සුමිත් චාමින්ද 

දැන් අප සිටින්නේ වසංගත ධනවාදය තුළයි. එහි සරල අදහස ඉහත මාතෘකාවෙන් කියැවේ. ජනතාව දැන් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුය. ජේ.ආර්. ජයවර්ධන 1980 ගණන්වලදී කියූ පරිදිමය. 


ඩොනල්ඩ් ට්‍රම්ප්ද වසංගතය හමුවේ කීවේ “දැන් අපි වැඩට යමු…ඒ අතර තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගනිමු” කියාය. බ්‍රසීලයේ ජයීර් බොල්සනාරෝ කීවේ “බ්‍රසීලියානුවන් වසංගතයට මුහුණ දෙන්නේ කුඩා දරුවන් ලෙසින් නොව වැඩිහිටියන් ලෙසින්” කියාය. මෙහි සරල තේරුම මෙයයි; රාජ්‍යය තවදුරටත් ජනතාවගේ ආරක්ෂාව ගැන වග කියන්නේ නැත. ආරක්ෂාව යන්නට ආර්ථික ආරක්ෂාවද ඇතුළත්ය. ජනතාව කෙසේ හෝ කා බී වසංගතයෙන්ද බේරී තම ජීවිකාව සලසාගත යුතුය. වසංගතය පැතිරී යන්නේ නම් එහි වගකීමද භාරගත යුත්තේ ජනතාවයි.


වසංගත සමුච්චනය


ජනතාව වැඩට යා යුතු යැයි ට්‍රම්ප් පැවසුවේ කුමක් නිසාද? ආර්ථිකය පවත්වාගෙන යා යුතු නිසාය. සැබවින්ම වසංගතය සමග ලෝකයේ ආර්ථිකය පවත්වාගෙන ගියේය. ඒ කෙසේදැයි අපි මදක් විමසා බලමු. Bloomberg ආයතනයේ ගණන් බැලීම් අනුව, 2020 වසරේදී ටෙස්ලා සමාගමේ එලන් මස්ක් ඩොලර් බිලියන 140 ක ධනයක් උපයා තිබේ. ඇමසෝන් සමාගමේ ජෙෆ් බෙසොස් ඩොලර් බිලියන 72ක් උපයා තිබේ. නොන්ෆු ස්ප්‍රින්ග් සමාගමේ ෂොන් ෂන්ශාන් බිලියන 62ක් උපයා තිබේ. පසුගිය වසර තුළදී ලොව ඉහළම බිලියනපතියන් දස දෙනාගේ ආදායම සමස්තයක් ලෙස ඩොලර් බිලියන 319 කින් වර්ධනය වී තිබේ. ඒ මුදල ලෝකයේ ජනගහණයෙන් අති බහුතරයකට එන්නත් ලබා දීම සඳහා ප්‍රමාණවත් වේ. 


ඒ අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගණන් බැලීම් අනුව, වසංගතයෙන් වඩාත්ම බැට කන රැකියාවල නිරත වන පිරිස මිලියන 600ක් පමණ වේ. එයින් බහුතරයක් ස්ත්‍රීන්, ජනවාර්ගික සුළුතර කොටස්, සංක්‍රමණිකයන්, නුපුහුණු ශ්‍රමිකයන් සහ තරුණ තරුණියන් ය. ලොව පුරා අවිධිමත් අංශවල නිසි සමාජ ආරක්ෂණ ඉඩ ප්‍රස්තා නොමැතිව සේවය කරන ජනතාව බිලියන දෙකක් පමණ වේ. ලෝක බැංකු පුරෝකථනය අනුව, 2022 වර්ෂය වන විට ලෝකයේ තවත් මිලියන 150 ක ජනතාවක් අන්ත දරිද්‍රතාවට පත් වනු ඇත. කොරෝනා වසංගතය හමුවේ ආදායම් විසමතාවේ වර්ධනය අන් කිසිදු ආර්ථික අර්බුධයකදී සිදු වූවාට වඩා තියුණු යැයි පවසන්නේ අන් කිසිවෙකුත් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ඒ සමගම ධනවත් රටවල් හා දුගී රටවල් අතර විසමතාවද අන් කවර කලෙකවත් නොවූ තරමින් වර්ධනය වනු ඇතැයි කියන්නේ අන් කිසිවෙකුත් නොව ජෝසෆ් ස්ටිග්ලිට්ස් ය. 


