මහින්ද හත්තක

ශ‍්‍රී ලංකාව කුඩා දිවයින් රාජ්‍යයක් වුවත් හැම අතින්ම ලෝකයේ නැතිනම් අඩුම වශයෙන් ආසියානු කලාපයේ මුල් තැන හිමි කර ගෙන ඇති බව ප‍්‍රකාශ කිරීමට දේශපාලකයන් තුළ දැඩි කැමැත්තක් පවතී. පසුගිය සතියේ හොරණ විවෘත කෙළේ දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හලයි. හැටේ දශකයේ කළුතර දිස්ති‍්‍රක්කයේ පැලවත්ත ප‍්‍රදේශයේ රාජ්‍ය වැවිලි සංස්ථාව පිහිටුවූයේ ද ආසියාවේ විශාලතම තේ කම්හලයැයි එකල ප‍්‍රකාශ විය. හැත්තෑවේ දශකයේ ආරම්භ වූ මහවැලි ව්‍යාපෘතිය ගැන ද පාරම්බෑවේ දකුණු ආසියාවේ විශාලතම වාරි සහ ජලවිදුලි ව්‍යාපෘතියක් ලෙසිනි. එහි නිපදවන විදුලි බලය දකුණු ඉන්දියාවට පවා යැවීමේ හැකියාවක් ගැන කතාබහ විය. කොවිඞ් වසංගතය දුරු කළ පළමු රට බව පවසන විට එහි දෙවන රැුල්ලක් ගැන සිතුවේ නැත.

අප අත් කර ගත් අලූත්ම ජයග‍්‍රහණය වන්නේ ලොව කොටස් වෙළෙඳපොළ කි‍්‍රයාකාරීත්වය අතුරින් දෙවන ස්ථානයට පත්වීමයි. අපේ මුදල් රාජ්‍ය ඇමති පුනරුච්චාරණය කළ එය හෙළි කෙළේ ව්‍යාපාරික ලොව තොරතුරු විශ්ලේෂණය සම්බන්ධයෙන් ඉහළම තැනක් හිමිවන බ්ලූම්බර්ග් ආයතනයයි. මෙම ආයතනය මීට පෙර ශ‍්‍රී ලංකාව ලොව බංකොළොත්වීමට ආසන්න රටක් වශයෙන් නම් කළ විට කෝපයට පත් අපේ නායකයන් ඊට දොස් කීම වෙනත් කාරණයකි. සෞභාග්‍යයේ දැක්මකින් රට කරවන අපේ පාලකයන් පිළිගැනීමට අකමැති වුවද දරුණු ආර්ථික පසුබෑමට ලක්ව ඇති බව පෙනෙන අවස්ථාවක කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් අත් කර ගෙන ඇති මෙම ජයග‍්‍රහණය ආශ්වාදජනකය. කලින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මහ බැංකුවේ අධිපතිව සිටි දැන් මුදල් රාජ්‍ය ඇමති තනතුර හොබවන අජිත් නිවාඞ් කබ්රාල් මහතා පුවත්පත් සාකච්ඡුාවක් පවත්වා මෙම ජයග‍්‍රහණය වත්මන් ආණ්ඩුවේ නිවැරදි මූල්‍ය කළමනාකරණය සහ කි‍්‍රයාමාර්ග පිළිබඳව ව්‍යාපාරික ලොවේ විශ්වාසය දිනා ගැනීමක් බව පෙන්වා දුන්නේය. කොවිඞ් වසංගතය හමුවේ ලොව සෑම පෙදෙසකම ආර්ථික පසුබෑමක් දක්නට ඇති අවස්ථාවක ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය දිනා ගැනීම සැබැවින්ම අගය කළ යුතුය.

