විමලනාත් වීරරත්න

ලාල්ගේ නිදන කාමරයේ කුඩා ප්‍රොජෙක්ටරයක් තිබුණි. බොහෝ විට සවස්වරුවේ සිට රාත‍්‍රිය දක්වාම ප්‍රොජෙක්ටරය ක‍්‍රියාත්මක වෙයි. ඇඳේ හාන්සි වී ඉදිරියේ ඇති ධවල බිත්තිය දෙස බලා සිටින ලාල්ට දර්ශනය වන්නේ එම්.ජී. ආර්ය. ශිවාජි ගනේෂන්ය. රාජ් කපූර්ය. දේව් ආනන්ද්ය. රාජේස් ඛන්නා, දිලීප් කුමාර්ගෙන් නොනැවතී එම ලැයිස්තුව බටහිර සිනමාවේ පතාක ශිල්පීන් හා ශිල්පිනියන් දක්වා දිවෙයි. කොහේ ගියත් ඔහුගේ සිත නැවතුණ තැනක් තිබුණි. ඒ විස්මිත බොලිවුඩයය.

හේ ලාල් පාගොඩආරච්චි නම් වෙයි. ගම පිළියන්දලය. නිරත කලාව විවෘත වේදිකා නාට්‍ය නිෂ්පාදනයය. ලාල්ගේ කලා දිවියට දැන් වසර පනහකටත් වැඩි මිස අඩු නොවේ.

”මම නාට්‍ය කළේ මගේ සහ අපේ ගමේ රසිකයන්ගෙ වින්දනයට. ගමේ සාමාන්‍ය මිනිස්සුන්ට රඟහලකට ගිහින් නාට්‍යයක් බලන්න බැහැ. ඒකට සල්ලිත් නැහැ. වෙලාවකුත් නැහැ. ඉතිං ඒ අය වෙනුවෙනුයි මම ඕපන් ස්ටේජ් නාට්‍ය කළේ.”

ලාල් පාසල් හතරක ඉගෙන ගත්තේය. මුලින්ම පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේය. ඉන්පසුව ගමේ ප‍්‍රාථමිකයේය. අනතුරුව මරදානේ ශ‍්‍රී ලංකා විද්‍යාලයේය. සාමාන්‍ය පෙළ කිරීමට පැපිලියාන සුනේත‍්‍රා දේවියට ආවේය.

”අපේ තාත්තා විල්මන් පාගොඩආරච්චි. වැඩ කළේ සීටීබී එකේ. ප‍්‍රසිද්ධ කවියෙක්. එයා ජයනද කියලා කවි සඟරාවක් හතළිස් ගණන්වල ඉඳලා පවත්වගෙන ගියා.”

ඔබේ පළමු නාට්‍ය අත්දැකීම කුමක්දැයි ඇසූවිට ලාල් කීවේ සයිමන් කෝට්ටෙගොඩ නමැති නාට්‍යකරුවාගේ නාට්‍යයක ළමා චරිතයක් කළ බවය. ‘මගේ ආදරය’ නමැති එම නාට්‍යයේ කුමාරයාගේ චරිතය කළ අට හැවිරිදි ලාල් වේදිකාවේ තැනින් තැන එල්ලා තිබුණු මී වද ලෙස පෙනෙන මයික‍්‍රෆෝන සමීපයට ගොස් දෙබස් කීමට තරම් කල්පනාකාරී දරුවකු වූයේය.

”මම ඉපදුණේ 1952දී. අවුරුදු 10 වෙද්දී මට චිත‍්‍රපට පිස්සුව තදින්ම ගැහුවා. පිළියන්දල සීදේවි පික්චර් හෝල් එකේ තමයි මුලින්ම චිත‍්‍රපටයක් බැලූවෙ. ඒ, සුරතලී. ජෝති ඉස්සෙල්ලම සිංදු කිව්වෙත් ඒකෙ. සුවිනීත ලාලනී බැලූවෙත් ඔය කාලෙමයි.”