අප රටේ තත්ත්වයද මේ රටාවෙන් වෙනස් නොවේ. මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගම් කිහිපයක් මෑත කාලයේ ඉහළම ආදායම් වාර්තා කොට ඇත්තේ කොරෝනා වසංගත සමය තුළදීය. දිහාන් උඩුගම්පොල විසින් කරන ලද පර්යේෂණයකට අනුව, 2020 වසරේ අවසන් මාස නමය තුළදී ශ්‍රී ලංකාවේ වඩාත්ම ධනවත් සමාගම් නමයක සමස්ත ආදායම රුපියල්  බිලියන 861 කින් ඉහළ ගොස් තිබේ. එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග් හි ආදායමේ වර්ධනය 2019 වසරට සාපේක්ෂව 80% ඉක්මවයි. 2020 නොවැම්බර් 15 දින සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළ පරිදි, එම වසරේ මුල් මාස හය ඇතුළතදී හේලීස් සමාගම රුපියල් බිලියන 5.5 ක ආදායමක් වර්ධනය කරගෙන තිබේ. එය එම සමාගමේ ඉතිහාසය තුළ වාර්තාගත ඉහළම වර්ධනය ලෙස සැලකේ. ඇතැම් සමාගම් වසංගතයෙන් පහර කෑමට ලක්ව ඇති බව සැබෑය. නමුත්, එක් අතකින් රාජ්‍යය විසින් බදු සහන ඇතුළු කප්පාදු කිරීමේ ප්‍රතිපත්ති මගින් රැකවරණ හිමිවන්නේ එවන් සමාගම්වලටය. අනෙක් අතින්, මහජන සෞඛ්‍යය දෙවැනි කොට ආර්ථික යන්ත්‍රය පවත්වාගත යුතුය යන අධිපති දෘෂ්ටිය වැඩ කරන්නේත් ඔවුන්ගේ රැකවරණය වෙනුවෙනි. 


පන්ති දේශපාලනය සහ සෝදිසි ධනවාදය 


මෙයින් පෙනී යන්නේ කුමක්ද? “වසංගතය වසන්තයක් වූ පන්තිය” සහ “වසංගතය ව්‍යසනයක් වූ පන්තිය” අතර පරතරය එන්ට එන්ටම වර්ධනය වෙමින් පවතින බවයි. මේ නිමේෂය තුළ ජනතාව යනු වසංගතය ව්‍යසනයක් වූ පන්තියයි. 2011 වර්ෂයේදී එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පැන නැගුණු වීදි අත්පත් කරගැනීමේ ව්‍යාපාරයේදී 99% යනු ජනතාව වූ පරිදිමය.  
එමෙන්ම, වසංගතය ව්‍යසනයක් වූ පන්තිය පාලනය කිරීම සඳහා දැන් නව තාක්ෂණික ක්‍රමවේදද භාවිතා කෙරෙමින් පවතී. නයෝමි ක්ලයින් පෙන්වාදෙන පරිදි වත්මන් වසංගත ධනවාදය තුළ සමස්ත ලෝකයම අධි-තාක්ෂණ ආධිපත්‍යයකට යටත් කෙරෙමින් පවතී. “සාමාන්‍ය කාල”වලදී ක්‍රියාත්මක කළ නොහැකි ආකාරයේ ධනවාදී පරිවර්තන මේ ආපදා සමය තුළදී හඳුන්වාදෙනු ලැබේ. පුද්ගලයින්ගේ දෛනික චර්යාවන් සෝදිසි කිරීම සඳහා ඩ්‍රෝන යාත්‍රා යෙදවීම සාමාන්‍ය තත්ත්වයක් වන තරමට දැන් එය වර්ධනය වී තිබේ. ෂොෂානා සුබොෆ් සෝදිසි ධනවාදය ලෙස හඳුන්වන්නේ මෙයයි. 


