දිනී ජයසේකර


මිනුවන්ගොඩ – දිවුලපිටිය – කටුනායක


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් හඳුනා ගත් රෝගීන්ට අමතරව දැන් දැන් රට පුරා ඇති නොයෙක් ප්‍රදේශ ආශ්‍රිතව කොවිඞ් 19 ආසාදනය වූ රෝගීහු හමුවෙති. කෙසේනමුත් සෞඛ්‍ය අංශ තව තවත් කොවිඞ් 19 වසංගතය සමාජගතවී නැතැයි පවසමින් මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ කටුනායක යන ප්‍රදේශ කිහිපයේම පීසීආර් පරීක්ෂණ සිදුකරන්නේ අවිධිමත් ලෙසය. ඔවුහු කාව රවටනවාද යන්න අපි නොදනිමු.


Positive වාර්තා Negative වීම


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් රෝගීන් ඇතුළුව රට පුරා සිටින රෝගීන් ප්‍රමාණය පන්දහස ඉක්මවමින් සිටී. එහිදී මේ අතර රෝගී තත්ත්වයන් නොමැතිව නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමුවූවන්ද, නිරෝධායනයට යොමුවීම නිසා පීසීආර් පොසිටිව් වූ පිරිස්ද සිටිති. සමාජයේ පවතින බිය සහ සැකය නිසා අදාළ නිලධාරීන්ගේ අවිධිමත් ක්‍රියා හේතුවෙන් රෝගී තත්ත්වයක් නොමැති අයද නිරෝධායනයට යොමු කිරීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ ජීවිත අනතුරකට ඇද දැමීමකි.


“මම බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන කෙනෙක්. පීසීආර් පරීක්ෂණ කරල වාර්තා ආවම ඒකෙ කොවිඞ් 19 පොසිටිව් කියලා මාව නිරෝධායනයට එක්ක ගියා. මගේ පවුලෙ අයගෙන් මගේ පුතාටත් කොවිඞ් පොසිටිව්. නමුත් මීට දවස් තුනකට විතර උඩදි කියනවා මගේ වාර්තාවලට අනුව කෝවිඞ් 19 නෙගටිව් කියලා. එහෙම කොහොමද වෙන්නෙ කියලා මම ප්‍රශ්න කළාම ඔවුන් කීවේ වාර්තා මාරුවෙලා කියලා. ඒ නිසා ඊයෙ ආයෙ පීසීආර් පරීක්ෂණයක් කරන්න ඕනි කියලා කීවා.” එසේ පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකි.
පවතින තත්ත්වයේ බරපතළකම වැඩිය. එසේ නමුත් මෙවැනි අවස්ථාවක සෞඛ්‍ය අංශයේ අත්වැරදීම් නොසලකා හැරිය නොහැක. මන්ද රටේ බහුතරයගේ ආරක්ෂාව සම්බන්ධව ඔවුන් වගකිව යුතු නිසාය. එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ


“අපිට පීසීආර් වාර්තා මාරුවීමක් සම්බන්ධව දැනට පැමිණිලි ලැබී නැහැ. නමුත් එවැනි ආකාරයේ දේවල් සිදු වනවා නම් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කළ යුතුයි. මොකද ඒක බරපතළ ගැටලුවක්. මේ මොහොතේ පීසීආර් පරීක්ෂණ දහ දාහක් පමණ සිදු කරනවා. අපි පීසීආර් සාම්පල් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කරල ලැබ්වලට යොමු කරනවා. එහිදී පීසීආර් පරීක්ෂණයට පෙනී සිටි පුද්ගලයාගේ සියලු දත්ත සමග තමයි එම සාම්පල් අපිට ලැබෙන්නේ. එනිසා වැරදීමක් වෙන්න තියෙන ඉඩ අඩුයි.” යන්නය. කෙසේ නමුත් පීසීආර් වාර්තා මාරුවීම නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළත සිටින අය අතර ප්‍රසිද්ධ රහසක් වී ඇත.


