රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ

සාකච්ඡාව-ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග පැතිරීම පිළිබඳ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව තිබෙන්නේ IIIa මට්ටමේ එනම් නිවෙස් ආශ්‍රිත රෝග සමූහයන් වාර්තා වන මට්ටමේ බව ඔබ සංගමය විසින් මාර්තු 31 නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සඳහන් වුණා. මේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබේ ද?


ඔව්, යම් වෙනසක් වෙලා තියනවා. රෝගීන් වාර්තා වන විධිය අනුව අපි IIIa මට්ටම කියලා කීවේ නිවාස ආශ්‍රිතව රෝගීන් පොකුරු වශයෙන් හමුවීම යි. මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය ගත්තොත් දැන් ඒක පැහැදිලිවම IIIb අවස්ථාවට ගිහිල්ලා තියනවා. ඒ කියන්නේ සෘජු සම්බන්ධතා තිබුණා ද කියලා හොයා ගන්න බැරි, ගම තුළ කුඩා රෝගී කණ්ඩායම් සමූහ වශයෙන් වාර්තා වීම දක්වා ගිහින් තියනවා. මුලින්ම වාර්තා වුණේ ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවගේ ගෙවල් ආශ්‍රිතවයි, ඒ කියන්නේ ඒ රෝගීන් වාර්තා වුණේ යම් ගැටීමක් එක්කයි. නමුත් පසුව වතු කීපයක අහඹු ලෙස නියැදි පරීක්ෂාව කළ අසූහතරදෙනාගෙන් පස්දෙනෙකුට රෝගය වැළඳී ඇති බව තහවුරු වුණා. එයින් පැහැදිලි වන දේ තමයි ගම තුළ රෝගීන් වාර්තා වන තැනට මේක ව්‍යාප්ත වෙලා තියනවා. රට පුරා නෙමෙයි, ඒ ඒ කලාපවලයි. ඒ නිසා ලංකාව පුරා IIIa සිට IIIb දක්වා යන අවදානමක් මතුව තිබෙන අතර ම අවම වශයෙන් මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශය තුළ IIIb මට්ටමට ගිහින් තිබෙනවා.


IIIa මට්ටමේ සිට IIIb මට්ටමට රෝග ව්‍යාප්තිය සිදුවීමේ බලපෑම මොන වගේ ද?


රෝගීන් පොකුරු සංඛ්‍යාව අපේ පාලනය ඇතුළේ තිබෙන තාක් කල් අපට රෝගීන් පිළිබඳ, පාලනය පිළිබඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. තවම අපට තිබෙන්නේ මතක තියාගන්න පුළුවන් පොකුරු සංඛ්‍යාවක් විතරයි. ජාඇල සුදුවැල්ලේ රෝගී පොකුරක් තියනවා, බේරුවල පොකුරක් තියනවා, කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පොකුරක් තියනවා. මතකයෙන් කියන්න පුළුවන් පොකුරු ගාණක් කළමනාකරණය කරගන්න ලේසියි. නමුත් බැරිවෙලාවත් පිළියන්දල, බොරලැස්ගමුව, පොළොන්නරුව ආදී ලෙස වාර්තා වන රෝගීන්ගෙන් රට පුරා පොකුරු ගණන වැඩි වී කළමනාකරණය කරගන්න බැරි පොකුරු සංඛ්‍යාවක් හැදුණොත් එදාට රෝගය අපේ පාලනයෙන් ගිලිහෙනවා.


හොඳම උදාහරණය තමයි සිංගප්පූරුව. පසුගිය මාසය වන තුරුම ලෝකයටම ආදර්ශයක් වන විධියට ඉදිරිපත් කළේ සිංගප්පූරු ආකෘතිය යි. රෝහල් පද්ධතිය හොඳින් සිදුවනවා, රෝගය පාලනය වෙනවා, මරණ අඩුයි. නමුත් අද දිනකට රෝගීන් දහසකට වැඩිය වාර්තා වන, පද්ධති කඩා වැටෙන මට්ටමට සිංගප්පූරුව පත්වෙලා තියනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ අය පොකුරු පාලනය කරන්න ගත් ක්‍රියාමාර්ග ප්‍රශස්ත ලෙස ගත්තේ නෑ, සමාජ දුරස්ථභාවය තබාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. අසාමාන්‍ය ලෙස රෝගීන් පොකුරු සංඛ්‍යාව ඉහළ ගිහින් තිබෙන්නේ ඒ නිසායි. එතකොට පාලනයෙන් තොර වෙනවා. එතැනට යෑම වළක්වා ගන්න මේ මොහොතේ අපි ආක්‍රමණශීලී ලෙස පියවර ගන්න ඕනෑ. දැනට ලංකාව තිබෙන්නේ පාලනය කරන්න පුළුවන් මට්ටමකයි. නමුත් අද දවසේ ගන්න ඕනෑ ක්‍රියාමාර්ග අදම ගත්තේ නැත්නම් හෙට දවසේ අපිට පාලනයෙන් තොර අවස්ථාවක් එන්න පුළුවන්.