මරදානෙ ශ‍්‍රී ලංකා විද්‍යාලයට යන කාලයේ ලාල් සතියට දවස් දෙකක් හෝ තුනක් ඉස්කෝලෙ කට් කළේය. බොරැල්ලේ ‘ලීඩෝ’ එකේ හෝ රිට්ස් එකේ දහයයි තිහ බලන මිතුරු කල්ලියක ඔහු ප‍්‍රමුඛයෙකු වූයේය. ඒ වනවිටත් ඔවුහු කොට කලිසම අඳින කොල්ලන් වුවත් බම්ප් තබා ඔළු පීරා හැඩට වැඩට සැරසී සිටියෝය.

”මම 75 දි ධම්ම ජාගොඩගෙ ලයනල් වෙන්ඞ්ට් රංග ශිල්ප ශාලිකාවට ඇතුළු වෙනවා. දීපානි සිල්වා, ලින්ටන් සේමගේ මගේ සමකාලීනයි. ධම්ම ජාගොඩ, මහාචාර්ය සුචරිත ගම්ලත්, ගාමිණී හත්තොටුවේගම වගේ විශිෂ්ටයන් තමයි අපිට ඉගැන්නුවෙ. හත්තොටුවේගමගේ වීදි නාට්‍යයකත් ඒ දවස්වල මම රඟපෑවා. ඒත් මට හරි කම්මැලිකමක් ගහලා තිබුණා ගෙදරින් දුරක ගිහින් වැඩ කරන්න. ඒ නිසා වෙන්ඞ්ට් එකේ සහතිකේ ගත්තට පස්සෙ මම නාට්‍යවලට ගියේ නැහැ. ප‍්‍රියානන්ද විජේසුන්දර මගේ සමීප මිතුරෙක්. ඔහු ‘ජෝනෙත්’ ස්ටුඩියෝ එකේ එඩිටිං කෝස් එකක් කළා. මටත් කතා කළාම දවස් කීපයක් ගිහින් ඒකත් නැවැත්තුවා. ඒත් 74දි එකමත් එක රටක කියන නාට්‍යයේ රඟපෑවා. ඒක අර්ධ ශෛලීගත නාට්‍යයක්. 75දි ගෝනිබිල්ලා නාට්‍යයෙත් රඟපෑවා. මේ දෙකම කළේ ආර්.ජී. සිරිවර්ධන කියලා නාට්‍යකරුවෙක්. ගෝනි බිල්ලාට ප‍්‍රධාන නාට්‍ය උළෙලක සම්මාන 7ක් ලැබුණා. ඒක රේඩියෝ නාට්‍යයක් බවටත් පරිවර්තනය කළා, අපිම වොයිස් කරලා.

1980දී මම පිළියන්දල නගරයේ විවෘත වේදිකා නාට්‍යයක් කරන්න ඕනෑ කියලා හිතලා ‘සිටුකුමාරි’ කියලා නාට්‍යයක් ලිව්වා. කළුබෝවිල පද්මසිරි ෆොන්සේකාගෙ ස්ටුඩියෝ එකේ තමයි නාට්‍යය රෙකෝඞ් කළේ. ටෙනිසන් කුරේ මුල්වරට මාත් එක්ක වැඩකට සම්බන්ධ වෙන්නෙ එතැනදි. ටෙනී මාත් එක්ක මිතුරු වෙන්නෙ ඊටත් කලින් නාට්‍යයක් කරන්න ගිහින් ඇතිවෙච්ච ප‍්‍රශ්නයකදියි. මගේ මිතුරෙක් මමත් රඟපාන නාට්‍යයක් පිළියන්දල හන්දියෙ ප‍්‍රදර්ශනය කරන්න ඉන්න දවසක ටෙනිසන් පිළියන්දලට එනවා ඒ නාට්‍යයේ අයිතිය සම්බන්ධයෙන් අපිට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. පැමිණිල්ල දාන්නෙ නැහැ, අපි මිතුරු වෙනවා. එදා ඉඳන් මම කරපු අන්තිම නාට්‍යය දක්වා වොයිස් කරන්න හරි ටෙනී සම්බන්ධ වුණා. සිටුකුමාරි එකේ ඔහු රඟපෑවා. ඊට පස්සෙ එයාට දිගටම චිත‍්‍රපටි වැඩ නිසා මගේ නාට්‍යවල රඟපාන්න වෙලාවක් නැතුව ගියා. ඒත් මගේ හැම නාට්‍යයකම කොමිඩියන්ගෙ වොයිස් එක ටෙනීගෙ.”

