නීතීඥ ධනංජය දීඝායු
(එල් එල් බී පේරාදෙණිය)


ලෝකයේ වන ගහණය දිනෙන් දින අඩු වෙමින් පවතියි. එය මිනිසාගේ බිහිවීමත් සමඟ අඛණ්ඩව සිදුවෙමින් පැවති තත්ත්වයයි. එය සොබාදහම හා මිනිසා අතර ඇති ප්‍රතිවිරෝධතාවයි. මිනිසා බිහිවීමෙන් පසුව එනම් ප්‍රාථමික යුගයේ පටන් පැවති සොබාදහම හා මිනිසා අතර වූ අනවරත අරගලයෙහි ප්‍රතිඵලය වූයේ ක්‍රම ක්‍රමයෙන් මිනිසා ඉදිරියේ සොබා දහම වෙනස් කිරීමට ලක් වීමය. එහෙත් වර්තමානයෙහි සිදුවෙමින් පවත්නා ඒ මහා පාරිසරික සංහාරයන් සොබා දහම හා මිනිසා අතර වන ප්‍රතිවිරෝධතාවකට ලඝු කළ හැකිද? එය එකී ප්‍රතිවිරෝධයෙන් ඔබ්බට යන්නක් නොවන්නේද? අප ඉදිරියේ පැන නැඟෙන හා සාකච්ඡාවට බඳුන් කළ යුතු කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ එයයි.
එකී වන සංහාරය සාධාරණීකරණය කරනු ලබන්නේ සංවර්ධනය පිළිබඳව වන ඊනියා සූත්‍රය මන්ත්‍රණය කිරීම හරහාය. රටවල් සංවර්ධනය කිරීමේදී වනාන්තර විනාශ කරන්නට සිදුවන බවත් එය එසේ සිදුවීමට තාර්කික පදනම වන්නේ සොබා දහම හා මිනිසා අතර පවත්නා අනවරත අරගලය යනුවෙනුත් ප්‍රවාදයක් ගොඩනැගීමටත් වන අපරාධකරුවෝ උත්සුක වෙති. බැලූ බැල්මට එකී තර්කයන් තුළ දෝෂ සහගත බවක් පෙනෙන්ට නැත. සංවර්ධනය යනුම පරිසරයට එරෙහිව යන්නට සිදුවන්නකි. එහෙත් මෙහිදී අප තේරුම් ගත යුත්තේ ධනේශ්වර සමාජ ආර්ථික ක්‍රමය තුළ සිදු කරනු ලබන සංවර්ධනය යනු හුදු සොබා දහම හා මිනිසා අතර ඇති ප්‍රතිවිරෝධයෙහි ප්‍රතිඵලයක් යන්න තුළින් අර්ථකථනය කළ නොහැකි බවයි. එහෙත් මෙහි අදහස වන්නේ සොබා දහම හා මිනිසා අතර ප්‍රතිවිරෝධයක් නැති බව නම් නොවේ. එය මූලික නොවන ප්‍රතිවිරෝධයක් වෙයි. යම් සමාජ ආර්ථික ක්‍රමයක් තුළ සංවර්ධනයෙහි ගාමක බලවේගය එම යුගයේ මූලික ප්‍රතිවිරෝධතාවන් වේ.


