මධුෂ්ට වන දේ මධුෂ්ගේ ඔළුවේ සිටින උකුණාටවත් දැනගැනීමට ඉඩක් නොතබා අවශ්‍ය කටයුතු සිදු කැරිණි. පොලිසිය කියන්නේ අලුයම තුනට මාලිගාවත්තේ ලක්සෙත නිවසේ පියගැටපෙළ මතදී වෙඩි හුවමාරුවක් සිදුවූ බවය. වෙඩි හුවමාරුවක් නම් එය දෙපැත්තකින් සිදුවිය යුත්තකි. මෙහිදී සිදුව තිබුණේ කිසියම් පුද්ගලයෙක් මධුෂ්ගේ ඔළුවටම වෙඩි තබා මරා දැමීමය. සිදුවූයේ කුමක්ද යන්න වැඩිදුර නොසිතා කෙසේ හෝ මධුෂ්ලා වැනි සමාජ පිළිල ඉවරයක් වීම සමාජයට යහපතක් බව බොහෝ දෙනෙක් කියති. ළඟ බලා තීරණ ගන්නා ජනතාවක් සිටින රටකට මෙවැනි දේවල්වලින් තෘප්තිමත් විය හැකිය. එහෙත් පාතාලය මේ ක්‍රමයට අවසන් කළ නොහැකිය සහ මෙවැනි ගුප්ත අවසන් කිරීමේ ක්‍රම රටෙහි ඕනෑම පුරවැසියකුට එරෙහිව භාවිත කළ හැකිය යන බරපතළ තත්ත්වයන් මේවාට හුරේ දමන ජනතාව තේරුම් ගෙන ඇති බවක් නොපෙනෙයි.


මධුෂ් වසරකුත් මාස පහකට ආසන්න කාලයක් මෙරට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටියේය. මේ කාලය තුළ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සම්බන්ධ මෙරට අපරාධ පරීක්ෂණයේ ක්‍රියාවලියට අවශ්‍ය අතිශයින් වැදගත් කරුණු රැසක් අනාවරණය කෙරෙන්නට ඇත. එම තොරතුරු නඩු විභාගයකදී ප්‍රසිද්ධ වන තත්ත්වයක් උදාවූවා නම් රටේ දේශපාලනයේ මතු මහලෙහි සිටින පිරිස් මධුෂ් සමග කළ ගනුදෙනු මෙන්ම ඔවුන්ගේ සමීප සබඳතා එළියට එන්නට තිබුණි. මධුෂ්ගේ සෞදියේ පැවති සාදයට සහභාගිව තිබුණේ තරමක් ප්‍රසිද්ධ කලා ශිල්පීන් කිහිපදෙනෙක් පමණි.

පොදුවේ ගතහොත් එහි සිටියේ මත්ද්‍රව්‍ය ලෝලීන් පිරිසක් වුවත් මධුෂ් සමග සමීපව ඇසුරු කළ දේශපාලනඥයන් 80කට ආසන්න පිරිස හුදු මත්ද්‍රව්‍ය ලෝලීන් හා විනෝදකාමීන් විය නොහැකිය. ඒ අතර ජනපති ගෝඨාභයට කෙදිනකවත් අල්ලන්නට නොහැකි මත්ද්‍රව්‍ය නියෝජිතයන් සිටිය හැකිය. පාස්කු කොමිසමේදී හෙළිවන්නේ රටේ නායකයාගේ පටන් පහළට වන නිලධාරි ධුරාවලියේ වගකීම් විරහිත රාජකාරි විලාසය පමණි. එහෙත් පාතාල නායකයකු හා මත්ද්‍රව්‍ය මාෆියාවේ ඉහළින්ම වැජඹුණු පුද්ගලයකු කළ හැකිව තිබුණු හෙළිදරව් කිරීම් සිදුවූවා නම් රටක් විස්මයෙන් ඇළලී යාමට තිබුණි. මේ තත්ත්වයෙහි සීමාව සලකුණු කිරීමට නම් මධුෂ්ගේ ගමන නිමාකර දැමිය යුතුව තිබුණි. විසිවැනිදා අලුයම සිදුවූයේ එයය. මේ චෝදනාව වැරදි නම් ඔහු දුන් සාක්ෂ්‍ය රටට අනාවරණය කරන ලෙස අප අදාළ බලධාරීන්ට අභියෝග කරමු. මධුෂ් සිය ගැලවීම පිණිස මෙම කටඋත්තරවලදී සෑහෙන දුරට ඇත්ත කියන්නට ඇති බවද උපකල්පනය කළ හැකිය.