වසංගත රෝග විද්‍යා ඒකකයේ අප්‍රේල් 22 පෙ.ව.10.00 තත්ත්ව වාර්තාව විශ්ලේෂණය කළ විට පෙනෙන්නේ ඒ වන විට මෙරටින් වාර්තා වූ මුළු කොවිඞ් රෝගීන්ගෙන් 34%ක් සුව වී පිටව ගොස් ඇති බවත් 2%ක් මරණයට පත් ව ඇති බවත්, 64%ක් ඒ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. මේ තත්ත්වය ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව බරපතළ තත්ත්වයක් ද නැත්නම් සතුටුවිය හැකි තත්ත්වයක් ද?


ඒ තත්ත්වය තමයි තවම හරියට විශ්ලේෂණය කරලා රටට කියන්නේ නැත්තේ. දවස ගණනේ ඉදිරිපත් කරන්නේ රෝගීන් වාර්තා වන ප්‍රමාණය ගැන ප්‍රස්ථාරයි. ඇත්තටම අපි දවස ගාණේ ප්‍රස්ථාරගත කරලා පෙන්නන්න ඕනෑ දැනට රෝහල්ගතව ඉන්න රෝගීන් සංඛ්‍යාවයි. ලෝකයේ කොහේ හෝ රටක සක්‍රීය රෝගීන් ගණන උපරිමයට ගිහින් ප්‍රස්ථාරය පහළට එනවා නම් සමාජ දුරස්ථකරණය සම්බන්ධයෙන් තිබෙන සීමා දුරස් කරන්න තිබෙන හොඳම වෙලාව ඒ මොහොත යි. නවසීලන්තයේ සක්‍රීය රෝගීන් ගණන අඩුයි, සුව වී ගිය ගණන වැඩියි. අපේ රටේ තුන්සීය ගණනක් වාර්තා වෙද්දී එයින් දෙසීයක් පමණ රෝගීන් ලෙස රෝහල්වල ඉන්නනවා. වෛරසය තවමත් ශරීරයේ තිබෙන දෙසීයක් රෝහල්වල ඉන්නවා කියන එකේ අනුමානය වෙන්නේ ඊට අනුරූපී ගණනක් තවම සොයා ගත්තේ නැතිව සමාජයේ ඉන්නවා කියන එකයි. වියට්නාමයේත් අපේ රටටත් වඩා අඩු රෝගීන් ගණනක් ඉන්නේ, නමුත් සක්‍රීය ගණන පනහක් හැටක් පමණ යි. සක්‍රීය ගණන අඩුයි. සමාජය තුළ වෛරසය තිබෙන පුද්ගලයන් අඩු නම් සමාජ දුරස්ථභාවය අඩු කරන්න පුළුවන්. ඒ නිසා අපි පරීක්ෂණ වැඩි කර රෝගීන් හඳුනාගෙන ඒ අය සමාජයෙන් වෙන්කර අනෙක් අයට බෝවීම නතර කරගත යුතුයි.


දැනට හඳුනාගෙන තිබෙන කොවිඞ් රෝගීන් අතර ඔවුන්ට එම රෝගය වැළඳුණු ආකාරය සම්බන්ධයෙන් තහවුරු කරගත නොහැකි වූ රෝගීන් කොපමණ සංඛ්‍යාවක් සිටී ද?


