ඉදුනිල් උස්ගොඩ ආරච්චි

කොවිඞ් වසංගතයෙන් ගැලවීමට පසුගිය කාලයේ යොදා තිබූ ඇදිරි නීතිය විවිධ තරාතිරමේ අයට විවිධ මට්ටමෙන් ප‍්‍රතිඵල ගෙනෙද්දී එදා වේල සදහා පමණක් කෙලෙස හෝ කීයක් හෝ සොයාගෙන ජීවත්වූ පිරිස මැදිවූයේ වඩාත් බැරැරුම් තත්ත්වයකට ය. කොළඹ පිටකොටුව හා මැනිං වෙළදපොළ ආශ‍්‍රිතව සේවයේ යෙදුණු නාටාමිවරු, වීදිවල ජීවත් වූ යාචකයන්, ලිංගික ශ‍්‍රමිකයන් ආදී පිරිස් වලට මුහුණ දීමට සිදුව තිබුණේ ජීවිතයේ කිසිදාක මුහුණ දීමට සිදුනොවූ ආකාරයේ දුෂ්කර තත්ත්වයකට ය. බොහෝ දෙනා තැන් තැන්වල සිරවී සිටි කාලයක් වූ බැවින් ඔවුන්ට සිදුවූයේ කුමක් ද යන්න පිළිබද වාර්තා වූයේ ද අල්ප වශයෙනි. ඔවුන් පිළිබද කතා බහක් ඇති වන්නේ, ඔවුන් අතරින් පිරිසක් නිරෝධායනයට ගෙනයද්දී තවත් පිරිසකට අනන්‍යතාව තහවුරු කිරීමේ ලිපිලේඛන නොමැති බැවින් ගුණසිංහපුර බස් නැවතුම් පොළේ රදවා තබා ගොස් ඇති බව අපේ‍්‍රල් මාසයේ දී වාර්තා වීමත් සමග ය. ඉන් දින කීපයක් ඇතුළ ද එම පිරිස ද නාවා අලූත් ඇදුම් ලබා දී නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත් එසේ ගෙන ගිය සියලූදෙනා නැවත පැමිණියා ද, පැමිණියේ කොහාටද ආදී තොරතුරු සම්බන්ධයෙන් මේ වන විට තිබෙන්නේ පැහැදිලිභාවයක් නොවේ.


මැනිං වෙළදපොළ ආසන්නයේ පදික වේදිකාවක වාඩි වී ගිමන් නිවමින් සිටි පේ‍්‍රමසිරි ද එසේ නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන ගොස් පැමිණියෙකි. ඔහුගේ ගම මල්වානේ වුවත් නිවසේ අය සමග අමනාපයක් නිසා වසර තුනක පමණ සිට ජීවත් වන්නේ කොළඹ පිටකොටුව ආශ‍්‍රිතව බවය ඔහු කියන්නේ. ”මම මැනිං මාකට් එකේත් වැඩ කරනවා, මේසන් වැඩත් කරනවා. මෙහේ කාමරයක් අරගෙන හිටියා. ඒකට මාසෙට හාරදාස් පන්සීයක් ගෙවන්න ඕනෑ. ඒත් කොරෝනා වෙලාවේ කාමරේට දෙන්න සල්ලි තිබුණේ නෑ. එතකොට කාමරෙන් එළියට දැම්මා. පස්සේ ඇවිත් මාකට් එක හරියේ යි මේ හතර වටේයි හිටියා.” ඔහු සහ ඔහු සමග සිටි තවත් සගයන් පිරිසක් ද පැවසුවේ ඒ වන විට විශාල පිරිසක් ඒ ආකාරයට පාරට වැටී සිටි බව ය. ඒ ඇතැම් අයට කවදත් නිවස වී තිබුණේ පදික වේදිකාව, කඩපිළක එළිපත්ත හෝ බඩු අදින කරත්ත ය. කාමර ලබා ගෙන සිටි බොහෝ දෙනා ද ඒ වන විට ඒවායෙන් එළියට විසිවී තිබුණේ කුලී ගෙවා ගැනීමට නොහැකි වූ හෙයිනි. කොවිඞ් හේතුවෙන් දැමූ ඇදිරි නීතිය නිසා ඒ බොහෝ දෙනාට මුදලක් සොයා ගැනීම මෙන්ම ආහාර සපයා ගැනීම විශාල අර්බුදයක් බවට පත් ව තිබුණි. ඇතැම් විට පොලිස් නිලධාරීන් ආහාර ලබා දුන් බව ඔවුහු පැවසුවෝ ය.


