ජීවන්ත ජයසේකර


නගරයක් පාසා තාප්ප අරා පැතිරුණු වීරාභිවන්දන සිතුවම්වල දැළි රවුළු දැරූ මුහුණින්ද රෝමයෙන් ගැවසීගත් නිරුවත් උඩුකයින්ද යුක්තව අසිපත් අත දරා ප්‍රතාපවත්ව නැඟී සිටින්නෝ ඔවුන්ගේ මුතුන්මිත්තෝය. සුද්දන් වසර සිය ගණනක් දත කා, අන්තිමේදී මහා කුමන්ත්‍රණ ජාලාවකින් උඩරට කිරීටය යටත් කරගෙන හුස්මක් කටක් ගන්නට මත්තෙන් 1818දී ඌව වෙල්ලස්සෙන් මහා විමුක්ති අරගලයක් දියත් කළෝ ඔවුහුය.


අරගලය ලෙයින් යකඩින් මර්දනය කොට, සුද්දන් මුළු ඌව වෙල්ලස්සම සුන්නත්දූලි කරද්දී, අරගලයේ ආධ්‍යාත්මික නායක ඊතණවත්තේ මහ තෙරුන්ගේ පැවිදි සහෝදර ගොඩඉරවත්තේ සුමංගල තෙරුන්ගේ මඟපෙන්වීමෙන් 1819දී ඔවුහු පානම්පත්තුවට පලාගියහ. වර්තමානයේ පානම නමින් පොදුවේ හැඳින්වෙන ශාස්ත්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්යාය යන ගම්මානවල පදිංචිකරුවෝ ඒ අභීත විරුවන්ගෙන් පැවතෙන්නෝය. එමතුද නොව, ඉකුත් තිස් වසරක යුද සමයෙහි විවිධ අභියෝගවලට මුහුණ දෙමින් ස්වකීය ගම්බිම්ද නැගෙනහිර මායිමද රැකගැනීමෙන් ඔවුහුද විරු බව ලැබූහ.


තාප්පයක් පාසා වීරුවන් අභිනන්දනය කෙරෙන සමයක එබඳු විරු පරපුරක් සිය උරුමයෙන් සාහසික ලෙස වෙන් කොට ආදි මානවයින් මෙන් ගස් යට දිවි ගෙවන්නට සැලැස්වීම දෛවයේ කවරනම් සරදමක්ද?


මංකොල්ලයට දස වසරයි


යුද සමයේ පවා විවිධ දුෂ්කරතා මැද ගම් බිම් රැකගෙන සිටි පානම ගම්වැසියන් සිය ඉතිහාසයේ දරුණුම අභියෝගයට ලක් වන්නේ යුද්ධය නිම වීමෙන් වසරකට පමණ පසු, 2010 ජූලි 17 වැනිදාය. එදින මධ්‍යම රාත්‍රියේ මුහුණු බැඳගෙන ආයුධ සන්නද්ධව ගම්මානවලට කඩාවැදුණු පිරිසක් විසින් නිවාස සහ දේපළ ගිනිබත් කොට ගම්වැසියන්ට පහර දී පලවා හැරිණි. බෞද්ධ විහාරස්ථානයක්ද ගිනිබත් කෙරිණි. මෙයින් අවතැන් කෙරුණු පවුල් සංඛ්‍යාව 350කට ආසන්නය. ගම්වාසීන් කියා සිටින්නේ ප්‍රාදේශීය දේශපාලකයකුගේ සහය ඇතිව ගුවන් හමුදාවේ සහ විශේෂ කාර්ය බළකායේ පිරිසක් විසින් මෙම අපරාධය සිදු කළ බවයි.


පසුව එම ඉඩම් ගුවන් හමුදාව සහ නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීමෙන් එකී චෝදනා සනාථ වන අතර එසේ අත්පත් කරගත් ඉඩම් ප්‍රමාණය අක්කර 1,220ක් ලෙස සැලකේ. එයින් අක්කර 480ක් පානම ජනතාවගේ පාරම්පරික ඉඩම් වන අතර අනෙක් අක්කර 840 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ය.


