සුමිත් චාමින්ද

විමල්-බැසිල් ගැටුම. මේ දිනවල ලාංකීය දේශපාලන මාධ්‍ය අවකාශයේ ප‍්‍රධාන තේමාව වී ඇත්තේ එයයි. එය පුද්ගල ගැටුමක් පමණක්ද නැතහොත් පාලක හවුලේ බලගතු කණ්ඩායම් දෙකක් අතර නිර්මාණය වී තිබෙන පරස්පර අභිලාෂයන් අතර ගැටුමක්ද? එය සැබෑ දේශපාලන බල අරගලයක්ද නැතහොත් වසංගතය හමුවේ උග‍්‍ර වෙමින් පවතින ආර්ථික අර්බුදය කෙරෙන් ජනතා අවධානය වෙනතක හැරවීමේ අරමුණින් දැනුවත්ව අධ්‍යක්ෂණය කොට රඟදක්වනු ලබන ප‍්‍රාසාංගික ගැටුමක්ද? එය බැසිල් පාර්ශ්වය විසින් ඉදිරිපත් කෙරෙමින් තිබෙන සංවර්ධනය පිළිබඳ ප‍්‍රවේශය සහ සිංහල බෞද්ධ ජාතිකවාදයේ සාම්ප‍්‍රදායික ඇගයුම් අතර ඇත වී තිබෙන දෘෂ්ටිවාදී ගැටුමක්ද? නොඑසේනම්, එය ඉන්දු-පැසිෆික් කලාපයේ නිර්මාණයවෙමින් පවතින මහා බලවතුන්ගේ භූ-දේශපාලනික ගැටුමක ස්වදේශීය ප‍්‍රකාශමානවීමක්ද? වත්මනෙහි මෙරට දේශපාලන ක‍්‍රියාකාරීන් සහ විශ්ලේෂකයින් මෙම ගැටුම පිළිබඳව ඉදිරිපත් කරමින් සිටින තේරුම් කිරීම් ඉහත කී ප‍්‍රශ්න සඳහා ලබාදෙන වෙනස් සහ පරස්පර පිළිතුරු අතර දෝලනය වෙමින් පවතී.

මා මෙම ලිපියෙන් ප‍්‍රයත්න දරන්නේ විමල්-බැසිල් ගැටුම පිළිබඳව දැනට ඉදිරිපත් වී තිබෙන එකී තේරුම් කිරීම්වලට මගහැරී ගොස් තිබෙන පැතිමාන කිහිපයක් වෙත අවධානය යොමු කිරීමටය; එමගින්, එකී ගැටුමෙන් ප‍්‍රකාශයට පත්වෙමින් තිබෙන දේශපාලන ගම්‍යතා පිළිබඳ පුළුල් සහ සංකීර්ණ චිත‍්‍රයක් සම්පාදනය කිරීම සඳහා යම් තරමකින් හෝ දායකවීමය.

සරලමතික තේරුම් කිරීම්

පළමුව, විමල්-බැසිල් ගැටුම හුදෙක් පුද්ගල ගැටුමක් පමණක්ය යන සරල තේරුම් කිරීම මත පිහිටා එය සහමුලින්ම බැහැර කිරීම දැන් කොහෙත්ම යථාර්ථවාදී වන්නේ නැත. දැනටමත් ගැටුමේ නිරත දෙපාර්ශ්වය පැහැදිලිව හඳුනාගත හැකි පරිදි එකිනෙකින් වෙන්වෙමින් තිබේ. සිංහල බෞද්ධ ජනවාර්ගික-ජාතිකවාදී බුද්ධිමය කණ්ඩායම් විමල් පාර්ශ්වයේ ප‍්‍රධාන ප‍්‍රකාශකයින් බවට පත්ව තිබේ. ගෝඨාභය බල ව්‍යාපෘතිය තුළ ආන්තිකකරණයට ලක්වූ පැරණි වාමාංශික පක්ෂ සහ ශ‍්‍රීලනිපයේ කොටස්ද සිටින්නේ විමල් සමග බැව් පෙනේ. අනෙක් අතින්, බැසිල් පාර්ශ්වය සමන්විත වන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ පටන් ක‍්‍රම ක‍්‍රමයෙන් ගොඩ නැගුණු බැසිල්ගේ අනුග‍්‍රාහක දේශපාලන ජාලයට සම්බන්ධ පිරිස්වලිනි.

