චම්මින්ද වෙලගෙදර

කිසියම් දේශයක ජීවත්වෙන ජනතාවකගේ හද ගැහෙන රාවය සේම ස්පන්දනයේ රිද්මයද අපට දැකගත හා දැනගත හැක්කේ ඔවුන් ව්‍යවහරන්නා වූ භාෂාව මගිනි. එය අපට ඔවුන්ගේ සංස්කෘතිය කියා පායි. එදා ‘‘සම්ප‍්‍රදාය හා විචාරය’’ රචනා කරන මාර්ටින් වික‍්‍රමසිංහයන් සංස්කෘතියක් පවත්වා ගෙන යාමට බස කොතරම් මෙහෙයක් කරයිද යන්න අපට කියා දෙන්නේ මෙසේයි.

‘‘සිංහල භාෂාව හා සිංහල සංස්කෘතිය එකිනෙකින් වෙන් කළ හැකි නොවේ. සංස්කෘතියත් භාෂාවන් දෙක එකට කාවැදී සකස් වෙමින්, වෙනස් වෙමින්, වැඩෙන පදාර්ථ දෙකකි’’ (46 පිටුව සම්ප‍්‍රදාය හා විචාරය)

මේ අනුව භාෂාව සන්නිවේදන මාධ්‍යයක් වී එයම ජන වර්ගයක වාර්ගික අනන්‍යතාව මතු කරනු ලබන සාධකය (Ethnic Identity)වන්නේ භාෂාවයි. එබැවින් භාෂාව යනු ජනතාව එක්තරා මහා ප‍්‍රවාහයකි. එම ප‍්‍රවාහයට විටෙක ජාතීන් අතර ගැටුම් ඇති කරන්නටද සමත්ව තිබේ. එය සිදුව ඇත්තේ භාෂාව සංස්කෘතිය හා බැඳීමෙන් සංස්කෘතියත් භාෂාවත් අතර එම බැඳීම වර්ගීකරණය කරගැනීමෙනි.

එහෙත් එම භාෂාව හා සංස්කෘතිය මගින් උද්දීපනය කළ යුත්තේ ජාතිකත්වය, ජාතිමාමකත්වය විනා ජාතිවාදය නොවිය යුතුය. භාෂාව හා සංස්කෘතිය ගැන මාර්ටින් වික‍්‍රමසිංහයන් උධෘත පාඨ සකසද්දී ඔහු ඔහුට පෙර සිටි සිංහල නිර්මාණකරුවාගේ මෙහෙය දෙස ගැඹුරින් සළකා බැලූ බවත් පෙනේ. තමා විසින් මුල් කාලීනව නිර්මාණය කළ කෘති උදෙසා ඔවුන්ගේ බලපෑම ලද බව ඔහු පවසා සිටී. එහිදි ඔහුට මූලික වී ඇත්තේ පියදාස සිරිසේනයන්ය. පියදාස සිරිසේන මතුවන්නේ භාෂාව සංස්කෘතිය ඔසවාගෙනය. මාර්ටින් වික‍්‍රමසිංහයන්ට බස හා සංස්කෘතිය ගැන කතා කිරීමට මං පෑදුනේ පියදාස සිරිසේන මෙරට තත්කාලීන ජනතා අවදිවීම උදෙසා භාෂාවත්, සංස්කෘතියත් අත් පාරුවක් කරගත් නිසා විය නොහැකිද ?

මේ අනුව පියදාස සිරිසේන විමසා බැලීම වැදගත්ය. ඔහු පිළිබඳව නිසි අධ්‍යයනයක් හෝ ඇගැයුමක් සිදු නොවීම නිසා වර්ථමානයේදී ඔහුගේ සාහිත්‍ය සේවාව මෙන්ම එදා ඔහු මෙරට වැසියා කෙරෙහි කළ බලපෑමද කෙමෙන් යටපත්ව යමින් තිබෙයි.

