ටිරන් කුමාර බංගගමආරච්චි

විද්‍යුත් මාධ්‍ය සමාජ ආධිපත්‍යය සියතට ගැනීමත් සමග මෙරට දේශපාලනය එහා මෙහා වියයුත්තේ කෙසේද යන්න තීරණය කරනුයේ ඔවුන්ය. දේශපාලනය, දේශපාලකයා මෙන්ම ජනතාව ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්නත් තීන්දු කරනුයේ එම පිරිසමය. දැන හෝ නොදැන රටේ සියල්ල සිද්ධ වන්නේ මාධ්‍ය වුවමනාවටය. නැගිටින වේලාවට බණ ඇසීම සේ ම නින්දට යන වේලාවට බණ ඇසීම දක්වා බෞද්ධ පුනරුදයක් ඇති කළේ මාධ්‍ය විසිනි. බුදුහාමුදුරුවන්ගේ කාලයෙත් නොතිබුණු පන්නයේ භික්ෂු වටිනාකම් මතු කළේ මාධ්‍යමය. දේශපාලකයන් කොතරම් හොරු වුවත් ඔවුන්ව සුද්ධ කරන්නේ මේ මාධ්‍ය කලාවමය. දේශපාලකයා දේශපාලන පක්ෂ හොඳ මෙන්ම නරකද යන්න තීන්දු කරන්නේ මේ මාධ්‍ය ආධිපත්‍යමය. එවන් වටපිටාවක ඔවුන් දෙන දේ අනුභව කොට සිටින්නට ජනතාවට සිදුව ඇත. ජනතාව පවා ඒවා වලඳා ගුණ දොස් වදාරණ තැනට සියල්ල රියැලිටි කරණය කර ඇත. මේ ඇත්තේ මාධ්‍ය ග්‍රහණයට ගත් සමාජ ක්‍රමයකි.


ජනාධිපතිවරණය


ජනාධිපතිවරණයේදී ගෝඨා දිනූයෙත් සජිත් පරදිනුයේත් මාධ්‍ය මෙහෙයුම්වල සාර්ථක අසාර්ථකතාව මතය. මින් ඉදිරියට කවුරු වුව දේශපාලනය කරන්නේ නම් ඔවුහු මාධ්‍ය ජාලයේ සිරවූ කුඩා කෘමියෙක් විය යුතුය.
ජනාධිපතිවරණයේදී මාධ්‍ය බෝනස් වාසිය තම තමන් තෝරා ගන්නා අපේක්ෂකයාට ලබා දේ. එයට මිලක් තිබුණද ඊට සමාන දෙගුණයක දායකත්වයක් මාධ්‍ය ලබා දේ. එහෙත් ඉදිරි මහ මැතිවරණයේදී තත්ත්වය වෙනස්ය. දැන් තම අපේක්ෂකයා ජයගෙන හෝ පරාජය වී ආණ්ඩුව. විපක්ෂය පත්වී අවසන් බැවින් ඒ අයගේ ගෝල බාලයන්ගේ ප්‍රචාරණයන්ට මේ මාධ්‍ය සහන දෙන්නේ නැත. එයට උපරිම ගෙවිය යුතුය. එබැවින් මහ මැතිවරණය යනු මාධ්‍ය නැවත යහමින් උපයන දේශපාලන සහය නැවතත් උලුප්පාලන දෙවන මෙහෙයුමය. එතෙක් සමාජය කුමක් කළ යුතුද යන්න මාධ්‍ය අඩු වැඩි ඇතිව සපයනු ලැබේ. රටේ සිදුවන ඕනෑම ප්‍රශ්නයක් සතියක්, මාසයක්, දෙකක් ජනතාවට කාවද්දනවාද නැද්ද යන්න තීරණය කරනුයේ ඒ අනුවය.