මරණ-දේශපාලනය


අනෙක් අතින්, මෙම සෝදිසි ධනවාදය සමග අතිනත ගත් මරණ-දේශපාලනයක්ද (necropolitics) පවතී. ඇචීල් ම්බෙම්බේ පවසන පරිදි දැන් මරණ-දේශපාලනය ක්‍රියාත්මක වන්නේ ඇතැම් පිරිස් මරණයේ අවධානමට නිරාවරණය වන්නට හැරීම මගිනි. පැරණි යටත් විජිත යුගයේදී මෙන් දැන් මිනිසුන්ව සෘජුව ඝාතනය කරනු ලබනවාට වඩා ඔවුන්ව මරණයට අභිමුඛ කිරීම එහි ප්‍රධාන ආකෘතිය බවට පත්ව තිබේ. එසේම, යටත් විජිත යුගයේදී සාමාන්‍ය නීතිය අත්හිටුවන ලද ප්‍රධාන කලාපය වූයේ යටත් විජිතයයි; නමුත්, දැන් ලොව පුරාම ධනවාදය තුළ ඉවතලිය හැකි ජීවිත “මරණයේ කලාප” තුළට ගාල් කරනු ලබමින් පවතී. නයෝමි ක්ලයින් පෙන්වාදෙන පරිදි, වත්මන් ඊනියා ඩිජිටල් ධනවාදය පවත්වාගෙන යනු ලබන්නේ “ගබඩා කාමර තුළ, දත්ත මධ්‍යස්ථාන තුළ, (පරිගණක) අඩංගු සකසන කම්හල් තුළ, ඉලෙක්ට්‍රොනික වැඩපළවල් තුළ, ලිතියම් පතල් තුළ, කාර්මික කම්හල් තුළ, මාංස සැකසුම් මධ්‍යස්ථාන තුළ සහ බන්ධනාගාර තුළ සඟවා දමනු ලැබූ මිලියන ගණනක නිර්නාමික කම්කරුවන්ගේ ශ්‍රමය මගින්ය.” ඔවුන් රෝගවලට සහ අධි-සූරාකෑමට අනාරක්ෂිතව නිරාවරණය කොට තිබේ. මරණ-දේශපාලනය සහ වසංගත ධනවාදය අතර පවත්නා සම්බන්ධය එයයි. 


ශ්‍රී ලංකාවේද සංචරණ සීමා පණවා තිබියදී පවා වසංගතයේ අනතුරට වඩාත් නිරාවරණය කරන ලද්දේ ඇඟලුම් කම්හල් සේවිකාවන් වැනි අය බව අමතක නොකළ යුතුය. එදා වේල සොයාගත නොහැකිව කුසගින්නේ පෙළෙන දහස් ගණන් ජනයා අයත් වන්නේද මරණ-දේශපාලනයට අභිමුඛ කරන ලද ඊනියා ඉවතලන ජීවිත අතරටය.


ධනවාදයේ මහා-ප්‍රත්‍යාරම්භය සහ තාක්ෂණවාදය


දැන් ධනවාදය නැවත සැකසෙමින් පවතින්නේ මේ ආකාරයෙනි. ලෝක ආර්ථික සමුළුව “ධනවාදයේ මහා ප්‍රත්‍යාරම්භය” (great reset) ලෙස නම් කළ ආකෘතිය දැන් ආරම්භ වෙමින් පවතී. එතුළ රාජ්‍ය පාලනය අධි-තාක්ෂණය සහ පරිගණක සන්නිවේදනය ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන තාක්ෂණ පාලනයක මුහුණුවර ගනිමින් තිබේ. ශන්තාල් මූෆ් පවසන පරිදි දේශපාලන ගැටළු ඇතුළු සියලුම සමාජ ගැටළුවලට තාක්ෂණික විසඳුම් තිබේය යන තාක්ෂණවාදී ප්‍රවේශය දැන් කේන්ද්‍රයට එමින් තිබේ. 