එබැවින් මෙවන් අවදියක පියදාස සිරිසේනගේ ජාතික කර්තව්‍ය වර්තමානයේදී ඉතා වැදගත් වෙයි. පසුකාලීනව මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් පියදාස සිරිසේන එදා ආරම්භ කළ නිර්මාණ ව්‍යායාමය සාහිත්‍ය ආඛ්‍යානයක් කළ මාර්ටින් වික‍්‍රමසිංහ සිංහල නවකතාව ඉතා යහපත් ආස්ථානයක රැඳවීය. ඒ අනුව වර්තමානය වෙද්දි තත්කාලීන නිර්මාණ ධාරිතාවක හිමිකම් පායි. එහෙත් එහි ගුණාත්මක සාහිත්‍ය සංසේචනයක යෙදී ඇත්තේ ඉතා අල්පතර සංඛ්‍යාවකි. ඔවුන්ගෙන් ඇතැමෙකු පවා වර්තමානය වෙද්දී මෙරට නිර්මාණ සාහිත්‍යය කිසියම් මුල්‍යමය වන්දනාවක් තුළ සංස්කෘතික සෝදා පාළුවකට ගෙනයමින් සිටී.

ඒ අනුව පියදාස සිරිසේනගේ සාහිත්‍යය ව්‍යාපාරය වර්තමානය වෙද්දී ගැඹුරු සංවාදයකට බඳුන් වීම වැදගත් යයි සිතේ. පියදාස සිරිසේන නම් වූ චරිතය වඩාත් සමාජ අවධානය දිනාගන්නේ ඔහුවෙත පසුකාලීනව මෙරට සාහිත්‍ය විචාරකයින් විසින් එල්ල කරනු ලැබු විවේචන හේතුවෙනි. එහි මූලිකයා වශයෙන් කැපී පෙනී යන්නේ දිවංගත මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ය. ඔහු පියදාස සිරිසේනගේ නවකතා පිළිබඳ වර්ෂ 1950 දී රචනා කරණු ලැබූ ‘‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’’ කෘතියේදී කියන්නේ මෙහෙමයි.

‘‘සිරිසේන මහතා, මේ ශත වර්ෂයෙහි මුල දී ඇති වූ ජාතික ව්‍යාපාරයට බැඳී එඩිතරව සටන් කළ වීරයෙක්් විය’’
‘‘සාමාන්‍යයෙන් පියදාස සිරිසේනගේ චරිත නිරූපණයෙහි කිසිදු ගැඹුරක් නොවන බවද කිව යුතුව තිිබේ. ඔහු මවාපාන පුද්ගලයෝ එක්කෝ සුදනෝ වෙති. නැතහොත් දුදනෝ වෙති’’

මෙය ඔහුගේ නවකතා කෙරෙහි සරච්චන්ද්‍ර එදා සිය විචාරක්ෂිය බටහිර විචාර මූල ධර්ම මත පිහිටා කළ බැවින් මතුවු අදහස්ය. එයටද හේතු භූත වූ කරුණු ඔහුට එදා නිදසුන් ලෙස දැක්විය හැකි විය.

‘‘නවකතා වශයෙන් සිරිසේන මහතාගේ රචනාවල අගයක් නැත’’

සරච්චන්ද්‍රයන්ගේ මේ ප‍්‍රකාශය පියදාස සිරිසේනයන් මෙරට නවකතාකරුවකු වශයෙන් ඔසවා තබන්නට හේතු වූ බව මගේ අදහසයි. මේ නිසා පියදාස සිරිසේන නවකතාකරුවකු යැයි කීමට පසුකාලීනව ආචාර්ය, මහාචාර්යවරු සේම බහුතරයක් පෙළ ගැසී ගියේ සරච්චන්ද්‍ර විරෝධී හඬක්ද සැබෑ සාහිත්‍යපේ‍්‍රමී ප‍්‍රති විචාරයක් වශයෙන්ද යන්න සඳහන් නොවුණත් ඉන් විචාරය හා නවකතාව පිළිබඳව කිසියම් ‘‘කියවීමක්’’ සහ ‘‘සෙවීමක්’’ ඇති වූ බව නම් ඉඳුරා කිව හැකිය.

මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය සරත්චන්ද්‍ර වික‍්‍රමසූරිය, මහාචාර්ය ඒ. වී. සුරවීර, ඉන්ද්‍රපාල අබේවීර, ජී. එල්. ඉඳුරුගොල්ල, ටී. ජී. ඩබ්ලිව්. ඒ ද සිල්වා මෙන්ම සෝමවීර සේනානායකද මේ කාරියෙහි ලා නිමග්න වුවෝ වෙති. මෙහිදී කේ. බී. සුගතදාස ඉතා නිර්දය ලෙස සරච්චන්ද්‍රයනට එරෙහිව පියදාස සිරිසේන වෙනුවෙන් පෙනී සිටියෙකි. මින් බහුතරයක් දෙනා සිය ප‍්‍රතිවිචාර හා සාහිත්‍යාත්මක මත ඉදිරිපත් කරමින් සනාථ කරමින් සිටියේ පියදාස සිරිසේන කළ සමාජ කාර්යභාරය වෙනුවෙන් ඔහු නවකතාව යොදා ගැනීම දෙස බටහිර කෝදුවලින් මැන බැලීමට යාම සාධාරණ නොවන බවයි.

ඔවුන් බොහෝ දෙනෙකුගේ නිර්නායක වූයේ, මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මතය බටහිර මිනුම් දඬු වලින් බැහැර නොවී එම විචාර සිද්ධාන්තවල පිහිටා කෙරෙන්නක් විනා පියදාස සිරිසේනයන් නිර්මාණ කළ කාලවකවානුව හා ඔහු කළ එම මෙහෙය පිළිබඳව සිතා නොබලා කළ නිර්දය විචාරයක් බවයි. එය එසේ නොවන්නට ඔහු විසින්, පියදාස සිරිසේන නිර්මාණ කියවනු ලැබුවේ, ‘‘ගම්බද නුගත් මිනිසුන් හා නගරබද ඉහළ පවුල්වල වැඩකාරයන් බව‘‘ නොකියනු ඇත.

ඉහති කී සියලූම දෙනාගේ විචාර හා අදහස් වලින් ඉතාමත් සමීපව ‘‘පියදාස සිරිසේන’’ වටහාගත හැකි අදහස් කීපයක් පමණක් මෙහි සඳහන් කිරීම වටී යයි මම සිතමී.

ලීල් ගුණසේකර තැනක මෙහෙම කියනවා.
‘‘ඉන්දියාවට බි‍්‍රතාන්‍යයන් ආපසු ඇති වු සංස්කෘතික ගැටුම විදාරණය කරන හොඳම නවකතාව ලෙස මා දකින්නේ ඊ. එච්. පෝස්ටර්ගේ ”A passage to india” නවකතාව නම් ශ‍්‍රී ලංකාවට සුද්දා ආ පසු මේ රටේ ඇති වූ වියවුල් බව මා දකින හොඳම නවකතාව පියදාස සිරිසේනයන්ගේ ‘‘රොසලින් ජයතිස්ස’’ නවකතාවයි.

ගතාරේ ධම්මපාල හිමියන්ගේ ප‍්‍රකාශයද පියදාස සිරිසේන හඳුනාගැනීමක් නොවන්නේද ?
‘‘පියදාස සිරිසේනගේ චරිත සුදන දුදන ලෙස වූයේ ඒවා ආදර්ශමත් චරිත ලෙස සැලකීම නිසාවෙනි. එය සංකීර්ණ චරිත මැවීමකට වඩා වර්ග චරිත මැවීමකි.’’

මේ වර්ණ ගැල්වීම් වලට වඩා වෙනස් මතයක් පොදුවේ කියවෙන විචාර මතයකින් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු තහවුරු කර සිටීයි.
‘‘වොරන් හා වේල්ක්ට අනුව නවකථාව යථාර්ථවාදී ව ජීවිතය හා සම්බන්ධ සිරිත් විරිත් මෙන්ම එය රචිත කාලය පිළිබඳව චිත‍්‍රයක් ලෙසින් සැලකිය හැකිය’’
මේ අනුව පියදාස සිරිසේනගේ නවකතා පිළිබඳ සමාජයේ අවධානය යොමුකරවීම උදෙසා වියතුන්ගේ මතුවීම ඇති කළේ සරච්චන්ද්‍රය.

