ටිරන් කුමාර බංගගමආරච්චි

මෙරට දේශපාලනය තවමත් ගමන් කරනුයේ පීලි දෙකක් උඩය. ඒ එජාපය සහ ශ‍්‍රී ලංකා එකෙන් මිදුණු පොහොට්ටු පක්ෂය මතය. මුලදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබූ බලය දැන් පොදු ජන පෙරමුණට ලැබී ඇත. ඒ අනුව මහා පක්ෂයක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වඳ වන ඩයනෝසරයෙක් බවට පත්වී ඇත. මෙය එක්තරා විදිහට යහපත් ප‍්‍රවණතාවකි. පීිලි දෙකේ දුවන දේශපාලනය පුළුල් මගක යන තැනට පත් කළ යුතුය. එයට මේ මහා පක්ෂ කෑලි කෑලිවලට කැඩිය යුතුව ඇත. එය දැන් සිදුවෙමින් පවතී. මීට පෙර මේවායින් කැඞී ගිය අය විනාශ වූ අතර දැන් දැන් තත්ත්වය වෙනස්වෙමින් මහා පක්ෂ දියවෙන්නට පටන් ගෙන ඇත. පොහොට්ටු පක්ෂය එයට කදිම නිදසුන විය. එය එලෙස වූයේ පුද්ගල සාධක මත බව පැහැදිලිය. එයට සුවිශේෂී හේතුව වූයේ මහින්ද රාජපක්ෂය. මෑතකාලීන ලාංකේය දේශපාලනයේ පුරාවෘත්තයක් වී නම් ඒ මහින්ද රාජපක්ෂ බව අවිවාදිතය. අද තනිකරම මේ රට පත්වී ඇත්තේ මහින්ද කරණයකටය. අද බුදු දහම පවා මහින්ද දහම බවට පත්වී ඇත. පුද්ගල චරිතයක් ලෙස බලගතු දේශපාලන ශරීරයක් වේ නම් ඒ මහින්ද බව අවිවාදිතය. අද ජාතිය යනු මහින්දකරණය වූ ජාතියකි. නලින් සිල්වා හඳුන්වා දුන් ජාතික චින්තනය අද මහින්ද චින්තනය වී නලීන්ලාද එහි වහලූන් වී ඇත. අද මහින්ද මෝහයෙන් මිදීමට මේ සමාජයට අමාරුම කාර්යයක් වී ඇත. අමාරුවෙන් හෝ රටක් ලෙස ජයගත යුතු ඉලක්කයද එයය. එහෙත් එය පහසු කාර්යයක් නොවේ.


පුද්ගල චරිත


මෙරට දේශපාලනය පුද්ගල බද්ධය. චරිත මත යැපෙමින් ඒ. කවුරු හෝ සන්ධානගත වී පොදු අපේක්ෂකයකු ගෙනාවද ඔහුද දන්නා හඳුනන අයකු විය යුතුය. මෙරට ඡුන්දය ගන්නට නම් කවුරු හෝ ඔහු දන්නා අයකු විය යුතුය. අපේ මිනිස්සු දන්නා හඳුනනකමට සලකනවා වැඩිය. ඒ නිසා පොදු අපේක්ෂකයකු සොයන්නේ නම් නැවත සොයාගත හැකි වන්නේ මේ නම් ඇති තක්කඩියකුමය. අප එලෙස කියනුයේ මේ මොහොතේ ප‍්‍රධාන ප‍්‍රවාහ දෙකේ පමණක් නොව, චූල ප‍්‍රවාහවල පවා දේශපාලනයෙහි රජ කරනුයේ තක්කඩියන් බැවිනි. ඩිව් ගුණසේකර වැනි පුද්ගලයකු දේශපාලන මහත්මයකු ලෙස සැලකිය හැකිමුත් ඔහුව කාට හෝ ජනාධිපති අපේක්ෂකයා කළ හැකිද? කිසිදු සන්ධානයක් ඔහු වැනි අයකු නොතෝරන අතර ජනතාව වුව එවැනි අය කෙරෙහි උනන්දු නොවෙති. එවැනි වටපිටාවක මෙරට දේශපාලනය තීන්දු කරන ප‍්‍රධාන චරිත දෙක බවට මහින්ද සහ රනිල් පත්වී සිටිති.