“කොවිඞ් 19 පොසිටිව් අයව නිරෝධායනයට එක්කරගෙන යද්දි ඒ අවට අය දැන් අපි කුමක් කළ යුතුද යන්න මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් විමසුවාම ඔවුන් අපට කියන්නෙ සද්ද නැතුව ගෙවල්වලට ගිහින් වැඩ කරන් ඉන්න කියලා. කලින් ඇඳිරි නීතිය දාපු වෙලේ නම් අපිට ගොඩක් උපදෙස් ලැබුණා. කන්න බොන්න ලැබුණා. නමුත් මේ පාර ඡන්දයක් ළඟ නැති නිසාද කොහෙද අපි ගැන හොයල බලන්නෙ නැහැ.” එසේ පැවසුවේ ඇවරිවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.


සැබැවින්ම මේ මොහොතේ මහජනතාව තැතිගැන්මකින් ජීවත් වන මොහොතක් ලෙස හැඳින්විය යුතුය. එසේනම් ඔවුන් දෙස සානුකම්පිත දෑසින් බැලිය යුතුය. මන්ද අවස්ථාවේ හැටියට ඔවුන්ට දැන් අවශ්‍ය රැකවරණයකි.


PCR වාර්තා දවස් ගණන් ප්‍රමාද වීම


දවස් කිහිපයකට ප්‍රථම දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ කටුනායක ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ සදහා පෙනී සිටි බහුතරය පවසන්නේ වාර්තා තවමත් ලැබී නොමැති බවය. දවස් තුන හතර ගෙවී අවසන්ය. නමුත් තවමත් ඔවුන්ගේ වාර්තා ලැබී නැත.


“අපිට ගිය අටවෙනිද පීසීආර් පරීක්ෂණ කරන්න දිවුලපිටිය ක්‍රීඩාංගණෙන්ට එන්න කියලා කීවා. ඊටපස්සෙ පරීක්ෂණ කරල ඉවර වුණාම දවස් තුනකින් වාර්තා දෙනවා කියලා කීවා. නමුත් අපිට වාර්තා ලැබුණෙ දාහතර වෙනිදා. එතකොට වෙන්න ඕනි ඒවා වෙලා ඉවරයි. ” දිවුලපිටියේ පදිංචි එම්. කාංචන පැවසීය.


කොවිඞ් 19 අවස්ථාවේදී සෞඛ්‍ය අංශ කටයුතු කරන්නේ අන්ධ මිනිසෙකු කිරි කන ආකාරයටය. පීසීආර් පරීක්ෂණ සිදු කරන මොහොතේ සිට වාර්තා ලැබෙන තුරුත්, වාර්තා ලැබුණු පසුත් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ඇති බව අපි දනිමු. එසේ නම් පීසීආර් පරීක්ෂණ සදහා පෙනී සිටීමෙන් අනතුරුව ඔවුන් කටයුතු කළයුත්තේ කෙසේද යන්න දැනුවත් කිරීම සෞඛ්‍ය අංශ සතු වගකීමක් නොවේද? මන්ද ගම් ආශ්‍රිතව ජීවත් වන බහුතරය කුලී වැඩ කරන පුද්ගලයන්ය. එසේත් නැතිනම් ඇඟලුම් ආයතනවල සේවය කරන්නන්ය. එවැනි අවස්ථාවක වාර්තා පැමිණෙන තෙක් බොහෝ දුරට ඔවුන් තම රැකියාව වෙත යොමුවීමේ සම්භාවිතාව වැඩිය. අප සිතන්නේ එය අවදානම් තත්ත්වයක් බැව් පාලකයන් සහ අදාළ නිලධාරීන් නොදන්නවා විය නොහැක.


“මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින අනුක ජීවී රසායනාගාර නිවැරදිව භාවිත කරන්නේ නම් පීසීආර් පරීක්ෂණ දස දහසක පමණ ප්‍රමාණයක් සිදු කළ හැකියි. නමුත් නිවැරදි ලෙස කළමනාකරණය කරමින් අදාළ රසායනාගාර වෙත නිදර්ශක බෙදා නොහැරීම සහ තාක්ෂණික කළමනාකරණ ගැටලු හේතුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි ස්ථානයන්හි අනවශ්‍ය ලෙස පරීක්ෂණ ගොඩ ගැසෙමින් තිබෙනවා. එනිසා වාර්තා වෙලාවට ලබාදීම මගහැරී තිබෙනවා. තවද සේවක හිඟයක් තිබෙනවා. ඊට රජයෙන් කිසිදු වැඩපිළිවෙළක් යොදන බවක් අපට පෙනෙන්නට නැහැ. තවද පෞද්ගලික රෝහල්වලින් සිදුකරන කොවිඞ් 19 පොසිටිව් පරීක්ෂණ නැවත වාරයක් කිසිදු මුදලක් අය නොකර රජයේ පර්යේෂණ ආයතනවලින් නැවත පරීක්ෂා කරනවා. ඊට යොදවන කාලය නිසාත්, පරීක්ෂණ වාර්තා ලබාදෙන්න ප්‍රමාද වෙනවා. ඒ ලැබෙන වාර්තා අපි අනෙකුත් වැඩ රාජකාරි සියල්ල පැත්තකින් තබා කළ යුතු බව අපට ඉහළින් පවසා තිබෙනවා.” එසේ පැවසුවේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ය.


උක්ත සියලු කරුණු වෛද්‍ය හරිත අලුත්ගේ පැවසු කරුණෙන්ද සනාථ විය.


“අපේ සෞඛ්‍ය අංශයේ සේවක ධාරිතාව ඉතා අඩුයි. මේ සියලු ගැටලු නිරාකරණය කර ගතයුතුයි කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා. අනෙක් කාරණය පීසීආර් වාර්තා ප්‍රමාදවීමට තව කරුණක් බලපානවා. එනම් පෞද්ගලික රෝහලකින් සිදුකරන පීසීආර් වාර්තා කෝවිඞ් 19 පොසිටිව් වූ ගමන් ඒවා නැවත රජයේ පර්යේෂණ ආයතනවලට යොමු කරනවා. ඒ කරලා නැවත පරීක්ෂණයක් සිද්ධ කරනවා. එහිදී පෞද්ගලිකව සිද්ධ වෙන පරීක්ෂණ සඳහා වැඩි ශ්‍රමයක් යොමු කරන බව අපට පෙනෙන්නට තිබෙනවා.”


පෞද්ගලික අංශ සදහා වැඩි අවධානයක් යොමු කිරීම සම්බන්ධව ඇත්තේ කුකුසකි. ඔවුහු පීසීආර් පරීක්ෂණයක් සඳහා රුපියල් හත්දහසේ සිට ඉහළ මිල ගණන් අය කරති. එහිදී හදිසියේ වාර්තාවක් පොසිටිව් වීම තුළ එය නැවත රජයේ පර්යේෂණ ආයතනවලට යොමු කිරීම මගින් වංචනික මුදල් ආයෝජනයක් සිදුකරනවාදෝ යන සැකය ඉස්මතු වේ.

මේ අතර නිරෝධායනයට කටුනායක බොහෝ පිරිස් රැගෙන ගොස් තිබෙන්නේ අවිධිමත් හමුදා මැදිහත්වීමකින් හා බලහත්කාරය මගිනි. සෞඛ්‍ය නිලධාරීන් සහ හමුදා නිලධාරීන් වගකීම් විරහිතව අහිංසක මිනිසුන්ගේ ජීවිත අනතුරකට ඇද දමන්නට උත්සාහ දරමින් සිටින්නේ මන්ද යන්න පැහැදිලි නැත. නමුත් මෙවැනි සිදුවීම් සිද්ධ නොවිය යුතුය යන්න අපගේ අදහසය. මන්ද සෞඛ්‍ය අංශ කියා සිටින්නේ කොවිඞ් 19 වැළඳුණු එක් රෝගියෙකුගෙන් එය කිහිපදෙනෙකුට බෝවිය හැකි බවය. එසේ තිබියදීත් සියල්ල එක පොදියට පීසීආර්වලට යොමු කිරීම මගින් සියල්ලන්ම අවදානමේ බව කිව යුතුය. අවසානයේදී උක්ත කිසිවෙක් ජනතාවගේ ජීවිතවලට වගකියන්නේ නැත. ■

1 COMMENT

  1. ඇත්තටම මෙහි මොනවද සිද්ධ වෙන්නෙ? රුපියලේ කාසිය උඩදාල බලා, පොසිටිව් ද නැගටිව් ද කියා මේ අය තීරණය කරනවා ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here