අලූතින් හොරණ විවෘත කළ ටයර් කම්හලේ වපසරිය අනුව එය දකුණු ආසියාවේ විශාලතම ටයර් කම්හල විය හැකි ආකාරයටම කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුගිය සති කීපය තුළ කි‍්‍රයාරීත්වය නැතිනම් සිදුවූ ගනුදෙනු අනුව කැපී පෙනෙන වර්ධනයක් ඇති බව පැහැදිලි ය. කොළඹ කොටස් වෙළෙඳපොළෙන් නිකුත් කළ වාර්තාවක් අනුව පසුගිය සතියේ සිකුරාදා ගනුදෙනු 61,732ක් සිදුව ඇති අතර එහි පිරිවැටුම රුපියල් බිලියන 12.4කි. මෙම වසරේ මුල් සති දෙක තුළ දෛනික ගනුදෙනුවල සාමාන්‍ය වටිනාකම රුපියල් බිලියන 7.4ක් වූ අතර 2020 වසරේ එම සාමාන්‍ය රුපියල් බිලියන 1.8කි. මෙම ගනුදෙනුවල ශීඝ‍්‍ර වර්ධනය නිසා කොටස් වෙළෙඳපොළ සමස්ත දර්ශකය ඒකක 291.34කින් ඉහළ ගොස් ඇත. එය කුමන අර්ථයකින් වුවද විශාල පිම්මකි.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම වැඩිවීමට එහි සහභාගි වන සංඛ්‍යාව ද ශීඝ‍්‍රයෙන් වැඩිවීම ද හේතුවකි. 2020 වසරේ අග භාගයේ දී සහභාගිවන්නන්ගේ සංඛ්‍යාව 10,316කින් වැඩි වූ අතර එය පෙර වසර හා සසඳන විට සියයට 51ක වර්ධනයකි. එමෙන්ම දෛනික පිරිවැටුම ද හතර ගුණයකින් වැඩි වී ඇත.

කොටස් වෙළෙඳපොළේ කි‍්‍රයාකාරීත්වය බොහෝ විට රටක ආර්ථිකය පිළිබඳව දර්ශකයක් වන නිසා මෙම වර්ධනය මතුපිටින් ගත් විට සාධනීය ලක්ෂණයක්යැයි හැඳින්විය හැකිය. දියුණු කාර්මික රටවල ආර්ථිකයේ දර්ශකයක් වන්නේ එහි කොටස් වෙළෙඳපොළ හැසිරීම ය. රටේ ආර්ථිකයත් දේශපාලන නායකත්වයත් පිළිබඳව ව්‍යාපාරිකයන් තුළ පවතින විශ්වාසය මැනීමට යොදා ගන්නේ ද කොටස් වෙළෙඳපොළ හැසිරීමය. රජය ආර්ථික වර්ධනයට හානිකර ප‍්‍රතිපත්ති ගන්නා විට කොටස් වෙළෙඳපොළේ එය දැක්වෙන්නේ කොටස් මිල පහත වැටීමෙනි. දේශපාලන නායකත්වය අස්ථාවර නම් ආයෝජකයන් සිය මුදල් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනු ඇත. එක්සත් ජනපදය වැනි රටවල ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නේ නම් කොටස් වෙළඳ පොළේ එය පිළිබිඹු වන්නේ කොටස් මිල පහත වැටීමෙනි. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ පවතින මෙම පිබිදීම රටේ දේශපාලන නායකත්වයත් ආර්ථික ප‍්‍රතිපත්තිවල සාර්ථකත්වයත් පිළිබිඹු වීමක්යැයි පැවසීම සාධාරණය.

එහෙත් ඒ කතාවේ එක පැත්තක් පමණි. පැහැදිලිව දැකිය හැකි පැත්තයි. එතරම් අවධානයට ලක් නොවන හෝ වැඩියෙන් කතා කිරීමට අකමැති පැත්තක් තිබෙන බවද අමතක නොකළ යුතුය. කොටස් වෙළෙඳපොළ සුවිශාල පිබිදීමක් ඇති වුවද රටේ සැබෑ ආර්ථිකයේ එවැනි පිබිදීමක් ඇති බව දැකිය හැකි ද? ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගණනය කර ඇති ආකාරයට 2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ දැකිය හැකිවන්නේ සෘණ වර්ධනයකි. එනම් කලින් වසරටත් වඩා අඩු නිෂ්පාදනයකි. ලංකාවේ ප‍්‍රධාන ආදායම් මාර්ග තුන වන අපනයනය, සංචාරක කර්මාන්තය සහ විදෙස් සම්පේ‍්‍රෂණ පහත වැටුණ අතර මෙම වසරේ දී හෝ එය වෙනස් වීමට ඇති ඉඩකඩ සීමිතය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන අපනයන වෙළෙඳපොළ වන යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ආර්ථික තත්ත්වය පහත වැටෙමින් පවතින අතර එම ප‍්‍රවණතාව තවත් සෑහෙන කලක් එසේම පවතිනු ඇත. ඉන් අදහස් වන්නේ අපේ අපනයන ආදායමේ විශාල වර්ධනයක් අපේක්ෂා කළ නොහැකි වීමයි.