මහින්ද ජනතාව දිනාගත්, මෑතකාලීන ප‍්‍රධානතම චරිතය වුවත් රනිල් එසේ නොවේ. එහෙත් රනිල් එජාපයේ ව්‍යුහයට අත තැබිය නොහැකි ලෙස එය තම ග‍්‍රහණයට ගෙන ඇත. මේ නිසා ජන ප‍්‍රසාදයක් නැතිව වුවද රනිල්ට ලොකු බලයක් නිර්මාණයක් වී ඇත. ඒ එජාප ඡුන්දදායකයෝ ප‍්‍රමාණය විශාල මෙන්ම ඔවුන් එජාපයේ නායකයා කවුරු වුව ඔහු වටා සිටින බැවිනි. රනිල්ට ලැබී ඇති වාසිය මෙයය. ඒ නිසා ඔහු පක්ෂ නායකකම අත්නොහරී. එය ඔහුට බලගතු මෙවලමක් වී ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන වුව ශක්තිමත් වීමට මහින්දට හැකි වුවත් රනිල්ට පක්ෂ නායකකම අත්හැරණහොත් දේශපාලන ගමනක්ද නැතිවනවා ස්ථිරය. ඒ යථාර්ථය ඕනෑවටත් වඩා දන්නා නිසා රනිල් එය තව තවත් බදා ගනියි. පක්ෂ නායකකම අතහැරුණු සැණින් රනිල්ගේ දේශපාලන ගමන නිමා වන්නේය. කෙසේ වුවත් දැනට එය ශක්තිමත් නිසා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමේ බලය ඔහු සතු වී ඇත. එහෙත් ඔහුට අභියෝග පිණිස මංගල සජිත්ව කරට ගත්තේ එජාප අපේක්ෂකයා සජිත් බව කියමිනි. මෙය එජාපය හෙළව්වේය. එයට විැද්ධව උපරිමයෙන් නැගී සිටිනුයේ රවි කරුණානායකය. ඔහු කියනුයේ එජාපයේ අපේක්ෂකයා රනිල් කරු හෝ එස්.එෆ්. බවය. දැන් එජාපයේ අපේක්ෂකයා තෝරන්නේ මංගල සහ රවිය. එතකොට රනිල් කවුද?


