නාලක ගුණවර්ධන
[email protected]


COVID-19 වසංගතයේ දෙවන රැල්ල කළමනාකරණය කරන්නට රජය දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා.
වෛරසය පැතිර යාම සීමා කරන්නට තාවකාලිකව හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනයා සිය නිවෙස්වල රැඳී නොසිට අහල පහල සංචරණයේ යෙදෙනවාද යන්න සෝදිසි කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ හමුදාව ඩ්‍රෝන් (drones) යොදා ගැනීම පසුගිය දිනවල ආරම්භ වුණා.

හෙලිකොප්ටර්වල නැගී ගමන් කරන හමුදා නිලධාරීන් මෙන්ම ඩ්‍රෝන් හරහාද නිරෝධායන ආවේක්ෂණය (quarantine surveillance) සිදු කිරීම අරඹා තිබෙනවා. රජය කියන්නේ කෙතරම් දැඩි ලෙස අවවාද කළත් සමහරුන් නිරෝධායන නීති කඩන බවයි.


ඩ්‍රෝන කියන්නේ නියමුවන් රහිත, ගුවන්ගත කොට දුරස්ථව ක්‍රියාත්මක කළ හැකි කුඩා ගුවන්යානාවලට. මෙයට තවම සිංහල යෙදුමක් නැති නිසා ඩ්‍රෝන් යැයිම කියමු. කැමරා සවි කළ ඩ්‍රෝන් යම් තැනකට ගුවනින් යවා, හසුරුවා යම් නිශ්චිත ප්‍රදේශයක ඡායාරූප සහ වීඩියෝ ගත හැකි හැකියි.


ලෝකයේ මෙන්ම අපේ රටේත් ඩ්‍රෝන් මුලින්ම යොදා ගනු ලැබුවේ මිලිටරි වැඩවලට. සිවිල් යුද්ධ සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔත්තු බැලීමට යොදා ගත් “කේලමා” ඔබට මතක ඇති. ඔත්තු බලන්නට පමණක් නෙවෙයි, දුර සිට යම් ඉලක්කයන්ට පහර දෙන්නට අවි ගෙන යා හැකි යුද්ධමය ඩ්‍රෝන් ද ලොව තිබෙනවා.


මහජනයා ආවේක්ෂණයට ඩ්‍රෝන් යොදා ගැනීම මෙම තාක්ෂණයේ ආන්දෝලනාත්මක භාවිතයක්. මෙය වඩාත් මතුව ආයේ 2020 වසරේ වසංගත ආපදාව සමගයි. මේ වන විට එය ලොව විවිධ රටවල දැකිය හැකි ප්‍රවණතාවක්.
ඉතා ඉහළ රූපමය අගයක් (image resolution) සහිත වීඩියෝ හා ඡායාරූප ගැනීමේ හැකියාව ඇති නිසා ඩ්‍රෝන් මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතවලට අනවසරයෙන් එබී බලන්නට පුළුවන්.


ඩ්‍රෝන් ආවේක්ෂණය මෙරට පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට තර්ජනයක් විය හැකි බව සමාජ ක්‍රියාකාරිකයන් සහ පර්යේෂකයන් පෙන්වා දෙනවා.


මේ ගැන අගනා විග්‍රහයක් කරන ‘සිලෝන් නිවුස්’ පුවත් වෙබ්අඩවිය, මෙසේ සඳහන් කළා: “වසංගත අවදානමට මුහුණ පා සිටින ලක්වාසීන්ට හිඟ වී පවතින PCR යන්ත්‍ර හා ඇඳන් ඇතුළු ආම්පන්න සඳහා වියදම් කරනු වෙනුවට අධි තාක්ෂණික ඔත්තු බැලීමේ ගුවන් කැමරාවලට මුදල් යෙදවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහට ලක්වී තිබුණි.” සම්පූර්ණ ලිපිය මෙතනින්:


2016 සැප්තැම්බර් 25දා ‘ඩ්‍රෝන් තාක්ෂණය දැන් ශ්‍රී ලංකාවේ: අප එයට සූදානම්ද?’ නමින් ලිපියක් ලියමින් මා කීවේ මෙයයි: “අද වන විට සාමකාමී භාවිතයන් රැසකට ඩ්‍රෝන් යොදා ගැනීම ඇරඹිලා. බඩු ප්‍රවාහනයට, ආපදා හදිසි තක්සේරුවලට, ඡායාරූපකරණයට හා මාධ්‍යකරණයට ආදී වශයෙන්. අප සමහරුන් කැමති වුණත්, නැතත් ඩ්‍රෝන් තාක්ෂණය ලංකාවටත් ඇවිල්ලා.”