මෑත උදාහරණ


නව ආණ්ඩුව පත්වූ විගස වැඬේ පටන් ගත්තේ චම්පිකගෙනි. චම්පික රණවක වසර ගණනකට පෙර කළ රිය අනතුරක් අලුත්ම කතාව ලෙස ගොඩ නැගුවේය. එය මාධ්‍ය අපූරු ලෙසම නැවුම්ව නිර්මාණය කළේය. චම්පික බන්ධනාගාර ගතවන තැන දක්වාත් එළියට ඒම දක්වාත් ඒ අයත් මාධ්‍ය මෙහෙයුමක් දියත් කළේය. දෙපැත්තටම රිසි සේ තම තමන් ගොඩ නැගිය හැකිය. සාර්ථකත්වය තීරණය වන්නේ උපරිම මාධ්‍ය මෙහෙයුමට අනුවය. යහපාලන ආණ්ඩුව තාජුඩීන්ගේ මරණය උල්ලුපාලූයේ මේ ආකාරයටය.


රාජිතගේ රඟපෑම


ඉන්පසු නව ආණ්ඩුවේ දෙවැනි මෙහෙයුම වන්නේ රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගැනීමය. එය රාජිත වෙනම රියැලිටි ෂෝ එකක් බවට පත් කළේය. කලකදී දේශපාලන වීරයෙක් තවත් කලෙක බියගුල්ලෙක් බවට රූපාන්තරණය වීම බලය යන කාරණයට කොතෙක් දුරට කළ හැකිදැයි රාජිත ඔප්පු කළේය. එහි සාර්ථක අසාර්ථකත්වයද නිරූපණය වන්නේ මාධ්‍ය හරහාමය. මෙතැනදී රාජිත චම්පික මෙන් මතු නොවී කුජීත වන අයුරු දක්නට ලැබුණි. රාජිතගේ නාඩගමත් කෙටි වටයකින් අවසන් විය. ඉන්පසු කරළියට ආවේ බැඳුම්කර වංචාව ගැන කළ වෝහාරික වාර්තාවය. මෙයත් මාධ්‍ය අපූරුවට ටෙලි සිත්තමක් කළේය. ජනතාව දැන සිටියේ බැඳුම්කර කතාව කී සැණින් රනිල්ගේ ගුණ අගුණ වයන ජාතකයක් ලෙසය. එහෙත් මෙවර එය සෑහෙන්න වෙනස් වී රනිල් කාලයේ පමණක් නොව එය ඊට පෙර කල සිට පැවත එන්නක් බව ඔප්පු විය. ඒ අනුව බැඳුම්කර වංචාව වෙනුවෙන් දෙපැත්තටම එක සමාන මාධ්‍ය ප්‍රචාර කළ හැකි තත්ත්වයක් උද්ගත විය. ආණ්ඩුවට ළැදි මාධ්‍යවලට රනිල්ට පතබෑමත් විපක්ෂයට ළැදි මාධ්‍යවලට මහින්දට තඩි බෑමත් කළ හැකි විය. එදා අර්ජුන මහේන්ද්‍රන් කළ චරිතය අද කබ්රාල්ට භාරදී ඇත. බැඳුම්කර වංචාවට තමා සම්බන්ධ නැතැයි කියන්නට ඔහු මේ දිනවල අපා දුක් විඳියි.


තැටි

මේ අතර වඩා ජනප්‍රියතම කතාව බවට මෑත කාලයේ පත්වූයේ රන්ජන් රාමනායකගේ හඬ පටය. ඒවායෙහිද විපක්ෂයට ගැසිය හැකි උපරිම මඩ තොගය රන්ජන්ගේ තැටි හරහා ආණ්ඩුවට ළැදි මාධ්‍ය පාවිච්චි කළේය. අවසානයේ යහපාලනය කාලයේ කළ පරීක්ෂණ බොහොමයක් වැඩකට නැති ඒවා බව ඔප්පු කරන්නට හඬ පට ප්‍රයෝජනයට ගන්නා අයුරු පෙනෙන්නට තිබුණි. මේ සියල්ල මාධ්‍ය සංදර්ශනය. රන්ජන් මේ හේතුවෙන් බන්ධනාගාර ගතවූ අතර එහි සිට ඔහු තමාගේ තව හඬ පට ඇතැයි ඒවාද ප්‍රචාරය කරන ලෙස කළ ඉල්ලීමත් සමග රන්ජන් යනු අසූචි වළක් බව මේ අයට ඒත්තු වී කර බා ගත්තේය. දැන් රන්ජන්ගේ හඬ පට ද ජනතා මතකයෙන් මැකී යන්නට පටන් ගෙනය. ඔහු මහින්දගේ, නාමල්ගේ හඬ පට ඇතැයි කෑමොර දෙන අයුරු දක්නට ලැබේ. එහෙත් මේවායේ වලංගුතාව මාධ්‍ය විසින් අවලංගු කොට ඇත. රන්ජන් ජනප්‍රිය නළුවෙකි. දේශපාලකයකු වුවද ඔහු සමග ගනුදෙනු කරන්නට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව, වෘත්තීය භේදයකින් තොරව, ඔහු සමග කතා කරන්නට මිනිස්සු කැමතිය. ඒ ඔහුගේ නළුකමට මිසක් දේශපාලන හයියට නොවේ. එහෙත් ඒ තත්ත්වය ඔහු තේරුම් ගත්තේ වැරදියටය. ඔහු කළේ සිල්ලර වැඩකි. අවසානයේ ඔහුගේ පටිද රෝල් විය. මෙතැන් සිට ඔහුගේ හොරු ඇල්ලීම ඉවරය. ඉදිරියේදී ඔහුට සිටින්නට වන්නේද හොරා මෙන්ය.


