සුමිත් චාමින්ද


ඇතැම්විට, මේ ලිපිය පළවන මොහොත වන විට විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී තිබිය හැකිය. එසේ වුවහොත්, අප රටේ පවතින සීමිත ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයේ මද ආලෝකය පවා තවදුරටත් අපට දැක ගන්නට නොලැබෙනු ඇත. දැනටමත් අප මත පතිතවෙමින් තිබෙන අධිකාරීවාදයේ අන්ධකාරය සමාජ අවකාශය පුරාම වේගයෙන් පැතිර යනු ඇත. ඉන්පසුව, යළිත් ප්‍රජාතාන්ත්‍රික අයිතීන් දිනා ගැනීම සඳහා මෙරට පොදු ජන සමාජයට ඉතිරි විය හැකි එකම මාර්ගය වනු ඇත්තේ ජනතා අරගලය පමණි. විධායකය අත අතිමහත් බලයක් සංකේන්ද්‍රණය වූද, මිලිටරි බලයේ ආධාරයෙන් රාජ්‍ය පරිපාලනය ප්‍රතිසංස්කරණයට ලක් කරන්නා වූද, අධිකාරීමය ධනවාදයේ ලාංකීය මොඩලයක් ඉදිරිපත් කරන්නා වූද පාලනාධිකාරයක් නිදහස් හා සාධාරණ මැතිවරණ මගින් පමණක් පරිවර්තනයට ලක් කළ හැකි වේද?


ජාත්‍යන්තර අත්දැකීම් අපට පවසන පරිදි එවන් අධිකාරීවාදී පාලනතන්ත්‍රයන් පරාජය කළ හැකිව තිබෙන්නේ එක්කෝ ජන අරගලයේ දුෂ්කර මාවත ඔස්සේ ගමන් කිරීමෙන් හෝ නැතහොත් විදේශීය මැදිහත්වීම් මගින් පමණි. නිකරගුවාවේ සොමෝසා පාලනය නිමා කරන්නට ඔගස්තෝ සීසර් සන්දිනෝගේ නාමයෙන් දිග් ගැසුණු මහජන අරගලයක් වුවමනා විය; පිලිපීනයේ මාකෝස්ගේ ප්‍රජා පීඩක පාලනය නිමා කෙරුණේ “ජනතා බලය” නමැති තේමා පාඨය යටතේ පෙළ ගැසුණු මහා ජනතා නැගී සිටීමක් මගිනි; 2010-2012 කාලපරිච්ඡේදයේදී ඇතැම් මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල හමා ගිය “අරාබි වසන්තය” තවත් එවන් අධිකාරීවාදී පාලනතන්ත්‍ර කිහිපයක්ම බිඳ හෙළන්නට සමත් විය (පසුව ඒ බොහෝ රටවල ප්‍රජාතාන්ත්‍රික ප්‍රති-හෙජමොනියක් ගොඩ නගන්නට විපාක්ෂික බලවේග අසමත්වීම හමුවේ අධිකාරීවාදයේ නැවත පැමිණීමක් නොහොත් “අරාබි ශිශිර සෘතුවක්” උදා වීම ද නිරීක්ෂණය කළ හැකි විය. එයින් පෙනෙන්නේ අධිපතිවාදයේ සිට ප්‍රජාතාන්ත්‍රික නිදහස කරා වන පරිවර්තනය කොතරම් දුෂ්කර වූවක්ද යන්නයි). මෙම ජාත්‍යන්තර අත්දැකීම් අපට පවසන පොදු පණිවිඩය වන්නේ මෙයයි: විසම්මුතික දේශපාලන අදහස් සහ බලවේග ප්‍රකාශයට පත්වීමට තිබෙන්නා වූ ව්‍යවස්ථාමය අවකාශයන් සහ මාධ්‍යයන් අසුරා දැමෙන්නේ කොතැනකද, එතැන ජනතා විරෝධය වෙනස් ආකාරවලින් ප්‍රකාශයට පත්වීමක් අපේක්ෂා කළ යුතුව ඇති බවයි. දැන් මෙරට දේශපාලන ක්‍රියාවලිය ගමන් කරමින් තිබෙන්නේ එවන් දිශානතියක් වෙතට ය.
ජාතිකවාදීන්ගේ විරෝධය