සරච්චන්ද්‍ර විසින් සිරිසේනගේ නවකතා මතුකළා මෙන් පියදාස සිරිසේන සිංහල ජාතියට හඳුන්වා දීමේ තැන ලබා දිය යුත්තේ සුද්දාගේ කෝච්චියට එදවසට මෙරට මතුවෙමින් තිබූ ජාතික අනුරාගී හා භාෂාව පිළිබඳව නැගී ආ ප‍්‍රබෝධයටයි.

අගනුවර සිට ගාල්ලට දුම්රිය සේවාව ඇරඹීමෙන් එහා මෙහා ප‍්‍රවාහනය වූයේ මිනිසුන් හා බඩු භාණ්ඩ පමණක් නොවේ. අදහස් උදහස් සමග නව දැනුමය. මේ නිසා අගනුවර ඇතිවෙමින් තිබු බොහෝ නව නැගිටීම් සේම බුද්ධි ගලනයකි. බෙන්තරට ආසන්නව තිබූ ඉදුරුවට මේ නිසා නව දැනුම ගලා ගියේය. බි‍්‍රතාන්‍යයන්ට එරෙහිව කොළඹ මෙන්ම ගාල්ලේද සිදුවන පරිවර්තනයන් ඉතා ඉක්මණින් බෙන්තර හරහා බෙදී ගිය බව පෙණුනි. පියදාස සිරිසේනට පුවත්පත් කියවීමට ලැබුණේ මේ දුම්රිය ගමනාගමනයෙනි. ඔහුට එහි සිට ආ වියතුන්, මිනිසුන් හමුවුයේ මේ දුම්රිය නිසාවෙනි.

එදා සිය නම පවා දේශීයකරණයට හසුකරගත්තේ මේ දුම්රිය ගමන් මග දිගේ බෙන්තරට ආ අනගාරික ධර්මපාලතුමන් මුණ ගැසීමෙනි. පේදිරිස් සිල්වා සිය දේශියකරණය වැළඳගන්නේ පියදාස සිරිසේන වෙමින් ධර්මපාලයන් වෙතිනි.

එසේම මේ වන විට පියදාස සිරිසේනයන්ගේ කැරිස්මාවේ කහ එළි දැල්වෙමින් තිබුණු යුගයකි. තත්කාලීන ජන සමාජයේ සිදුවෙමින් තිබු භාෂා ප‍්‍රබෝධය සේම ආගමික ප‍්‍රබෝධයද, සුද්දාගේ මුද්‍රණ යන්ත‍්‍රය නිසා බිහිවු පුවත්පත්ද, පොතපත්ද ඔහු අවදි කරවු බව පෙනේ. එම දැනුම්වත් භාවය ලැබීමේ නොතිත් ආශාව ඔහුට ඒ ලෙස ඇතිවීමෙන් ඔහු ගම අති‍්‍රමණය කොට කොළඹ රැුකියාවකට පැමිණෙයි. එහිදී සිරිසේනයන්ගේ මානසික භූගෝලීය සිය වටපිටාව අධ්‍යනය කළ බව පෙනේ. අනගාරික ධර්මපාලයන් සේම ජෝන්ද සිල්වාද සිය නාට්‍ය මගින් මෙරට ජන සිත් වලට දේශීයත්වය සේම සංස්කෘතිය පිළිබඳව දැනුම සැපයුමද වැඩ කරවමින් සිටියේය.