එසේ නම් ධනේශ්වර සමාජ ආර්ථික ක්‍රමය තුළ මූලික ප්‍රතිවිරෝධතාව වන්නේ කුමක්ද? එය පන්ති ප්‍රතිවිරෝධතාව වෙයි. ධනේශ්වර හා නිර්ධන පන්තීන් අතර පවත්නා ප්‍රතිවිරෝධය නිසාවෙන් ධනේශ්වර සමාජ ක්‍රමය පවතියි. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම් ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර පවත්නා ප්‍රතිවිරෝධතාව ධනේශ්වර සංවර්ධනයෙහි ගාමක බලය ලෙසින් ක්‍රියා කරයි. එනිසා අපට ප්‍රකාශ කළ හැක්කේ උක්ත සොබාදහම හා මිනිසා අතර පවත්නා ප්‍රතිවිරෝධය නිසා වන සංහාරයන් සිදු වන්නේය යන ප්‍රවාදය වන සංහාරය සාධාරණීකරණය උදෙසා ගොතන ලද්දක් විනා සැබෑවක් නොවන බවයි. එනම් උක්ත වන සංහාරය යනුම ප්‍රාග්ධන අවශ්‍යතාවන් වෙනුවෙන් සොබා දහම සූරා කෑම විනා වෙනත් යමක් නම් නොවෙයි.


මෙහිදී අප වන සංහාරය යන්නෙහි සැබෑ සීමා මායිම් වටහා ගත යුතුව ඇත. වන සංහාරය යනුවෙන් වටහා ගත යුතුව ඇත්තේ ප්‍රාග්ධන අවශ්‍යතාවන් වෙනුවෙන් සිදු කරනු ලබන සංවිධානාත්මක වන විනාශයන් ය. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම් තම පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් ගසක් කපනු ලැබීමක් හෝ යම් වන ප්‍රදේශයක් අනිසි භාවිතයකට ලක් කිරීමත් වන සංහාරයක් යනුවෙන් වන වර්ගීකරණයට ඇතුළත් කිරීම දෝෂසහගත වන බවයි. එක් අතකින් එවැනි පන්නයේ වන විනාශයන් සංවිධානාත්මක බවක් හෝ ප්‍රාග්ධන අවශ්‍යතාවක් නියෝජනය කිරීමක් හෝ සිදු නොවෙයි. අනෙක් අතට ප්‍රකාශ කළ හැක්කේ එකී පන්නයේ වන විනාශයන් මඟින් නියෝජනය කරන්නේ සොබාදහම හා මිනිසා අතර ඇති මූලික නොවන ප්‍රතිවිරෝධය බවයි.


මෙවන් තත්ත්වයන් තුළ ලෝක මට්ටමින් වන විනාශය සංඛ්‍යා දත්තයන් සමග යම් අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්ය. ලෝකයේ පෞරාණික වනාන්තරවලින් 80%ක ප්‍රමාණයක් මේ වන විට විනාශකර අවසන්ය.

ඉන්දුනීසියාවේ 72%ක ප්‍රමාණයක් විනාශ කර ඇත. එමෙන්ම පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ ද වන විනාශය උපරිම මට්ටමින් සිදු කර ඇත. වර්තමාන ගෝලීය දේශපාලන සන්දර්භය තුළ වන විනාශය පිළිබඳව කතිකාවක් ගොඩ නැඟීමට සමත් වන්නේ බ්‍රසීලයෙහි දේශපාලනික ආශීර්වාදය මත සිදුවන ලෝක උරුම ඇමර්සන් වනාන්තරය සංහාරය කිරීම නිසාය. බ්‍රසීලයෙහි වැසි වනාන්තර ආශ්‍රිතව පමණක් වර්ග කිලෝමීටර් 11088 ක ප්‍රමාණයක් 2019 වර්ෂයේ අගෝස්තු මාසයෙහි සිට 2020 ජූලි මාසය දක්වා වන අවුරුද්දක කාලයක් තුළ විනාශ කර ඇත. එමෙන්ම අවුරුද්දෙන් අවුරුද්ද වන සංහාරය කරන ප්‍රමාණය බ්‍රසීලයෙහි පමණක් 9.5% ප්‍රමාණයකින් වැඩිවෙයි. හොන්ඩුයුරාස්, නයිජීරියාව, පිලිපීනය, බෙනීන් රාජ්‍යය, ඝානා රාජ්‍යය, ඉන්දුනීසියාව, ආදී රාජ්‍යයන් වන සංහාරයේදී දර්ශකයන් අතර ඉහළම සිටිති. එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකාවෙහි සිදුවෙමින් පවත්නා වන සංහාරයන් ද අමතක කළ නොහැකිය.


