විමලනාත් වීරරත්න

කාන්තාවකට බය පොලිසියක්

බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ (පිරිමි* මූලික අයිතිවාසිකම් කඩවනවා යන්න පිළිගත හැකි තර්කයක්ද? නඩු නිමිත්තක් මෙහි තිබිය හැක්කේ පොලිසියේ උසස්වීම් පටිපාටියට පිටින් බිම්ෂානිට එම තනතුර ලබාදී තිබේ නම්ය. නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබූ බිම්ෂානිගේ උසස්වීම පිළිනොගැනීමට හේතුව ලෙස එම උසස්වීම, රෙගුලාසිවලට පටැනිවීමත්, එම රෙගුලාසිවල ‘කාන්තා’ යන වචනය සඳහන් නොවීමත් බව පෙත්සම්කරුවෝ දක්වති. මෙය අතිශයින් අසාධාරණ ක‍්‍රියාවක් බව බැලූ බැල්මට පෙනේ. මෙහි ප‍්‍රශ්නය ඇත්තේ කාන්තා නිලධාරිනියක් වීම නිසාද? යන සැකය ඉහළින්ම පැන නගී. එම තනතුරට පත්කිරීම උසස්වීම් රෙගුලාසිවලට පටහැනි නම් පොලිස් දෙපාර්තමේන්තුව කිසිසේත්ම එම තනතුරට ඇය පත් කරන්නේ නැත.

ලංකාවේ පොලිසියට වසර 154කි. මුල් යුගයේ කාන්තා නිලධාරීන් පොලිස් සේවයට නොපැමිණීම නිසා කාන්තා යන වදන මෙම රෙගුලාසි විෂයෙහි සඳහන් නොවූවා වන්නටද පුළුවන. එහෙත් අද වන විට පොලිසියට කාන්තා නිලධාරිනියන් අත්‍යවශ්‍යය. කාන්තා නිලධාරිනියන් නොමැතිව ඇතැම් වැටලීම් සිදු කළ නොහැකිය.

සැබැවින්ම බිම්ෂානිගේ උසස්වීම පොලිස් දෙපාර්තමේන්තුව සිය අභිමානයට කාරණයක් කරගත යුතුය. ඒ කාන්තාවක් අධ්‍යාපන සුදුසුකම් හා සෙසු දක්ෂතා මුවහත් කරගෙන පිරිමි නිලධාරීන් සේ ඉහළටම පැමිණි නිසාය. එහෙත් බිම්ෂානිට පොලිසියෙන් මල් මිටක් වෙනුවට ලැබෙන්නේ ගල් පහරවල්ය. එසේ වන්නේ පොලිසියේ පිරිමි නිලධාරීන්ගේ කුහක වත හේතුවෙනි. පොලිස් උසස්වීම් ඇත්තේ පිරිමින්ට පමණද? අප විශ්වාස කරන පරිදි බිම්ෂානිට, සුදුසුකම් සැපිරුවහොත් හා අවශ්‍ය ජ්‍යෙෂ්ඨත්වයට ළඟා වුවහොත් පොලිස්පති තනතුරට පත්වීමේ අයිතිය පවා තිබිය යුතුය. පොලිසියේ මෙම ගුහාගත සංකල්ප බිඳ හෙළීමට මහජන කතිකාවතක්ද අප යෝජනා කරමු.

ජී.ඞී.එල් සහ තොටුපොළ

ප‍්‍රවීණ කලාකරු ජී.ඞී.එල් පෙරේරා මියගියේ මීට දින කිහිපයකට පෙර එංගලන්තයේදීය. ජී.ඞී.එල් ගැන පැරැුන්නන් මිස වර්තමාන සමාජය නොදනී. ඔහු 1964 තරම් ඈතකදී තොටුපළ නමින් යුත් වේදිකා නාට්‍යයක් කළේය. ඊට වස්තු විෂය වූයේ ජාතික සමඟියයි. ඒ වන විට රටේ ජාතීන් අතර ප‍්‍රශ්නය පශ්චාත් කාලීනව මෙන් ඇවිළ ගොස් තිබුණේ නැත. එහෙත් එසමයේ දක්නට ලැබුණු සමාජ සාධක මත අනාගතයේදී එබඳු ගැටුමක් ඇතිවිය හැකි බව කලාකරුවකු ලෙස ජී.ඞී.එල් දුටුවේය. තොටුපළ එසේ දැක ජාතික සමඟිය උදෙසා කළ උත්තුංග නිර්මාණයකි.

