දිනී ජයසේකර

ගෝලීය වසංගතයක් වන කොරෝනා වෛරසය (කොවිඞ් 19) පැතිරයාම හේතුවෙන් අපේ‍්‍රල් පාසල් නිවාඩුව මාර්තු 12 වනදා සිට ආරම්භ විය. මාර්තු 12 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ අපේ‍්‍රල් 20 වන දින නැවත පාසල් ආරම්භ කරන බවය. එසේ කීපවතාවක්ම පාසල් ආරම්භ කරන දවස් දැනුම් දුන්නද රටේ පැවති තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරීමට නොහැකි විය. පසුව නැවත වතාවක් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග පාසල් ආරම්භ කරන්නේ කවදාද යන්න සමාජ කතාබහක් ඇති වූවා අපට මතකය. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පැවසුවේ අධියර හතරකින් පාසල් ආරම්භ කරන බවය. පළමුව උසස්පෙළ දරුවන්ට දෙවනුව සාමාන්‍ය පෙළ දරුවන්ටත්, තෙවනුව ශිෂ්‍යත්ව දරුවන්ටත්, හතරවනුව අනෙකුත් ශ්‍රේණි දරුවන් සඳහාත් යන්නය. වර්තමාන තත්ත්වය අනුව ජූනි 29 වැනිදා පාසල් ගුරුවරුන්ට පාසල් පැමිණෙන ලෙස රජය නිවේදනයක් නිකුත් කරමින් දැන්වූවේය. එහිදී පාසල් කටයුතු සම්බන්ධව සහ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධව තහවුරු කරන ලෙස ඔවුන්ව දැනුවත් කර තිබුණි.


ප‍්‍රායෝගික ගැටලූ
ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ පාසල් ආරම්භ කිරීමට ප‍්‍රථම මුහුණ දිය යුතු ප‍්‍රායෝගික ගැටලූ කිහිපයක් පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයට තිබෙන බව කිව යුතුය. එනම් පළමුව දරුවන්වගේ සෞඛ්‍යාරක්ෂාව ද දෙවනුව ඔවුන්ට මගහැරුණු විෂය මාලාවන් නැවත උගන්වන්නේ කෙසේද යන්නය.
”මගහැරුණු විෂයන් නැවත උගන්වන්නේ කෙසේද යන්න ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් රජයෙන් අපට යෝජනා කරල නැහැ. අනිත් කාරණාව සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව කතා කිරීමේදී පාසලේ දරුවන්ගේ සංඛ්‍යාව අනුව පාසල් ගිණුම්වලට මුදල් දාල තියෙන්නේ. නමුත් විදුහල්පතිවරු සහ ගුරුවරු පවසන පරිදි ඒ මුදල් ප‍්‍රමාණවත් මදි. හැම පන්ති කාමරයකම සෙනිටයිසර් තියන්න ඕන වෙනවා. මාස්ක් ගන්න ඕනේ. සබන්, හෑන්ඞ් වොෂ් අවශ්‍ය වෙනවා. වතුර ටැප් කරල නැති පාසල්වල අමුතුවෙන් වතුර ටැප් කළ යුතුයි. වැසිකිළි පහසුකම් සැකසිය යුතුයි. ගිලන් ඇඳවල් හදන්න කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ළමයි දෙසීයක් ඉන්න පාසලකට ගිලන් ඇඳවල් අඩුම දෙකක්වත් උවමනා වෙනවා. ඉතින් මෙවැනි වටපිටාවකදී ලැබෙන මුදල සම්බන්ධව අපිට ගැටලූවක් තිබෙනවා.” ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං පැවසීය.