සුද්දන් ඌව වෙල්ලස්ස වැනසූ පරිදිම, එම වින්දිතයන්ගේ වත්මන් පරපුර වූ පානම ජනයාට එරෙහිව රාජ්‍ය ත්‍රස්තවාදය යොදවා සිදු කළ මේ අපරාධයට අද වන විට දස වසරකට ආසන්න කාලයක් ගෙවී ගොසිනි. එහෙත් මේ වන තුරුම ඊට සම්බන්ධ කිසිවකු නීතිය හමුවට පමුණුවා නැත. අඩු තරමින් විධිමත් පරීක්ෂණයක් හෝ කර නැත. සිදු කළ අලාබවලට වන්දි ගෙවීමක් හෝ හානිපූරණයක් හෝ යළි නැඟීසිටීම සඳහා සහනාධාරයක් හෝ ලැබී නැත. කොල්ලකෑ ඉඩම් ආපසු උරුමකරුවන්ට ලබා දීමට ගත් කැබිනට් තීරණයට අවුරුදු 5ක් ගත වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නැත. ඒ වෙනුවට ඔවුන්ගෙන් උදුරාගත් ඉඩම්වල නාවික හමුදාව හා ගුවන් හමුදාව තවදුරටත් වාඩිලාගෙන සිටියි.


නොනිමි ජන අරගලය


සිය උරුමය පැහැරගත් දා සිට පානම ජනතාව ඊට එරෙහි අරගලයක් දියත් කළහ. බරපතළ ජීවිත තර්ජන මැද ඔවුහු යුක්තිය ඉල්ලා නොනැවතී හඬ නැගූහ. ජනමාධ්‍ය හා සිවිල් සංවිධාන කිහිපයක් ඔවුන්ගේ අරගලයට ශක්තියක් විය. මේ අතර හමුදාව තමන් අත්පත් කරගත් භූමියේ අනවසර ඉදිකිරීම් ආරම්භ කළ අතර නාවික හමුදාව විසින් ‘ලැගුන් කබානා‘ නමින් පවත්වාගෙන යන හෝටලය ඉන් එක් ඉදිකිරීමකි. ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම හා ඉන් පසුව සිදු කෙරුණු ක්‍රියාදාමය පිළිබඳව සංවිධාන 5ක් එක්ව සිදු කළ අධ්‍යයනයකින් පෙන්වා දෙන පරිදි බලහත්කාරයෙන් ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමේදී හා එම ප්‍රදේශවල කළ ඉදිකිරීම්වලදී ලංකාවේ පවතින අණපනත් ගණනාවක් උල්ලංඝනය කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත, දණ්ඩ නීති සංග්‍රහය, රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත, වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත, නාගරික සංවර්ධන අධිකාරි පනත හා පුරා වස්තු ආඥා පනත මෙලෙස උල්ලංඝනය කර තිබේ.


මෙම ජනතාවගේ ඉඩම් නැවත ලබා දිය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශය ඔවුන්ගේ අරගලයේ වැදගත් ජයග්‍රහණයකි. එමෙන්ම තම පාරම්පරික ඉඩම්වල රැඳී සිටි රාගම්වෙල පදිංචිකරුවන් 7දෙනෙකුට එරෙහිව පොතුවිල් පොලිසිය විසින් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවේ තීන්දුව 2015.05.06 දින ප්‍රකාශයට පත් කෙරුණු අතර එම විත්තිකරුවන් සියලු දෙනාම නිදොස් කොට නිදහස් කෙරිණි. 2015දී රාජපක්ෂ රෙජීමය පරාජය වීමෙන් පසුව පත් වූ කැබිනට් මණ්ඩලය විසින් 2015 පෙබ. 11 වැනිදා තීරණය කළේ, හමුදාව විසින් දැනට ඉදිකිරීම් සිදු කර ඇති අක්කර 25ක භූමිභාගය හැර සෙසු ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන් වෙත නිදහස් කළ යුත් බවයි.


එහෙත් ‘යහපාලන රජය‘ යැයි තමන් විසින්ම හඳුන්වාගත් එම පාලනය අවසන් වන තුරුම එකී කැබිනට් තීරණය ක්‍රියාත්මක නොවිණි. ඉවසා සිටිනු බැරි තැන 2016 මාර්තු 26 වැනිදා රාගම්වෙල වැසියෝ බලහත්කාරයෙන් සිය ඉඩම්වලට ඇතුළු වූහ. එම ගම්වැසියන්ට එරෙහිව පොතුවිල් පොලිසිය විසින් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පවරන ලදි. අදාළ නඩු තීන්දුවෙන් නිගමනය වූයේ ගම්වැසියන් නිවැරදිකරුවන් බවය. එම ඉඩම් හමුදාවට අයිති බව අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමට පොලිසිය අපොහොසත් වූ අතර, අදාළ ඉඩම්වල මැනුම් කටයුතු සිදු කර ජනතාවට ඇති අයිතිය තහවුරු කරන ලෙස අධිකරණය බලධාරීන්ට නියෝග කළේය.