‘සුබ දවසක්’, ‘සත්‍ය වේ ජය’, ‘සත්‍යවාදී,’, ‘ආශිර්වාද’ වැනි ලාල් නිෂ්පාදනය කළ නාට්‍ය රැුසක බොලිවුඞ් සිනමාවේ අංග ලක්ෂණ කැටි කර ගත් පොදු ලකුණක් දක්නට ලැබුණි. 80 සහ 90 දශක තුළ පිළියන්දල නගරයේ පැය තුනකට අධික කාලයක් බැගින් රඟ දැක්වූ විවෘත වේදිකා නාට්‍ය බොලිවුඩයට මෙන්ම කොලිවුඩයටත් නෑකම් කියමින් ඒවා අනුයන අයුරක් ප‍්‍රකට කළේය. ලාල් ඒවා සඳහා මනරම් සමූහ නැටුම් නිර්මාණය කළේය. වීරයා හා දුෂ්ටයා අතර බොලිවුඞ් ඒකමානී බෙදීමම මේවායේදීත් දක්නට ලැබිණි. ඒ සියල්ල අතරේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් අරගල කළ අරගලකරුවකුගේ භූමිකාවද ලාල්ගේ පිළියන්දල බොලිවුඩය මත දිස්වුණි. ඒවායේ රංගනය කෙරෙහිත් ලාල් බරපතළ ලෙස අවධානය යොමු කර තිබුණි. හරියටම හඬපටය සමග ගමන් කරන නළුවකු මේ විවෘත වේදිකාව මත සිටියේය. තොල් චලනය (Lips movement) නිවැරදි ලෙසම කිරීමට ලාල්ගෙන් ශිල්පීන්ට උපදෙස් ලැබුණි.

”වෙසක් එකට නාට්‍ය පෙන්නුවට මම ඒකෙ රිහසල්ස් පටන් ගන්නෙ ජනවාරි මාසෙ ඉඳලා. වේදිකා නාට්‍යයකදි පිටපත කියවනවා වගේම හඬපටය දවස් ගාණක් අහනවා. ඒක අහලා තේමාව ගැන දෙබස් ගැන මෙන්ම ඇක්ටිං ටයිමින් ගැනත් සෑහෙන දුරකට අවබෝධයක් ලබාගත්තට පස්සෙ තමයි ඇක්ට් කරන්න නැගිටින්නේ.”

ඇත්තටම බොලිවුඞ් ආභාසය හරියටම හරි. මේකප්වලදී රැුවුල පවා හරියටම චරිතයට ෂූට් වෙන්න ගන්න මට ඕනෙ. කොස්ටියුම්වලදිත් එහෙමයි. නොගැළපෙනවා නම් මම කොහොමටවත් කරන්නෙ නැහැ. මේක ඕපන් ස්ටේජ් වුණාට ඩිරෙක්ෂන්වලදි මම තදයි. නාට්‍යයෙ චරිත පළමුව මට මතුපිටින් පේන්න ඕනෙ. නැත්නම් මම කොහොමද මං අදහස් කරන කතාව පේ‍්‍රක්ෂකයාට කියන්නෙ.