ඒකට හොඳම උදාහරණය තමයි පිළියන්දල ප්‍රදේශයෙන් හමු වූ මාළු වෙළෙඳාමේ යෙදුණු පුද්ගලයා. ඔහුට රෝගය වැළඳුණේ කාගෙන් ද කියන දේ තවම නිශ්චිතවම කියන්න බැහැ. ඔහුගේ සහෝදරයෙක් ඕස්ටේ්‍රලියාවේ සිට මාර්තු 14 වැනි දිනයක මෙරටට ඇවිත් දින 14ක් එකම නිවසේ නිරෝධායනය වී තිබුණා. නමුත් ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් මතුවෙලා තිබුණේ නැහැ. පසුව මේ මාළු වෙළෙඳාම කළා යැයි කියන පුද්ගලයාට රෝගය වැළඳෙන්නේ අප්‍රේල් 18/19 වැනි දිනක යි. ඒ නිසා ඔහුගේ රෝග මූලාශ්‍රය කොහේ ද කියලා අපට හිතාගන්න බැහැ. ඔහු විවිධ තැන්වල ගිහිල්ලා තියනවා. මැනිං වෙළෙඳපොළට ගිහින් තියනවා, කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශවල වෙළෙඳාමේ ගිහින් තියනවා. කොහේ කොහේ කා එක්ක ගැටුණා ද කියලා නිශ්චිත නෑ. ඒ නිසා සමාජ ව්‍යාප්තියකට යන්න කලින් ගම තුළ රෝගීන් ව්‍යාප්ත වන IIIb මට්ටම කරා ප්‍රදේශ කීපයක ළඟාවෙමින් තියනවා. දැනට වාර්තාවී ඇති මුළු රෝගීන් සංඛාවෙන් මූලාශ්‍ර පිළිබඳ යම් සැකසහිත තැන් තිබෙන එවැනි රෝගීන් අතේ ඇඟිලි ප්‍රමාණයට අඩු සංඛ්‍යාවක් ඉන්නවා.


සමාජ දුරස්ථභාවය ඇති කිරීමට ඇඳිරි නීතිය ආදිය නොකඩවා ක්‍රියාත්මක වුණත් කොළඹ බණ්ඩාරනායක මාවත වැනි අහඹු නියැදි පරීක්ෂණවලට භාජනය කළ ප්‍රදේශවලින් රෝගීන් පොකුරු හමුවීමට හේතු මොනවාද?


සමාජ දුරස්ථභාවය කියලා අපි නීති දැම්මාට මිනිස්සු ඒකට අනුගත වුණේ නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපට දැන් හෙළිවන කාරණය තමයි ගෙයින් එළියට බහින්නේ නැහැ කියලා අපි බලාපොරොත්තු වුණත් වත්තක් ඇතුළේ නිසා ඒක එහෙම වෙලා නැහැ. සැලුන් එකත් ක්‍රියාත්මක වෙලා තියනවා. මිනිස්සු ඇවිල්ලා කොණ්ඩෙ කපාගෙන ගිහින් තියනවා. සැලුන් එක කළ කෙනාත් ආසාදිතයෙක්. එයා හරහා කී දෙනෙක්ට රෝගය පැතිරුණා ද දන්නේත් නැහැ. ඒ නිසා රජය මොන නීති දැම්මත් සෞඛ්‍ය අංශ මොන උපදෙස් දුන්නත් ලෝකයේ පර්යේෂණවලින් සොයාගත් දේ තමයි රටේ ජනතාවගෙන් 80%කට වැඩි ප්‍රමාණයක් සමාජදුරස්ථභාවය තියාගෙන වැඩ කළොත් විතරයි මේක පාලනය කරන්න පුළුවන් කියන දේ. ඒ නිසා මේ ව්‍යාප්ත වන ස්වභාවයෙන් අපට පෙනෙන්නේ වතු ආශ්‍රිතවත් ඇත්තම සමාජ දුරස්ථභාවයක් තිබිලා නැහැ කියන එක යි.


මේ වන විට කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීම මගින් සමාජ දුරස්ථභාවය අඩු වී තිබෙනවා. ඒ ඇතැම් ප්‍රදේශවල බස්රථ මගීන්ගෙන් පිරී ඉතිරී ගිය අයුරු දක්නට ලැබුණා. ඒ ප්‍රදේශ මේ වන විට කොවිඞ් පැතිරීමේ අවදානමෙන් සුරක්ෂිත යැයි සහතික කරන්න පුළුවන් ද?