මෙලෙස බලන කළ වන සංහාර දර්ශකයන්ගේ ඉහළම සිටින රාජ්‍යන් දෙස බැලීමේදී යම් සමාන ලක්ෂණ කිහිපයක් දැක ගත හැකිය. එක් අතකින් මෙකී රාජ්‍යයන් සියල්ලම ධනේශ්වර සංවර්ධනය තුළ සංවර්ධිත රාජ්‍යයන්ගේ කුළකයට ඇතුළත් වන රාජ්‍යයන් නොවේ. සියල්ල ධනේශ්වර සංවර්ධනයේ අතිශය පරිධියේ පිහිටි රාජ්‍යයන් වෙයි. එමෙන්ම මෙකී රාජ්‍යයන් තුළ ඇත්තේ අනෙක් සංවර්ධිත යැයි සම්මත රටවල් වලට සාපේක්ෂව පරිසර නීතිය සම්බන්ධයෙන් වන අතිශය ලිහිල් නීති පද්ධතීන්ය. එසේත් නැතිනම් නීතිමය පද්ධතිය තුළ වන සංහාරයට එරෙහිව යුක්තිය ඉටු කරවා ගැනීමට ඇත්තේ උදාසීන ක්‍රියාකාරීත්වයක් මෙන්ම උදාසීන රාජ්‍ය මැදිහත්වීමකි. ආර්ථිකමය වශයෙන් වන බෙලහීනතාවන් විසින් බල කර සිටින්නේ පරිසර නීතිය සම්බන්ධයෙන් වන ලිහිල් තත්ත්වයකි. ඒ ගෝලීය ප්‍රාග්ධනයට අවශ්‍ය කරනු ලබන ඉඩකඩ මෙකී රාජ්‍යයන් තුළ ලබා දීමෙහි අවශ්‍යතාවයි. බහුජාතික සමාගම්වල පටන් විවිධ වේශයෙන් වන ආයෝජකයන් විසින් සංවර්ධනය වෙමින් පවත්නා රටක ආයෝජනය කිරීමේදී සලකා බලන ප්‍රධාන සාධක ද්විත්වය වන්නේ එම රටෙහි කම්කරු නීතියෙහි ශක්තිවන්තභාවය හා පරිසර නීතියෙහි ශක්තිවන්තභාවයයි. ඒ ආකාර දෙකකින් වූ සූරා කෑමක් වෙනුවෙනි. එක් අතකින් ශ්‍රම සූරා කෑමද අනෙක් අතින් කරනු ලබන පාරිසරික සූරාකෑම වශයෙනි.


මෙකී තත්ත්වය ප්‍රායෝගික වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ හැක්කේ පරිසර සංහාරයට ඍජු ලෙසම වගකිවයුතු මහා පරිමාණ සමාගම්වල පරිසරයට එරෙහිව වන ප්‍රායෝගික මැදිහත්වීමෙහි ස්වරූපය අධ්‍යයනය කරන විටදීය. ලොව ඇති දැව හා පත්තර නිෂ්පාදන සමාගම්වලින් 50%ක ප්‍රමාණයක් වනාන්තර හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. වර්ෂ 1990 සිට වර්ෂ 2016 දක්වා වනාන්තරවලින් වර්ග කිලෝ මීටර් මිලියන 1.3 ක ප්‍රමාණයක් සංහාරයට ලක් කොට ඇත්තේ මෙවැනි පන්නයේ සමාගම් විසින් ය.