නමුත්, අඩු තරමින් තවමත් තත්ත්වය සහමුලින්ම අඳුරු වූවක් යැයි ද කිව නොහැක. අවසන් මොහොතේදීත් අනපේක්ෂිත දේ සිදුවිය හැකිය. (දේශපාලනයේ ඇති නෛසර්ගික අපූර්වත්වය වන්නේ එයයි). විසිවන සංශෝධන යෝජනාව ඉදිරිපත් වීමෙන් පසුව එයට එරෙහි විරෝධයන් විපාක්ෂික පක්ෂ සහ සංවිධාන කෙරෙන් සේම සිවිල් සමාජ කොටස් කෙරෙන්ද මතු විය. වාම සහ ලිබරල් නියෝජනයන් ඒ අතුරින් කැපී පෙනුණි. එය පුදුමයට කාරණයක් නොවේ. මන්දයත්, සමකාලීන දේශීය මෙන්ම ගෝලීය දේශපාලනයේ හැඩ ගැසීම් ගැන මූලික අවබෝධයක් ඇති කිසිදු වාම-ලිබරල් නායකත්වයකට විස්සට එරෙහි වීමේ තීරණය මගහැර යා නොහැකි බැවිනි. නමුත්, විස්සට එරෙහි පැන නැගීම් තුළ කිසියම් ආකාරයක සුවිශේෂී නියෝජනයක් වූයේ සාම්ප්‍රදායිකව වත්මන් පාලනාධිකාරයට සක්‍රීයව සහයෝගය දක්වන ඇතැම් ආගමික සහ ජාතිකවාදී කණ්ඩායම්ද ඒ අතර සිටීමයි. සැබවින්ම අනපේක්ෂිත කාරණය වූයේ එයයි. එසේම කෙසේ හෝ ඉක්මනින් විස්ස සම්මත කරගැනීමට ප්‍රයත්න දරන පාලනාධිකාරයේ කොටස් සසැලීමට පත්වූයේ නම් ඒ ලිබරල් සිවිල් සමාජ කොටස්වල විරෝධය නිසා නොව මෙම ජාතිකවාදී සිවිල් සමාජ කොටස්වල විරෝධය නිසාය.


විස්සට එරෙහිව පෙනී සිටින ජාතිකවාදී කණ්ඩායම් අප වටහාගත යුත්තේ කෙසේද? ඒවාට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? මේ සම්බන්ධයෙන් ප්‍රවේශයන් දෙකක් මෙරට ප්‍රජාතාන්ත්‍රික විපාක්ෂික කණ්ඩායම් අතුරින් දැනට ප්‍රකාශයට පත්ව තිබේ. පළමුවැන්න වන්නේ විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූ සංවිධාන ඇතුළත් මෙම ජාතිකවාදී විරෝධතාකරුවන් නියමින් හෝ අනියමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දිරි ගැන්වීම, ආශිර්වාදය ලබනවා විය හැකිය යන්නයි. දෙවැන්න වන්නේ මෙම විරෝධතාකරුවන්ගේ අරමුණ විය හැක්කේ විස්සට එරෙහි ව්‍යාජ විරෝධයක් මවාපෑම මගින් යම් යම් සුළු ප්‍රතිසංස්කරණ සහිතව එය සම්මත කරගැනීමට පාලනාධිකාරයට අවස්ථාව ලබාදීම බවයි. මේ කාරණාවල ඇත්ත නැත්ත අප කිසිවෙකුත් හරියටම දන්නේ නැත. නමුත්, ඉහත ප්‍රවේශයන් දෙකේම ඇති පොදු ලක්ෂණය වන්නේ ජාතිකවාදීන්ගේ විරෝධය අව්‍යාජ එකක් ලෙස නොගැනීමත් එබැවින් ඒ සමග ඇඟෑලුම්කම් පැවැත්වීමට නොයාමත්ය. ජාතිකවාදීන් ප්‍රජාතාන්ත්‍රික නිදහස ගැන කතා කරන විට ලිබරල් සිවිල් සමාජ කණ්ඩායම් කොහොමටත් ඔවුන් දෙස බලන්නේ වපර ඇහෙන් ය. මේ අනුව, විස්සට එරෙහිව පෙනී සිටින ලිබරල්වාදීන්, ජාතිකවාදීන් සහ වාම-ලිබරල් නායකත්වයන් පවතින්නේ එකිනෙකට සම්බන්ධයක් නැති විසිරුණු කොටස් ලෙසය. ඔවුන් අතර පොදු දෘෂ්ටිවාදී බැම්මක් තැනී නොමැත. එවන් බැම්මක් තැනීමට සමත් ඓන්ද්‍රීය බුද්ධිමතුන් ශ්‍රේණියක් තවමත් පැන නැගී ඇත්තේද නැත.