සාමකාමී වැඩට ඩ්‍රෝන් භාවිත කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සමහර ආයතන විසින් දැන් වසර කිහිපයක් පුරා නිහඬව කරන බවත්, එය නියාමනයට සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රෙගුලාසි සකස් කොට ඇති බවත් මා සඳහන් කළා.


“ඩ්‍රෝන් භාවිතය වැඩිවත්ම අපේ සමහරු ඒවා ගැනත් භීතිකාවක් පැතිරවිය හැකියි. ඩ්‍රෝන් තාක්ෂණයේ නිසි ඵල නෙළා ගන්නා අතර ඒවා ප්‍රවේශමින්, ආචාර ධර්මීයව හා නිසි නියාමන රාමුවක් තුළ භාවිතයයි අවශ්‍ය වන්නේ,” යනුවෙන් මා එදා අවධාරණය කළා.


මෙම තාක්ෂණය ආරක්ෂිත සහ ආචාර ධර්මීය ලෙසින් මෙරට භාවිත කිරීමේ පුරෝගාමියකු වන සංජන හත්තොටුව පසුගියදා මේ ගැන ට්විටර් හරහා අදහස් දැක්වූවා.


මාධ්‍ය වාර්තාකරණයෙන් පෙනෙන හැටියට මෙම ආවේක්ෂණය සඳහා මෙරට යොදා ගනු ලබන්නේ ඉහළ ගණයේ හැකියාව ඇති ඩ්‍රෝන් බව ඔහු කියනවා.


“කොරෝනාවට එරෙහිව ඩ්‍රෝන් ආවේක්ෂණය ඇරඹීම ගැන ටෙලිවිෂන් ප්‍රවෘත්තිවල පෙන්වන ලද රූප අධ්‍යයනය කළ විට, හමුදාව යොදා ගන්නා ඇතැම් ඩ්‍රෝන්වල Zenmuse H20 නමැති කැමරාව සවි කොට ඇති බව පෙනෙනවා. මේ කැමරාවලින් තාප රූපගත කිරීම් (thermal imaging) පවා කළ හැකි නිසා රාත්‍රියේ අඳුරේ වුවද පුද්ගලයන් ගමන් කරනු සහ වෙනත් චර්යා හසුකරගත හැකියි,” ඔහු පෙන්වා දුන්නා.


දැනට නවසීලන්තයේ ඔටගෝ සරසවියේ ආචාර්ය උපාධි පර්යේෂණ කරන සංජන අවධාරණය කළේ මෙයයි: “සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඩ්‍රෝන් රෙගුලාසි හමුදාවට අදාළ වන්නේ නෑ. (පෞද්ගලික ඩ්‍රෝන් හිමිකරුවන්ට මෙන්) එම අධිකාරියේ අවසරය හමුදාවට අවශ්‍ය වන්නේ ද නෑ. ඩ්‍රෝන් හසුරුවන්නාගේ ඇසට පෙනෙන මානයෙන් ඔබ්බට ඩ්‍රෝනයක් යැවිය නොහැකි බව සහ අඳුරේ ඩ්‍රෝන් ගමන් කර විය නොහැකි බවට ආදී වශයෙන් ඇති සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියාමන සීමා හමුදාවට අදාළ නොවන නිසා, පුරවැසි ආවේක්ෂණය කෙතරම් පුළුල් මේ ද යන්න අපට සිතා ගත නොහැකියි.”


උදාහරණයක් ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරීයේ රෙගුලාසි අනුව පෞද්ගලික ඉඩම් උඩින් හිමිකරුවන්ගේ අවසරයෙන් තොරව ඩ්‍රෝන් පියාසර කරන්නට ඉඩ නැහැ. එහෙත් පොලීසියට සහ හමුදාවට අයත් ඩ්‍රෝන්වලට මේ සීමා බලපායිද?


මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙම ඩ්‍රෝන් භාවිතය අනුමත කරමින් ට්විටර් පණිවිඩ නිකුත් කර ඇති අතර, චීනයේ රජය විසින් මහජනයා “විනයගරුක ලෙස හැසිරවීමට” ඩ්‍රෝන් භාවිත කරන බව ද ඔවුන් එහි කියනවා.
පුරවැසියන් සැවොම නිරෝධායන නීති අකුරටම පිළිපදින බව සොයන්නට දිවා රෑ ආවේක්ෂණය කිරීමට චීනය ඩ්‍රෝන් යොදා ගැනීම පුළුල්ව සිදුකරනවා. එපමණක් නොව දැඩි අවවාද කිරීම හා දඬුවම් කිරීම ද කරනවා.


මුඛ වැසුම නොපැළඳ ගෙදරින් පිටතට ආ මහලු කතකට අඩි කිහිපයක් ඉහළින් සමීප වූ චීන පොලිස් ඩ්‍රෝන් යානයක් ඇයට බැණ වදින වීඩියෝවක් ටික්ටොක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. (ඇත්තටම වී තිබෙන්නේ දුරස්තව ඩ්‍රෝනය හසුරුවන අය, එහි ඇති මයික්‍රෆෝනයක් ඔස්සේ ඇයට බැනීමයි!)


දැඩි අධිකාරිවාදී පාලනයක් ඇති චීනය වැනි රටවල් ඩ්‍රෝන් සහ වෙනත් තාක්ෂණයන් හරහා පුරවැසියන් කරන කියන හැමදේම ආවේක්ෂණය කිරීම මහා පරිමාණයෙන් මානව හිමිකම් කඩකිරීමක්. එහෙත් ඒ රටවල ආණ්ඩු එය අහිතකර යයි පිළිගන්නේ නෑ.


චීනයේ යොදා ගන්නා අධි බලැති ඩ්‍රෝන්වලට, මුහුණු හඳුනා ගැනීමේ (facial recognition) තාක්ෂණයද එක් කළ විට, නිශ්චිත තැනක යම් නිශ්චිත ක්‍රියාවක් කරන පුද්ගලයාගේ අනන්‍යතාව ඉතා ඉක්මනින් නිර්ණය කිරීමේ හැකියාව බලධාරීන්ට ලැබෙනවා. තව ටික කලෙකින් අපේ රටේ ආවේක්ෂණයත් ඒ තැනට තල්ලු විය හැකිද?


චීනයේ දේශපාලකයන් මෙන්ම නිලධාරීන් ද තර්ක කරන්නේ සමාජයේ පොදු යහපත සඳහා පෞද්ගලිකත්වය (privacy) සහ පෞද්ගලික නිදහස (personal freedoms) බෙහෙවින් සීමා කළ යුතු බවයි.


පුරවැසි අයිතිවාසිකම් ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ආණ්ඩු කැරෙන ශ්‍රී ලංකාවට, චීනය වැනි අධිකාරිවාදී රටවල් ගන්නා පියවර ඒ ආකාරයෙන්ම අනුකරණය කරන්නට බැහැ.


ඒ වෙනුවට පොදු යහපත සහ පුරවැසි අයිතීන් අතර වඩාත් හිතකර තුලනයක් පවත්වා ගැනීම අවශ්‍යයි. (නිරෝධායන නීති සහ සීමාවන් සියල්ල හරිහැටි පිළිපැදීමේ පුරවැසි වගකීම අප සැම සතුව තිබෙන බවත්, ටික දෙනකු හෝ ඒවා කඩ කිරීම හරහා සමස්ත සමාජයම අවදානමට ලක්වන බවත් ඒ සමගම පෙන්වා දිය යුතුයි.)


බලධාරීන් විසින් දිවා රෑ ඕනෑම වෙලාවක එළිමහනේ මෙන් ම තම නිවෙස් තුළ තමන් ආවේක්ෂණය කරනු ලබන බව යම් සමාජයක වැසියන් දත් විට, දිගුකාලීනව ඔවුන්ගේ චර්යාවන් අහිතකර ලෙස වෙනස් වන බව මානව විද්‍යා පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා. විශේෂයෙන්ම වාර්ගික, ආගමික සහ අනෙකුත් සුළුතරයන්ට දැනටමත් තිබෙන අනාරක්ෂිත හැඟීම, පුළුල් අවේක්ෂණය හරහා උත්සන්න විය හැකියි.