තොටුපළ මට නැරඹීමට ලැබුණේ 2008දී පමණ නැවත නිෂ්පාදනයක් කළ අවස්ථාවේදීය. ඒ මුල් නිෂ්පාදනයෙන් වසර 45කට පමණ පසුවය. නාට්‍යය රංග ගතවූයේ බොරැුල්ලේ නාමෙල්-මාලිනී පුංචි රඟහලේය. නාට්‍යය අවසන් වූ සැණින් එළියට පැමිණි මාහට රථගාල වෙත පැමිණි මහත්මයකු කීවේ ජී.ඞී.එල් කොටින්ට … දී ඇති බවකි. ඇතැම්විට 64දී මේ නාට්‍යය නැරඹූ අය එය එසේ අර්ථකථනය නොකරන්නට ඇත. එහෙත් 2008දී ජාතික සමඟිය උදෙසා කළ නිර්මාණ අරභයාද එම රුදුරු මානසිකත්වය සමාජ වටපිටාව මගින් සකසා තිබුණි. මෙරට අධිපති දේශපාලන මතවාදය විසින් එවැන්නක් ගොඩ නගා තිබුණි.

ජී.ඞී.එල්. හැට ගණන්වල සාමා, දහසක් සිතුවිලි වැනි චිත‍්‍රපට නිර්මාණය කළේය. දහසක් සිතුවිලි හොඳම චිත‍්‍රපටය බවටද පත්විය. ඔහු ඉතා විශිෂ්ට කලාකරුවකු වන්නේ පළල් සමාජ, දේශපාලන දෘෂ්ටියකින් යුතුව නිර්මාණකරණයට අවතීර්ණව සිටි නිසාය. අතීතයේ එක්තරා දවසක රාවය කාර්යාලයට පැමිණි ඔහු මා සමග දීර්ඝ කතාබහකට එක්විය. ඔහු එහිදී කීවේ බණ්ඩාරනායක රාජ්‍ය භාෂා පනත ගෙන ආ අවස්ථාවේදී රාජ්‍ය සේවයේ තනතුරක හතරවැනියාව සිටි ඔහුට අත්දැකීම් අඩු තත්ත්වයකදී පළමුවැනියා වීමට අවස්ථාවක් ලැබුණු බවය. ඒ කඩඉම් වභාගය නිසා ඔහුට උඩින් සිටි දෙමළ නිලධාරීන් තිදෙනාම රස්සාව අතහැර ගිය නිසාය. ජී.ඞී.එල්. මේ සිද්ධිය ගැන මතකය අවධි කළේ කනගාටුවෙනි. එවැනි සිදුවීම් මගින් රට අවුල් වූ බවත්, ජාතීන් අතර සමඟිය නැත්තටම නැතිවූ බවත් ඔහු කීවේය. ඉහත සිදුවීම නිසා ඔහු ඉතා ඉක්මනින් රාජ්‍ය සේවයේ ඉහත තනතුරින් සමුගත් බවද කීවේය.

තොටුපළ නාට්‍යයේදී වේදකාව මත ඔරුවක් පදින මනමේ දර්ශනයත්, ජී.ඞී.එල්. නිර්මාණය කර තිබුණි. දෙමළ ජාතික වෛද්‍යවරයකු ඔරුවෙන් පැමිණ සිංහල කාන්තාවකට ප‍්‍රතිකාර කරයි. මෙහිදී වේදිකාව අඳුරු කර ඔරුව පැදීම පමණක් ආලෝක වළල්ල යටට ගැනීමට ජී.ඞී.එල්. උත්සාහ දරා තිබුණි. දැන් ඒ ඔරුව පදින්නේ ජී.ඞී.එල්.ය. ඔබ පිළිබඳ මතකය තොටුපළේ ඔරු කඳ මත තබා නිබඳ ස්මරණය කරන්නට අප කැමැත්තෙමු.

1 COMMENT

Comments are closed.