යුක්තියට එරෙහි අදිසි ශක්තිය


තමන්ට යුක්තිය ඉටු කළ අධිකරණ තීන්දු දෙකක්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශයක් හා කැබිනට් මණ්ඩල තීරණයක් අතේ තිබියදීත් තවමත් පානම ජනතාවට සිය ඉඩම්වලට පිවිසීම තහනම්ය. පොතුවිල් මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුවට එරෙහිව රජයේ පාර්ශ්වයෙන් අභියාචනයක් ගොනු කර ඇති අතර කැබිනට් තීරණය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව රාගම්වෙල ජනතාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි නඩුවක් ගොනු කර තිබේ.


මේ වන විට බලහත්කාරයෙන් තම ඉඩම් කරා ආපසු පැමිණි රාගම්වෙල වැසියෝ අනේක දුක් ගැහැට විඳිමින් පැල්පත්වල ජීවත් වෙති. ඔවුන්ට රජයෙන් කිසිදු සහායක් ලැබී නොමැති අතර, ගුවන් හමුදාව අඛණ්ඩව ඒ අවට පදිංචිව සිටිමින්, ගමට ඇතුළු වන ස්ථාන ඇතුළුව ප්‍රදේශයේ පාලනය දිගටම පවත්වාගෙන යයි.


ජනතාවගේ ඉඩම් කොල්ලකෑ (පැරණි) රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමෙන් පසුවත්, අධිකරණ තීන්දු හා කැබිනට් තීරණයක් තිබියදීත් ඒවා ක්‍රියාත්මක නොවීම තේරුම් ගත නොහැකි උභතෝකෝටිකයකි. ආණ්ඩු පෙරළියකින් පවා වෙනස් නොවන කිසියම් න්‍යායපත්‍රයක් මෙම ඉඩම් කොල්ලය පිටුපස ඇති බව එයින් අනුමාන කළ හැකිය. එමෙන්ම ඇතැම් දේශපාලනඥයන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රද ඊට හේතු වූ බව පැහැදිලිය. කොල්ලකෑ ඉඩම් නැවත උරුමකරුවන්ට දෙනු වෙනුවට එම ඉඩම් සඳහා විවිධාකාර ව්‍යාපෘති සඳහා අත්පත් කර ගැනීමේ සැලසුම් ගණනාවක් දියත් විය. සන්ධාන (යහපාලන) රජයේ කලාපයේ දේශපාලන බලවතා වූ දයා ගමගේ ඇමතිවරයා මෙම සැලසුම් පිටුපස සිටි ප්‍රධාන චරිතයයි. ඉඩම් අහිමි වූවන් 32දෙනෙකු සඳහා ඉඩම් කට්ටි ලබා දී ඔවුන්ට නිවාස ඉදි කර දීමට රජය මගින් ආරම්භ කළ ව්‍යාපෘතිය, එම ඉඩම්ලාභීන්ගේ වියදමින් අත්තිවාරම්ද දැමූ පසු අත්හිටුවීම එබඳු එක් සිදුවීමක් පමණි.


පානමට අලුත් ගැලවුම්කරුවෙක්


දැන් පානම ජනතාවට සිදු වී ඇත්තේ අලුත් වටයකින් බලයට පත්ව සිටින, තම උරුමය පැහැරගත් පාලකයන්ගෙන්ම යුක්තිය ඉල්ලා සිටීමටය. හමුදාව තම දේපළ වනසා ඉඩම් අත්පත් කර ගනිද්දී ආරක්ෂක අමාත්‍යාංශයේ සිටි ලේකම්වරයා දැන් ජනාධිපති ධුරයටද එවකට සිටි ජනාධිපතිවරයා දැන් අගමැතිධුරයටද පත්ව සිටිති. පානම ජනතාවගේ අලුත්ම ගැලවුම්කරු වී සිටින්නේ වියත්මඟ ඔස්සේ දේශපාලන කරළියට පැමිණ සිටින ප්‍රකට සංචාරක හෝටල් ව්‍යාපාරිකයකු වන පොහොට්ටුවේ දිගාමඬුල්ල ආසන සංවිධායක කීර්ති ශ්‍රී වීරසිංහය.