යකඩ ගැහැනිය


මෙවැනි කතා නැත්නම් කතා මවන්නට වුව මාධ්‍ය රුසියෝය. දැන් අලුත්ම කතාව වූයේ යකඩ ගැහැනියය. ඒ අමුතු පන්නයේ ගැහැනියකි. ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක. පසුගිය ටිකේ වීරවරිය ඇයය. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සමග ඇතිවූ සංවාදයක් ඇය යකඩ ගැහැනියක් බවට පත් කළාය. ඇය කළ අමුතු මැජික් එකක් නැතත්, මාධ්‍ය එය මැජික් එකක් කළේය. දේවල් නැති තැන්වල පුංචි දේත් මහ ඉහළය. දේවානිට වූයේත් අහක යන ලොතරැයියක් ඇදීමය. හරියට විවාහක ලෝක රූ රැජින පහළ වූවා සේ ය. දැන් ඇය ගැන වගක් නැත. දේවානිද දැන් මාධ්‍යයට හසුවී හමාරය. ඇය යකඩ ගැහැනිය කළේ මාධ්‍ය විසින්මය. ඇය දැන් අකමැති වුවත් ඇයට අඩියක් පස්සට ගත නොහැකි වී ඇත. මාධ්‍යවල ගොදුරක් වූ පසු තත්ත්වය එබඳුය. නළු කැළ අබිබවා නියම නළු නිළියන් බවට පත්වන්නේ සාමාන්‍ය සමාජයේ අයය. දේවානි වෙනුවෙන් ගෝඨා සහ ආණ්ඩුව පෙනී සිටිනවා යැයි කියන විටම අසරණ වන්නේ නිශාන්තය. සනත් නිශාන්තලා වැඩ කරන්නේ ආණ්ඩුවේ සහ ආණ්ඩු ප්‍රධානීන්ගේ අණටය. එසේ නම් නිශාන්ත වෙනුවට දේවානි තෝරා ගැනීම ආණ්ඩුව කරන මවාපෑමකි.


