරෝධායන නීතිය තම මර්දනීය අවිය ලෙසින් යොදා ගැනීමය. එය තරමක් හාස්‍යජනක හැසිරීමකි. එහෙත් ඔවුන්ගේ මර්දනය හාස්‍ය ජනක නොවේ. අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ සංචරණ සීමා යන සාධකයට මුවා වෙමිනි. එහෙත් එලෙස අත්අඩංගුවට පත්වූවන් අධිකරණය තුළදී ඇප ලබා ගත්තද ඔවුන් බලහත්කාරයෙන් නිරෝධායනයට පිටත් කර හැරීම තුළ ඇත්තේ එකී මර්දනීය අවශ්‍යතාවයි.


මිලිටරිකරණය

ලංකාව තුළ මිලිටරිකරණයේ මූලික අඩිතාලම වැටෙන්නේ දශකයකට පෙර සිටය. ඒ 2009 වර්ෂයේ යුද්ධය අවසාන වීමත් සමගය. 2005 -2009 කාල වකවානුව දක්වා හමුදා සෙබළා උත්කර්ෂයට නැංවෙන්නට වූ අතර මිලිටරිකරණය ව්‍යාපෘතියක් ලෙස සාධාරණීකරණය වන්නේ 2009 න් පසු ගොඩ නැගෙන පශ්චාත් යුධ උන්නතිකාමී මානසිකත්වය විසිනි. එහෙත් මෙම ව්‍යාපෘතිය තාවකාලික ලෙසින් හෝ නවතා දමන්නේ 2010 ජනාධිපතිවරණ සටනට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වීමත් සමඟය. ඉන් අනතුරුව බිහිවන 2015 යහපාලන ආණ්ඩු සමයේදී මිලිටරිකරණයට අවශ්‍ය සමාජ මනෝභාවය සකස් කිරීමට එවකට විපක්ෂයේ සිටි රාජපක්ෂ රෙජිමය සමත් වූ බව කිව යුතුය.


වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් කළ මිලිටරිකරණ ව්‍යාපෘතිය පිළිබඳව යළි කතාබහක් ඇති වන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීමට උත්සාහ දැරීමත් සමඟය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මීට පෙර පැවතියක් වුවද එය මිලිටරිකරණ ව්‍යාපෘතියෙහි කොටසක් බවට පත් වූයේ නැත. පසුගිය යහපාලන සමයේ සම්මත කර ගැනීමට උත්සාහ දැරුවද මහජන විරෝධය නිසාවෙන් එය යටපත් වූ අතර වර්තමාන ආණ්ඩුව විසින් එය කරළියට ගෙනවිත් ඇත. ඒ හරහා අධ්‍යාපනය පෞද්ගලීකකරණයට ලක් කිරීමටද අධ්‍යාපනය මිලිටරිකරණයකට ලක් කිරීමටද උත්සාහ දරන බවද නොරහසකි.


ජනප්‍රිය ප්‍රචාරකවාදී දේශපාලනය

අපට ඉහත කී සියලුම ආකාරයේ දේශපාලන නිරීක්ෂණයන් සංයුක්ත වන්නේ ජනප්‍රිය ප්‍රචාරකවාදී දේශපාලනය නැමැති කාරණය හරහාය. ලොව පුරා හමා යන්නට වූ ජනප්‍රිය ප්‍රචාරකවාදී අතිශය දක්ෂිණාංශික දේශපාලන ප්‍රවණතාවයෙහි ලාංකේය ප්‍රායෝගිකත්වය පරිපාකයට පැමිණෙන්නේ මෙකී පොදුජන පෙරමුණේ දේශපාලනය හරහාය. 2009 වර්ෂයේ පටන් පශ්චාත් යුධ උන්නතිකාමී දේශපාලන ව්‍යාපෘතීන්ගෙන් ආරම්භ වූ අතිශය ප්‍රචාරකවාදී දේශපාලන ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් වූයේ මෙම ජනප්‍රිය අතිශය දක්ෂිණාංශික ආණ්ඩුවයි. ජාතිවාදී දේශපාලන ආස්ථානයන් ඔස්සේ උත්කර්ෂයට නැංවීමෙන් මෙකී ආණ්ඩු බලයෙහි පිහිටුවීම සිදු වූ බව කිව යුතුය. මෙය රනිල් වික්‍රමසිංහ කේන්ද්‍රකර ගත් පසුගිය යහපාලන ආණ්ඩුවෙන්ද 2001-2004 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන්ද වෙනස් වන්නේ මෙකී ජනප්‍රියවාදී බව යන සාධකය නිසාවෙන් පමණි. එසේ නොමැතිව මෙකී පාලක පැලැන්තීන් දෙකම අනුගමනය කරන්නේ එකම ආර්ථික ප්‍රතිපත්තියක් බවද මෙකී පාර්ශ්වයන් ද්විත්වයම රට මුහුණ දී ඇති අර්බුදයට වගකිව යුතු බවද පාර්ශ්වික කරුණක් ලෙසින් මෙහිදී අවධාරණය කර ගැනීම ඉතා වැදගත්ය.