ප්‍රජාතාන්ත්‍රික දේශානුරාගයක්


විස්සට එරෙහිව කතා කරන ආගමික සහ ජාතිකවාදී නායකත්වයන් පිළිබඳව කවර විවේචන තිබුණද, ඔවුන්ගේ විරෝධයෙන් සංකේතවත් වන්නේ වත්මන් පාලනාධිකාරය සමන්විත වන කොටස් අතර මෝරමින් තිබෙන අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් ය; ඇතැම්විට, තවමත් ප්‍රතිවිරෝධයන් බවට පරිවර්තනය වී නොමැති වෙනස්කම් ය. මා මින් පෙරද පෙන්වා දී ඇති පරිදි රාජපක්ෂ බල-හවුල තුළ පවා බරපතළ වෙනස්කම් හා නොඑකඟතා පවතී. විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් නියෝජනය කෙරෙන අධිකාරීමය ධනවාදී ව්‍යාපෘතිය ඇතැම් ජාතිකවාදීන්ගේ අභිලාෂයන් සමග හරියටම පෑහෙන්නේ නැත.


එසේම අප අමතක නොකළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ අඩු තරමින් 1980 දශකයේදී විධායකයේ අධිපතිවාදයට එරෙහි පොදු ජන අරගලයේ තීරණාත්මක භූමිකාවක් මෙරට බෞද්ධ භික්ෂූ බලවේග විසින් සිදු කරන ලද බවයි. එබැවින්, ප්‍රජාතාන්ත්‍රික නිදහස අරමුණු කරගත් සම්‍යක් දෘෂ්ටික බෞද්ධ සම්ප්‍රදායක් මෙරට දේශපාලන සම්ප්‍රදාය තුළින්ම මතු කර ගත නොහැකිද? මෙරට කොතරම් සමාජ දේශපාලනික ගැටුම් සහ ලේ වැගිරීම් සිදු වුවද නියෝජන ප්‍රජාතාන්ත්‍රික දේශපාලන සම්ප්‍රදායක්ද අඛණ්ඩව පැවත ‘විත් තිබේ. ශ්‍රී ලංකාව කිසි කලෙකත් පාකිස්ථානය, බංගලාදේශය, දකුණු කොරියාව, ඊජිප්තුව වැනි සෙසු බොහෝ ගෝලීය දකුණේ රටවල් සේ මිලිටරි පාලනයන්ට නතු වූයේ නැත. නිදහසින් පසු මේ දක්වාම ආණ්ඩු මාරු වීම් සිදු වූයේ මැතිවරණ මගිනි. යුද්ධය පැවතියදී පවා සන්නද්ධ හමුදා ශ්‍රේණීන් රාජ්‍ය පරිපාලනය මෙහෙයවීමට සමත් වූයේ නැත. එබැවින්, මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදය (එහි සියලුම අඩුපාඩු සහ ගැටලුද සමගම) ලාංකීය සමාජ උරුමයකි; පොදු ජන සම්ප්‍රදායකි. එම ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදාය මුල් කොටගෙන ගොඩ නැගෙන ප්‍රබුද්ධ දේශප්‍රේමයක් පරිකල්පනය කිරීමට වාම ජනතාවාදීන් සමත් විය යුතුය යන්න මගේ අදහසයි.


එවන් ප්‍රබුද්ධ දේශප්‍රේමයක් පිළිබඳ ආදර්ශය අපට අසල්වැසි ඉන්දියාවෙන් උකහා ගත හැකිය. ඉන්දීය ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා පවසන පරිදි මහත්මා ගාන්ධි ජාතිකවාදියකු නොව දේශප්‍රේමියෙකි. ඔහු නිදහස් ඉන්දියාව හින්දි හෝ හින්දු රාජ්‍යයක් කිරීමට ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට සියලු ජනවාර්ගික, ආගමික, කුළමය සහ ලිංගිකමය කණ්ඩායම් එක් කොට ගත් බහු-විධ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් ගොඩ නැගීම ඔහුගේ ප්‍රයත්නය විය. වත්මන් බී.ජේ.පී පාලනය අනුයන්නේ එම මාර්ගය නොව ජනවර්ගවාදී සහ ආගම්වාදී අන්ත-දක්ෂිණාංශික මගකි.


කෙසේ වුවත්, ලිබරල් ප්‍රජාතාන්ත්‍රික නිදහස අගයන ප්‍රබුද්ධ පුරවැසි සම්ප්‍රදායක් අපට තවමත් දකුණු ආසියාතික අත්දැකීම් ඇසුරින්ම වුවත් ගවේෂණය කළ හැකිය. තව දින දෙකකින් අද (ඔක්. 20) විසි වන සංශෝධනය සම්මත වුවද, නොවූවද එවන් ප්‍රතිජනනාත්මක ප්‍රජාතාන්ත්‍රික සම්ප්‍රදායක් පරිකල්පනය කිරීම අප රටේ ඉදිරි අනාගතයේ මතු වන අධිපතිවාදයට එරෙහි පොදු අරගලය සඳහා මහෝපකාරී වනු ඇතැයි යන්න මගේ අවංක විශ්වාසයයි.