මිෂනාරි දේවගැතිවරුන් විසින් යාපනේ සෙන්ට‍්‍රල්, කොළඹ ශාන්ත තෝමස්, ශාන්ත ජෝන්, ත‍්‍රිත්ව විදුහල හා කොළඹ ඇකඩමියද මෙරට සිංහල සුද්දන් විසින් බිහිකරමින් සිටියේය. ඔවුන්ගේ පාසල් සුද්දාට අවශ්‍ය ලිපිකරුවන් නිර්මාණය කරමින් ඔවුන්ට ජීවනෝපායන් සොයාදෙමින් තිබුණි. ඒ අතර බෞද්ධ පිරිවෙන් වල හා පාසල් වල සිංහල, පාලි උගතුන් හා භික්ෂූන් දැනුම ගොඩනගාගනිමින් තිබුණි. මේ නිසා බෞද්ධ ඉංග‍්‍රීසි පාසල්වලින් ඉංග‍්‍රීසි උගත් සිංහලයාට සිය නිවසේදී තම මෙහෙකරුවන් තබා සිය ඥාතීන් සමග හෝ අදහස් හුවමාරු කරගන්නට නොහැකි වූ බව කියන්නේ මෙරටට පැමිණි ඉතා ප‍්‍රසිද්ධ පුද්ගලයකු වූ මාර්ක් ටිවේන්ය. සිරිසේනයන්ට සිය මතවාදි මණ්ඩපය සරසා ගැනීමට තරම් වන ලෙසට මේ කාලයේදී ලංකාවේ මුල්ම වර්ජන ආරම්භ වූ බව පෙනේ. 1896 දී රෙදි සෝදන්නවුන්ගේ වර්ජනයද, 1906 කරත්තකරුවන්ගේ වර්ජනයද සිරිසේනගේ සිත සිය යුතුකම් පිළිබඳ නැමියාව වර්ධනය කිරීමට බලපාන්නට ඇත. එසේම එවකට මෙරට ආණ්ඩුකාරයා වූ විලියම් ග්‍රෙගරිගේ පශ්චාත්තාපයද පියදාස සිරිසේනට ලිවීමට ජනතාව අතරට යාමට අනුබලයක් වූවා විය හැකිය.

‘‘මට නිශ්ශබ්ද විය නොහැකි කරුණක් තිබේ. එනම් රට පුරා බේබදුකම පැතිරීමයි’’

සිංහල වර්ගයා බසින්, දෙසින් හා සමයෙන් නංවාළීමට එක්වෙමින් සිටි සිරිසේනට මෙය තවත් ඉසව්වකට සිය සිත යොමු කරවන්නට කළ පෙළඹවීමක් සේ පැහැදිලිය. මිනිසාගේ පිරිහීමේ දොරටු වශයෙන් උභය කුල පරිශුද්ධ නොවීම, දුරාචාරය, සුරාව, ආගම දහම නොතැනීම, බටහිරට ගැතිව නොගැලපෙන සිරිත් විරිත් පිරීමට ගොස් බංකොළොත්කාරයන් වීම යනාදිය දුටු ඔහු ඒ නැතිකිරීමට කටයුතු කළ තුන්කල් දුටු නිර්මාණකරුවෙකි. මිනිසාට ඔහු සිය නිර්මාණ කුසලතාවය මගින් එම කරුණු සූචනය කරමින් සංස්කෘතික සමාජයක උත්තර මිනිසා නිර්මාණය කිරීමට මූලික වු බව පෙනේ.

ඔහුගේ එම වෑයම කොතෙක් කල් මල් ඵල ගෙන තිබුණේද යන්න තහවුරු කරන්නේ ඔහුගේ පත පොත දහස් ගණනින් අලෙවි වීමෙන් පමණක් නොව පසුකාලීනව සිංහලයේ ප‍්‍රාඥයකු ලෙස සැලකු මාර්ටින් වික‍්‍රමසිංහ ඒ ඔහු නිර්මාණ ඇසුරෙන් බිහිවීමෙන්ය.

