කොරෝනා නිසා රටේ අධ්‍යාපනය විෂයෙහි බරපතළම ප්‍රශ්න රැසක් මතුව තිබේ. ආණ්ඩුව 23 වැනිදා බස්නාහිර පළාත හා අගුලු ලු සෙසු ප්‍රදේශ කිහිපයක හැර පාසල් විවෘත කිරීමට කටයුතු කළේය. මෙහිදී ආණ්ඩුව මෙන්ම පාසැල් විවෘත කිරීම විවේචනයට ලක් කළ පිරිස් නොසිතු ප්‍රශ්නයක් වූයේ හදිසියේ දරුවකු කොවිඞ් නොවන වෙනත් රෝගී තත්ත්වයකට බඳුන් වූවහොත් වෙනදා නැති අනතුරකට එම දරුවා මුහුණ දිය හැකිය යන්නය. ඇඹිලිපිටියේ පාසලක 9 වසර ශිෂ්‍යාවක් එම අත්දැකීමට මුහුණ දුන්නාය. උදෑසන රැස්වීමේදී ඇයට ඇතිවී තිබුණේ හුස්ම ගැනීමේ අපහසුතාවයකි. ඇය එම ස්ථානයේම බිම වැටුණාය. එහෙත් කිසිදු ගුරුභවතෙකු ඇය අසළට නොගිය බව මාධ්‍ය වාර්තා කර තිබුණි. පවතින තත්ත්වය තුළ ගුරුභවතුන් හා සෙසු වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් බියවීම සහේතුකය. එහෙත් එවැනි අවස්ථාවක එක් ගුරුවරයකු හෝ අනතුර භාර ගත යුතුව ඇත. ඉක්මනින් රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණි නිසා දරුවාට අනතුරක් වී නොතිබුණි. පාසල් වල මෙවැනි සිදුවීම් ඕනෑතරම් උදෑසන රැස්වීම් වලදි සිදුවෙයි. දරිද්‍රම පවුල් වල දරුවන් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණීම නිසා ක්ලාන්ත වන අවස්ථා තිබේ. දැන් එවැනි තත්ත්වයකට මුහුණ දෙන දරුවකු අන්ත අසරණ විය හැකි බව ඇඹිලිපිටියේ පාසලේ සිද්ධියෙන් පෙනේ. මේ තත්ත්වය නිසා සෑම පාසලකම ගිලන් රථයක් නතර කර තැබිය නොහැකිය. පාසැල් ආරම්භය නොපෙනෙන දවසක් දක්වා කල් දැමීමටද නොහැකිය. කොවිඞ් නිසා වන මෙම අනතුරු කිහිපයෙන්ම පාසල් දරුවන් බේරාගන්නා ක්‍රමයක් අවශ්‍යය.


පාසල්වල රතුකුරුස, සෞඛ්‍යදාන හා වෙනත් තත් විෂයට අදාළ අධ්‍යයන කව තිබේ. එම විෂයයන්ට අදාළ ගුරුවරු සිටිති. ඔවුන්ට දැන් වහාම මෙවැනි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන පුහුණුවක් ලබා දිය හැකිය. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සැපයිය යුතුය. අවශ්‍ය විෂබීජ නාශක හා අනතුරට ලක්වූ දරුවා වෙත ක්ෂණිකව එළඹෙන ක්‍රම අභ්‍යාස කරවිය හැකිය. පාසල් කැඬේට් කණ්ඩායමට උගන්වන ප්‍රථමාධාර පංතියේදී මෙන් කොවිඞ් ප්‍රශ්නයට අදාළව ප්‍රථමාධාර දෙන ක්‍රමයක් ලෙස එය වර්ධනය විය යුතුය.


අනතුරුව සුවසැරිය මගින් දරුවා රෝහලකට යවන විට මෙම මූලික ප්‍රථමාධාර ලැබී තිබීම වැදගත්ය. ක්ලාන්ත වී ඇද වැටෙන හැම දරුවෙක්ම කොවිඞ් රෝගියෙක් නොවේ. මෙවැනි ක්‍රමයක් වැදගත් වන්නේ තවත් වසර දෙකක්වත් කොවිඞ් අනතුර රටේ පැවතිය හැකි නිසාය. එමෙන්ම එක් දරුවකු බිම වැටෙද්දි පාසලේ දෙතුන් දාහක පිරිසක් එම දරුවා මගහැරීම කිසිසේත්ම ආචාරධාර්මික නොවන බැවිනි. විශේෂයෙන්ම ඉහත කටයුතු වලදී පාසලේ සෞඛ්‍ය ගුරුවරයාට හා ගෘහ විද්‍යා ගුරුවරයාට ප්‍රමුඛ කාර්යභාරයක් කළ හැකිය.