මධුෂ් අත්අඩංගුවේ සිටියදී රට තුළ සංසරණය වන මත්ද්‍රව්‍ය තොග පිටින් අල්ලා දෙන වැඩසටහනකට අත ගසා තිබුණි. ඝාතනය වීමට ආසන්න දිනකදීත් ඔහු දුන් ඔත්තුවක් අනුව හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබුණි.

මාලිගාවත්තට මධුෂ් රැගෙන යන්නේත් හෙරොයින් කිලෝ දහයක් සොයා ගැනීමටය. මධුෂ්ගෙන් ඔත්තුව ගත්තා නම් හෙරොයින් අත්අඩංගුවට ගැනීමට මධුෂ් ගෙන යා යුතු නැත. අනෙක් අතට පාතාල නායකයන් මෙසේ විවෘතව ගෙනයෑමේ අනතුරක් ඇති බව මෙරටේ පොලිසියට අලුතෙන් කියා දිය යුතුද? අලුයම තුනට මධුෂ් සහ පොලිසිය අදාළ ස්ථානයට යන බව ඔවුන් පිටවන විටම ඔත්තුවක් ගොස් තිබුණි. ඇත්තටම මේ ඝාතනය පිටපතක් අනුව සිදු නොවී තවත් ඝාතන කල්ලියක් විසින් සිදු කළ එකක් නම් පොලිසිය ඇතුළෙන්ම ඔත්තුවක් ගිය බවට අප සැක කළ යුතුමය.

කෙසේ වෙතත් මධුෂ්ට වෙඩි තැබූ මිනීමරුවා නියම තැනටම එනම් ඔහුගේ ඔළුවටම වෙඩි තබා තිබීමෙන් මෙම කටයුත්ත පරිසමාප්තව ඉටු කෙරී තිබෙන බව කිව හැකිය. පොලිස් නිලධාරියකුගේ කකුලට වෙඩි වැදී තිබුණි. අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවත් කියයි. වෙනත් කල්ලියක් ඝාතනය කළ බවට සාක්ෂ්‍ය ලෙස ඇත්තේ අත්හැර දමා ගිය මෝටර් සයිකලයක් සහ බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල දෙකකි. මේ සියල්ලත් පොලිසිය කියූ දේවල්ය. පොලිසිය මීට පෙරත් මෙවැනි නාට්‍ය රඟ දක්වා ඇති තත්ත්වය තුළ සිදුවීම ගැන මුළු රටටම සැකයක් මතුවීම සාධාරණය.

මේ ක්‍රමයට හෝ පාතාලයේ ප්‍රමුඛයන් ඉවර කළ විට යළි රටේ පාතාලයක් නැති නිසා එතැන් සිට රටට හොඳ කලක් යනු ඇද්ද? හැමවිටම සිදුවනුයේ එක් පාතාල නායකයකු මැරෙන විට තවත් කිහිපදෙනෙකු ඒ තැන ගැනීමට මතුවීමය. පාතාලයේ අම්මා කුණුවූ දේශපාලනයයි. පාතාලය කිරි පොවා හදා වඩා ගන්නේ ජරාජීර්ණ දේශපාලනය නමැති අම්මා විසිනි. අහෝසි කළයුත්තේ මධුෂ්ලා නොව මධුෂ්ලා උපදින ප්‍රභවයයි. ඒ ගැන අවධානයක් අවබෝධයක් හා උවමනාවක් ඇත්තේ කාටද? ප්‍රශ්නය ඇත්තේ එතැනය. ■