බැලූ බැල්මට කොවිඞ්වලින් තොරයි. විවෘත කළ දිස්ත්‍රික්ක බහුතරයක රෝගීන් වාර්තා වෙලා නැහැ. නොවෙන්න හේතුව තමයි ඒ දිස්ත්‍රික්කවල පරීක්ෂණ කරලා නැහැ. උදාහරණයක් විධියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වුණේ දෙදෙනා යි. ඒ දිස්ත්‍රික්කයේ පරීක්ෂණ කරලා තියෙන්නේ 13ක් විතරයි. 13දෙනෙකු පමණක් පරීක්ෂා කරලා සමස්ත දිස්ත්‍රික්කයක් පිළිබඳ අවබෝධයක් ගන්නේ කොහොමද? සමාජයක් විදියට නියැදි පරීක්ෂාවක් කරන්න ඕනෑ කියලා අපි කීවේ ඒ නිසායි. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් එක්ක අපි රටක් විධියට අලුත් පරිච්ඡේදයකට ඇවිත් තියනවා. ඒ අලුත් පරිච්ඡේදය තමයි, අපි ඇඳිරි නීතිය තිබිය දී සමාජ දුරස්ථභාවය 80%ක් තියාගෙන රෝගය පාලනය කළා නම් ඇඳිරි නීතිය ඉවත් කළ පසු පැහැදිලිව පෙනෙන්න තියන දේ තමයි ඒක 50%කට වඩා අඩු මට්ටමකට කඩාගෙන වැටෙනවා. එතකොට 80% දී යම් සාර්ථකත්වයක් තිබුණා නම් ඒක 50%කට වඩා සමාජ දුරස්ථභාවය අඩු මට්ටමක් තුළ දී ඒ විධියටම පවත්වාගෙන යෑම හරිම අභියෝගාත්මක යි. ඒ අභියෝගය ජයගන්නා විධිය තමයි දැන් අපිට හිතන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය කාරණය සම්බන්ධව දෙපාරක් හිතලා තමයි ජනාධිපතිතුමා ඇතුළු රටේ නායකයෝ බස්නාහිර පළාත ඇතුළු අනෙක් අවදානම් කලාප වලත් ඇඳිරි නීතිය ඉවත් කිරීමට සූදානමක් තිබුණත් එය එසේ නොකර දීර්ඝ කළේ. අවසානයේ දී අපිට කලාප වලට බෙදලා රටේ අවදානම් අඩු ප්‍රදේශ හරියටම විද්‍යාත්මකව හඳුනාගෙන රට නිදහස් කරන්න පුළුවන් වෙන්නේ අද පවතින තත්ත්වය අනුව අද තීරණ ගත්තොත් විතරයි.


කෙසේ වෙතත් ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලත් එසේ කළා කියලා සාමාන්‍යයෙන් අපි මෙතෙක් කල් දුන් උපදෙස් එකක්වත් අමතක කරන්න බැහැ. අත් සේදීම, මීටරයක දුර තබා ගැනීම, මුඛ ආවරණයක් භාවිත කිරීම, පිරිසිදුවී පාවහන් ගලවා නිවසට ඇතුළුවීම, විෂබීජ රැඳීම වැඩි විය හැකි මුදු, මාල, ඔරලෝසු ආදිය දේ පළඳින්නේ නැතිව සිටීම, අවදානම් කණ්ඩායම් රැකබලා ගැනීමත් සිදුකළ යුතුයි. ලංකාවේ මේ මොහොතේ මරණ අනුපාතය අඩු වුණත් වැඩිහිටි අය රැක බලා ගත යුතුයි. දැනටත් විවිධ රෝගාබාධ තිබෙන අයටත් අවදානම වැඩියි. ගර්භනී මවුවරුන්ටත් එහෙමයි. ඒ අය අනවශ්‍ය විධියට එළියට යෑම වළක්වා ගත යුතුයි. රෝගයෙන් සිදුවන මරණ අනුපාතය අඩුකර ගන්න මේ දේවල් අනුගමනය කිරීම වැදගත්.


ලංකාව තුළ කොවිඞ් පැතිරීම එහි උපරිම මට්ටම ඒ කියන්නේ පීක් එක පසුකරමින් සිටින බව පසුගිය දිනවල ඇතැම් අය ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම ලංකාවේ කොරෝනා අවදානම අවසන් බව ඇතැම් මාධ්‍යත් වාර්තා කර තිබුණා නේද?