පානම ජනතාවගේ ඉඩම් යළි ලබා දීමට ගත් කැබිනට් තීරණයට වසර 5ක් පිරීම නිමිති කොටගෙන, පානම්පත්තුව සුරැකීමේ සංවිධානය හා එම අරගලයට සහාය පළ කරන බහුජන සංවිධාන එක්ව පසුගිය 11වැනිදා පානමදී පැවැත්වූ රැස්වීමේදී ඔහු පළ කළ හැසිරීම සහ අදහස්වලින් ඔහුගේ අරමුණ මැනවින් පැහැදිලි විය. පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් පිරිවරාගෙන එම රැස්වීමට අනාරාධිතව පැමිණි ඔහු, රැස්වීම මෙහෙයවීම මුළුමනින්ම සියතට ගනිමින් එය සිය ප්‍රචාරක රැස්වීමක් බවට පත් කරගත් අතර, අර්බුදය විසඳීමට යැයි තමන් විසින්ම කමිටුවක්ද පත් කළේය. ඔහු සමඟ එහි පැමිණි පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයන් සියලු දෙනාම එම කමිටුවට ඇතුළත් කළ ඔහු, එහි සභාපති ලෙස දිසාපතිවරයා නම් කළේය. කිසිදු නිල බලයක් නැති ඔහු, ජනතාව ඉදිරියේ පෙන්නුම් කළේ රාජ්‍ය නිලධාරීන් පවා මෙහෙයවන්නේ තමන් විසින් බවයි. රැස්වීමේදී ඔහු ගැන හැඳින්වීමක් කළ ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයා, කීර්ති වීරසිංහ හඳුන්වා දුන්නේ වෛද්‍යවරයකු වශයෙනි. එහෙත් ඔහු මෑතකදී කොළඹ සංචාරක හෝටල් දෙකක් මිලට ගත් හා චීන හවුල්කරුවකු සමඟ එම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට කටයුතු කරගෙන යන ව්‍යාපාරිකයකු බව ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී අනාවරණය විය.


රැස්වීමේදී ඔහු ප්‍රකාශ කළේ පානම දියුණු වීමට නම් ලොකු සංචාරක හෝටලයක් එම ප්‍රදේශයේ ඉදි විය යුතු බවයි. එමෙන්ම ඉඩම් කැබලිවලට කඩා නාස්ති කරනු වෙනුවට පවුල් සීයකට පමණ එකට ජීවත් විය හැකි සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සුදුසු යැයි ඔහු යෝජනා කරයි.


එහෙත් ගම්වැසියන් අවධාරණය කරන්නේ කැබිනට් තීරණය හා අධිකරණ නියෝගය අනුව සිය ඉඩම් යළි ලබා දිය යුතු බවයි. “අපිව හැමදාම රැවැට්ටුවා පොරොන්දු වැඩක් නෑ. ජන්දෙට කලින් අපේ ඉඩම් දෙන්න. මෙදා පාර නම් දෙන්නම් කාසිවලට බෑ,” යි අවතැන්වූවෝ ඔහුට පැවසූහ.


පානම අරගලයට අඛණ්ඩව නායකත්වය සපයන පානම චන්ද්‍රරතන හිමියන් රැස්වීම අමතා ප්‍රකාශ කළේ, උදුරාගත් උරුමය නැවත ලබා දී, ජනතාවගේ ජීවන මාර්ග යළි නඟාසිටුවීම සඳහාත්, පානීය ජලය ඇතුළු මූලික මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහාත් කටයුතු කරන තුරු කිසිදු දේශපාලනඥයකුට හෝ පක්ෂයකට සහාය ලබා නොදීමට ගම්වැසියන් තීරණය කර ඇති බවයි. බලයේ සිටි සියලු ආණ්ඩු සිය ජනතාවට යුක්තිය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ජනතාව බරපතළ රැවටීමකට ලක් කර ඇති බවත් උන්වහන්සේ අවධාරණය කළහ.


මේ අතර, කැබිනට් තීරණයට වසර 5ක් ගතවීම නිමිති කරගෙන ජනතාවගේ අරගලයට සහාය පළ කරමින් නිවේදනයක් නිකුත් කරන ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL) කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම, හමුදාව මහජනයාගේ ඉඩම්වලින් ඉවත් කිරීම සහ අවතැන්වූවන්ට නැවත සිය වාසස්ථනය කරා යෑමට ඉඩ දෙන ලෙස රජයට කරන ඉල්ලීම යළිත් අවධාරණය කරයි.


දැන් මේ කතන්දර සියල්ලේ පූර්වාපර සන්ධි ගලපතොත් අපට මෙසේ ඇසිය හැකිය. “පූර්ණ රාජානුග්‍රහය ඇතිව තාප්පයක් තාප්පයක් පාසා සිදු කෙරුණු වීරාභිවන්දනය සත්‍යවාදී සැබෑ වී නම්, ඓතිහාසික වෙල්ලස්ස කැරැල්ලේ විරුවන්ගේ මී මුනුබුරන්ගෙන් සාහසික ලෙස උදුරාගත් උරුමය කොන්දේසි විරහිතව ආපසු දීමට බැරි ඇයි?”