”දවසක් මාකට් එකේ වැඩකරලා මෙතන පාර අයිනේ වාඩිවෙලා ඉන්නකොට, ගුණසිංහපුර පාක් එකේ කෑම පාර්සල් බෙදනවා ගිහින් ගන්න කියලා පොලීසියෙන් කිවුවා. හොදටම බඩගින්නේ හිටිය නිසා මම කෑම ගන්න එතෙන්ට දිවුවා. පාරේ හිටිය රංචුවම එතෙන්නට කෑම ගන්න දිවුවා. ගියාට පස්සේ බලහත්කාරයෙන් අපිව එතන ඇතුළට දාලා ගේට්ටුව වැහුවා. තවත් ගොඩක් අය එතන හිටියා. කෑම දෙන්න කියලා බොරුවට කියලා තිබුණේ, අපි ඔක්කෝම එතන කොටු කරගන්න කියලා අපි දන්නේ එතන හිර වුණාට පස්සේ යි. ඒ වෙලාවේ තිබුණු ලොකුම ප‍්‍රශ්න තමයි බඩගින්න. ඉතින් කෑම දෙනවා කිවුවා හැමෝම එහාට දිවුවා.’’තමන් ගුණසිංහපුරට කොටුවූ ආකාරය පේ‍්‍රමසිරි විස්තර කළේ එලෙසිනි.


කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කළා යැයි කියමින් නිරෝධායනයට යොමු කිරීමට ගුණසිංහපුර ප‍්‍රදේශයට එක් රැස් කළ පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු නොකර එම ස්ථානයේ දමාගොස් ඇති බවට එම දිනවල ඇතැම් මාධ්‍ය වාර්තා පළ වූයේ ය. ඒවායින් පැවසුණේ ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කිරීමට ලිපි ලේඛන නොමැති බැවින් එසේ දමා ගොස් ඇති බවය. කෙසේ වෙතත් පේ‍්‍රමසිරිලා පවසන ආකාරයට ඔවුන් කිසිවෙකුට ද හැදුනුම්පත් හෝ අනන්‍යතාව තහවුරු කිරීම සදහා කිසිදු ලිපි ලේඛනයක් තිබුණේ නැත. යාචකයන්, නාටාමිවරුන්, ලිංගික ශ‍්‍රමිකයන් මෙන්ම කොළඹ වෙනත් කටයුතු වලට පැමිණ ප‍්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා ගම්බිම් වෙත යා නොහැකි පිරිසක් ද ඒ අතර වූ බව පසුව ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරීන් ඒ දිනවල මාධ්‍ය වෙත පවසා තිබුණේ ය. පේ‍්‍රමසිරිලා කීවේ ද ඔවුන් ගුණසිංහපුර ඒ ආකාරයට දින දෙකක් රදවා තැබුණු බව ය. ”එතැන දවස් දෙකක් තියා ගත්තා. තුන්වෙනි දවසේ නාවලා අලූත් ඇදුම් දීලා බස් වලින් එක්ක ගියා. මමයි තව කණ්ඩායමක් මුලතිවු එක්ක ගියා. එක එක අය එක එක පැති වලට එක්ක ගියා.”
ඔහු අසල හිද සිටි වයෝවෘද්ධ තවත් අයෙක් සාකච්ඡුාවට එක්වුණේ ය. ”මාකට් එකේ ඉදලා යද්දී මටත් කිවුවා ගුණසිංහපුර කෑම දෙනවා කියලා. එතැනට ගියාම අල්ලා ගත්තා. ඒ වෙලාවේ කෑම දුන්නේ නෑ. පස්සේ ගෙනත් දුන්නා. එතැන දවස් දෙකක් විතර දාලා හිටියාට පස්සේ අපි කණ්ඩායමක් මීතොටමුල්ලේ පරණ ඉස්කෝලෙක ශාලාවකට ගෙනිහින් දැම්මා. එතනත් ඇතුළට දාලා වහලා තිබුණා. කෑම දෙන වෙලාවට කෑම දීලා ආපහු වහනවා. පස්සේ අපිව බස් එකකින් මුලතිව් කදවුරට ගෙනිච්චා. එහේ දී කෑම බීම ලැබුණා. දවස් දාහතරකට පස්සේ තවත් දවස් හතක් වැඩි කළා, ඒ නිසා විසි එකක් හිටියා. පස්සේ ආපහු එක්ක එද්දී අපි පිරිමි හයක් ගෑනු දෙන්නෙක් වල්පිට කෘෂිකර්ම මධ්‍යස්ථානයේ බැස්සෙවුවා. අපි එහේ වැඩට ගෙනාවා කියලා තමයි එහේ අයත් හිතලා තිබුණේ. ඒත් අපි කිවුවා අපි මැනිං මාකට් එකේ වැඩ කළ අය, අපි වැඩ ඉල්ලූවේත් නෑ, අපිට එහේ වැඩ තියනවා කියලා. දවස් දොළහකට පස්සේ යන්න කිවුවාම අපි ආපහු මෙහාට ආවා. ඒත් අපි එක්ක ගිය සමහර අය මෙහේ එක්ක ඇවිත් නැහැ. ඒ අය අපි එක්ක එකට වැඩ කළ අය. ඒ සමහරු නැහැ, ඒ අය කොහේ ද කියලා හරියට දන්නේ නැහැ.” ඔහු කියාගෙන ගියේ ය.