පොදු අවකාශයේ පුරවැසියන් පිරිසක් නීතිගරුක ලෙසින් එක් රැස්වී, යම් දේශපාලන උද්ඝෝෂණයක් හෝ පුරවැසි අයිතීන් වෙනුවෙන් රැස්වීමක් සිදු කරනවා යැයි සිතන්න. එතැනට එන පොලිස් නිලධාරීන් එයට සහභාගි වන පුරවැසියන් වීඩියෝ ගත කිරීම ඇතැම්විට සිදුවන්නක් (උතුරු පළාතේ මෙය නිතර සිදුවන බව වාර්තාගතයි.)
මෙවැනි අවස්ථාවකට පොලිස් ඩ්‍රෝන් කිහිපයක් පැමිණ, රැස්වූ පුරවැසියන්ට ඉහළින් සැරිසරමින් විවිධ කෝණවලින් ඔවුන්ගේ ක්‍රියා රූපගත කිරීම එහි සිටින සමහරුන් බියට පත් කළ හැකියි.


‘පෞද්ගලිකත්වය රකිනවාට වඩා කොරෝනා රෝග පාලනය වැදගත් බව’ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මේ සතියේ පැවසූවා යයි මාධ්‍ය වාර්තා කළා. වසංගතයට පෙර ත්‍රස්තවාදය සම්බන්ධයෙනුත් මෙවැනිම තර්ක විටින් විට මතු කෙරුණා.


ත්‍රස්තවාදීන් මෙන්ම කොරෝනා වෛරස් ද ජන සමාජයේ එකවර හඳුනා ගැනීම දුෂ්කර බව ඇත්ත. ඒ නිසා යම් විමර්ශන සහ ආවේක්ෂණ අවශ්‍ය වනවා. එය පොදු යහපතට දායක වන්නක්.


එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒවා සිදු කරන්නේ අධිකරණ සුපරීක්ෂාවට නතුවන පරිදි සහ නිසි සංවරණය හා තුලනය පවත්වා ගනිමින්.


මානව නිදහසට ඉහළින් ගරු කරන රටක් වන ප්‍රංශයේ පැරිස් නුවර මහාධිකරණයක් විසින් එරට පොලිසිය ඩ්‍රෝන් යොදා ගෙන මහජනයා ආවේක්ෂණය කිරීම 2020 මැයි මාසයේ තහනම් කළා.


එළිමහනේ සිටින පුද්ගලයන් මුහුණෙන් හඳුනා ගතහැකි තරම් පහළින් පියාසර කරමින් ඡායාරූප හෝ වීඩියෝ හසුකර ගැනීම ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් බව එම අධිකරණය තීරණය කළා.


“මේ තාක්ෂණය මහජන ආවේක්ෂණයට භාවිත කරන්නට කලින් පෞද්ගලිකත්වය රැකීමට තිබෙන නීති අලුත් කරන්න. නැතිනම් අඩු තරමින් එවන් අනවසර රූපගත කිරීමට හසුවන පුද්ගලයන්ගේ අනන්‍යතාව ඒ හරහා හඳුනා ගත නොහැකි වන ආකාරයේ තාක්ෂණ සීමාවක් අනිවාර්ය කරන්න,” යයි පැරිස් අධිකරණය එරට රජයට නියෝග කළා.
එයට සති කීපයකට පෙර ඇමරිකාවේ කනෙක්ටිකට් ජනපදයේ ද එබඳු සිදුවීමක් වාර්තා වුණා. කොරෝනා ආසාදන මහා පරිමාණයෙන් පැතිර යන විට එහි Westport නගරයේ පොලිසිය නගර වැසියන් සමාජ දුරස්ථ බව රකිනවද යන්න නිරීක්ෂණයට ඩ්‍රෝන් යොදා ගන්න සැලසුම් කළා.


එහෙත් ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් සංගමයේ (ACLU) ප්‍රබල විරෝධය හමුවේ පොලිසිය එම සැලසුම් අකුළා ගත්තා. එසේ නොකළා නම් අධිකරණයට යන්නට සමාජ ක්‍රියාකාරිකයන් සූදානම්ව සිටියා.