සජීවී සිනමා දර්ශනයක්

ඒ. ලාල්ගේ විවෘත වේදිකා නාට්‍යවල පර්යාය හැඳින්වීමය. ඔහු අනුයන මග එක්කෝ හින්දි සිනමාවය. නැතහොත් දකුණු ඉන්දීය සිනමාවය. හඬ කවන ශිල්පියාගේ උච්ච ස්වරයට මෙන්ම මන්ද්‍ර ස්වරයට ලාල් බෙහෙවින් සංවේදීය. ඇඳුම් නිර්මාණයේදී මෙන්ම වේෂ නිරූපණයේදීත් මේ මූලධර්ම ඔහු නොබිඳියි. පරිසර පසුබිම දිදුලනසුලූය. විචිත‍්‍රවත්ය. ආකර්ෂණීයය. ඇසෙන්නේ මහා ගාන්ධාර්වරයන්ගේ මධුර ස්වර සංගතීන්ය. මේ සියල්ලම නිසා ඔහු නාට්‍යයට යොදන පර්යාය පාඨය වන සජීවී සිනමා දර්ශනයක් යන්න අර්ථ ගැන්වෙයි. මේ සේරමත් සමග පුදුම දනවන කාරණය වන්නේ පිළියන්දල හන්දියේ ප‍්‍රදර්ශනය කරන ලාල්ගේ නාට්‍ය බලන්නට අඩුම තරමින් පේ‍්‍රක්ෂකයන් පන් දහසක්වත් පැමිණීමය. ඔවුහු පැය තුනකට වැඩි කාලයක් හිටගෙනම එම නාට්‍ය නරඹති.

”88 පොසොන් දවසට පහුවෙනිදා සත්‍යවේ ජය නාට්‍යය පෙන්වන්න සූදානම් කරල තිබුණා. එදා මේකප් කළේ විනී වෙත්තසිංහ. විනී ආවෙ හවස තුනට. නාට්‍යය අටට පටන් ගන්න නම් නාට්‍ය හතරෙ ඉඳලවත් මේකප් පටන් ගන්න වෙනවා. එදා හවස හතරෙ ඉඳලම එක සීරුවට වැස්ස. හතටත් වහිනවා. ස්ටේජ් එක දියබත්වෙලා. අටටත් පායලා නැහැ. ප‍්‍රියානන්ද විජේසුන්දර මා ළඟින්ම ඉඳලා කිව්වා මචං නමේට පායයි, බයවෙන්න එපා කියලා. ඒත් මට හරි ටෙන්ෂන්. හැබැයි කිව්වත් වගේ නමයට ටිකක් පෑව්වා. මම සිංදු දාලා එහෙම වැඬේ පටන් ගත්තා. කඩපිල්වල දහ පහළොස් දෙනෙක් බලාගෙන හිටියා. තව විනාඩි දහයක් විතර යද්දි සීතල සුළං රැල්ලක් හමාගෙන ගියා. හඳ පායලා දවල් වගේ එළිය වුණා. වලාකුළු සුදට සුදේ දිලෙන්න ගත්තා. තව මොහොතයි ගතවුණේ. කොයි ලෝකෙන් ආවද මන්දා පාර පිරෙන්න සෙනඟ. පැයක් ගතවෙන්න කලින් පන්දාහකට වැඩි පිරිසක් එතන. ඒක මට අමතක නොවන සිද්ධියක්. එදා පෙන්නපු සත්‍ය වේ ජය අපිට ගළපා ගත්තු දකුණු ඉන්දීය සමාජයේ කතා පුවතක්. අසාධාරණය රජ කරවමින් ජීවත් වන රාම්නාත් නමැති ප‍්‍රභූවරයා සත්‍ය හා යුක්තිය ඉදිරියේ පරාජය වන සැටි තමයි කතාවෙ දැක්වුණේ. ඔය විදියටම මගේ ‘සුබ දවසක්’ නාට්‍යයට ආපු සෙනඟ දැකලා පසුදාම ප‍්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මාව හොයාගෙන ආවා. දවස් කීපයකට පස්සෙ නාට්‍ය ගැන සාකච්ඡාවක් කරන්න ගුවන්විදුලි වැඩසටහනක් සූදානම් කරලා දුන්නා.”