එලෙස ගෙන ගිය පිරිස අතරින් මුලතිව් හි ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යන ලද නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දෙදෙනෙකු මිය ගිය බවට මැයි මාසය ආරම්භයේ වාර්තා වූයේ ය. එම අවස්ථාවේ ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහගෙන් අප විමසූ විට ඔහු පැවසුවේ එකම දිනයේ උදේ සහ සවස ඒ දෙදෙනා මිය ගිය බවත් එසේ මිය ගියේ මුල්ලයාවේලි දිස්ත‍්‍රික් රෝහලට ඔවුන් ඇතුළත් කළ පසු බවත් ය. ඔවුන්ට අනන්‍යතාව තහවුරු කිරීමේ කිසිදු ලේඛනයක් නොතිබූ අතර එක් අයෙක් වයස්ගත නිසාත් ආහාරපාන නොගැනීමත් නිසාත් දුර්වල තත්ත්වයේ පසු වී ඇති බවත් අනෙක් පුද්ගලයා යම් කිසි මානසික ආබාධයකින් පෙලෙන අයෙක් ලෙස පෙනෙන බව වෛද්‍යවරු පැවසූ බවත් ඔහු රාවයට පැවසුවේ ය. ‘‘යාචකයෝ, කුඩු වලට ඇබ්බැහිවූ අය, පාරේ හිටි අය 268ක් මුලතිවු නිරෝධායන කදවුරට ගෙනාවා. එයින් දෙන්නෙකු මිය ගිය නිසා දැන් 266ක් ඉන්නවා.” ඔහු ඒ අවස්ථාවේ පැවසුවේ ය.


