ටිරන් කුමාර බංගගමආරච්චි


පසුගිය දිනවල ජනමාධ්‍යවලට මෙරට ප්‍රධානතම ප්‍රශ්නය වූයේ අංගොඩ ලොක්කා නමැති පාතාලයකු ඝාතනය කළා යැයි කියන පුවතය. මෙය පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය යටතේ පළවිය. හැම මාධ්‍යයක්ම එකම දවසේ යුතුකමක් සේ මෙයට උචිත වටිනාකම දී තිබුණි. ප්‍රශ්නය නම් මෙතරම් වැදගත්කමක් ආරූඪ කරන්නට තරම් මේ පුද්ගලයා කවුද යන්නය. මේ ‘අංගොඩ ලොක්කා’ යන නාමය සමාජ ගත කළේ කවුද? ඔහු මහා කෙරුමකු කළේ කවුද? ඔහු ගැන මෙරට සමාජයට මෙතරම් දැනගන්නට වුවමනා ඇයි? ඉන් ඇති පළේ කුමක්ද? කොටින්ම අංගොඩ ලොක්කා මිය ගියැයි මෙරටට ඇති වැඬේ කුමක්ද? මේ තනිකරම මාධ්‍ය මෙහෙයුම්ය. සංදර්ශනය. මීට පොලිසියද උපරිම සහය දෙයි.


පසුගිය කාලයේ මාකඳුරේ මධුෂ් කෙනකු තරම් කෙරුමකු මෙරට මාධ්‍ය තුළ නොවීය. රටේ කොයි දිග් භාගයක මරණයක් වී ද ඒ මාකඳුරේ මධුෂ්ගේ වැඩක්ය. ඔහු විදේශයක සිට මාධ්‍යවේදීන් සමග කතාබහ කොට කරන තැනට මේ කතා මැවෙයි. මෙරට අල්ලන කුඩු තොග මධුෂ්ගේ වැඩය. අවසානයේ මධුෂ් පිටරට සිට කුදලාගෙන ආවේ ගෝර්ඞ් ෆාදර් යන ආරූඪ නාමයන්ද සහිතවය. අදටත් ඔහු අපරාධ විමර්ශනයේ තබාගෙන ප්‍රශ්න කරනමුත් කියූ තරම් කෙරුම් ඔහු කළා යැයි වාර්තා වී නැත.

කොටින්ම බිල්ලෙක් සේ මැවූ මධුෂ් පූස් පැටියෙක් වී ඇත. මෙරටට පෙරටත් වඩා කුඩු තොග එයි. මධුෂ් එතරම් වික්‍රම කළා නම් දැන් මධුෂ් නැතිව ඒවා කරනුයේ කවුද? රටේ ඝාතන, පාදඩ සංස්කෘතිය එලෙසමය. මධුෂ් ඇතුළේ ඉද්දීත් ඔහු මෙය මෙහෙයවන්නේද? හැමදේම මධුෂ් පිට දමා රස කර පුවත් මැවූ ජඩ මාධ්‍ය අද මධුෂ් වෙනුවට අංගොඩ ලොක්කෙකු ඔසවාගෙන සිටී. පොඩි සංදියේදී ගෙදර හෝ ගමේ අය ලොක්කා කීමත් ඔහු අංගොඩ විසීම නිසා පූජකයන් මෙන් ග්‍රාමය පෙරටු කොට ඔහු අංගොඩ ලොක්කා කිරීම මාධ්‍ය අපූරුවට කළ විගඩමකි. මේ පාතාලයන් නිර්මාණය කොට සමාජගත කිරීමේදී මාධ්‍ය කරනුයේ අංක එකේ කාර්යභාරයකි. දේශපාලකයා පොලිසිය මෙන්ම ජනමාධ්‍යයද මේ කැත සංස්කෘතිය නිර්මාණය කිරීමේ නිර්මාතෘවරුය. පසුගිය කාලයේ රටේ ජනප්‍රියම පුද්ගලයා මධුෂ්ය. එය නිර්මාණය කළේම මාධ්‍ය විසින්ය. අද අංගොඩ ලොක්කකු මවන්නේත් මාධ්‍ය විසින්මය. මාධ්‍ය මෙතරම් ව්‍යාජයන් නිර්මාණය කරනුයේ ඇයි? කුමන යටි අරමුණු සහිතවද? ජනතාව පාතාල කෙරුම් කියවන්නට ආසා නිසාද? ජනතාව මෙවැනි විරුකම් ආසාවෙන් කියවන්නේද? එය නිර්ණය කරන්නේ කවුද? මේ සියල්ල මාධ්‍ය රස කරමින් තලු මරමින් ලියනුයේ ඇයි?