මේ දෙපිරිස අතර වන ගැටුම ජනතා අවධානය වෙනතක හරවා ජනතාව මං මුලාවට පත්කිරීමේ දැනුවත් කුමන්ත‍්‍රණකාරී මෙහෙයුමක්ය යන අදහස බොහෝ විට ඉදිරිපත් කරන්නේ රැඩිකල් වාමාංශික කණ්ඩායම් ය. නමුත්, එවන් කුමන්ත‍්‍රණකාරී අරමුණක් සඳහා වුවත් පාලක සන්ධානයේ අභ්‍යන්තර ආතතීන් නිර්මාණය කිරීම වනාහී සැබවින්ම ඉතාම ඉහළ දේශපාලන මිලක් නොවේද? වාමාංශික කුමන්ත‍්‍රණ න්‍යායේ අනෙක් ගැටලූව වන්නේ පාලක සන්ධානයේ අභ්‍යන්තර පරස්පරතා නොතකා හැරීමට එයින් මග පෑදීමයි; එමගින් පාලක බල හවුල පිළිබඳ සමජාතීය චිත‍්‍රයක් දකින්නට පෙළඹීමයි. මෙය ප‍්‍රති-හෙජමොනික දේශපාලනය සම්බන්ධයෙන් ගත් කල බරපතළ වරද්දා ගැනීමකි.

දෙවනුව, මෙම ගැටුමින් ප‍්‍රකාශ වන්නේ බැසිල් අනුදකින ධනවාදී සංවර්ධන ප‍්‍රවේශයත් සාම්ප‍්‍රදායික සිංහල බෞද්ධ ජනවාර්ගික-ජාතිකවාදයත් (නැත්නම්, ඊනියා ජාතික චින්තනය) අතර දෘෂ්ටිවාදී අරගලයක් යැයි ගැනීමද එතරම්ම සරලමතිකය. ජාතිකවාදය හෝ ජාතික චින්තනයත්, ධනවාදී සංවර්ධනයත් එකට ගමන් කළ නොහැකි දේ නොවේ. බැසිල්ගේ හෝ ගෝඨාභයගේ සංවර්ධන ප‍්‍රවේශය නලින් ද සිල්වාගේ හෝ ගුණදාස අමරසේකරගේ කෘතීන්වල එන ප‍්‍රවාද සමග අනුගත විය යුතු යැයි ජාතික චින්තනවාදීන් පවා කල්පනා නොකරනු ඇත. ඒ දෙක අතර පරස්පරතාවක් පවතී යැයි කිසිවෙකුත් ඔවුනට අමුතුවෙන් කියා දිය යුතුද නැත. ඔවුන් එය දැනටමත් දනී. නමුත්, ව්‍යවහාරිකව ඔවුන් දිගටම ගෝඨා-බැසිල් සංවර්ධන ප‍්‍රවේශයට සහාය දක්වයි. ඒ මන්ද?

දෘෂ්ටිවාදය පිළිබඳ ස්වකීය අනර්ඝ පැහැදිලි කිරීම්වලදී ස්ලේවෝයී ශිෂෙක් කදිමට පෙන්වා දී ඇති පරිදි, වත්මන් යුගයේ දෘෂ්ටිවාදය ක‍්‍රියාත්මක වන්නේම නරුමවාදී ආකෘතියක් තුළය. ”මා කරන්නේ කුමක්දැයි මම හොඳින්ම දනිමි; නමුත්, මම එය දිගටම කරමි.” යන්න ඒ නරුමවාදී ආකෘතියේ අප‍්‍රකාශිත ආප්තෝපදේශයයි. ඉදින්, ජාතික චින්තනවාදය අදහන අයවලූන් පවා පිවිතුරු ජාතික චින්තනවාදයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැති කල, එවැන්නක් විවේචනය කිරීමට කාලය නාස්ති කිරීමෙන් ඇති ඵලය කුමක්ද? ඒ වෙනුවට අප කළ යුතුව ඇත්තේ අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි යෝජනා කළ පරිදි දෘෂ්ටිවාදයේ වැඩ බිම ව්‍යවහාරික ජීවිතය බැව් හඳුනා ගැනීමයි. (මාක්ස්වාදී බුද්ධිමය සම්ප‍්‍රදායේ විශිෂ්ට දායාදයක් වන්නේ දෘෂ්ටිවාදී මායාව පවතින්නේ ව්‍යවහාරික සමාජ ජීවිතය තුළ බව වටහාගෙන එය විචාරයට ලක් කිරීමය.)