මනෝ ගනේෂන් එජාප නායකයාගෙන් ඉල්ලා සිටියේ වහාම එජාප අපේක්ෂකයා නම් කරන ලෙසය. ඒ සැවොම තම තම හිතවතුන් අපේක්ෂකයන් කරන බැවිනි. කොටින්ම එය නාඩගමක් වී ඇති බැවිනි. රනිල්ට සජිත් අරහං බව නම් ප‍්‍රසිද්ධ කතාවය. එහෙත් පක්ෂයේ බහුතරය සජිත් සමග බවද ප‍්‍රසිද්ධ රහසය. කරු සමග ඇත්තේ සිවිල් පුරවැසි සමාජ තීරු කිහිපයකි. ඒවාද දැන් පිවිතුරු හෙළ උරුමය පන්නයේ එකෙකු දෙන්නෙකු රජ කරන සංවිධානය. යහපාලනයේදී කැපී පෙනුණු මොවුන් රනිල්ගෙන් කැපී විසි විය. ඒ නිසා රනිල්ට එරෙහිව කරු සූදානම් කළ මොවුන් හෙට නැවත කරු රජ කොට රනිල්ට බලය ලබා දෙන්නේ කෙසේද? රනිල්ට ජන ප‍්‍රසාදයක් නැතත් පක්ෂ නායකකම ඇති නිසා කාට වුව එජාපයේ සහායෙන් එනම් රනිල් දැනට වුවමනාය. මන්ද එජාප ඡුන්ද ඔහු හරහා තීන්දු වන බැවිනි. යම් හෙයකින් සජිත් එජාපය කඩාගෙන ගියහොත් මහින්ද මෙන් පවුරක් ගොඩ නැගෙන බව කිව යුතුමය. ඒ මට්ටමට එජාප බිම් මට්ටම සජිත් ග‍්‍රහණය කරගෙන හමාරය. එපමණක් නොව, මහින්ද වටා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන් ඒකරාශී වූවා සේ ම එජාපයේ බහුතරය සජිත් වටා සිට ගන්නවා නියතය. එසේ වුවහොත් සිරිසේනට වූ සන්තෑසියම රනිල්ට වනවා නියතය. එවිට අනාථ වී සිටින සිරිසේනට සජිත් සමග එකතු විය හැකිය. රනිල්ට නොහැකිය. එසේ වුවහොත් පක්ෂ නායකකම තිබුණා කියා රනිල්ට අමුතු වාසියක් නොවේ. ඔහුට වන්නේම සිරිසේනට වූ දේය. සිරිසේනට පක්ෂ නායකකම තිබුණද මහින්ද ප‍්‍රබල විය. ශ‍්‍රී ලංකා එකේ ඉතිරි ටික හෙට දවසේ පොහොට්ටුවේ විය හැකිය. රනිල්ගේ කල්ලිය වුව සජිත් සමග යා හැකිය. බලය පේන තැන සැවොම සිට ගනිති. එවිට කරුලා, චම්පිකලා රනිල් සමග සිට ගත්තායි වැඩක් නොවන බව බොරුවට කෑගසන රවි නොදනී. මෙහිදී දැනට ඇති එකම දේ එජාපයට අපේක්ෂකයන් බොහෝ සිටියද පොහොට්ටුවට ඇත්තේ රාජපක්ෂලාම පමණි. රාජපක්ෂලාගෙන් තොරව නමක් කියන්න එහි බොහෝ අය අසමත්ය. ප‍්‍රායෝගිකව ගත්තද රාජපක්ෂලා හැර ඒ අයට විකල්පයක්ද නොපවතී. 19ය නිසා මහින්දට තරග කළ නොහැකිය. නැතහොත් ඔවුන් සතු නියම තරගකරුවා මහින්දය. එමෙන්ම ජනප‍්‍රසාදය ඔහු වටාය. මේ නිසා ඔහුද තම සහෝදරයන්ට වුව නිකම්ම ඒ බලය දෙන්නට සූදානම් නැත. එසේ නම් කවුරු ආවද අගමැති ඔහුය. 19ට අනුව ජනපතිට බලයක් නැතැයි දේශපාලන සංවාද ඇති පදම් වුවද ජනාධිපති තෝරන්නට ජනාධිපති අපේක්ෂකයා වන්නට මෙතරම් උනන්දුවක් ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි එහා මෙහා කොට සංශෝධන ගෙන ආ හැකි බැවිනි. එය ගෝඨා නොදනීද? එය මහින්ද නොදනීද? ගෝඨා ජනපති වී 19 ඉවත් කළහොත් මහින්දට වුව නැවත ඉඩ විවර වේ. එහෙත් එවිට කෝච්චිය ගොස් හමාරය. මන්ද ගෝඨාට උපරිම බලයද ලැබී අගමැති නිකමකු වී හමාර බැවිනි. එබැවින් ඔහු මේ සෙල්ලම රාජපක්ෂ පවුලේ කා සමග වුව කරන්නට මැලිය. ගෝඨා සමග විශේෂයෙන් බයය. එහෙත් යටිපෙළ ගෝඨාම ඉල්ලන ප‍්‍රවණතාවය නිසා මහින්දට කරකියාගත නොහැකි තත්ත්වයක් මතුව ඇත. දේශපාලන කපටියකු වන මහින්ද දන්නා ප‍්‍රධාන දේ නම් අද ඔහු වටා සිටින ජන ප‍්‍රසාදය නිමේෂයෙන් ගෝඨාකරණය විය හැකි බවය. රනිල් මෙන්ම මහින්දද හිස දන්දෙනවාද යන්න දහඅතේ කල්පනා කරනවා නියතය. පක්ෂය දිනන්නට නම් තමන්ට පරදින්නට වන බව ඔවුහු දනිති. ඒ නිසා මේ දෙදෙනාම නන්නත්තාර වී ඇත.