පිටකොටුව, මැනිං මාකට් ආශ‍්‍රිතව සේවයේ යෙදී සිටි අයගෙන් නිරෝධායනයට රැුගෙන ගිය පිරිස් වලින් ඇතැම් අය තවම නොපැමිණි බව ඒ බොහෝ දෙනා පැවසුවේ ය. නිරෝධායනයට රැුගෙන ගොස් නැවත ගෙනවිත් පොලිස් ස්ථාන වලට භාරදුන් ඇතැම් අයට ගම් පළාත්වල භාරකරුවන් සිටි බැවින් එවැනි අය ගම් වලට යැවීමට කටයුතු කර තිබූ බව සමහරු පැවසී ය. පිටකොටුවේ පදික වේදිකාවක රඹුටන් විකුණමින් සිටි අයෙකු අප හා පැවසුවේ තමන් ද සාම්පූර් කදවුරේ නිරෝධායනයට ගෙනගොස් රැුගෙන ආ පසු තම ගම වන ගාල්ලට යැවීමට පොලීසියෙන් කටයුතු කළ බව ය. පසුව ඔහු නැවතත් තම වෙළද කටයුතු සදහා පැමිණි බව පැවසුවේ ය. ”අපි එක්ක සාම්පූර් ගිය කණ්ඩායමේ අනූ ගණනක් හිටියා. හිගාකන කට්ටියත් හිටියා. මටත් හැදුනුම්පතක් තිබුණේ නෑ. සාම්පූර් ඉදලා නාවික හමුදාවෙන් ගෙනත් මෙහේ පොලීසියට භාරදුන්නා. ගම ගාල්ලේ කිවුවාම මෙහේ පොලීසියෙන් ගමේ පොලීිසියට භාර දුන්නා. ලිපිනය නැති අය සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් කරන රිදියගම යාචකයෝ දාන තැනට යවලා තියනවා. මෙහේ හිටිය අපි දන්න කියන ටික දෙනෙක් දැන් නැහැ. ඒ අය රිදියගමට ගෙනිච්චා කියලා ආරංචියි.”


මැනිං මාකට් හා පිටකොටුව ආශ‍්‍රිතව විවිධ රැුකියා කළ ඇතැම් අය එලෙස නැවත පැමිණ තම කටයුතු සුපුරුදු ලෙස අරඹා තිබුණ ද ඔවුන් අතර සිටි ඇතැම් අය ඉන් පසු නොදුටු බව ඒ සියලූදෙනා පැවසූ හ. ඒ ඇතැමුන් වගා කටයුතු වලට යොදවා ඇති බවත්, තවත් පිරිසක් ගම් බිම් වෙත යවා ඇති බවත්, රිදියගම මධ්‍යස්ථානය වෙත හා කන්දකාඩු මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් ඇති බවත් ඔවුහු පවසති. ”ගිය කට්ටියගෙන් කොටසක් ආවා. කොටසක් ආවේ නෑ. රිදියගමටත් කොටසක් දාලා. මගේ අක්කගේ පුතෙකුත් කාත් කවුරුවත් නෑ කියලා පොලීසියෙන් රිදියගමට ගෙනිහින් තිබුණා. එයා හිගන්නෙක්වත් කාත් කවුරුවත් නැති කෙනෙක්වත් නෙවෙයි. ගෙදරින් ගිහින් එයා ආපහු එක්කගෙන ආවා.” ඒ පිටකොටුව පදිකවේදිකාවේ වෙළදාමේ යෙදෙන අයෙකු අපට කීවකි.


මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසීමට අප උත්සාහ කළ ද ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි වූ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වෙනත් නිලධාරියෙකු පැවසුවේ එසේ නිරෝධායනයට රැුගෙන ගිය අය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු වාර්තා නොවූ බැවින් සොයා බලා දැනුම් දීමට සිදුවන බව ය. කෙසෙල් වත්ත පොලිස් ස්ථානයේ නිලධාරියෙකු අපට පැවසුවේ කෙසෙල්වත්ත පොලීසිය හරහා නිරෝධායනයට යැවූ පිරිස අතරින් භාරකරුවෝ සිටි අය භාරකරුවන් වෙත භාර දුන් බවත් භාරකරුවන් නැති කොටසක් රිදියගම යැවූ බව ය. කෙසේ වෙතත් ඒවා සම්බන්ධයෙන් සංඛ්‍යා නිශ්චිතව සදහන් කිරීමට නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. කොළඹ පිටකොටුව ආශ‍්‍රිතව සිට ඇදිරි නීතිය සමයේ පොලිස් භාරයට ගත් යාචකයන් 62ක් නිරෝධායන කිරීමෙන් පසු රිදියගම රැුදවුම් මධ්‍යස්ථානයට යොමුකරන ලෙස මැයි 22 කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි. ඔවුන් එලෙස අනාරක්ෂිත ලෙස සැරිසරමින් සිටියේ ජීවත් වීම සදහා ස්ථිර වාසස්ථාන හෝ ආදායම් මාර්ග නොමැතිවීම හේතුවෙන් බවත් නිරෝධායනය කළ ද ඔවුන් නිකරුණේ ගැවසීම මහජන සෞඛ්‍යයට අහිතර ලෙස බලපෑ හැකි බවත් පොලීසිය එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.එම කරුණු සලකා බැලීමෙන් පසු ඔවුහු රැුදවුම් මධ්‍යස්ථානයට යැවීමට නියෝග ලැබී තිබුණි.