අපේ අපනයන ක්ෂේත‍්‍රයේ වැදගත් තැනක් ගන්නා ඇඟලූම් කර්මාන්තය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටී. එක් පැත්තකින් කොවිඞ් වසංගතය නිසා නිෂ්පාදන කි‍්‍රයාවලිය ප‍්‍රශස්ත මට්ටමත පවත්වා ගැනීමට නොහැකිය. නිදහස් වෙළෙඳ කලාපයන්හි ඇඟලූම් නිෂ්පාදකයන්ගේ සංගමයේ මහ ලේකම් ධම්මික ප‍්‍රනාන්දු මහතා පසුගිය ඉරිදා සන්ඬේ ටයිම්ස් පුවත්පතට ප‍්‍රකාශ කර ඇති ආකාරයට කොවිඞ් වසංගත තත්ත්වය නිසා සේවක පැමිණීම සියයට 25කින් පහත වැටී ඇත. ඊට අමතරව සතිපතා සේවකයන් පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් නිකුත් කර ඇති නිසා එය අමතර පිරිවැයකි. වඩාත් බරපතළ කාරණය වන්නේ අලූතින් ඇණවුම් ලැබෙන්නේ නැත. බොහෝවිට කලින් ලබා දී ඇති ඇණවුම් අවලංගු කිරීම් ද වාර්තා වේ.

දැනට ලැබෙන ඇණවුම්වල වර්ධනයක් දැකිය හැක්කේ සෞඛ්‍ය ආරක්ෂණ උපකරණවල (ඡුඡුෑ* පමණි. එම ක්ෂේත‍්‍රයේ නියුතු කම්හල්වල කොටස් මිලද ඉහළ ගොසිනි. පසුගිය සතියේ වාර්තා වූ ආකාරයට ඩිප්ස් ප්‍රොඩක්ට්ස් කොටස් අගය සියයට 600කින් ඉහළ ගියේය. බ‍්‍රවුන් සමාගමේ කොටස් අගය ද සියයට 300කින් ඉහළ ගොස් ඇත. එහෙත් ඒවා සුවිශේෂී තත්ත්වයන් මත සිදුවූ බව පෙනී යන්නේ ව්‍යාපාරික සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ අනෙක් අංශවල එවැනි වර්ධනයක් වාර්තා නොවීමෙනි. ඒ වෙනුවට සිදුව ඇත්තේ ව්‍යාපාරික සහ නිෂ්පාදන කටයුතු අඩාලවීම නිසා සේවකයන් ඉවත් කිරීමේ ප‍්‍රවණතාවකි. පෞද්ගලික අංශයේ විශාලතම සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩින් සේවකයන් සඳහා ස්වේච්ඡුාවෙන් ඉවත්වීමේ යෝජනා ක‍්‍රමයක් ඉදිරිපත් කිරීමෙන් මෙය තහවුරු වේ. එම නිසා කොටස් වෙළෙඳපොළ වර්ධනය කිසිසේත් ආර්ථිකයේ පිළිබිඹුවක් නොවන බව පැහැදිලි ය.

සෞභාග්‍යයේ දැක්මෙන් මුසපත්ව සිටින විශ්ලේෂකයන් අමතක කරන තවත් කාරණයක් වන්නේ විදෙස් ආයෝජකයන් කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමේ ප‍්‍රවණතාවයි. ආර්ථිකයේ සැබෑ වර්ධනයක් සහ ස්ථාවරත්වයක් පවතින්නේ නම් හොඳම දර්ශකය වන්නේ විදෙස් ආයෝජකයන්ගේ පැමිණීම ය. අස්ථාවරත්වයක් දැනුණු වහාම ඔවුහු සිය ආයෝජන ඉවත් කර ගනිති. කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා පවසන ආකාරයට ආයෝජකයන්ගේ විශ්වාසයක් සහ ආර්ථිකයේ ස්ථාවරත්වයක් පවතින්නේ නම් විදෙස් ආයෝජකයන් කොටස් වෙළෙඳපොළ වඩාත් කි‍්‍රයාත්මක විය යුතුය. එහෙත් සිදුව ඇත්තේ කුමක්ද?