ලාල් සිය නාට්‍ය රංගනය දෙබස්වලට පමණක් සීමා නොකළේය. ඔහු නාට්‍යයේ අන්තර් සංගීතයටත් රංගනයක් නිර්මාණය කර තිබුණු අයුරු බොහෝ නාට්‍යවලදී දැකගත හැකිවිය. තිගැස්මටත් මියුසික් එකක් තියනවා. ඒ මියුසික් එකට නළුවා රියැක් කරන්න ඕනෙ. ලාල් ඒ ගැන කියන්නේ එහෙමය.

රජ කතා සහ සමාජ කතා යනුවෙන් විවෘත වේදිකා නාට්‍යකරුවන් අතර නිර්මාණකරණයේ සරල බෙදීමක් තිබේ. රාත‍්‍රියේ විදුලි එළි මැද දිදුලන්නේ රජ කතා පුවත්ය. ඒ නෙක වෛවර්ණ ඇඳුම් පැළඳුම්, කඩු සටන්, පේ‍්‍රම ජවනිකා යනාදිය නිසාය. එහෙත් ලාල් ඒ දිදුලන මාවත වෙනුවට සමාජ නාට්‍ය යන ප‍්‍රභේදය තෝරාගෙන එය දිදුලන තේමාවක් බවට විටෙක පරිවර්තනය කර ගත්තේය.

”මම සුදු නංගි කියලා නාට්‍යයක් කළා. ඒකෙ තිබුණෙ හුදෙකලා වෙච්ච ගැහැනු ළමයෙක් මුහුණ දෙන අත්දැකීමක්. සමහරු මට කිව්වෙ ඔය වගේ නාට්ටි නම් මිනිස්සු බලන එකක් නැහැ කියලයි. ඒත් මම රජ කතා වෙනුවට සාමාන්‍ය මිනිස්සුන්ට අදාළ ප‍්‍රශ්න ගැන කරපු නාට්‍යවලට පේ‍්‍රක්ෂකයො හුඟක් ආස කළා. අදත් පිළියන්දල සමහරු කියනවා ලාල් අයියෙ, සුදු නංගි ආයෙත් පෙන්නන්නකො කියලා.”

ලාල් සිය නාට්‍ය තුළින් දේශපාලන ප‍්‍රශ්න ඍජුවම කරළියට ගෙනාවේ නැත. ඒවායේ වැඩිපුරම ගැබ්වූයේ මානව ප‍්‍රශ්නය. ඔහු මේ ගැන අදහස් පළකරමින් කීවේ සමාජ සාධාරණත්වය මෙන්ම මවගේ ආදරය තමා ගත් තේමාවන් අතර බහුලව තිබුණු බවය.

”ගාමිණී ෆොන්සේකා එක වතාවක් කිව්වා මොන දේ කළත් කතාවක් තියෙන්නෙ ඕනෙ කියලා. මමත් ස්ටෝරි එකට මුල්තැන දෙනවා. කතා පුවත තුළ කුතුහලය තදින් අවුස්සනවා. ත‍්‍රිල්වාදී ලක්ෂණ බහුල කරනවා. කොටින්ම බයිස්කෝප් ක‍්‍රමයම තමයි මම අත්හදා බැලූවෙ. බයිස්කෝප් ක‍්‍රමයට නාට්‍ය කළා කිව්වොත් හරියටම හරි. අද බයිස්කෝප්වත් බයිස්කෝප් වගේ නැහැනෙ. ඒකනෙ අද සිනමාව පේ‍්‍රක්ෂකයාට මෙච්චර දුරස් වෙලා තියෙන්නෙ.”