හමුදාපති


දේවානිගේ චරිතය වැඩි මතු නොවන තැනට අලුත්ම කතාවක් ලැබී ඇත. ඒ හමුදාපතිට ලැබී ඇති ඇමරිකානු තහනමය. දැන් එය ගිනි අවුලන කතාවක් වී ඇත. පක්ෂ විපක්ෂ දෙකම මාධ්‍ය හරහා හමුදාපති වෙනුවෙන් වඩා හොඳට පෙනී සිටින්නේ තමන් බව ඔප්පු කරන්නට වෙහෙසෙති. මීට පෙර ෆොන්සේකාටද ඇමරිකානු තහනමක් එල්ල විය. අදටත් එම තහනම වලංගුය. එහෙත් එදා මෙතරම් මාධ්‍ය ආවරණයක් නොවීය. එහෙත් මෙවර තත්ත්වය දරුණුය. සිංහල බෞද්ධ ප්‍රජාව කුළුගැන්වී ඇත. හාමුදුරුවරු කිපී මාධ්‍ය සාකච්ඡා පවත්වති. ආණ්ඩුව ඇමරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කරන්නට පටන් ගෙනය. ඒ හැමදේම වනුයේ හමුදාපතිට සහ ඔහුගේ ඥාතීන්ට ඇමරිකාවට ඒම තහනම් කළ නිසාය. කෙනෙක් කතා කළහොත් බනිනුයේ ඇමරිකාවටය. එහෙත් පොඞ්ඩ ඇත්නම් ලගින්න යන්නෙත් ඇමරිකාවටය. මේ නම් පුදුම ඇමරිකා පිස්සුවකි. ජනපති ඇමරිකන් පුරවැසිකම ඉවත් කර ගත්තාද නැද්ද? යන්න අදටත් ප්‍රශ්නයකි. එහෙත් ඒ ගැන ප්‍රශ්න කළ අයත් අද නිහඬය. පුරවැසිභාවය ඉවත් කළ ලැයිස්තු ප්‍රසිද්ධ කරමින් ගෝඨාගේ නම නැතැයි උඩ පැන්න අය නවතම ලැයිස්තු කවදා එන්නේද? එහි ගෝඨා සිටීද නැද්ද යන්න විහිළුවටවත් සොයා බලන්නේ නැත. බැසිල් ඇමරිකානු පුරවැසියෙකි. රාජපක්ෂලාගේ ඇමරිකානු බැඳීම ඇත්තේ එහි පොළොව සමගය. එහෙත් රාජපක්ෂ මාධ්‍ය රැළ ඒ හැමට වඩා රනිල් ඇමරිකන්කාරයකු කර ඇත. අද ඇමරිකානු විරෝධීන් බවට රාජපක්ෂලා පත්ව ඇති අතර ඇමරිකානු ආලය රනිල්ට පටවා ඇත. මේ මාධ්‍ය මෙහෙයුම් සුළු පටුද? හමුදාපතිට එන්න නොදෙන්නේ නම් හොඳම දේ නොගිහින් සිටීමය. හමුදාපතිටත් මේ තරමට ඇමරිකා යන්න වුවමනාව ඇයි? ඇමරිකාවට පුද්ගලයකු ගන්නවාද නැද්ද යන්න සිතීම ඒ අයගේ වැඩකි. එය මෙරට සිට ජාතික ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? එයින්ම ගම්‍ය වන්නේ මේ දවස් දුවා ගන්න මේ කතාව සංවර්ධනය කළ යුතු බවය. දැන් මේ කාලය පුරාම මතුව යටගිය මේ කතා දෙස බලන කල මේවා ගොම රිටි ගාණය. එහෙත් ඒ ඒ කාලයට මැණික් මෙන් ඔප මට්ටම් කළ දෑය. යහපාලන කාලයෙත් මෙවැනි කතා ඕනෑතරම් සංදර්ශනය විය. එහෙත් අද වන විට ඒවා දැන්වීම් ගාණය.


කාදිනල්වරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා නැවත පාස්කු ප්‍රහාරය අලුත් කළේය. දැන් අප්‍රේල් ඡන්දය පවත්වන්නේ නම් ඒවාට අවැසි ආයුධ ලෙස මේවා නැවත සුද්ධ කරන බව මේ අනුව පෙනේ. සැබැවින්ම පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා දැන් පොහොට්ටු සංවිධානයේ සභාපතිය. එහෙව් කලෙක කාදිනල්තුමා සිරිසේනගේ කොමිසමට සුබ පැතීම පාස්කුවේම අඳුරු පැත්තකි.


ජනපති කාර්යාලවලට කඩා පැනීමද පසුගිය කාලයේ දක්නට ලැබුණි. මේ හැම සංදර්ශනයක්ම මාධ්‍ය උගුල්ය. ජනපති මොනතරම් හොරාට කඩා පැන්නද ඒ කඩා පනිනුයේ මාධ්‍ය නඩයක්ද පෙරටු කොටගෙනය. මේ මාධ්‍ය කඩා පැනීම හොරාට යන ගමනක් වන්නේ කෙසේද?