මහ බැංකුවේ දත්ත අනුව මෙම කාලය මුළුල්ලේම සිදුව ඇත්තේ විදෙස් ආයෝජකයන් කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමය. එම වාර්තා අනුව පසුගිය වසරේ නොවැම්බර් දක්වා වූ කාලපරිච්ෙඡ්දය තුළ විදෙස් ආයෝජකයන් ඉවත් කර ගත් මුදල් ප‍්‍රමාණය ඩොලර් දශ ලක්ෂ 543කි. විදෙස් ආයෝජකයන් ඉවත් වූයේ කොටස් වෙළෙඳපොළෙන් පමණක් නොවේ. මෙම කාලය තුළ ආණ්ඩුවේ සුරැුකුම් පත්වල කරන ලද විදෙස් ආයෝජන ඩොලර් දශ ලක්ෂ 11ක් ඉවත් කර ගෙන ඇත. වැඩිදුරටත් එම වාර්තාවේ සඳහන් වන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ දී කොටස් වෙළෙඳපොළ ආයෝජන ඩොලර් දශ ලක්ෂ 15ක් ඉවත් කර ගෙන ඇති අතර නොවැම්බර් දක්වා වසරේ ශුද්ධ ගලා යෑම් ඩොලර් දශ ලක්ෂ 209කි. මේ තත්ත්වය සැලකිල්ලට ගත්විට පසුගිය වසරේ කොටස් වෙළෙඳපොළ විදෙස් ආයෝජකයන්ගේ සහභාගිත්වය සියයට 3.5කට සීමා විය. එහෙත් 2019 වසරේ එම ප‍්‍රතිශතය සියයට 20කි.

මේ සියල්ලෙන් කියවෙන සරල කතාව විදෙස් ආයෝජකයන් ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ගැනත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ සුරැුකුම් පත් ගැනත් විශ්වාසයක් තබන්නේ නැති බවය. ඊට හේතුව අප කලින් සඳහන් කළ ආකාරයට බ්ලූම්බර්ග් කර ඇති ඇගැයීමක් අනුව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අඳුරු අනාගතයනට මුහුණදී තිබීම ය. එය අහම්බයක් නොව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන පවා පිළිගත් සත්‍ය තත්ත්වයයි. ආණ්ඩුව මෙරට ජනතාවට කුමක් කීවත් යථාර්ථය වන්නේ බරපතළ විදෙස් විනිමය අර්බුදයකට මුහුණ දී ඇති බවය. ඊට තවත් නිදසුනක් වන්නේ ඉන්දියාවට සහ චීනයට ගෙවීමට නියමිත ණය සහ පොලී වෙනුවෙන් මුදල් හුවමාරු කරගැනීමේ ගිවිසුම්වලට එළඹීමට සාකච්ඡුා ඇරඹීමය. මුදල් හුවමාරු එකඟතාවයෙන් සිදුවන්නේ එම රටට ගෙවීමට නියමිත මුදල් රුපියල්වලින් ගෙවා නිශ්චිත කාලයක් ඇතුළත, බොහෝවිට වසරක් ඇතුළත ඩොලර්වලින් එය හිලවු කර රුපියල් ආපසු භාර ගැනීමය. ඒ වෙනුවෙන් පොලියක් ද ගෙවීමට සිදුවනු ඇත. මෙවැනි ගනුදෙනුවක් ඇතිකර ගැනීමට සිදුවන්නේ අපට ප‍්‍රමාණවත් විදෙස් මුදල් සංචිත නොමැතිවීම ය.

පැහැදිලි කරගත යුතු කාරණය වන්නේ මෙවැනි ආර්ථික අවදානමක් පවතින විට කොටස් වෙළෙඳපොළ කි‍්‍රයාකාරීත්වය ඉහළම තත්ත්වයකට පත්වූයේ කෙසේද සහ ඒ ඇයිද යන්නයි. දේශීය හෝ විදේශීය ආයෝජකයන් මුදල් යොදවන්නේ පුණ්‍ය කටයුත්තක් වශයෙන් නොව ලාභ ලබා ගැනීමට ය. ඔවුන් ආයෝජනය කරන්නේ අඩුම අවදානම් තත්ත්වයක් යටතේ වැඩිම ලාභයක් ලබා ගැනීමටය. කොටස් වෙළෙඳපොළ ආයෝජනය ආර්ථික වර්ධනයට වඩා සූදු පොළක තත්ත්වයට පත්වන්නේ මේ නිසාය. කොටස් වටිනාකම දෛනිකව වෙනස් වන්නේ එම ව්‍යාපාරයේ පවතින ආර්ථික හැකියාව මතම නොවේ. එසේ නම් කොටස් වෙළෙඳපොළ දේශීය ආයෝජකයන් විශාල වශයෙන් මුදල් යෙදවීමට හේතුව ඔවුන්ට ඉක්මනින් විශාල ලාභ උපයා ගැනීමේ හැකියාවක් පවතින නිසා විය හැකිය. කඩා වැටෙන ආර්ථිකයක විශාල ලාභ උපයා ගැනීමේ අවස්ථා විරල නිසා ආර්ථික කි‍්‍රයාකාරිත්වයන් බැහැර වූ වෙනත් හේතු පවතිනු විය හැකිය.