විශේෂයෙන්ම රට තුළ තිබෙන ආර්ථික රටාවන් සමපාත ආර්ථික රටාවක් නොවන නිසා ග‍්‍රාමීය, ප‍්‍රාදේශීය සහ නාගරික වශයෙන් ගත් විට ප‍්‍රාදේශීය සහ නාගරික වශයෙන් තිබෙන පාසල්, දෙමාපියන්ට දැරිය හැකි ආර්ථික රටාවක් තුළ ගොඩ නැගුණද ග‍්‍රාමීය පාසල් දරුවන්ගේ දෙමාපියන් සඳහා එවැනි ශක්තිමත් ආර්ථිකයක් නොමැත. ඔවුන් ජීවත් වන්නේ තමන්ගේ පවුලට තියා තමන්ටවත් යැපෙන්නට නොහැකි ආර්ථිකයකය. එවැනි තත්ත්වයන් හමුවේ සෑම පාසලක්ම සෞඛ්‍යාරක්ෂිතයි යන්න පැවසිය හැකිද? ඒ සම්බන්ධව ශ‍්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති පරාක‍්‍රම වීරසිංහගේ අදහස මෙසේය.
”උෂ්ණත්වමාන අවශ්‍ය නැහැ කියලා රජයෙන් කීවනේ. ඒක පැත්තකින් තිබ්බාම සෑම පන්ති කාමරයකම සෙනිටයිසර් භාවිත කරන්න කියලා තියෙනවා. පාසලක ඒවගේ වැඩකට සාමාන්‍යයෙන් රුපියල් හතළිස්දාහක පමණ මුදලක් වැය වෙනවා. ඒ මුදල් අපිට දෙන්නෙ නැහැ. ඇත්ත වශයෙන්ම දීපු මුදල් අපිට මාසෙකටවත් මදි. මොකද මූලික ද්‍රව්‍යය වන මාස්ක්, සබන්, අත්සේදීමේ උපකරණ, සෙනිටයිසර් ගන්න මේ සියල්ල ගන්න රජය ලබා දුන් මුදල් මදි. මාසෙකින් මේ වසංගතය ඉවරවෙන්නෙ නැහැ. එහෙමනම් අපිට දිගින් දිගටම මුදල් අවශ්‍ය වෙනවා. දෙමාපියන් මත ඒ බර පටවන්න බැහැ. මොකද බොහොමයකගේ රැුකියා මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා. මේ නිසා ගෙවල්වල ආහාරවලට වෙන් කරන්න වෙලා තියෙන්නෙත් බොහොම පොඩි මුදලක්. අනික දරුවන්ගෙ ආරක්ෂාව වගේම ගුරුවරුන්ගෙ ආරක්ෂාවත් වැදගත් වෙනවා. ඊට රජය විසින් ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන යෙදිය යුතුයි කියලා මම හිතනවා.”


ඔහු පවසන පරිදි දරුවන් මෙන්ම ගුරුවරුන්ගේ ආරක්ෂාවද ඉතා වැදගත්ය. එබැවින් රජය විසින් සැලකිය යුතු මුදලක් පාසල් වෙනුවෙන් වියදම් කළ යුතුව ඇත. මන්ද වසංගත තත්ත්වයකදී එය කෙසේ දරුවන් අතර පැතිර යාමේ අවදානමක් ඇතිද යන්න කල්තියා නිගමනය කළ නොහැකි බැවිනි. එනිසා පෙර සූදානම ඉතා වැදගත් යන්න අප සිතන්නේය. ඡුන්දය නිසා හෝ රටේ ඉදිරිය ගැන සිතා හෝ පාසල් ආරම්භ කිරීම ඉතා වැදගත් කාරණයකි. මන්ද අධ්‍යාපනය මගහැර රටකට ඉදිරියට යා නොහැක යන්න කාගේත් පිළිගැනීම බැවිනි. එබැවින් පාසල් ආරම්භ කළ යුතුය. නමුත් ඒ සඳහා වන ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් පාසල් වෙත දැනුම් දී ඊට ප‍්‍රතිපාදන සැලසිය යුතුය.