මේ කරුණු විමසා බැලීමෙන් පෙනී යන්නේ එදා පියදාස සිරිසේන ඇතුළු බොහො දෙනෙකු විවිධ මං පෙත් ඔස්සේ සිය දායකත්වය දැරුවේ 1835 දී මැකෝලි විසින් ඉන්දියාවේ අධ්‍යාපනය හරහා එම රට වැසියන් ‘‘වර්ණයෙන් සහා රුධිරයෙන් ඉන්දියානුවන් වුත් රසඥතාව අතින් ඉංග‍්‍රීසි ජාතියක්’’ බිහිවීමට කළ යෝජනාවම, කෝල්බෲක් විසින් මෙරට අධ්‍යාපනය ඔස්සේ සිදු කිරීමට ගිය,

‘‘බටහිර සංස්කෘතියට හැඩ ගැසුණු ඉංග‍්‍රීසි උගත් ස්වදේශික පංතියක්’’
යෝජනාව හා අධ්‍යාශය පරදවාළන්නට කටයුතු කළ බව පෙනේ.

මේ පීඩනය ජාතික හැ`ගීමෙන් පිබිදී සිටි සිරිසේනයන් එම මග යාමට කරනු ලැබු විශාල අභිපේ‍්‍රරණයක් වු බව පෙනේ. එහිදීම මෙරට පිරිවෙන් අධ්‍යාපනය බිඳවැටීම, මුද්‍රණාල හරහා ක‍්‍රිස්තියානීන් බුදුදහමට පහර ගැසීම හා කිතුනු දහම ව්‍යාප්ත කරවීම, මෙරට සිංහලයන් ඉංග‍්‍රීසි ඉගෙන සුදු ආයතනවල සේවය කිරීමට යාමෙන් ඔවුන් නව ධනේශ්වර පන්තියක් ලෙස නැගී සිටීම, සුදු පුවත්පත්කරුවන් මේ රට බි‍්‍රතාන්‍ය කොලනියක් සේ සැලකීම, එසේම ඇතැම් සුදු ජාතික පුවත්පත් රජයේ අයුතුවැඩ වලට එරෙහිවීම, මත්පැන් ඔස්සේ ග‍්‍රාමීය ජනතාව විනාශ වීම හා අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර මෙන්ම ජෝන්ද සිල්වාද ගෙන ගිය ජාතික හා ආගමික ව්‍යාපාරය නිසා පියදාස සිරිසේන ජාතික තලයේ චරිතයක් බවට පත්විය.

ඔහු එහිදි, එම කටයුතු අඛණ්ඩවම, ප‍්‍රබලව, තර්කානුකූලව හා යහපත් පණිවුඩයක් පෙර දැරි කරගෙන කරගෙන ගියේය. මේ තත්ත්වය ඔහු සවිඤ්ඥානිකව කළාද යන්න අපැහැදිලි වුවද එය මෑත කාලීන ජනමත ප‍්‍රධානියකු වන්නේ කෙසේද යන ජෝර්ජ් කැලස්ගේ සිද්ධාන්තයට අනුව ඉතා සාර්ථක වූ ක‍්‍රියාවලියකි. ඒ අනුව එදා පියදාස සිරිසේන යනු ජාතියක් අවදි කරවීමට අන් අය ගෙන ගිය ව්‍යාපාරයේම ගමන් කළ පෙළපාලිකරුවකු නොව අවබෝධයකින් යුතුව හා ඉදිරිය දකිමින් කිසියම් සුවිශාල අයෝජනයක් කළ මුල් පෙළේ අර්ථ ධර්ම සම්පාදකයෙකි. සම්මාදම්කරුවෙකි.

ඒ සියල්ල අවසානයේ අපට පියදාස සිරිසේනයන්ගේ ක‍්‍රියාදාම සම්මාදම හා ඔහුගේ මැදිහත්වීම හුදු නිර්මාණකරුවකුම අතික‍්‍රමණය කළ භූමිකා රාශියකි. එය තහවුරු කරන්නේ ඔහු බි‍්‍රතාන්‍ය පාලනය නම් වූ යටත් විජිත සමයේ මෙරට ජනතාවගේ නිදහස වෙනුවෙන් සිය කැරිස්මාව තුළ කළහැකි සියලූ කාර්ය උදෙසා යොමුව ජනමත ප‍්‍රධානයකි බවයි. එහිදී ඔහු සමාජ ශෝධන නවකතාකරුගේ චරිතය ඉක්මවා යන්නේය.