වෙන මුකුත් නෑ


මේ දේශපාලන සංවාදය හැරුණු කොට රටේ වෙන ප‍්‍රශ්න නැති තරම්ය. හැම හිතනුයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්නය. එජාපයේ මෙන්ම පොහොට්ටුවේද මේ උණුසුම පවතී. කල්තබා නම් ප‍්‍රසිද්ධ කර පච වීමටද මේ අය බයය. කරළියට එන කිසිවකු හොඳ අය නොවේ. ඒ නිසා ප‍්‍රසිද්ධ වූ සැණින් මොවුන් විනාශ කරන ප‍්‍රහාර මාලාව දියත් වන බවද මොවුහු දනිති. මෙරට සියලූ කඩා වැටීම්, නගා සිටුවීම් දේශපාලනය සමග ගැට ගැසී ඇත. රට දියුණු කරන්නට නම් හොඳ දේශපාලන දැක්මක් පමණක් වුවමනාය. එය මේ වනවිට පුද්ගල මත බවට පත්වී ඇත. පක්ෂ නමට ඇති මුත් පක්ෂ ප‍්‍රතිපත්ති හෝ පක්ෂය ගන්නා සාමූහික වැඩ වෙනුවට සිද්ධ වන්නේ පත්වන නායකයාගේ මත ක‍්‍රියාත්මක වීමය. නීති නැවීම් හැර කෙළින් කිරීම් සිදුවිය නොහැකිය. මේ නිසා පුද්ගලයන්ට අමතරව සිස්ටම් එකක්ද වුවමනා වේ. ඒ කවුරු වෙනස් වුවද එක විදිහට ගමන් කරන රටාවක්ය. ජනතාව උත්සුක විය යුත්තේ එයටය. හොඳ දේශපාලකයන් සෙවීම වෙනුවට හොඳ දේශපාලන යාන්ත‍්‍රණයක් හදා ගැනීම ලේසිය. එහෙත් එය කරන්නට වන්නේද පත්වන පුද්ගලයන් මතය. මේ එන්නට නියමිත චරිත දෙස බලන කල එය කිරීම ලේසි නැත.


අගෝස්තු එකොළොස්වැනිදා පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කරන බව මහින්ද කියන්නේය. එය එසේම වේවිදැයි යන්න සැකසහිතය. සැවොම ඉක්මන් වන්නට බයය. මේ නාඩගම හැදුණේද 2015ත් සමගය. හංගා ගෙනා අපූරු වස්තුව වූ සිරිසේන දැන් නටන පිස්සු එමටය. ඔහු හරහා පොදු අපේක්ෂක කතා නම් කුණු වී ගියේය. එලෙසම කරු ගෙනාවද තත්ත්වය එයය. උඩින් දාන අයට බිමින් යන්නට වන බව සහතිකය. අවසානයේ නැවත සුළු ඡුන්ද මත යැපෙන්නට සිදුවන බව පැහැදිලිය. ලංකාවේ දේශපාලනයද මේ දිනවල කාලගුණය මෙන්ය. විශ්වාස කළ නොහැකි මට්ටමට පත්වී ඇත. කුමක් සඳහා වුව යහපාලනය සමග ඇතිවූ මේ බහුබූත ක‍්‍රමය එක් තැනකට ගාල්විය යුතුය. මෙය හොඳකට හෝ නරකට විය යුතුමය. එසේ නොවන තාක් මේ අච්චාරු ක‍්‍රමය රට දිනෙන් දින විනාශ කරනු ඇත. මුළු දේශපාලනයම මාධ්‍ය සංදර්ශන වී ඇත. සිරසට ඕනෑ නායකයා සහ දෙරණට ඕනෑ නායකයා වෙනුවෙන් ජනතාව කතිරය ගැසිය යුතුව ඇත. එදා පත්තර දේශපාලනය දැන් විද්‍යුත් මාධ්‍ය දේශපාලනයක් වී ඇත.


රනිල් – මහින්ද යුගය අහවර වූ පසු මෙරට දේශපාලනය විවෘත වනවා නියතය. එවිට ප‍්‍රශ්න වෙනම ආකාරයකට පෙනෙනු ඇත. මුලින්ම විය යුත්තේ මේ දෙපළ වඳ වීමය. එය මෙවර වෙතැයි මේ දෙපළම බයය. ඔවුන්ගෙන් අත ඇරෙන බලය ඩැහැ ගන්නට බොහෝ දෙනෙක් වෙති. ඉන්පසු කාට වුව මේ විදිහට කල් මැරිය නොහැකි වනු ඇත. දැන් හැම රජවරුය. නායකයෝය. ලිලිපුට්ටෝ, කුරුමිට්ටෝ සේරම ගලිවර්ලා වී සිටිති. මේ එන ජනාධිපතිවරණයත් සමග සෙල්ලම අලූත්විය හැකිය. කොහොම වුණත් පරණ සෙල්ලම දැන් හොඳටම ඇතිය. එය අලූත් විය යුතුය.