විමලනාත් වීරරත්න

පාස්කු දා ප‍්‍රහාරය පිළිබඳව කොමිෂන් වාර්තාව ගැන තීරණ ගැනීමට සාපෙළ අසමතුන්ට ඉඩදිය නොහැකි බව අගරදගුරු කියා තිබුණි. මෙම සිදුවීම මගින් ලංකාවේ අනාගතය ගැන චිත‍්‍රයක් ඇඳගත හැකිය. සැබැවින්ම ලංකාවේ අනාගතය ගැන චිත‍්‍රයක් ඇඳ ගැනීමට මෙම සිදුවීම නොව, ලංකාවේ ජනතාව තම පාලකයන් තෝරා පත්කර ගන්නා විදියෙන්ම කළ හැකිය. ජනපති පත්කර ගැනීමම ඊට උදාහරණයකි. පරාජයට පත්වූ සෙසු නායකයන් අතරින් අයෙක් පත්වූවත් වත්මන් ජනපතිට වඩා බොහෝ වෙනස් වේ යැයි සිතිය නොහැකිය. ඒ අතින් බලන විට ලංකාව අද වනවිට ශුෂ්ක රාජ්‍යයක් බවට පත්ව ඇතැයි කිව හැකිය. මෙහි කවර විෂයයකට විශේෂඥයන් සිටියත් දේශපාලනයට පමණක් විශේෂඥයෝ නොවෙති. ඊට තවදුරටත් සම්බන්ධ වන්නේද අඳබාල පුද්ගලයෝය. නැතහොත් කෛරාටිකයෝය. ඔවුන් දෙපිරිස අතර ගසා කන්නන්ගේ ප‍්‍රතිශතය ඉහළ වන නිසා රටට කිසිවකුගේ හෝ පිළිසරණයක් නැත.

පාස්කු කොමිසම
පාස්කු කොමිසමේ වාර්තාව පෙබරවාරි 23 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරිණි. නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන මගින් එතෙක් මෙතෙක් කරන ලද ඉහළම වරද එය බව කොමිසමේ වාර්තාවේ දැක්විණි. සිදුවීම වන අවස්ථාවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිටියේ විදෙස් ගතවය. ඔහු තමන් වගකීම දරන ආරක්ෂක විෂය පථය ආවරණය කිරීමට කෙනකු පත්කර නොතිබිණ. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ක‍්‍රියාකිරීමක් බව කොමිසමේ වාර්තාව කියයි. එබැවින් හිටපු ජනපතිට එරෙහි අපරාධ නඩුවක් පැවරීම එමගින් නිර්දේශිතය. හිටපු අගමැති වික‍්‍රමසිංහ ඉස්ලාම් අන්තවාදය කෙරෙහි ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමත්, මෙම සිදුවීමට පදනම දැමූ බව කොමිසමේ වාර්තාවේ සඳහන්ය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය අපරාධ වරදක් කර ඇතැයි වාර්තාවේ දැක්වේ. බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මෙන්ම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විනය පරීක්ෂණවලට ලක් කළ යුතුව ඇතැයි ද එහි දැක්වේ.

කාදිනල්වරයා වත්මන් ජනපති ගෝඨාභයගෙන් පාස්කු සිද්ධියේ වැරදිකරුවන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලනවිටම එය සපුරා සිදු නොවන බව දැනගත යුතුව තිබුණි. ආරක්ෂක ලේකම් ප‍්‍රමුඛ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මෙහි වරදකරුවන් ලෙස සිරගත විය හැකිය. එහෙත් කිසිම දේශපාලනඥයකුට අබැටක තරම් හානියක් සිදු නොවන බව කැට තබා කිව හැකිය. එවකට ජනාධිපති ආරක්ෂක ඇමති වුවත් ‘මං මොකටද වග කියන්නේ’ යන ඔහුගේ ප‍්‍රකාශය මෙහිදී යථාර්ථයක් වනු ඇත. රට නිදහසින් පසු මේ සා අභාවයට ගියේ දේශපාලඥයන්ගේ හා ඔවුන් ගත් තීන්දු තීරණවල වරදිනි. ලේ හැලූණේ සහ රට බංකොළොත් වූයේ ඔවුන් ගත් ක‍්‍රියාමාර්ගවල අඳබාල බව හේතුවෙනි. එහෙත් ඒ කිසිවකට දේශපාලන නායකයෝ වගකීම නොදරති. සංකල්පීය වශයෙන් ඔවුන් වගකිවයුතු යැයි කවුරුත් කියති. එහෙත් තාක්ෂණිකව ඔවුන් වරදකරුවන් කළ හැකි තත්ත්වයක් මෙරට නැත. පාකිස්තානයේදී හිටපු අගමැති නවාස් ෂෙරීෆ් දූෂණ චෝදනා ඔප්පුවීමෙන් සිරගත වූවාට ලංකාවේ කිසිදාක එවැන්නක් සිදු නොවනු ඇත. ඒ අතින් බලන විට පාකිස්තානයේ නීතිය බලවත් වන අවස්ථා එකක් දෙකක් හෝ තිබේ. ලංකාවේ නීතිය බලවත් වන්නේ මහා පරිමාණ සොරුන්ට නොව කෙසෙල් කැන් සොරුන්ටය. ඒ අනුව පොජපෙ බලයට පත්වීමට පෙර කවර අභිවාදනයක නියැලූණත් මහ බැංකු හොරුන්ටද අත්වන ඉරණම අතිශයින්ම සුබදායකය.