19 වනදායින් පසු ප්‍රශ්නයක් නැහැ කියලා අපේ රටේ දේශපාලඥයෝත් කිවුවානේ. පසුගිය සතියේ අපි මිනිස්සු බය කරනවා කියලා සමහර මාධ්‍ය ඇතුළේ ඉඩක් දුන්නේත් නැහැ. කාගෙවත් වැරැද්ද නෙමෙයි. කොවිඞ් තත්ත්වයත් දේශපාලනීකරණය කරගෙන තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් මේ හරහා ක්‍රියාත්මක කරගන්න ඉන්නා සමහර අයත් ඉන්නවා. ඒ හැරුණු විට මේ සම්බන්ධයෙන් අනාවැකි ඉදිරිපත් කර තිබෙන අයගේ අනාවැකි සම්බන්ධයෙන් ගත්තත්, පසුගිය සති කීපයේ ලෝකයේ අත්දැකීම් ගත්තත් කියන්න පුළුවන් කාරණය මේක අනාවැකි පළකරන්න පුළුවන් රෝගයක් නෙමෙයි. මේක අවිනිශ්චිතභාවය පිළිබඳ රෝගයක්. මේ වෙලාවේ ලෝකය රෝගී වෙලායි තියෙන්නේ. ලංකාවත් රෝගීයි. කොවිඞ් නිසා රෝගී වුණු ලංකාව කියන රෝගියාට බෙහෙත් දෙද්දී අපිට දවස ගාණේ වට්ටෝරුව වෙනස් කරන්න සිද්ධ වෙනවා. අද තියන තත්ත්වය නෙමෙයි හෙට. ඒ නිසා අනාවැකි ගොඩක් වෙලාවට වරදිනවා. ලෝකයේ දියුණුම යැයි සම්මත රටවල් පවා අනාවැකි කියන්න ගිහින් වැරදිලා තියනවා. ඒ නිසා දේශපාලඥයන්ටවත්, විද්‍යාඥයන්ටවත්, වෛද්‍යවරුන්ටවත් අනාවැකි කියන්න තියන හැකියාව දවස ගාණේ මේකෙදී දුරස්වෙමින් තියනවා. ඒ නිසා මේකේ පීක් එකට අපි තාම ඇවිත් නෑ. ඒක හිතාගන්නත් බැරි තැනකයි අපි ඉන්නේ. ඒ නිසා අපි අද දෙන්න ඕනෑ මේ වෙලාවට ගැළපෙන වට්ටෝරුවයි.


කොවිඞ්-19 රට තුළ ව්‍යාප්ත වන ආකාරය පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා ගන්න නම් පරීක්ෂණ හැකි තරම් වැඩි කළ යුතු බව ඔබ යෝජනා කරනවා. පරීක්ෂණ වැඩි කිරීම මේ අවස්ථාවේ ප්‍රධානම අවශ්‍යතාවක් වෙන්නේ ඇයි?