අංගොඩ ලොක්කා ගැන මැවූ කතා


පසුගිය දිනවල පුවත්පත් එකවර පැළ කළ ප්‍රධාන පුවත අංගොඩ ලොක්කා නමැත්තාව සිය අනියම් බිරිය විසින් ඝාතනය කළ පුවතය. ඉන්දියාවේදී සිදුවුණා යැයි කියන මෙම පුවත එකවර නිර්මාණය කොට එක මොහොතේ හැමට බෙදාහැර ඇත. මෙයත් කුඩු බෙදාහරින තරම් සූක්ෂ්මව සිදුවන්නකි.


ඔවුහු මවන කතාව දෙස බලමු. ලොක්කා නමැත්තා කායවර්ධන ක්‍රීඩාවේ නියැළෙන අතර ශරීර වර්ධනයට බොන පිටි වර්ගයට අනියම් බිරිය දීර්ඝ කාලයක සිට වස මිශ්‍ර කොට දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට හෘදයා බාධයක් ඇති වී මියගිය බව පුවත කියයි. ජූලි මස 03 වැනිදා සහ පස්වැනිදා අතර දිනක සිදුවූ ඔහුගේ මරණය ඉතා රහසිගතව භූමදානය කර ඇති බවද පුවත අපට කියන කතාවය.


මේ පුවත මෙතරම් විස්තරාත්මකව එළිබසින්නේ කෙසේද? එයට මූලික අනුග්‍රහය දෙනුයේ පොලිසිය බව පැහැදිලිය. ජූලි 23 වැනිදා මාධ්‍ය උත්කර්ෂවත් අන්දමින් මේ පුවත මැවූ පසු අංගොඩ ලොක්කා නමැත්තාගේ සහෝදරිය සිය මරණය ගැන සැක පළ කොට ඇත. අංගොඩ පොලිසිය සහෝදරියගේ නිවසට ගොස් ප්‍රශ්න කරද්දී ඇය සිහිසුන් වූ බවද මාධ්‍ය වාර්තා කොට තිබුණි. මෙතරම් ටක්කෙටම මේ පුද්ගලයා මිය ගියා යැයි මාධ්‍ය කියනුයේ කෙසේද? ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවා මෙවැනි පුවතක් සනාථ කර ඇතැයි කොතැනකවත් සඳහන් නැත. එසේ නම් මේ පුවත අතේ රෝලක් පමණක් නොව අංගොඩ ලොක්කා බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් වුණා යැයි කිව නොහැකිද? මෙය පොලිසිය හා මාධ්‍ය ඒකාබද්ධ මෙහෙයුමක් නොවේද?


බන්ධනාගාර කොමසාරිස්


පාතාලයක් මෙරට නිර්මාණය වීම කෙසේ වෙතත් එයට ජීවයක් දීම මෑත කාලයේදී මාධ්‍ය අපූරුවට කරන්නේය. මෙය සමාජගත කරනුයේ මාධ්‍ය විසින්ය.