ජනවාර්ගික ජාතිකවාදය සහ අනුග‍්‍රාහක දේශපාලනය

ඒ අනුව, දෘෂ්ටිවාදය ගවේෂණය කළ යුතුව ඇත්තේ මිනිසුන්ගේ ජීවිතවල පැවැත්මේ භෞතික කොන්දේසි සමග සම්බන්ධ වූවක් ලෙසය. නිදසුනක් ලෙස, රාජපක්ෂ පාලනයේ පළමු අදියර තුළ අප අත් දුටු පරිදි දකුණේ බොහොමයක් ජනයා තම අනුග‍්‍රාහක ජාලය සමග සම්බන්ධ කරගන්නට රාජපක්ෂ බල-හවුල සමත් විය. සිංහල බෞද්ධ ජාතිකවාදය මෙකී අනුග‍්‍රාහක දේශපාලනය සමග අත්වැල් පටලාගෙන ගියේය. 1970 දශකයේ සිටම ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සුභ සාධක යාන්ත‍්‍රණයන් ක‍්‍රම ක‍්‍රමයෙන් අනුග‍්‍රාහක දේශපාලනයේ උපකරණ බවට පරිවර්තනය වී තිබුණේය යන පසුබිම තුළ මෙය වටහාගත යුතුය. මා මින් පෙර බොහෝ අවස්ථාවල පෙන්වා දුන් පරිදි මෙරට අනුග‍්‍රාහක දේශපාලනය ආයතනගත කිරීම සඳහා බැසිල් රාජපක්ෂ විසින් කරන ලද මෙහෙවර ඉමහත්ය. කෙටියෙන් කිවහොත්, රාජපක්ෂ පාලනය විසින් නියෝජනය වේ යැයි සලකනු ලබන ජාතිකවාදය මෙකී ආයතනගත අනුග‍්‍රාහක දේශපාලනයෙන් වෙන් කොට තේරුම් කිරීම ඉතාම උගහටය.

මෙරට පාලකයින්ට ජනවාර්ගික ජාතිකවාදයත් ඒ හා බැඳුණු අනුග‍්‍රාහක දේශපාලනයත් වුවමනා වන්නේ මන්ද යන ප‍්‍රශ්නයද මෙහිදී කෙටියෙන් හෝ විමසා බැලීම වැදගත්ය. නිදහසින් පසු ලාංකීය පාලකයින් මුහුණ දුන් අර්බුදයන් දෙකක් ඇසුරින් මා මින් ඉහත මේ කාරණය පැහැදිලි කොට ඇත්තෙමි. පළමු අර්බුදය නම්, ජනතාව මත තමන්ගේ නායකත්වය ස්ථාපිත කරගැනීමට මෙරට පශ්චාත්-යටත්විජිත පාලකයින් ඓතිහාසිකව අසමත් වීමයි. එම අසමත්භාවයට විසඳුම වූයේ පාලකයින් බහුතර ජනවර්ගයේ සහ බහුතර ආගමික ප‍්‍රජාවේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම මගින් ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමය. එසේ කිරීමේදී ජනවාර්ගික ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණියක් සමග කිසියම් සන්ධානයක් ගොඩ නගා ගැනීමට ඔවුනට සිදුවිය. 1956 දී බණ්ඩාරනායක යටතේ සිදුවූයේ එයයි. මේ ඓතිහාසික කාරණය විසින් ලාංකීය දේශපාලනයේ ඉතාම වැදගත් සුවිශේෂකත්වයක්ද නිර්මාණය විය. එනම්, ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණීන්ට පාලක හවුලෙන් කිසියම් දුරස්තභාවයක් නොහොත් සාපේක්ෂ ස්වායත්තතාවක් පවත්වා ගතහැකිවීමයි. (දැන් විමල් වීරවංශ රඟන්නේ එම අවකාශය තුළය.)

මෙරට පාලක පන්තිය මුහුණ දුන් දෙවන වැදගත් අර්බුදය වූයේ 1977 සිට ක‍්‍රියාත්මක කරන ලද නව-ලිබරල් ආර්ථික වැඩපිළිවෙළ සඳහා දෘෂ්ටිවාදීමය සුජාතභාවයක් ගොඩ නගා ගැනීමට ඔවුන් අසමත්වීමයි; ඒ සඳහා අවශ්‍ය ඓන්ද්‍රීය බුද්ධිමය ශ්‍රේණියක් නිර්මාණය කර ගැනීමට බොහෝ සේ ප‍්‍රමාදවීමයි. අසූව දශකයේ සිට ජනවාර්ගික යුද්ධයත් ඒ හා සම්බන්ධ රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදයත් මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා භාවිත කෙරෙනු අපි දුටුවෙමු. එසේම, මේ සෑම සංධිස්ථානයකදීම ජනවාර්ගික ජාතිකවාදී පදනමක් මත අසමානව ක‍්‍රියාත්මක කෙරෙන අනුග‍්‍රාහක දේශපාලනයක් ද අවශ්‍ය විය. පැරණි වාමාංශයේ විශිෂ්ට ජයග‍්‍රහණයක් වූ රාජ්‍ය සුභසාධනය දක්ෂිණාංශික අනුග‍්‍රාහක දේශපාලනයේ උපකරණයක් බවට පරිවර්තනය වූයේ එසේය.