සැමට තාක්ෂණය


මේ දිනවල අධ්‍යපනයේ ලොකුම ප්‍රශ්නයක් වී තිබෙන්නේ දුරස්ත අධ්‍යාපන වැඩසටහන්වලදී සිසු සිසුවියන් මුහුණ පාන ගැටලුවයි. බොහෝ දෙනෙකුට ඬේටා පහසුකම් නැත. ඊට ගැලපෙන සුහුරු දුරකථන නැත. සමහර දරුවන්ට ඒවා නිසි ලෙස සුසර කර ගැනීමේ අපහසුතා පවතී. දෙමාපියන්ටත් තාක්ෂණික දැනුම අවම නිසා දරුවන්ට මේ ප්‍රශ්නයේදි හදිසි උපකාරයක් ගැනීම අපහසු වී තිබේ. පසුගිය දිනක වාර්තා වූයේ ඔන්ලයින් දේශන ශ්‍රවණය කිරීම සඳහා කිසියම් පළාතක දරුවන් ගස්උඩ ගල් උඩ නගින බවය. එම අපහසුතාව ඇති දරුවන් තවත් ඕනෑ තරම් සිටිය හැකිය. ප්‍රථමික පංතිවල දරුවන් දුරස්ත අධ්‍යාපනයට යොමු කර ගැනීම අපහසුය. කුඩා ළමුන් ළඟ තබාගෙන පරිගණක හෝ සුහුරු දුරකථන තිර වෙත දරුවා යොමු කිරීමට බොහෝ විට මවට සිදුවෙයි. දුරස්ත අධ්‍යාපන ක්‍රමය අඩුතරමින් හය වසරින් ඉහළ දරුවන්ට කළ හැක්කකි. සෙසු දරුවන් සම්බන්ධයෙන් එම අධ්‍යාපන ක්‍රමය අනුචිතය. මේ දිනවල ඇතැම් ඔන්ලයින් පංති පැවැත්වෙන්නේ රාත්‍රියේදීය. ඒ රාත්‍රි කාලයේ අඩු මිල ඬේටා පහසුකම් නිසාය. විශේෂයෙන්ම දරුවන්ගේ උනන්දුව මේ සඳහා තිබිය යුතුමය. ඇතැම් දරුවෝ පංති වලට සහභාගි නොවී ඔන්ලයින් පංතියෙන් ඉවත්වෙති. සිසුවා සවන් දී සිටින බව ගුරුවරයා පරීක්ෂා කරන මොහොතේ පමණක් ඊට සහභාගිවන බව පෙන්වයි.
නිරෝධායන නීති හරියටම රැකිය හැක්කේ මධ්‍යම පංතියට සේම තාක්ෂණ පහසුකම් තබා කෑම බීම පවා අසීරුවන් සපයාගන්න පවුල් වල දරුවන්ට මේ වැඬේ පහසු නැත. යහපාලන කාලයේ ටැබ් පරිගණක දරුවන්ට ලබා දීමට සැලසුම් කළ වැඩසටහන එවර සාර්ථක නොවුයේ ටැබ් දෙන මුවාවෙන් හොරකමකට පාර කපාගන්නා තත්ත්වයක් ඉස්මතු වු නිසාය. එහෙත් දැන් අධ්‍යාපන අමාත්‍යවරයාට ටැබ් වැඩසටහන අක්‍රමිකතා මඟහැර නිසි පරිදි සැලසුම් කළ හැකිය. කොවිඞ් කාලයේදී දුරස්ත අධ්‍යාපනයේදී මතු වු ප්‍රශ්න යම් යම් ප්‍රමාණවලින් කවුරුත් දනිති. විශේෂයෙන්ම ජනාධිපතිවරයා දුරස්ත අධ්‍යයනයේදී සිසුන් මුහුණ දුන් ගැටලු ගැන අවබෝධයක් ලබා ගන්නට ඇත. එබැවින් ඉදිරියේදී හෝ ඔහුට සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ඇරඹිය හැකිය.


සැමට අධ්‍යාපනය යන්න අප දරන ඉහළම වැදගත්කමකින් යුතු අදහසය. වර්තමාන තත්ත්වය තුළ සැමට තාක්ෂණය යන්න ගැනත් අප රටක් ලෙස උනන්දු විය යුතුය. සැමට තාක්ෂණය නොලැබුණහොත් සැමට අධ්‍යාපනය නොලැබෙන තත්ත්වයක් මේ වන විට ඇතිවී තිබේ.