මානව අයිතිවාසිකම් රකිමින් වසංගතයක් මර්දනය කළ හැකිද යන්න මේ දිනවල පුළුල්ව විවාද වන කරුණක්.
කොරෝනා මර්දනයේ විදෙස් අත්දැකීම් මීට පෙර කිහිප වතාවක් අප සම්පිණ්ඩනය කොට ඇති අතර, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ නිසි ආපදා කළමනාකරණය සහ මහජන සෞඛ්‍යය බලගැන්වීම තුළින් වසංගතය පාලනය කළ හැකි බවට තායිවානය හා නවසීලන්තය හොඳ උදාහරණයි.


ඩ්‍රෝන් හරහා හසුකර ගන්නා පුරවැසි රූප සහ එයින් හෙළිවන පෞද්ගලික චර්යා තොරතුරු කෙතරම් කාලයක් පොලිසිය/හමුදාව ගබඩා කර ගන්නවාද? ඒවා නැරඹීමට හා විමර්ශනයට ඉඩ ඇත්තේ කාටද? දේශපාලන ප්‍රතිවාදීන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් යන එන තැන් සොයන්නට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගන්නට මේ ඩිජිටල් දත්ත අවභාවිත විය හැකිද? මෙවැනි ප්‍රශ්න රාශියක් මතුවනවා.


පෞද්ගලිකත්වය හා දත්ත සුරැකීම යන කාලීන වශයෙන් වැදගත් කරුණු දෙක ගැනම මෙරට නීතිමය රාමුව දුර්වලයි. පෞද්ගලිකත්වයට ඇති අයිතිය (right to privacy) අපේ රටේ තවමත් නීතිගත වී නැති අතර, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම (privacy protection) සඳහා වෙනත් නීතිවලද ඇත්තේ සීමිත රැකවරණයක් පමණයි.


මේ අතර ඩිජිටල් ආකාරයෙන් හසුකර ගන්නා පුරවැසියන්ගේ පෞද්ගලික තොරතුරු නිසි පරිදි සුරැකීමට පෞද්ගලික දත්ත ආරක්ෂණ නීතියක් ද තවම නෑ. ඒ සඳහා නීතියක් පසුගිය රජය යටතේ 2019 කෙටුම්පත් කරනු ලැබුවත්, එම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර එය සම්මත කළ නොහැකි වුණා.


අවසාන වශයෙන් කිවයුත්තේ ඩ්‍රෝන් කියන්නේ හුදෙක් ඔත්තු බැලීමේ මෙවලමක් පමණක් නොවන බවයි. වසංගත කළමනාකරණයට ප්‍රශස්ත අන්දමින් ඩ්‍රෝන් යොදා ගන්නේ කෙසේද යන්න අද ලෝකයේ විවිධ රටවල අත්හදා බලමින් සිටිනවා.


උදාහරණයක් ලෙස බි්‍රතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) එරට ජාතික අභ්‍යවකාශ ආයතනයේ ද සහයෝගය ඇතිව කොරෝනා කළමනාකරණයේ එක් ප්‍රවේශයක් හැටියට සෞඛ්‍ය ඩ්‍රෝන් සේවාවක් ඇති කිරීමට පසුගිය මාසයේ මුල් පියවර ගත්තා.


රෝහල් එකිනෙක අතරත්, ක්ෂේත්‍ර සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ රෝහල් අතරත් COVID-19 පරීක්ෂා සාම්පල, සෞඛ්‍ය සේවකයන් සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටල ආදිය කඩිනමින් යැවීමට මේ දක්වා යොදා ගනු ලැබුවේ රජයේ වාහන හෝ පණිවිඩකරුවන් (courier) එහෙත් අර්බුදයේ විශාලත්වය නිසාම මේ සේවාවල ධාරිතාව ඉක්ම යාම නිසා නොයෙක් ප්‍රමාදයන් හටගත්තා. බර සැහැල්ලු සාම්පල සහ වෙනත් ද්‍රව්‍ය GPS චන්ද්‍රිකා තාක්ෂණය විසින් මනාව සම්බන්ධීකරණය කෙරෙන ඩ්‍රෝන් යොදාගෙන ප්‍රවාහනය කිරීමට ඔවුන් උත්සාහ කරන්නේ මේ නිසයි.


ඩ්‍රෝන් තාක්ෂණයේ නිසි ඵල නෙළා ගන්නා අතර ඒවා ප්‍රවේශමින්, ආචාර ධර්මීයව හා නිසි නියාමන රාමුවක් තුළ භාවිතයයි අවශ්‍ය වන්නේ. ■

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here