ඇත්තටම මේ සියල්ල දෙස විමසිලිමත්ව බැලුවහොත් මේ සියලු ප්‍රශ්න ඒ ඒ අයගේම ප්‍රශ්නය. එනම් ආණ්ඩුවේ සහ විපක්ෂයේ අයගේ ප්‍රශ්නය. ඒවා මාධ්‍ය හරහා පොදු ජනතාවගේ දැවෙන ප්‍රශ්න බවට පත් කර ඇත. ඒ මොහොතේ ඒවා අපේ ප්‍රශ්න බවට සෙසු මාධ්‍ය මහා වියතුන් ලවා බරසාර ලෙස ලෙහති. රන්ජන්ගේ හඬ පට හරහා සමාජ ඛේදවාචකය උගත්තු හෙළි කළෝය. රන්ජන් සමාජ වීරයෙක් බවට ඒ අය පත් කළෝය. දේවානි යකඩ ගැහැනියක් විහාර මහා දේවියක් කළාය. හමුදාපති ලොව හොඳම හමුදාපති වී ඇත. යුද්ධයම ඉවර කර ඇත්තේ අද ඔහුය.


මේ කතා පිළුණු වූ සැනින් පෙනෙනුයේ ද මේවා ඉක්මනින්ම පිළුණු වන්නේද මේ කිසිවක් ජනතා ප්‍රශ්න නොවන නිසාය. ඒ බව වටහා ගන්නට කලින් මාධ්‍ය තව එකක් නිර්මාණය කරති. ප්‍රශ්නවලින් තොරව රටකට පැවැත්මක් වේද? එහෙත් මේ ප්‍රශ්න ජනතා ප්‍රශ්නද? ජනතා ප්‍රශ්න සියල්ල මේ නිසා වැසී ගොස් ඇත. ජනපති සහ බන්දුල ගුණවර්ධන අධ්‍යාපනය ගැන මහා ඉහළින් කතා කරන විට දෙමාපියෝ තම දරුවා පාසලට ගන්නැයි කියමින් පාරේ බුදියති. රටේ ප්‍රශ්න එකින් එක ලියා පළක් නැත. ඒවා මහා මාධ්‍ය ජාලවලට ප්‍රශ්න නොවෙති. දෙරණ, හිරු ප්‍රවෘත්ති යනු තනිකරම දේශපාලකයන්ගේ ඕපාදූපය. ඒ අයට එහා දෙයක් ඒ ප්‍රවෘත්තිවල නැත. සිරස තවමත් තව ප්‍රවෘත්ති තුළ ජන ජීවිතය ස්පර්ශ කරමින් සිටී. එහෙත් දෙරණ, හිරු අද සිරසට වඩා ප්‍රබලය. ඒ අද ඇත්තේ ඔවුන්ගේ ආණ්ඩුව බැවිනි. දෙරණ, හිරු රාජපක්ෂලාට කඬේ යන බව කුඩා ළමයෙක් වුව දන්නා කරුණකි. සිරස එහි අනෙක් පැත්ත බව කවුරුත් දනිති. එහෙත් මාධ්‍ය ප්‍රබලයා දේශපාලන ප්‍රබලයා නිර්මාණය කරන තැනට පත්වී ඇත. පුවත්පත් වුව පක්ෂග්‍රාහී වී ඇතත්, ඒ අය නිකන් මැති ඇමතිවරු ගාණය. ප්‍රධාන නායකයන් නොවේ. ජනතාවට ඇත්තේ මාධ්‍ය පෙන්වන දේ අනුව පෙන්වන සාර්ථකත්වය මත ඇත්ත නැත්ත තේරුම් ගැනීමටය. එයට වෙහෙසීමට වුව ජනතාව කම්මැලිය. එනිසා තමා බලන මාධ්‍ය සත්‍ය මාධ්‍ය ලෙස පිළිගන්නට ඔවුහු පුරුදු වී ඇත. ඒ අනුව වැඩිපුර බලන වැඩිපුර කියවන දේ සත්‍ය ලෙස පිළිගැනීමට ජනතාව පුරුදු වී ඇත. එය වෙනස් වන්නට නොදී කතා නිර්මාණය කිරීම ඒවා හොඳ පිටපත් ලෙස ඉදිරිපත් කිරීම මාධ්‍ය හපන්කම්ය. ඒ හපන්කම්වලට ජනතාව මුලා වී ඇත. මුලා වී සිටීමද එක්තරා විදිහකට පවතින්නට පහසුවකි. මේ වන්නේ එයය.