මෙකී ප්‍රචාරකවාදී දේශපාලන උපාය මාර්ගයම කොරෝනා හමුවේද අනුගමනය කිරීමට මෙම පාලකයෝ ක්‍රියා කිරීමෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ මෙම ඛේදජනක තත්ත්වයයි. මුල්කාලීනව මිථ්‍යාව ප්‍රවර්ධනය කරන්නට පටන් ගත්තේ හෙළ වෙදකම නැමැති කඩතුරාවට මුවා වෙමිනි. මුට්ටි පා කර හැරීමෙන්ද විවිධ වර්ගයේ පැණි වර්ග රාජ්‍ය අනුග්‍රහය සහිතව ප්‍රවර්ධනය කරමින්ද මොවුහු කොරෝනා හමුවේ පැන නැඟුණු ගැටලු කරා අතිශය ජනප්‍රිය ප්‍රවේශයන් කරා එළඹීමට ක්‍රියා කළහ. එයිනුදු නොනැවතී මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව ජාතිවාදී ආස්ථානයකට තල්ලු කරමින් තම ජනප්‍රියත්වය පවත්වා ගැනීමට උත්සාහ දැරූ බවද එය පසුකාලීනව ආණ්ඩුවට පාරා වළල්ලක් ම වූ බවද ප්‍රකාශ කළ හැකිය.

ඉන් අනතුරුව සිදුවූයේ කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් වූ සංඛ්‍යා දත්ත තම තමන්ට අවශ්‍ය පරිදි අවභාවිත කරමින් සමස්ත ජනතාවම සාවද්‍ය පරාවර්තනයකට ලක් කිරීමය. ඉහත පැහැදිලි කළ ආකාරයට කොවිඩ් රෝගීන් සම්බන්ධයෙන් වූ සංඛ්‍යා දත්ත සහ සංචරණ සීමා පැනවීම් අතර යම් තාර්කික සම්බන්ධයක් ගොඩනගා ගැනීම අසීරු වන්නේ එනිසාවෙන්ය. එනම් වර්තමානය වන විට සංචරණ සීමා පැනවීම යනු හුදෙක් තම දේශපාලන සිදුවීම් කළමනාකරණය කර ගැනීමටද ආණ්ඩුව කෙරෙහි වන විරෝධතාවන් සමනය කර ගැනීමටද භාවිත කරනු ලබන හුදු උපකරණයක් පමණක් වන බවයි. එනිසාවෙන්ම රෝගීන් සම්බන්ධ සංඛ්‍යා දත්ත හැඟීම් විරහිත හුදු ඉලක්කම් පමණක් බවට වන හැඟීම ජනතාවට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව ක්‍රියා කරන්නේ මෙකී ජනප්‍රියවාදී දේශපාලන උවමනාව නිසාවෙන්මය. අනෙක් අතට එකී සංඛ්‍යා ලේඛන සම්බන්ධ පරමාධිකාරී බලය මෙහෙයවමින් තමන්ට අවශ්‍ය මොහොතකදී කොවිඩ් සම්බන්ධ පොදු ජන මනෝභාවය පාලනය කරන බවද අමතක නොකළ යුතුය. විටෙක කොවිඩ් නිසා සාමාන්‍ය ජන ජීවිතය බියෙන් ඇළලී යන්නේද විටෙක සාමාන්‍යකරණයකට ලක්වන්නේද ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුරූපී ලෙසින් බව මෙහිදී සිහිපත් කළ යුතුය.