මේ පසුබිම තුළ මෙරට ජනාධිපතිවරයා මෑතක ජාතිය අමතා කළ කතාවේ තාක්ෂණික රාමුව විවේචනය කරන්නන් හට එම කතාවේ මූලික පණිවිඩයම මග හැරී ගොස් තිබේය යන්න මගේ අදහසයි. මන්ද යත්, එම කතාවේ අන්තර්ගතය වන්නේම එහි ඩිජිටල් තාක්ෂණික රාමුව බැවිනි. එම කතාවේ ආකෘතිය සහ අන්තර්ගතය අතර සැබවින්ම වෙනසක් හෝ පරස්පරතාවක් පවතින්නේ නැත. වසංගතය ව්‍යසනයක් වූ පන්තිය නොහොත් ජනතාව දැන් පාලනය කෙරෙනු ලබන්නේ සංඛ්‍යා ලේඛණ, දත්ත, හැඟීම් විරහිත නිවේදන, තාක්ෂණ රාමු සහ ජනයාගේ සම්බන්ධයක් අපේක්ෂා නොකරන ඉහළ සිට මෙහෙයවෙන යාන්ත්‍රණ යනාදිය මගිනි. දැන් රාජ්‍යය ඔබ වෙතට එන්නේ නමක් නැති ආගන්තුක ඩ්‍රෝන යාත්‍රාවක ස්වරූපයෙනි.


වමේ උපායමාර්ග  


මෙම නව වාතාවරණය තුළ වසංගතය ව්‍යසනයක් වූ පන්තිය නොහොත් ජනතාව කළ යුත්තේ කුමක්ද? එම ප්‍රශ්නය මග හැර යන කිසිදු දාර්ශනික සංවාදයකින් දැන් පලක් නැත. ග්‍රාම්ස්චි පැවසූ ලෙස දර්ශනය පවතින්නේ පොදු ජන අවබෝධය තුළය. “වසංගතය: කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතිය තුළ ස්ලේවෝයී ශිෂෙක් පවසන්නේද දැන් අප වසංගතයට මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්නය අරභයා පැන නැගී ඇති විවාදයේ දාර්ශනික අන්තර්ගතයක් පවතින බවයි. 


අපගේ අදහස වන්නේ වසංගත ධනවාදය තුළ ක්‍රම ක්‍රමයෙන් හැකිලී යන සමාජය සක්‍රීය කරන්නා වූත්, සමාජ සාමූහිකත්වය සහ සහයෝගීතාව පදනම් කර ගත්තා වූත් ජන-සහභාගී ව්‍යාපාරයක් පහත සිට ගොඩ නැගීම හැර වෙනත් සාධනීය විකල්පයක් දැන් අපට ඉතිරිව නොමැති බවයි. කාල් පොලන්යී පැවසූ පරිදි, මෙවන් අර්බුධයකින් පසුව දේශපාලනය නැවත ගොඩ නගනු ඇත්තේ ජන සමාජය ආරක්ෂා කළ හැක්කේ තමන්ට යැයි ජන සමාජයට වඩාත් හොඳින් ඒත්තු ගැන්විය හැකි බලවේගයටය. මූෆ් පසුගිය සැප්තැම්බර් මසදී අනතුරු හැඟවූ පරිදි, සමාජය ආරක්ෂා කිරීමේ සමාජයීය ඉල්ලීම ඉතාම අනතුරුදායක අන්තවාදී සහ පීඩාකාරී විකල්පයකටද මග විවර කළ හැකිය. එබැවින්, වමේ නායකත්වයන් මේ මොහොතේ ඉක්මන් විය යුතුය. මන්ද යත්, කොවිඩ් මර්දන ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අවස්ථාව දැන් වේගයෙන් අපෙන් ගිලිහී යමින් පවතී.