කාර්ගිල්ස් සමාගම


එවන් සමාගම් අතර ප්‍රමුඛස්ථානය ගන්නේ කාර්ගිල්ස් සමාගමය. ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන මෙකී දැවැන්ත සමාගම ප්‍රසිද්ධියට පත්වන්නේ වනාන්තර සංරක්ෂණය සම්බන්ධයෙන් නොව වන සංහාරය වෙනුවෙනි. බ්‍රසීලය, ආර්ජන්ටිනාව, බොලිවියාව හා පැරගුවේ වැනි රාජ්‍යයන් කේන්ද්‍ර කරගනිමින් තම ව්‍යාපාර කටයුතු කරති. සෝයා වගාව හා සත්ව පාලනය වැනි කටයුතුවල නිරත වන මෙකී සමාගම නිසා ඇමර්සන් හා ග්‍රෑන්ඩ් චාකෝ වැනි වනාන්තර ප්‍රදේශයන්ගේ සිදු කරන ලද වනාන්තර විනාශයන් මෙතෙක් ලොවට කර ඇති බලවත්ම පරිසර සංහාරයන් ලෙස හඳුන්වා දීමට හැකිය. එමෙන්ම ව්‍යාජ ගිණුම් පවත්වා ගැනීම වැනි කාර්යයන් හරහා මෙකී විනාශයන් ලොවෙන් සඟවා තැබීමට මොවුහු කටයුතු කරති. එයිනුදු නොනැවතී මෙකී සමාගම් තවත් වන සංහාරක සමාගම් සමඟ එක් වී කටයුතු කරති. එමෙන්ම මහත් පාරිසරික සංහාරයන් සිදු කරනු ලබන පාම් තෙල් නිෂ්පාදන සමාගම් දිරි ගැන්වීමෙහිද මෙකී සමාගම යෙදී සිටියි.


බ්ලැක් රොක් සමාගම


මෙම සමාගම විසින් 2020 ජනවාරි මසදී නිකුත් කරන ලද නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්වූයේ ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු හරහා පාරිසරික තර්ජනයන් ඇතිවීමට ඉඩකඩක් ඇති බවයි. කෙසේ නමුත් මෙකී සමාගම දැවැන්ත පාරිසරික සංහාරයක නිරතව සිටින බවට මෑතකාලීනව විශාල චෝදනාවන් ගණනාවකට ලක්ව සිටින බව නොරහසකි.


විල්මාර් ඉන්ටර්නැෂනල් ලිමිටඩ්


මෙම සමාගම ද ලොව ඇති විශාලතම පාම් තෙල් නිෂ්පාදන සමාගමක් වෙයි. එමෙන්ම මෙකී සමාගම ලොව විශාලතම පාම් ශාක වගා කරන සමාගමද වෙයි. මුළු පාම් තෙල් නිෂ්පාදනයෙන් 45%ක ප්‍රමාණයක් පාලනය කරන්නේ මෙකී සමාගම විසින් ය. එමෙන්ම ඛේදජනක තත්ත්වය වන්නේ මෙම සමාගම වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන කිසිදු සම්මුතියකට බැඳී නොසිටීමයි. වන සංහාරය වෙනුවෙන් චෝදනා ලබන තෙවැනි වගඋත්තරකාර සමාගම වන්නේ මෙකී සමාගමය.


එකී සමාගම්වලට අමතරව වෝල් මාර්ට්, ස්ටාර් බක්ස්, මැක්ඩොනල්ඩ් වැනි සමාගම් වන සංහාරයෙහි පුරෝගාමීන් ලෙසින් කටයුතු කරන බවට චෝදනා එල්ල වෙයි. එමෙන්ම මෙහිදී අමතක නොකළ යුතු කාරණය වන්නේ මෙකී වන සංහාරක සමාගම් ලෙසින් ගෙනහැරපාන සමාගම් ලොව ඇති වන සංහාරක සමාගම් අතර ප්‍රමුඛතා ලැයිස්තුවෙහි ඉහළින්ම ඇති සමාගම් පමණක් වන බවයි. මේ අයුරින් තවත් මහා පරිමාණයෙන් වන සංහාරක කටයුතුවල නිරත වන සමාගම් ලොව පුරා විශාල සංඛ්‍යාවක් පවතින බව අමතක නොකළ යුතුය.