ඔව්, පරීක්ෂණවලට ගියොත් විතරයි අපිට රෝගීන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මේ රෝගයේ තියන ප්‍රධානම ලක්ෂණය තමයි අවිනිශ්චිතභාවය. ඒකත් එක්ක තමයි මේක ලෝකය පුරා යන්නේ. ඒ අවිනිශ්චිතභාවයට, හැමෝම දිහා සැකෙන් බලන්න තිබෙන ප්‍රධානම හේතුව තමයි මේ රෝගය තිබෙන 80%කටම එක්කෝ රෝග ලක්ෂණ නැහැ, එසේ නැතිනම් ඉතා කුඩා රෝග ලක්ෂණ සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. එතකොට ඔබට මට අප කිසිම කෙනෙකුට රෝගය නැහැ කියලා හරියටම කියන්න බැහැ. මොකද මේ තත්ත්වය යටතේ අපට දැනට පරීක්ෂා කිරීම්වලින් හමුවෙන බහුතර රෝගීන්ට රෝග ලක්ෂණ නැහැ. ඒ අයට රෝගය තිබෙන බව ඒ අය දන්නේත් නැහැ. ඒක මේ රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමට එක් හේතුවක්. ඒ එක රෝගියෙක් ඇති රටක්ම විනාශ කරන්න. දකුණු කොරියාවේ 31 වැනි රෝගියා දකුණු කොරියාව පුරා රෝගය පැතිරෙවුවා වගේ ඒ රෝගියා පිළියන්දලෙන් හමුවූ කෙනාද, බොරලැස්ගමුවෙන් හමුවූ කෙනාද, නැත්නම් සුදුවැල්ලෙන්ද, මැද කොළඹ සැලූන් එක කළ කෙනාද කවුද කියලා අපට දැන්ම ම කල් තියා අනාවැකි කියන්න අමාරුයි. අවිනිශ්චිතභාවය නැති කරන්න නම් අපි කරන්න ඕනෑ හැංගිලා ඉන්න රෝගීන් සොයා ගැනීම යි. යම්කිසි අයෙක්ට රෝග ලක්ෂණ මතු වුණොත් ප්‍රතිකාරවලට ගිහින් පරීක්ෂණවලට යොමුවෙලා දැනගන්න සමාජමය වගකීමක් තියනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ වැඩි දෙනෙකුට රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. එතකොට වගකීම තිබෙන්නේ පුද්ගලයාට නෙමෙයි, බලධාරීන්ට යි. ඒ කියන්නේ සෞඛ්‍ය අංශවලටයි. සෞඛ්‍ය අංශවලට වැඩපිළිවෙලක් තිබෙන්න ඕනෑ ඒ හැංගිලා ඉන්න රෝගීන් හඳුනා ගන්න. ඒ සඳහා තිබෙන එක වැඩපිළිවෙළක් තමයි රෝගීන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙල පුළුල් කිරීම. දැනට තිබෙන පී.සී.ආර් පරීක්ෂණය හරහා පුළුවන් තරම් මේ රෝගීන් හඳුනා ගන්න ඕනෑ. ආක්‍රමණශීලී විධීයට ඒ පරීක්ෂණය කරන්න ඕනෑ. දෙවැනි එක ඒ පරීක්ෂණයේ සංවේදීතාව 70%ක් නිසා 30%ක් රෝගීන් මගහැරෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත පරීක්ෂාවට ලක්වෙන්න ඕනෑ. කාලසීමාවක් තුළ දෙතුන් වරක්වත් පරීක්ෂණයට ලක්වෙන්න ඕනෑ. ආක්‍රමණශීලී සහ නැවත නැවත කරන පරීක්ෂණවලට යන්න ඕනෑ. රටක් විධියට අවිනිශ්චිතතාව සඳහා ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ඒකේ තිබෙන අඩුපාඩුව නිසා යි.

තවමත් මෙරට තුළ පරීක්ෂණ ප්‍රමාණවත් ලෙස සිදුවන්නේ නැද්ද?


මේ පරීක්ෂණ වැඩි කරන්න ඕනෑ කියලා අපි ජනාධිපතිතුමාට සහ රටට ඉදිරිපත් කළේ මාර්තු 31 වැනි දා යි. ඒ වෙලාවේ ගොඩක් අය එය අවඥාවට ලක් කළා. ඒ වැඩපිළිවෙළට යන්න ඕනෑ කියන දේ අද ඒ සියලුදෙනා පිළිගන්නවා. ජනාධිපතිතුමාත් මැදිහත්වෙලා ගොඩක් දේවල් කළා. ගුවන්තොටුපොළ වැහුවා, දුරස්ථභාවය ඇති කරන්න ඇඳිරි නීතිය පැනවීම, රාජකාරි ස්ථාන වැහීම, පාසල් විශ්වවිද්‍යාල වැහීම ඒ සියලු දේ කළා. යම් යම් අතපසුවීම් වුණත් නිරෝධායන කටයුතු ආදියත් කළා. නමුත් පරීක්ෂණ වැඩි කිරීමේ ක්‍රියාවලිය මාර්තු 31 කිවුවත් ඒක හරියට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ අප්‍රේල් 19 යි. රටක් විධියට අපි සති තුනක් පිටි පස්සෙන් ඉන්නේ. අඩුම ගාණේ අදවත් ඒක හරියට කරන්න ඕනෑ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාම කිවුවත් දවසකට පරීක්ෂණ 1500ක් කරන්න පුළුවන් කියලා ඒ සංඛ්‍යාව වෙන්නේ නැහැ. ඒක කරන්න බැරි බාධා අඩුපාඩු තියනවා නම් ඒක ජනාධිපතිතුමාට රටට කියලා ඒ අඩුපාඩු සම්පූර්ණ කරගන්න ඕනෑ. මේ පරක්කු වන හැම දවසක් පාසා ම මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජන ජීවිතය නැවත ආරම්භ කරන ක්‍රියාවලියත් පරක්කු වෙනවා. ඒ නිසා පරීක්ෂණ වැඩි කිරීම ප්‍රධානම දේ යි. ■