”අපේ කණ්ඩායමේ දෙසිය ගාණක් ගියා. ආපහු ගෙනත් මෙහේ අපිව අල්ලලා භාරදුන්න පොලීසියට භාර දුන්නා. ආපහු එතැනින් දැන් අපි එක්ක ඇවිත් ඉන්නේ විසිගාණයි. අනෙක් අය කන්දකාඩු, රිදියගම යවලා. සමහරු වගාවලටත් දාලා තියනවා. අපිවත් රිදියගම යවන්න හැදුවා. අපි හිගා කන්නේ නෑ, කුලී රස්සා තමයි කරන්නේ කියලා අපි කිවුවා. මුට්ට කර ගහලා මගෙ කරේ ගෙඩියක් තියනවා. අත්වල කරගැට තියනවා. අපි කෑ ගහලා කතා කරලා බේරුණා. කතා කරගන්න බැරි අයව එහෙම යැවුවා. පොලීසියෙන් එක එක වැරදි හදලාත් ඔහොම යවනවා. ඒ ගොඩක් අය වෙළද ව්‍යාපාර කළ අය. හිගා කන අය කියලා පොලීසියෙන් බොරුවට ඒ අයවත් රිදියගම යවලා. ඇදිරි නීතිය දවස්වල බොරුවට කෑම දෙනවා කියලා බලහත්කාරයෙන් අපිව ඇතුළට දාලා වැහුවා.” මැනිං වෙළද පොළේ නාටාමිවරයෙකු ලෙස කටයුතු කළ අයෙක් පැවසුවේ එවැන්නකි.


නගර සංවර්ධනය අතරතුර කොළඹ ආශ‍්‍රිතව සිටින යාචකයන් ඉවත් කිරීමේ ව්‍යාපෘති විවිධ කාල වල දී විවිධ අයුරින් මෙරට තුළ ක‍්‍රියාත්මක වූයේ ය. යාචකයන් ගණනාවක් දින කීපයක් තුළ මරා දමා ඇති බවට ද වාර්තා වූ සමයත් තිබුණි. යාචකයන් මධ්‍යස්ථාන වෙත යොමු කර රැුකියා සදහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ද විධිමත් ලෙස ආරම්භ කිරීමේ සාකච්ඡුා ද පසුගිය කාලයේ පැවති අතර රිදියගම වැනි මධ්‍යස්ථාන ද ඒ වෙනුවෙන් නවීකරණය වී තිබුණි. මේ වන විට එහි ද සිටින පිරිස අතිරික්ත මට්ටමකට පැමිණ සිටිනවාට සැක නැත. කෙසේ වෙතත් වීදිවල සැරිසරමින් ජීවත්වන මිනිසුන්ගේ ද ජීවිත ද කෙසේ හෝ සුරක්ෂිත විය යුතු ය. ඔවුන් කොළඹ සංවර්ධනයට සුන්දර දසුනක් නොගෙනාව ද ඔවුන් පහසුවෙන් ඉන් ඉවත් කර දැමීමේ අරමුණ සදහා ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය ද අහිමි නොවේවා යැයි අපි බලාපොරොත්තු වෙමු. ඒ වෙනුවට ඔවුන්ගේ ජීවිත ද සුන්දර දසුනක් වන ආකාරයේ විධිමත් වැඩපිළිවෙලක් සකස් විය යුතුව තිබෙන්නේ ය.