එමෙන්ම මෙහිදී අමතක නොකළයුතු කාරණය වන්නේ මෙකී සමාගම් තම ආයෝජනයන් කර ඇත්තේ කවර රටවල් තුළද යන කරුණයි. බොහෝ විට මෙකී ආයෝජනයන් සිදු වන්නේ දකුණු ඇමරිකාව, අප්‍රිකානු මහද්වීපය හා ආසියානු මහද්වීපයන් කේන්ද්‍ර කර ගනිමින්ය. ධනේශ්වර ආර්ථික සංවර්ධනයෙහි පරිධියෙහි පිහිටා ඇති රාජ්‍යයන් වන්නේ මෙකී මහද්වීයන් තුළ පිහිටා ඇති බහුතරයක් රාජ්‍යයන් වෙයි. එනයින් අපට නිගමනය කළ හැකි කරුණ වන්නේ එකී රාජ්‍යයන්ගේ ආර්ථික වශයෙන් වන බෙලහීනතාව නිසාවෙන් එකී පාරිසරික සංහාරයන්ට බලහත්කාරී ලෙස ගොදුරු කර ගැනීමක් දක්වා ධනේශ්වර ආර්ථික මොඩලය පරිහානියට පත්ව ඇති බවයි.


මෙකී සියලු තත්ත්වයන් අපට පෙන්වා දෙමින් සිටින්නේ නූතන වන සංහාරය යනු පුද්ගල වරදක් හෝ පරිසරයෙහි වටිනාකමක් නොදන්නා වුන්ගේ අකෘතඥ ක්‍රියාවක්ය යන සදාචාරමය අවබෝධයකින් ඔබ්බට යමින් මෙකී තත්වය පළමුව විග්‍රහ කර ගැනීමේ අවශ්‍යතාවත් ඉන් අනතුරුව එකී විග්‍රහය මත පදනම් වෙමින් මෙකී වන සංහාරයට එරෙහිව වන ක්‍රියාකාරීත්වය සංවිධානය කිරීමෙහි අවශ්‍යතාවත් වේ.


උක්ත සමාගම් විසින් කරනු ලබන වන විනාශය හරහා අපට සිදු වන්නේ තවත් වටයකින් ධනේශ්වර සමාජ ආර්ථික ක්‍රමය ප්‍රශ්න කිරීමට ලක් කිරීමය. මෙතෙක් කාලයක් පුරාවට අප විසින් ධනේශ්වරය ප්‍රශ්න කිරීමට ලක් කරන ලද්දේ ශ්‍රම සූරා කෑම යන පදනමේ සිටිමිනි. එහෙත් වර්තමාන සංදර්භය ඉන් ඔබ්බට යමින් ස්වභාවික සම්පත් සූරාකෑම යන ආස්ථානය ඔස්සේ ද ධනේශ්වරයෙහි භාවිතාව යාන්ත්‍රික අර්ථයෙන් මෙන්ම සදාචාරමය දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න කළ යුතුව ඇත. යාන්ත්‍රික අර්ථයෙන් ප්‍රශ්න කිරීම යන්නෙන් අදහස් වන්නේ පරිසර සංහාරය යනු ධනේශ්වර සංවර්ධනය විසින් ධනේශ්වර ලෝකය වෙත නෛසර්ගිකවම උරුම කර දෙන ලද්දක් බවයි. අනෙක් අතට මෙකී පරිසර සංහාරය සදාචාරමය දෘෂ්ටි කෝණයෙන් ද ප්‍රශ්න කළ යුතු බවයි. එනම් පරිසර සුන්දරත්වය විනාශ කිරීම, සතුන් සංහාරයට ලක් කිරීම වැනි සදාචාරමය පදනමක සිටිමින්ද ධනේශ්වරය මෙකී වන සංහාරය එසේත් නැති නම් පාරිසරික සූරා කෑමට එරෙහි වීමය.