මේ තත්ත්වයට හේතු වූ සාධකයක් ලෙස අඩු පොලී අනුපාතයක් පවත්වා ගැනීමද බලපානු විය හැකිය. මහ බැංකුවේ පොලී අනුපාතය සියයට හතර දක්වා පහත දමා ඇති නිසා කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම වඩාත් ලාභදායකය. මහ බැංකුව අඩු පොලී අනුපාතයක් පවත්වා ගැනීම ව්‍යවසායකයන් නිෂ්පාදන සහ වෙනත් ක්ෂේත‍්‍රවල ආයෝජනය කිරීමට දිරිගැන්වීමක් වනු ඇතැයි බලාපොරොත්තු වුවද සිදු වන්නේ සැබෑ ආර්ථිකයට සෘජු බලපෑමක් නැති කොටස් වෙළෙඳපොළ ආයෝජනය වර්ධනය වීම පමණි. එය ඔට්ටු ඇල්ලීමේ ආයෝජනයකි.

කොටස් වෙළෙඳපොළ කොටස් මිල අහස උසට නැගීම ආර්ථිකයේ වර්ධනයක් සහ විශ්වාසය තහවුරු වීමක්යැයි පාරම්බෑම තවත් සිහිනයක් වන්නේ එම නිසා ය. සමහරවිට ලිහිල් ප‍්‍රතිපත්ති නිසා කළු සල්ලි සුදු කර ගැනීමට ද එය අවස්ථාවක් වනු ඇත. ඒ හැර ආර්ථික සෞභාග්‍යයක් ඉන් බලාපොරොත්තු විය නොහැකිය.

සමහර තත්ත්වයන් යටතේ කොටස් වෙළෙඳපොළ රටක ආර්ථිකය පිළිබඳ දර්ශකයක් විය හැකි නමුත් සැබෑ ආර්ථික වර්ධනයක් වන්නේ නිෂ්පාදන කර්මාන්ත සහ ඒ ආශ‍්‍රිත සේවා වර්ධනයෙන් පමණි. අලූතින් කාර්මික වූ ආසියානු රටවල ආදර්ශය එයයි. එවැනි ආර්ථිකයක් ගොඩ නැගීමට සුදුසු මුදල් ප‍්‍රතිපත්තියක් මෙන්ම දේශපාලන නායකත්වයක් ද තිබිය යුතුය. දේශපාලන නායකත්වය යනු හමුදා විනය සිවිල් පරිපාලනයට ආදේශ කිරීම නොවේ. මෑත යුගයේ ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් අත් කරගත් ආසියාවේ වෙනත් රටවල් ආදර්ශයට ගන්නේ නම් වංචාව සහ දුෂණය තුරන් කළ නොහැකි නම්, අවම කර, කාර්ය සාධනය ප‍්‍රමුඛතාව බවට පත් කෙරෙන ප‍්‍රතිපත්ති කි‍්‍රයාමාර්ග ස්ථාපිත කළ යුතුය.

වසරක කාලයක් ගත වුවද සෞභාග්‍යයේ දැක්ම තවමත් හුදු සටන් පාඨයකින් ඔබ්බට ගොස් නැත. සැබෑවටම සෞභාග්‍යය උදා කිරීමට නම් පටු ජනපි‍්‍රය දේශපාලන අරමුණු ඉවත දමා සියල්ලන්ට සාධාරණය ඉටු කරන සමාජ වටපිටාවක් ගොඩ නැගිය යුතුය. මිථ්‍යාමත ඉවත දමා සමාජ යථාර්ථයට මුහුණ දිය යුතුය. එසේ නොවන්නේ නම් අපට සිදුවන්නේ කොටස් වෙළෙඳපොළේ වර්ධනය මෙන් පෙණ බුබුලක සිතුවම් දැකීම පමණි.