ගෝඨාභය මහතා චූදිතයකු ලෙස අත්අඩංගුවට පත්විය හැකිව තිබුණු අවස්ථාවක් මගහරවාලීමට ජනාධිපති ධුරය ඉසිලූ සමයේ මෛත‍්‍රීපාල මහතා සැලසුම්සහගතව ක‍්‍රියා කළේය. සංඝයා වහන්සේලා පිරිසක් මෛත‍්‍රීපාල මහතාට ඒ වෙනුවෙන් කරුණු කීහ. කරුණු නොකීවත් මෛත‍්‍රී, ගෝඨාභයට අරියාදුවක් කරන්නේ නැත. පාස්කු නොව කවරකට වරදකරුවකු බව පෙනී ගියත්, ගෝඨාභය මහතාත් මෛත‍්‍රී වෙනුවෙන් මෛත‍්‍රීය දක්වනු නිසැකය. රනිල් වික‍්‍රමසිංහට වුව එළැඹෙන වසර පහ හෝ දහය තුළ විනෝදයෙන් සිටීමට නියත වරම් ලැබී ඇත. මහින්ද රාජපක්ෂ පරාජය වූ අවස්ථාවේදී කතා කළේ රනිල්ටය. එහිදී මහින්දට ගමේ යාමට හෙලිකොප්ටරයක් දීම මානුෂිකය. නායකයන්ගේ මේ මානුෂිකත්වය රට හා ජනයා වෙනුවෙන් නොපිබිදේ. ලංකාවේ ජනයාට නොතේරෙන සත්‍ය නම් පාලක පන්තියේ ව්‍යාජ දේශපාලන බෙදීම තුළ තිබෙන මෙම එකඟතාව කෙතරම් ඝනකමද යන්නය. මේ තක්කඩි ක‍්‍රමය පවත්වාගෙන යාමට එම එකඟතාව අත්‍යවශ්‍යය. කාදිනල්වරයාට මෙම සත්‍යය දැකීමට ලංකාවේ දේශපාලනය ගැන කතා කරන සංඝයා වහන්සේලාටත් වඩා දැනුම ඇත. එහෙත් ඔහුත් නිරත වන්නේ එක්තරා දේශපාලනයකය. එවැනි හාමුදුරුවරුත් රටෙහි සිටින බැවින් බාහිරව සිට බැඳීම් රහිතව බලන අයකුට මෙම කාරණය තේරුම් ගැනීම අපහසු නැත. කවර සංස්ථාවක නායකයකුට වුව තම අනුගාමික පිිරිස් උණුසුම් හැඟීම්වලින් පරිපූර්ණව රඳවා ගැනීම අත්‍යවශ්‍යය.

මෑත අවදියේ දිනෙක කටුවාපිටියේ පාස්කු වින්දිතයන්ගේ සුව නොවූ තුවාල ගැන ලිවීමට රාවයේ මාධ්‍යවේදියකු එහි ගියේය. පෙර අවස්ථා කිහිපයකදීම තම දුක්ගැනවිලි කී අය පවා අවසන් වතාවට ගිය අවස්ථාවේදී කියා තිබුණේ කාදිනල් හිමි සාධාරණයක් ඉටු කරන බව කී හෙයින් මාධ්‍යයට තොරතුරු කිව නොහැකි බවය. මාධ්‍යයට තොරතුරු නොකියන ලෙස ආගමික සංස්ථාවේ ඉහළින් ඉල්ලීමක් සිදුව ඇති බව පසුව අපට ආරංචි විය. වින්දිතයන් අවංක නම් ඉහළින් හෝ පහළින් එන ඉල්ලීම් හෝ බලපෑම් අදාළ නොවිය යුතුය. ඔවුන් කළ යුත්තේ ප‍්‍රශ්නය විවෘතව සාකච්ඡුා කිරීමය. ඇතැම් පාස්කු වින්දිතයන් ලැබුණු වන්දි මුදල්වලින් ජීවිත පැවතියාට වඩා වෙනස් කරගෙන තිබෙන බව දැනගන්නට තිබේ. එහි වරදක් ඇතැයි අප නොකියමු. බුදු දහම අනුව බැලූවත් ඇතැම් දේවල් කර්මානුරූපවම සිදුවන බව කිව හැකිය. අප කෙතරම් අකමැති වුවත් ඇතැම් අවස්ථාවල කර්මවාදය පිළිගැනීමට සිදුවෙයි. එහෙත් කාදිනල් හිමිගේ විරෝධය එල්ල වන්නේ උගතුන් කණ්ඩායමක් විසින් කරුණු විමසා බලා සකස් කළ වාර්තාවක් ගැන යළි ගසා කන්නන්ගෙන් සමන්විත සංස්ථාවකට තීරණ ගැනීමට ඉඩදීම ගැනය. ඊට විරුද්ධ විය යුතු බව පැහැදිලිය. එහෙත් පාස්කු වාර්තාව විෂයෙහි පමණක් නොව, සෙසු සෑම දෙයකදීම වන්නේ එය නොවේද? පාස්කු කොමිසමේ වාර්තාව දේශපාලනඥයන්ගෙන් සමන්විත කමිටුවකට භාරදීමට රැහේ එවුන් වගකීමෙන් නිදහස් කිරීමේ තැතක්ද විය හැකිය.