එයට අදාළව සෙසු චරිත වීරයන් කිරීමද මාධ්‍ය පිටපතට අනුව සිදුවේ. බන්ධනාගාරයට තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර කොමසාරිස් ලෙස පත් කරද්දී මෙරට මාධ්‍ය ඔහු දමිළ චිත්‍රපට වීරයකු ලෙස වර්ණනා කළේය. බන්ධනාගාර තුළ පාතාලයෝ මින් අනතුරුව කම්මුතු බව මාධ්‍ය වාර්තා කළේය. උපුල්දෙණිය යනු අරුම පුදුම සුපර් මෑන් කෙනෙක් බව මාධ්‍ය දිගන් දිගටම සමාජ ගතකරන්නට විය. මේ කාගේ වුවමනාවට කුමන අරුතකින් කියන්නක්ද? උපුල්දෙණිය වීරයකු කරන්නට ඔහුගේ හදිසි මෙහෙයුම් ගැන මාධ්‍ය ඒ දිනවල උපරිම ඉඩ වෙන් කළේය. බන්ධනාගාරය තුළ සිටින අපරාධකරුවන්ගේ දුරකතන තොග පිටින් අත්අඩංගුවට ගත් කතා මැවුණි. මේ උපුල්දෙණියලා සිටින කාලයේ සිටම එනම් අද ඊයේ නොව කාලයක පටන් බන්ධනාගාරය තුළ සිටින පාතාලයන්ට ජංගම දුරකතන යනුයේ ඍද්ධි බලයෙන් නොව බන්ධනාගාර නිලධාරීන්ගේම සහයෙනි. ආශිර්වාදයෙනි. උපුල්දෙණිය මේවා නොදැන සිටි තොත්ත බබෙක්ද? දැන සිටි දන්නා මෙහෙයුම් කිරීම පහසුය.

එහෙත් මාධ්‍ය ඒ ගැන වචනයකුදු නොදොඩා උපුල්දෙණියගේ වීර ක්‍රියා හැකිතරම් සමාජ ගත කළේය. දැන් සමාජයට අවිඥානිකවම බන්ධනාගාර සුද්ධ කරන්නට ඉටු දෙවියෙක් පැමිණ ඇති බව ඒත්තු වී යමින් තිබේ. මෙය මීට වඩා වටයකින් උත්කර්ෂයට නැංවීමට මාධ්‍ය එකවර ක්‍රියා කළේ අමුතු කතාවකට ප්‍රධාන වටිනාකමක් දෙමිනි. ඒ කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී නම් පාතාලයන් දෙපළක් බන්ධනාගාරයේ සිට ආණ්ඩුවටම තර්ජනය කළ බවට පුවත් මවමිනි.


‘ජනපති හා ආරක්ෂක ලේකම්ගේ කාලය තව වසර පහයි. අපේ බලය ඊට වැඩියි. අපි ඊට පස්සේ ඒ ගැන බලා ගන්නම්’ යනුවෙන් තර්ජනය කළ බව මාධ්‍ය ඔවුන් කී බව අසා සිටි ආකාරයෙන්ම ලියා තිබුණි. හැම මාධ්‍යක්ම ලියනුයේ ඒ කතාවය. බන්ධනාගාරය තුළින් කතාව පටිගත කොටගෙන මාධ්‍යයට දුන්නා සහතිකය. එසේ නොවන්නට මෙතරම් අපූරුවට කතා ගොතන්නටවත් මාධ්‍යයට බැරි බැරියාවක්ද නොමැතිමුත් දෙන දේ ඒ ආකාරයට ලිවීමට ඊට වඩා ඔවුහු දස්කම් පාති.