වීරවංශ මෙහෙයුම

හොඳයි. දැන් ඉහත විශ්ලේෂණය ඇසුරින් අපි වත්මන් විමල්-බැසිල් ගැටුම තේරුම් කිරීමට ප‍්‍රයත්න දරමු. විමල් වීරවංශ සහ ඔහුට සහාය දක්වන සිංහල බෞද්ධ ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණීන් සාමාන්‍යයෙන් හඳුනා ගැනෙන්නේ මහින්ද රාජපක්ෂ වෙත වැඩි සමීපතාවක් දක්වන අයවලූන් වශයෙනි. නමුත්, ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට රැගෙන ඒමය. බැලූ බැල්මට යමෙකුට පෙනෙනු ඇත්තේ මේ ඉල්ලීමේ සැබෑ අරමුණු පොහොට්ටු පක්ෂය තුළ බැසිල් රාජපක්ෂගේ බලයට අභියෝග කිරීම බවයි. නමුත්, එසේවීමට නම් ජනාධිපති ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ අතර පරස්පර බල අභිලාෂයන් පැවතිය යුතුය. දැනට නිරීක්ෂණය කළ හැකි පරිදි කිසියම් පරස්පර බල අභිලාෂයන් පැවතිය හැක්කේ නම්, ඒ ගෝඨාභය සහ මහින්ද අතර මිස ගෝඨාභය සහ බැසිල් අතර නොවේ. එසේ නම්, පොහොට්ටු පක්ෂයේ නායකත්වය ජනාධිපතිවරයාට පැවරිය යුතු යැයි සිංහල බෞද්ධ ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණීන් හඬ නගන්නේ ඇයි? අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සමීපතම ආගමික නායකයින් පවා එම ඉල්ලීම ඉහළට ඔසොවන්නේ ඇයි?

මගේ අදහස නම්, සැබැවින්ම මෙම ජනවාර්ගික ජාතිකවාදී බුද්ධිමය ශ්‍රේණිය පසුගිය ජනාධිපතිවරණයේ සිට මුහුණ දුන් කිසියම් භෞතික අභියෝගයක් සමග ඔවුනගේ වත්මන් ඉල්ලීම බැඳී තිබෙන බවයි. එනම්, ගෝඨාභය ජනාධිපතිවරයා වටා සංවිධානය වූ නව තාක්ෂණ-කළමනාකරණ (සහ මිලිටරිමය) බුද්ධිමය ශ්‍රේණියක් දැන් දේශපාලන විධායකයට වඩා සමීපව කටයුතු කිරීමය. මේ නව තත්ත්වය තුළ තමන් මෙරට දේශපාලන විධායකය සමග ගොඩ නගාගෙන සිටි සාම්ප‍්‍රදායික සම්බන්ධය දැන් දුරස්ව ගොස් තිබේ යැයි කල්පනා කරන ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදී බුද්ධිමය ස්ථරය දැන් විමල් වීරවංශ තම දේශපාලන ඒජන්තයා බවට පත් කොටගෙන ඇත. නමුත්, ඔවුන්ගේ ඉල්ලීම වන්නේ අන් කිසිවක් නොව ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයේ නායකත්වයට රැගෙන ඒමය. ඒ මන්දැයි වටහා ගැනීම අසීරු නොවේ. විධායකය වෙත ඔවුනට කළ හැකි බලපෑම වර්ධනය කර ගන්නට නම් විධායක බලැති ජනාධිපතිවරයා ඔවුනට වැඩි දෘෂ්ටිවාදීමය බලපෑමක් කළ හැකි කලාපයකට රැුගෙන ආ යුතුය.

විමල් වීරවංශ යනු මෙකී මෙහෙයුම සඳහා භාවිත කළ හැකි අගනාම දේශපාලන ඒජන්තවරයා ලෙස පෙනී යාම පුදුමයක් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here