ලංකාව මුහුණදෙමින් සිටින්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාටත් වඩා බරපතළ තත්ත්වයකටය. කොවිඞ් 19 නිසා මාර්තු 20න් පසු අකර්මණ්‍ය වු රට යළි ඔක්තෝබර් මුල එම ව්‍යසනයටම ගොදුරු වීමේ අනතුරක් දැන් මතුව තිබේ. ඉකුත් කොවිඞ් තත්ත්වයට වඩා මෙවර පසුබිම බිහිසුණු එකක් බවට පත්ව තිබෙන්නේ කොවිඞ් 19 ආසාදනය වීම ඇරඹුණු ආකාරයෙහි මූලය සොයා ගැනීමට තවමත් නොහැකිව තිබෙන නිසාය. මූල සොයාගත නොහැකි ප්‍රශ්නයක් කඳ හඳුනා ගැනීමෙන් පමණක් විසඳිය නොහැකිය යන අර්බුදයට මේ වන විට කොවිඞ් මර්දන ව්‍යාපාරය මුහුණ දී ඇතුවාට සැක නැත.


කොවිඞ් ආසාදිතයන් මගින් නිර්මාණ වන ආසාදිත පොකුරු තත්ත්වය මුලින්ම හඳුනා ගැනීමට ලැබුණේ වැලිසර නාවික හමුදා කඳවුරේ අසාදිතයන්ගෙනි. අනතුරුව පිටකොටුව බණ්ඩාරනායක මාවතේ පදිංචි පිරිසගෙනි. ඊටත් පසු කන්දකාඩු කඳවුරෙන් පොකුරක් මතුවිය. මේ සෑම පොකුරකදීම එහි මුලක් හඳුනාගත හැකිව තිබුණත්, මෙවර මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඞ් ආසාදිත පොකුරෙහි මුල් තව කවර දෙසකට සම්බන්ධව ඇත්දැයි කිව නොහැකි වීම බරපතළ කාරණයකි. දැන් කෙරෙමින් පවතින්නේ දිවුලපිටියෙන් හමුවූ කාන්තාවගෙන් පටන් ගෙන ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් ඔස්සේ ඔවුන්ගේ සියලු ආශ්‍රිතයන් සොයා යෑමය. මෙම ආශ්‍රිතයන් රටේ අස්සක් මුල්ලක් නෑර සිටිය හැකිය. මන්ද එම සේවක සේවිකාවන් වැඩි පිරිසක් ලංකාවේ දුර බැහැර පළාත්වලින් පැමිණි අය බැවිනි. දැනට කළ හැකි වැදගත්ම මෙහෙයුම එම ආශ්‍රිතයන් සොයා යෑම මග නොහැරෙන ලෙස ඉතා වගකීමෙන් සිදු කිරීම වන අතර උක්ත විසිරී පැතිරුණු තත්ත්වය විසින් මුල් අවස්ථාවට වඩා වැඩි අනතුරක්ද රටට අභිමුඛ කර ඇත. කොවිඞ් ආසාදිත සංඛ්‍යාව 15000ක් වැනි ප්‍රමාණයකට ගියහොත් එය මෙරටට දරා ගැනීමට හැකි පරිමාව ඉක්මවා යාමක් වන හෙයින් ඒ ගැනද පූර්වයෙන් කල්පනා කිරීම සෞඛ්‍ය අංශ කළයුත්තකි.


මේ මොහොතේ කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය වසංගත රෝග විශේෂඥයන්ගේ සහාය ලබාගත යුතුය. එය වේලාසනින් සිදු නොකළ කාර්යයකි. ආණ්ඩුව ව්‍යවස්ථා විශාරදයන්ගේ සේවය නොගෙන ගොඩ වෙදුන්ගෙන් සේවය ගෙන ව්‍යවස්ථා සම්පාදනයට අත ගසා ඇති ආකාරයම කොවිඞ් මර්දනයේදීද දිස්විය. කොවිඞ් මර්දනය හමුදාව කෙරෙහි පමණක් විශ්වාසය තබා කළ නොහැකිය. එමෙන්ම මෙවර තත්ත්වය පාලනයට පහසුකම් සපයා ගැනීම පැත්තෙන් විදෙස් රටවල සහායද අවශ්‍ය වනු ඇත. ඒ සියල්ලම සමග මහජනයාගේ ස්වයං අරපරිස්සම වැදගත්ය. කොවිඞ්වලින් පසු රට විවෘත කළ අවස්ථාවේ වැදගත් නියමයන් තුනක් රැකීමට නිර්දේශ කැරිණි. ඒවා නම් මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම හා අවශ්‍ය දුරස්තකරණය රඳවා ගැනීමය. මාසයක් දෙකක් යනවිට මුඛ ආවරණ පමණක් පැළඳීම විලාසිතාවක් ලෙසත් සිදුකැරුණු අතර දෑත් සේදීම සෑහෙන දුරට අවම විය. දුරස්තකරණය නම් නැත්තටම නැතිවිය. ඇඟලුම් කම්හලක් වැනි ස්ථානයක දුරස්තකරණය රැකීම ප්‍රායෝගික නැති වුවත් හැකි සෑම අවස්ථාවකදීම මේ පිළිබඳව මහජනයා සිය අවධානය යොමු කොට ක්‍රියා කිරීම වැදගත්ය. එමෙන්ම දෛනිකව කරන PCR පරීක්ෂණ ප්‍රමාණය පුද්ගලික අංශයේද සහාය ගෙන සිදුකළ යුතු අතර මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කීවේ දෛනික ඡක්‍ඍ 2500ක්වත් කළ යුතු බවය. ඒ වන විට ලංකාව සිදුකළේ දෛනිකව PCR 1000-1200ක් වැනි ප්‍රමාණයකි. පුද්ගලික රෝහල්වල සහයද අවශ්‍ය වන්නේ මේ සඳහාය. ඉක්මනින් මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් පළමු රැල්ලෙන් ඇද වැටුණු ආර්ථිකය, ආයතන පද්ධතිය හා ජන ජීවිතය නගා සිටුවීම දෙවැනි රැල්ල නිසා අතිභයානක ඉරණමකට මුහුණ දෙනු ඇත. කොවිඞ් රැල්ල අනපේක්ෂිත ලෙස වර්ධනය වුවහොත් රටේ ජනයාට සිදුවනුයේ ලොකු ආහාර හිඟයකට මුහුණදීමටය. 07 වැනිදා උදෑසන වන විට දෙවැනි රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 850කට ආසන්න වී තිබුණි. මෙම අධිවේගී වර්ධනය දිගටම සිදුවුවහොත් ඉන් එහාට එය රට හා මහජනයා සම්බන්ධයෙන් බිහිසුණු තත්ත්වයක් උදා කරනු ඇත. ■