රට මුහුණ දී සිටින බරපතළම ප්‍රශ්නය වන්නේ පාලක පක්ෂයට ඉදිරි වසර පහ හෝ දහය තුළ රට පාලනය කරන නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැතිකමය. කිසියම් පක්ෂයක් මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ඉදිරි සැලසුම් දැක්වෙන ලියවිල්ල මැතිවරණ ජය හෝ පරාජය සමග අමතක කර දැමෙන අතර එවන් අදුරදර්ශී, ජනතාව රවටන ලියවිලිවලට ප්‍රතිපත්ති ප්‍රකාශන යන නම යෙදීමද සාවiය.


වත්මන් ආණ්ඩුවේ මැතිවරණ ලියවිල්ල තුළ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කරනු ඇත යනුවෙන් සඳහන් කර තිබුණත් නීතිය සැමට සමාන නැති බව මෙතෙක් කටයුතු කරගෙන ආ ආකාරයෙන් දිස්වේ. ඔවුන් ලහි ලහියේ කළ දෙයක් වුයේ බරපතල චෝදනාවලට ලක්ව සිටි තම හිතවතුන් නිදොස් කොට නිදහස් කර ගැනීමය. ඉන් නොනැවතී මරණ දඬුවමට හා ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක්ව සිටි තම හිතෛෂීවන්තයින්ට ජනපති සමාව ලබාදුනි. ඒවා සිදුවන්නේ නිදහස් වීමට ආසන්නව සිටි රැඳවියන් බන්ධනාගාරය තුළ වෙඩි තබා මරා දැමෙන අතරය. ඉදින් සැමට නීතිය එක සමානය යන්න තෘප්ත වෙන්නේ කෙසේද යන්න ජනපතිගෙන් හා ආණ්ඩුවෙන් විමසිය යුතුව ඇත.


අනෙක් අතට වත්මන් ජනපති මැතිවරණයට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශන නම් වූ ලියවිලි වල මෙරට කිසිදු සම්පතක් විදෙස් රටවලට නොදෙන බව සඳහන් කර තිබුනත් වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම වෙනුවෙන් කැපකර තිබේ. ඒ පිළිබඳව මැතිවරණයට පෙර වත්මන් අගමැති දුන් පොරොන්දු මේ වන විටත් බේගල් බවට පත්ව තිබේ. නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගමකට දෙන්නේ වරාය මගින් එහි හැසිරවීම් කටයුතු සිදුකර ඉහළ ලාභයක් ලැබිය හැකිව තිබෙන තත්ත්වයක් තුළය. ආණ්ඩුවට හා ජනාධිපතිට අර්ථයෙන් හා ධර්මයෙන් උපදෙස් දෙන ස්වාමීන්වහන්සේලා මේවා සම්බන්ධයෙන් අනර්ථයට හා අධර්මයට ඉඩදී මුනිවත රකිති. ජනපති ඔසවා තැබු වියත්මග නිහඬය. ඉන් පෙනී යන්නේ ඒ කවුරුත් අවස්ථාවාදී වී ඇති බවය.


බලයට පත්වීමට පෙර පරිසරය රකින බවට මෙම නායකයින් කළ ප්‍රකාශ අද වන විට පට්ටපල් බොරු බවට පත්ව තිබේ. ආණ්ඩු හිතවාදී, පරිසරප්‍රේමී හිමිනමක වන පාහියංගල ආනන්ද සාගර හිමියෝ ඊට ඉහළින්ම සාක්ෂ්‍යය දරති.
ජනපති ලේකම්ගේ ලියුමකින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කැරිණි. ඛනිජතෙල්, විදුලිය හා ජලය පිළිබඳ මිල පාලනය කැරුණේ එමගිනි. ජනපති ලේකම් ලියුම යවන පරක්කුවෙන් එම සාමාජිකයෝ ඉල්ලා අස්වූහ. ඉන් සිදුවූයේ පාර්ලිමේන්තුව මුළුමනින්ම හෑල්ලුවට ලක්වීමය. මන්ත්‍රීවරුන් මේ ගැන නිහඬය. රටක් මෙලෙස කැළෑ නීතියට පාලනය කළ හැකිද ?