රින්ස්ලි වීරරත්න මුල්වරට රඟපෑවේ ලාල් 1972දී නිෂ්පාදනය කළ ‘මටයි වැරදුණේ’ නාට්‍යයේය. ටෙනිසන් කුරේ ලාල්ගේ සිටුකුමාරි නාට්‍යයේ පුංචි චරිතයක් කළ නළුවෙකි. ගැමුණු විජේසූරිය, හේමසිරි හල්පිට, ෆ‍්‍රැන්සිස් වන්නිආරච්චි වැනි ශිල්පීහු ඔහුගේ නාට්‍යවලට කටහඬ දුන්හ. මානෙල් වීරසිංහ, එච්.එම්. සෝමරත්න, මහේන්ද්‍ර විජේරත්න, ගුණදාස කටුවාවල, චන්ද්‍රා ලියනආරච්චි, මෙරිල් වීරසිංහ, ඔහුගේ නාට්‍යවලින් කරළිය එළිය කළ ශිල්පීහු වෙති.

තිස්ස වීරවර්ධන, විනී වෙත්තසිංහ, ජගත් පද්මසිරි, තරංග රුක්මල්වල වැනි ප‍්‍රවීණ අංග රචනා ශිල්පීන්ද, විදුලි ආලෝක නිර්මාණ ශිල්පී වසන්ත කුමාරද ලාල්ගේ දීර්ඝකාලීන නාට්‍ය ඉතිහාසය පසුපස වැටුණු දැවැන්ත සෙවණැලි වූහ.

”දවසක් හේමසිරි හල්පිට මගෙන් ඇහුවා ලියපු චිත‍්‍රපටි පිටපතක් එහෙම නැද්ද කියලා. මම කිව්වා අල්ලපු ගෙදර දෙවැනි කොටස මම ලියලා තියෙනවා කියලා. සම්බන්ධ වෙන්න හිටපු නිෂ්පාදකයා ටිකක් පස්ස ගහපු නිසා ඒ වැඬේ යට ගියා. ඊට පස්සෙ ධර්ම ශ‍්‍රී වික‍්‍රමසිංහට ජැක් ඇන්ඞ් ජිල් පිටපත ලිව්වා. බන්දු සමරසිංහට ‘ලෙෆ්ට් රයිට් සර්’ ලිව්වා. සුනිල් අරුණ වීරසිරි මහත්මයා ‘ටිකිරි සුවඳ’ චිත‍්‍රපටිය කළෙත් මම ලියපු පිටපතකින්. මේ වනවිට වීර පුතා කියලා මම ලියපු ස්ක‍්‍රිප්ට් එකකිනුත් ඔහු චිත‍්‍රපටයක් කරලා තියනවා. ටෙනිසන් කුරේ කරපු කොළොම්පූර් පිටපත ලිවීමටත් මම සම්බන්ධ වුණා. ඒකෙ මුල් නිර්මාණය දෙමළ.

ලාල් පාගොඩආරච්චි වැඩ හඹාගෙන ගිය නිර්මාණකරුවෙක් නොවේ. ඔහු ඉස්පාසුවක් ගෙන නිදහසේ වැඩ කළ කලාකරුවෙකි. තොරණ හදන කාලයට හෙතෙම පටිගත කළ ජාතක කතා පරිගණකය ආධාරයෙන් සංස්කරණය කර දෙයි. මේවා මුදල් බලාගෙන කරන දේවල් නොවේ. ලාල් කලකට පෙර පිළියන්දල නගරයේ ගීත කැසට් පට විකුණන වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන ගියේය. ඔහු නාට්‍ය නිෂ්පාදනයට වියදම් කළේ ඉන් ලැබෙන මුදල්ය.

සැහැල්ලූවෙන් දිවි ගෙවන මේ මිනිසා ඉඳහිට හවසට පොඩි අඩියක් ගසයි. සිගරැුට්ටුවක් දල්වාගෙන ඇඳෙහි ඇලවී කුඩා ප්‍රොජෙක්ටරය ක‍්‍රියාත්මක කරයි. ඉදිරියේ පෙනෙන බිත්තිය දෙස බලා හිඳියි. ඒ ඔහුගේ වැඩිපුර නොඇලූණු ජීවිතයේ ස්වභාවයයි.