අනෙක් අතට පාලකයින් විසින් සිදු කරනු ලබන ජනතා විරෝධතාවන් මර්දනය කිරීමේ ක්‍රියාවලිය නම් තේරුම් ගැනීමට අපහසු වූවක් නොවේ. තම ජනප්‍රියවාදී මෙන්ම ප්‍රචාරකවාදී දේශපාලන ක්‍රියාමාර්ගයන්ට කළු පැල්ලම් එකතු කරන්නේ මෙම විරෝධතාවන් මඟිනි. එහෙත් උක්ත මර්දනීය ක්‍රියාමාර්ගයන්ට අනන්‍ය වූ ප්‍රතික්‍රියාව වන්නේ එකී මර්දනය නිසාවෙන්ම සාමාන්‍ය ජනතාව අතර ඇති ජනප්‍රියත්වය තවදුරටත් පරිහානියට පත්වීමය. ඉහත කී ප්‍රතික්‍රියාවට පිළිතුරු සැපයීමේ ඊළඟ උපක්‍රමය සනිටුහන් වන්නේ ක්‍රමිකව සිදු කරනු ලබන මිලිටරිකරණය හරහාය.

2009 වර්ෂයෙන් පසුව ගොඩ නැගුණු පශ්චාත් යුධ උන්නතිකාමී දේශපාලනය හරහා උත්කර්ෂයට නැගුණේ මිලිටරිකරණයයි. මෙකී උත්කර්ෂයට නැංවීම තවදුරටත් වර්ධනය වන්නේ පසුගිය යහපාලන ආණ්ඩු සමයෙහි සිදු වූවා යැයි කියනු ලබන හමුදා දඩයම නැමැති එවකට ඒකාබද්ධ විපක්ෂය විසින් අධ්‍යක්ෂණය කළ නාටකය හරහාය. මෙකී සියලු දුර් විපාකයන් සඳහා පසුගිය යහපාලන ආණ්ඩුවද වගකිව යුතු වීමට එක් හේතුවක් වන්නේ මෙකී නාටකයන් කළමනාකරණය කර ගැනීමට දක්වන ලද අසමත්කම නිසාවෙනි. කෙසේ වුවද අද වන විට දිස්ත්‍රික්ක විසිපහම වෙනුවෙන් කොවිඩ් නිරීක්ෂණ කටයුතු සඳහා යන උපායෙන් හමුදා නිලධාරීන් පත් කර තිබීමෙන්ද අනෙක් අතට කොවිඩ් මර්දනය සම්පූර්ණයෙන්ම මිලිටරිකරණයකට ලක් කරමින් පවතින පසුබිමක් තුළදීද වැඩ වර්ජන ආදී වෘත්තීය ක්‍රියාමාර්ගයන් තුළදී හමුදාව ක්‍රියාවෙහි යොදන ආකාරයෙන්ද පෙනී යන්නේ මිලිටරිකරණය තම ජනප්‍රිය දේශපාලනයෙහි කොටසක් බවට පත් කරගෙන ඇති බවය. මෙකී කොවිඩ් අර්බුදයන් අතරතුර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීමට දරන උත්සාහය ආණ්ඩුවේ සමස්ත දේශපාලන චිත්‍රයෙහි කොටසක් වන්නේ ඒ අයුරින්ය. එනම් හමුදාව කෙරෙහි සාමාන්‍ය ජනතාව තුළ පවත්නා හිතවත් මනෝභාවය තම ජනප්‍රිය දේශපාලනයෙහි කොටසක් බවට පත් කර ගැනීමත් පොදු ජන අරගලයන් මර්දනය කරමින් රට මිලිටරිකරණයක් දක්වා කැඳවාගෙන යාමෙහි අවශ්‍යතාව වෙනුවෙන්ය.


මේ අයුරින් අප හුදකලා යැයි පෙනෙන දේශපාලනික සංසිද්ධීන් යම් නිශ්චිත පිළිවෙළකට තැබූ පසු පෙනී යන්නේ මේ කිසිදු සිදුවීමක් හුදකලා සිදුවීමක් නොවන බවයි. එනම් යම් නිශ්චිත දේශපාලනික වැඩ පිළිවෙළක කොටසක් වන බවයි. එනම් එය තම බලය වෙනුවෙන් ගොඩනගන ලද අතිශය සංවිධිත වැඩ පිළිවෙළක් බවයි. එසේනම් එහි ප්‍රති පක්ෂය වශයෙන් අපට යෝජනා කර සිටින්නේ කුමක්ද? එනම් වෙනත් යමක් නොව එකී සංවිධිත වැඩපිළිවෙළට එරෙහිව වූ අතිශය සංවිධිත විකල්ප දේශපාලනික වැඩපිළිවෙළකි. ඒ අධිපත් සමාජ දාෂ්ටිවාදයෙන් පටන් ගෙන ක්‍රියාකාරී විරෝධතාවන් හරහා රට ගොඩ නැගීමේ දිශානතිය කරා යොමු වූ දේශපාලනික වැඩපිළිවෙළක් ඔස්සේ පමණි.