”සාමාන්‍යයෙන් ළමයි පනහකට එක ගිලන් ඇඳක් වෙන් කරන්න වෙනවා. එතකොට ඒ සඳහා රුපියල් විසිපන්දහසක පමණ මුදලක් වැය වෙනවා. ළමයි දෙසීයක් ඉන්න පාසලකට මූලිකව ලබාදීල තියෙන්නෙත් රුපියල් තිස්දාහක විතර මුදලක්. එතකොට ඒ මුදල් ප‍්‍රමාණවත් නැහැනේ.” එසේ පැවසුවේ මාතර පාසලක විදුහල්පතිවරයෙකි.
ගමගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ආනන්ද වීරසිංහගේ අදහස මෙසේය ,
”මේ මාසෙට අපට පාසලේ වැඩ සඳහා මුදල් නම් ලැබුණා. ඒ මුදල්වලින් අපට හැකි පරිදි වැඩ ටික කරගත්තා. නමුත් සම්පූර්ණයෙන්ම කරගන්න බැරිවුණා. ඉදිරි මාසවලදී කොහොම ලැබෙයිද නැතිවෙයිද කියලා නම් දන්නෙ නැහැ.”


දේශපාලකයන්ගේ අධ්‍යාපනය
පාසල් ආරම්භ කිරීමේලා වැඩපිළිවෙල සැකසෙමින් තිබෙන මොහොතක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දේශපාලකයන්ගේ අවධානය යොමු වෙනවාද යන්න ගැටලූව ඉස්මතු වී ඇත. මන්ද ඇඳිරි නීති කාල සීමාව තුළ ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමයකට දරුවන් හුරු කිරීමට ඔවුන් උත්සහ ගත්තේය. එවැනි ගෝලීය තාක්ෂණයක් භාවිත කරමින් අධ්‍යාපනයට දරුවන්ව යොමු කිරීම අප වැනි රටකට උචිතද යන්නවත් ඔවුනට හරි හැටි අවබෝධයක් නොවීය. ඒ නිසාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, පාසල් විදුහල්පතිවරු සහ ගුරුවරු මග හැර ටියුෂන් ගුරුවරු ගෙන්වමින් පාසල් අධ්‍යාපනය සකස් විය යුත්තේ කෙසේද යන්න විමසූහ. පසුව උක්ත වරද සඟවා ගැනීමට උපක‍්‍රමයක් ලෙස ඔවුන් පවසන්නේ අප උසස් පෙළ ශිෂ්‍යයන්ගෙන්ද අධ්‍යාපනය සිදුවිය යුත්තේ කෙසේද යන්න විමසනවා යන්නය. මෙවැනි විහිළු කිසිත් නොදන්නා අත දරුවන්ට හොඳය යන්න කිව යුතුය.
”ප‍්‍රධාන ගැටලූව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සාකච්ඡුා කරන්න එන්න කියන්නේ විදුහල්පතිවරුන්ටවත් ගුරුවරුන්ටවත් නෙවේ. ටියුෂන් කරන අයටයි. ඔවුන් කොහොමද පාසලේ ආරක්ෂාව ගැනයි අධ්‍යාපනය ගැනයි තක්සේරුවක් දෙන්නේ. ඒකට විදුහල්පතිවරුන්ව නේද කැඳවල සාකච්ඡුා කරන්න ඕනි. මේ රජය තේරුමක් නැති වැඩ කරනව කියලයි මට හිතෙන්නේ.” එසේ පැවසුවේ ගාල්ලේ පාසලක විදුහල්පතිවරයෙකි.


ප‍්‍රධාන වශයෙන්ම රටේ අනාගතය සම්බන්ධව රජයට ඇත්තේ වගකීමකි. සෞඛ්‍යය උපදෙස් පරිදි දරුවන් ආරක්ෂා වුවද රජය සතු වගකීම්ද ඉටු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන අඩුවක් නොමැතිව පාසල් සඳහා යෙදවීම අවශ්‍යයි යන්න කියනු කැමතිය.