පරිසර සංහාරය එසේත් නැති නම් වනාන්තර විනාශය යනුම ධනේශ්වර සංවර්ධනයෙහි නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකයන් වේ. එනම් ධනේශ්වර ක්‍රමය පවතින්නේ කවර කාලයක් දක්වාද එම කාලය දක්වාම වනාන්තර විනාශය අවසන් වන්නේ නැත. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය තුළදී සියල්ලෙහි පාලනය ලබා දෙන්නේ නිදහස් වෙළෙඳපොළටය. එනිසා ප්‍රාග්ධන ක්‍රියාකාරීත්වය විසින් වන සංහාරයට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කරයි. ප්‍රාග්ධනයට අවශ්‍ය වන්නේ ලාභයයි. එක් අතකින් කම්කරුවාගේ ශ්‍රමය සූරා කෑම හරහා අතිරික්ත වටිනාකම හෙවත් ලාභය උත්පාදනය කරනු ලබන ප්‍රාග්ධන හිමියා අනෙක් පසින් තම පිරිවැය අවම කිරීම හරහා ස්ථාවර ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කරනු ලබන ප්‍රාග්ධනය අවම කිරීමට උත්සාහ දරයි. එහිදී ප්‍රාග්ධන හිමියා සලකා බලන්නේ අමුද්‍රව්‍යවල සුලබතාව හා එකී අමුද්‍රව්‍ය වෙත පහසුවෙන් ප්‍රවේශවීමට ඇති හැකියාව ආදී කරුණුය. එනිසාවෙන්ම තම අමුද්‍රව්‍ය සොයා ගැනීමේ ක්‍රියාවලියේදී සලකා බැලීමට පෙළඹෙන්නේ ලාභය මිස සොබා දහමට හෝ පරිසරයට සිදුවන හානිය අවම කිරීම සම්බන්ධයෙන් නොවේ.


එමෙන්ම මෙහිදී නූතන ධනේශ්වර අධිරාජ්‍යවාදය පිළිබඳව වන සාකච්ඡාවද සැලකිල්ලට ගත යුතුය. අප මෙතෙක් කල් ධනේශ්වර අධිරාජ්‍යවාදය යන්න අවබෝධ කර ගත්තේ ශ්‍රම සූරා කෑම වෙනුවෙනුත් සංස්කෘතික ආක්‍රමණයක ස්වරූපයකුත් ගනු ලබන මහා බහුජාතික සමාගම් පෙරටුකරගත් ධනේශ්වර බලවතුන් විසින් ධනේශ්වර සංවර්ධනයේ පරිධියේ පවත්නා රටවල් කෙරෙහි දක්වන බලහත්කාරයක් ලෙසිනි. නමුත් මෙම යුගයේ ධනේශ්වර අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යයට පාරිසරික සූරාකෑම යන්නද ඇතුළත් කළ යුතුව ඇත. ඉහත සඳහන් කළ සියලුම සමාගම් විසින් තම අමුද්‍රව්‍ය සොයා ගැනීම සඳහා තෝරා ගන්නේ උක්ත පරිධියේ පිහිටා ඇති රාජ්‍යයන් වේ. එම රටවල්හි ඇති පරිසර නීතිය සම්බන්ධයෙන් ඇති දුර්වල තත්ත්වයන් විසින්ද ආර්ථිකමය වශයෙන් සිදු කරනු ලබන බලහත්කාරයන් විසින්ද නිරන්තරයෙන් මෙකී රාජ්‍යයන්හි ස්වාභාවික සම්පත් නිරන්තරයෙන් සූරාකෑමට ලක් වෙයි. එමෙන්ම මෙහිදී අමතක නොකළ යුතු කාරණය වන්නේ එකී රාජ්‍යයන් තුළ පරිසර නීතිය සම්බන්ධයෙන් දුර්වල ප්‍රතිපත්ති පවතින්නේ අහම්බයක් නිසා නොවන බවයි.