ගෝඨා කුලප්පු කිරීම


මේ සියලු කතා හරහා නිර්මාණය කරනුයේ ජනපති ගෝඨා සමග ඔය සෙල්ලම් බැරි බවය. එසේ නම් යටගියාව තුළ ඇති අත්දැකීම් නැවත අමුතු තාලයකට නිර්මාණය කළ යුතු බව සිහි කැඳවීමක් මාධ්‍ය පෙර තියාම දැනුම් දෙන බව පෙනේ. පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී බන්ධනාගාරයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතන ජනතාවට නැවත මතක් වනුයේ පෙර අනතුර නැවත මතුවිය හැකි බවට අනතුරු අඟවමිනි. තාරකලා, ලැසීලා ගෝඨාට, කමල් ගුණරත්නට බැන්නා යැයි කියනුයේම අමුතු තිගැස්මක් නිර්මාණය කරමිනි. ඒ ගොඩට උපුල්දෙණිය කතා වස්තුව උත්කර්ෂයට නංවෙන්නේත් ඉදිරි මෙහෙයුම ලේසි පහසු නැති බව කියමිනි. එසේ නම් දැන් මෙහෙයුමට සතුරන් නිර්මාණය කිරීම මාධ්‍ය ජයටම ඉටු කරයි. ඒ පිටපතේ එක් චරිතයක් ලෙස අංගොඩ ලොක්කා ගත හැකිය. මේ පාතාලයන්ට අනියම් බිරියෝ සිටිති. ඒ අය නිසා මොවුහු අමාරුවේ වැටෙති. සමාජයට එවැනි පණිවුඩද මාධ්‍ය දෙයි. කෙසේ වෙතත් එක්කෝ මේ අංගොඩ ලොක්කා බේරා ගන්නට ගැසූ ප්ලෑනකි. නැතහොත් අහවර කරන්නටම ගැසූ උප්පරවැට්ටියකි. එසේත් නැතහොත් වෙනත් යම් අරමුණක් හේතු විය හැකිය. එහෙත් මේ පිටපත් සියල්ල පොලිසිය ලියන බව පැහැදිලිය. අනාගත පොලිස්පති වීමේ හීනය දකින දේශබන්දු තෙන්නකෝන්ටත් දැන් මෙහෙයුම් ගාය උපරිමයටය. තාරකලා, ලැසිලා කොට සුනිල්ලා, කංජිපානිලා. මධුෂ්ලා, අංගොඩ ලොක්කා මේ සියල්ලම මාධ්‍ය ගොතන අපූරු කතාය. අවසානයේ ඉතිරි වන දේ පිරික්සන විට මේ අය කෙරූ කෙන්ගෙඩියක් නැත. සියලු දේ සිදුකර ඇත්තේ ඊට ඉහළ යාන්ත්‍රණයක් විසිනි. එනම් නීතිගරුක වටපිටාවක් තුළය. මාධ්‍ය ඒ අය රැක මේ අය බිල්ලට දෙන කොන්ත්‍රාත්තුව අපූරුවට කරයි. පාතාලයන් මවන්නේත් ඒ අයට නියම අනන්‍යතාවක් ජනිත කරනුයේත් මාධ්‍ය විසිනි. අවසානයේ ඒ අය මියගිය පසු ඒ අය වෙනුවට වෙන අය මවයි. පොලිසිය සමග එක්ව පොලිසියේ වුවමනාවට මේ කරන සෙල්ලම දීර්ඝ කාලයක පටන් සිදුවන්නකි. අද එය මාධ්‍යවල ව්‍යාප්තියත් සමග පුළුල් වී ඇත. විකෘතියක්ම වී ඇත.


මේ රටේ පාතාලය නිර්මාණය කරන්නට හා පවත්වාගෙන යෑමට මාධ්‍ය වන දායකත්වය අතිවිශාලය. පාතාලය ඉවර නොවන්නට මේ මාධ්‍ය දෙන සහාය අපමණය. දේශපාලකයා, පොලිසිය සේ ම මාධ්‍යයද මෙරට අපරාධ රැල්ල නිර්මාණය කරන ප්‍රධාන ධාරාවන්ය. එය නතර නොකර මේවා හදන නසන වීරයන් අහවර වන්නේ නැත. අංගොඩ ලොක්කා කතා වස්තුවත් එක් පැත්තකින් සුපුරුදු පරිදි පෙන්වනුයේ මෙරට මාධ්‍ය කෙරුවාවය. පාතාලයට වඩා නරක මාධ්‍යකරුවෝ සිටිති. මොවුහු භයානකද වෙති. මේ රටාව මේ ආකාරයට යන තාක් මේ කිසිවක කෙළවරක් දැකිය නොහැකිය. පාතාලයා කෙරුමකු කර එය මැඬලන පොලිස්කාරයා දේශපාලකයා ඊට වඩා කෙරුම්කාරයන් කිරීමේ වගකීම ඉටුකරනුයේ මාධ්‍ය විසිනි. අවසානයේ බලන කල දරුණු පාතාලය ඇත්තේ මාධ්‍ය මෙහෙයුම් තුළය. ■