ආණ්ඩුවට ප්‍රතිපත්ති හෝ දර්ශනයක් නොමැතිව වැඩ කිරීමට සිදුව තිබෙන්නේ රට සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව හා ජනයාගේ ප්‍රශ්න විසදන්නේ කෙසේද යන්න ගැන නිසි සැලසුම් නැති නිසාය. රටට ජාතික සංවර්ධන සැලැස්මක් අවශ්‍යය. හිතුමතේ ජීවිතේ මෙන් නොවී සැලසුම් සහගතව අනාගතවාදී අරුතකින් වැඩ කළ යුතු ආකාරය ගැන ජනපතිට උපදේශකයෝ නොකියති. උපදේශකයෝ වැටුප් හා වරප්‍රසාද ලබමින් පුටු රත්කරමින් කරන්නේ ජනපතිගේ උපදෙස් පිළිපැදීමද, ලංකාව වැනි දුප්පත් රටකට මේවා විහිළු නොව ඛේදවාචකය. නිසි කළමනාකරණයකට යටත් කළහොත් තවමත් මේ රට ගොඩගත හැකිය. ලොකුම ඛේදවාචකය වන්නේ බලයට පත්වෙන සෑම නායකයකුම එම අවබෝධයෙන් බැහැර වීමය. එසේ වී සෑම නායකයකුටම සිදුවූයේ තම ආණ්ඩුව එදාවේල සොයන ආණ්ඩුවක් බවට පත්කර ගැනීමටය.


රාජපක්ෂ නම දරන නායකයන් මෙහෙයවන ආණ්ඩු සැලසුම් සහගතව කරන්නේ අධිවේගී මාර්ග හදන එක පමණද ! ආණ්ඩුවට කෙතරම් මුදල් අග හිඟතා තිබුණත් මාර්ග සංවර්ධනය නැවතී නැත. ඒ තත්ත්වය නරක යැයි නොකියමු. එහෙත් සෙසු සියල්ල අර්බුදයට ගොස් තිබෙන්නේ මන්ද යන ප්‍රශ්නය ඔවුන්ගෙන් විමසිය යුතුව ඇත.


ජනපතිට අනුව ජාතික අර්බුදය යනුවෙන් ප්‍රශ්නයක් ඇත්තේම නැත. ඔහුට එය ආර්ථික ප්‍රශ්නයකි. ජනපති කෝකටත් තෛලය ලෙස හමුදාව යොදා ගනියි. ගුරු පුරුප්පාඩු සඳහාද ගුවන් හමුදාවෙන් යොදවන තැනට ඔහු පත්වී සිටී. ජනපති සියල්ල කරන්නට සිතන්නේ නීතියක්, න්‍යායක් හෝ සම්ප්‍රදායක් අවශ්‍ය නැති ගානටය. යුක්රේන සංචාරකයන් ලංකාවට ගෙන ඒම දක්වා දේවල් සිදුවුයේ එලෙසය.


දෙවැනි කොවිඞ් රැල්ලේ ව්‍යාප්තියට ආණ්ඩුව වගකිව යුතුය. පසුව එම වරද ජනතාව පිට පැටවුනි.
යම් ආණ්ඩුවක් පත් කළ විට ඔවුන්ට අනන්‍ය විධි ක්‍රමයකට රට පාලනය කිරීමට ඉඩදීම ආචාර ධර්මයකි. එහෙත් එම විධික්‍රම අත්තනෝමතික හා අනීතික නම් ඔවුන්ට ඡන්දය දුන් ජනයා නිහඬව සිටිය යුතු නැත. පත්කිරීමේ බලය සමඟ ආපසු කැඳවීමේ බලය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ නැතත් පත් කළ පිරිස රටේ මූලික නීතිය උල්ලංඝනය කරනවා නම් ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය ජනතාවට හිමිය. කුරුණෑගල රජපිහිල්ලේ පැරණි ගස් කැපීම දක්වා තත්ත්වය දුර ගියේ රාජ සභා මණ්ඩපය බිම හොවාලු අවස්ථාවේ තීරණාත්මක විරෝධයක් පැන නොනැගුණු නිසාය. මෙවැනි විනාශකාරී ක්‍රියා දිනෙන් දින සිදුවෙනවා විනා යහපත් රාජ්‍ය පාලන ක්‍රමයක් වත්මන් ආණ්ඩුව අභ්‍යාස කරනු නොපෙනෙයි. මෙම වැරදි ක්‍රමයට ජනතාව විරෝධය පළ කරන්නේ රට තවත් අභාවයට ගිය පසුවද !