ආණ්ඩු


මෙකී තත්ත්වයන් තුළ ආණ්ඩුවල කාර්යභාරය වී ඇත්තේ කුමක්ද යන්නද සාකච්ඡාවට ගත යුතුය. පරිධියේ පවත්නා රාජ්‍යයන්හි ආණ්ඩු යනුම එකී ගෝලීය ප්‍රාග්ධනයෙහි තැරැව්කරුවන් එසේත් නොමැතිනම් නියෝජිතයන් මිස වෙනත් දෙයක් නොවේ. ආණ්ඩුවට සිදුවන්නේ ගෝලීය ප්‍රාග්ධනයට ස්වභාවික සම්පත් මෙන්ම කම්කරුවාගේ ශ්‍රමය සංවර්ධනයේ හෝ විදෙස් ආයෝජනයන්ගේ නාමයෙන් සූරාකෑමට අවශ්‍ය වපසරිය නිර්මාණය කරදීමය. සමකාලීන බ්‍රසීලය තුළ බොල්සොනාරෝගේ නායකත්වයෙන් ඇමර්සන් වනාන්තරය විනාශ කිරීමට දායකත්වය සපයන්නේ එබැවිනි.


අනෙක් අතට එකී ජාතික ආණ්ඩු විසින් තම බලය ආරක්ෂා කර ගැනීමෙහි ද කටයුතු කරයි. එය සිදු කරන්නේ තම මැතිවරණ ව්‍යාපාරයන් තුළදී කෝටි ප්‍රකෝටි ගණනින් ආයෝජනය කරනු ලබන දේශීය ධනපති පන්තිය වෙනුවෙන් සිදු කරනු ලබන කෘතගුණ සැලකීම් වැනි දෑ හරහාය. එහිදී සිදුවන්නේ දේශීය දේශපාලන තැරැව්කාර පන්තියට පරිසරය අත්තනෝමතික ලෙසින් සංහාරය කිරීමට ඉඩකඩ ලබා දීමය.


එනිසාම අපට කිව හැක්කේ වර්තමාන මහා පාරිසරික සංහාරය යනු සොබාදහම හා මිනිසා අතර ඇති ප්‍රතිවිරෝධතාවයේ ප්‍රතිඵලයක් නොවන බවයි. එනම් මෙය පැහැදිලි ලෙසින්ම දේශපාලනික හා ආර්ථික ප්‍රශ්නයක් වන බවයි. අතිශය අසාර්ථක සැලසුම් සහගත නොවූ ආර්ථික ප්‍රතිපත්තියක ඛේදාන්තයක් බවයි. සැබවින්ම මෙය සමාජ ආර්ථික ක්‍රමයෙහි ගැටලුවක් වන බවයි. එනිසාවෙන්ම මෙහි ඇත්තේ තත්කාලීන සමාජ ආර්ථික ක්‍රමයට එරෙහිව වන අරගලයකි. එය සැබවින්ම හුදු පරිසර සංහාරයට එරෙහිව වීමෙන් ඔබ්බට ගොස් මෙම යල් පැනගිය සමාජ ආර්ථික ක්‍රමයට එරෙහිව වන අරගලයක් දක්වා පෙළ ගැස්විය යුත්තක් වන බවයි.

1 COMMENT

  1. සංවර්ධනය මුවාවෙන් සිදු කරනු ලබන වන විනාශය නිසැකයෙන්ම පරදවා දැමීම සඳහා පමණක් නොව එවන් යෝජනා සම්මත කිරීමට ද එරෙහි වන ජන බලයක් ගොඩ නැඟිය යුතු ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here