ටිරන් කුමාර බංගගමආරච්චි


තමා ජනපතිට හෝ ආරක්ෂක ලේකම්ට තර්ජනය නොකළ බව කියමින් ‘පොඩි ලැසී’ නමැත්තා අධිකරණයේ හඬා වැටුණු බව ආණ්ඩුවේ මාධ්‍ය මුල් පුවත කොටගෙන එලා තිබුණි. එහි යටිපෙළ අරුත වූයේ දැන් ලැසීලාගේ ලොම් හැලී නඟුට දෙපනේ ගහ ගත්තා වැනි සරදමකි. සැබැවින්ම මාධ්‍ය මේ සරදම් කරනුයේ කාටද? මීට පෙර කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී යන අය ජනපතිට සහ ආරක්ෂක ලේකම්ට මරණ තර්ජන කළැයි පුවත් මැවීය. මේ පුවත් නිර්මාණය කරනුයේ කවුද? බන්ධනාගාරය හරහාමය. ඒවා මාධ්‍ය මෙතරම් උලුප්පනුයේ ඇයි? හරි රසවත් පුවත් කියා විය යුතුය. එහෙත් ඒ තුළ ඇත්තේ මාධ්‍යයට අවැසි රස වුවත් තව අයට පොවන විස බව මේ අය අදටත් වටහාගෙන නැත. මේ විදිහට දිගින් දිගටම මාධ්‍ය කරනුයේ කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී මෙන්ම පාතාල යැයි කියන සැමට ඉක්මන් මරණ සහතික ලියා දීමය. ලැසීලා අඬනුයේ ඒ විස ඉක්මනින්ම කැවෙනු ඇතැයි යටි සිත කියන නිසාය. ගොනා කෝවිලේ රොහාගේ මරලතෝනිය දෙකන් සිදුරු කරන නිසාය. ඊළඟ බිල්ල තමා වේදෝයි අවිනිශ්චිත නිසාය.
මේ බව මීට පෙරද ලියා තැබුවෙමු. ලැසීලා, තාරකලා හොඳද නරකද අපි නොදනිමු. ඒ අයගේ වැරදිවලට ඒ අය බන්ධනාගාර ගතවී ඇති බව දැනට දනිමු. එහෙත් ආණ්ඩුව කුඩු සහ පාතාලය සහමුලින්ම නැති කරනවා යැයි ප්‍රතිඥා දුන් බැවින් බන්ධනාගාරයේ දුසිම් ගණන් අහවර කළ කාලය සිහි කැඳවෙනු ඇත. අතීතය සිහිනයක් පමණැයි කිව නොහැකි තරම් බියකරු වී ඇත.


මෙරටින් පාතාලය සහ මත්කුඩු ජාවාරම සහමුලින්ම අතුගා දමන්නට ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා කාර්ය සාධක බලකායක් පවා ජනාධිපති ගෝඨාභය විසින් ස්ථාපනය කළේය. එහි ප්‍රධානත්වය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට ලබා දුන්නේය. 2020 ජූනි මස 02 වැනිදා නිකුත් කෙරුණු රජයේ ගැසට් පත්‍රය මගින් ඒ බව ප්‍රසිද්ධ කෙරුණි. කාර්ය සාධක බලකාය ප්‍රසිද්ධ කර දින පහක් ගතවන විට එහි සාර්ථකත්වය කියාපෑවේ ගොනා කෝවිලේ රාජා මිනුවන්ගොඩ පොල්වත්තකදී පොලිස් වෙඩි පහරින් මරා දැමීමත් සමගය. පාළු වත්තක තනියම පොලිසිය සමග ද්වන්ද්ව සටනක් දෙන්නට තරම් හයියක් රාජාට තිබූ නිසා හෝ වෙනයම් දෙයක් නිසා හෝ කෝවිල කුමක් වුවත් ගොනා කියන කෑල්ලක්ද ඉදිරියට ආවේ ඇයිද යන්න නිකමට සිතා බැලිය හැකිය. පොලිසිය මේ රස කතා අසන ජනතාව ගොන්නු කියා සිතුවාටද කම් නැත.


ඊළඟ වෙඩිල්ල පත්තු වනුයේ අගෝස්තු 11 වැනිදාය. ඒ අංගොඩ ලොක්කාගේ ගෝලයකු යැයි කියන ෂොල්ටාටය. ෂොල්ටා පසුගිය මහින්ද ආණ්ඩු සමයේ කොහි සිටියාද නොදනිමි. එසේ සිටියා නම් පරණ පුරුදු සෙල්ලම කරන්නට නොයනු ඇත. මිනිස්සු පරණ කතා අමතක කරනුයේ ඉක්මනිනි. පොලිසිය කියන පරිදි ෂොල්ටා අංගොඩ පැත්තේ සඟවා තිබූ අවි ආයුධ තොගයක් පෙන්වන්නට ගොස් ඒ අතරතුර බෝම්බයක් ගෙන පොලිසියට දමා ගසන්නට සැරසෙද්දීම ඔහුගේ ඉරණම පොලිසිය විසඳා ඇත්තේ ඒ අයගේ ආත්ම ආරක්ෂාව තකාය.


ඉන්පසු පොලිසියෙන් මැරුම් කන්නේ චමියාය. ඔහුත් අංගොඩ ලොක්කාගේ කල්ලියේ සාමාජිකයෙකි. ඔහුත් ෂොල්ටා කළ මෝඩ වැඬේම කරන්නට යනුයේ ෂොල්ටාට වැරදුණාට තමාට නොවරදිනු ඇතැයි විශ්වාසයෙන් විය යුතුය. ආයුධ පෙන්වීමට යන ඔහු ඒ අතරතුර ශරීර කෘත්‍ය කරන්නට වුවමනා යැයි කී විට පාතාල අයකු වුවත් ඒ බර පහකර ගැනීමට මානුෂීය වන මෙරට පොලිසිය චමියාට ඉඩ දෙනුයේ ඒ බර පහ කරන්නටය. එහෙත් පාතාල ගති ඇති චමියා ඒ මොහොතේ පොලිසියට පහර දෙන්නට ගොස් ඇත්තේ තම කෘත්‍ය දරා ගන්නට බැරිවද යන්න තවම සිතාගත නොහැකිය. බර තද කරගෙන ඉන්නා අයට ‘චූ’ යන්න ගහන පොලිසිය මෙවන් මොහොතක කර බා සිටිනු ඇතැයි චමියා සිතුවේ උමතුවෙන්ද? පොලිසිය ඒ මොහොතේ කළේ චමියා සමග අතින් පයින් ගහගෙන ගුටි කනවා වෙනුවට වෙඩි තබා තම ආරක්ෂාව තහවුරු කර ගැනීමය. ඒ අනුව චමියා අගෝස්තු 22 මෙලෙස ඝාතනය විය.


ඉන්පසු උණ්ඩය සොයා යනුයේ හංවැල්ලේ ඉන්ද්‍රගේ ශරීරයය. ඒ අගෝස්තු මස 28 වැනිදාය. නවගමුවේ පොලිසිය අත්අඩංගුවට ගන්නා ඉන්ද්‍රත් ආයුධ පෙන්වන්නට ගොස් ඉහත සන්තෑසියම අත්වින්දේය.


එස්.එෆ්. ලොක්කාගේ ඝාතනය ආයුධ පෙන්වන්නට ගොස් සිදුවූ දෙයක් නොවූවද එය මේ රැල්ලෙම වෙන විදිහක ඝාතනයක් බව පැහැදිලිය. ඒ නිසා එයත් සුළු කොට තැකිය නොහැකිය. එය ඉදිරියේදී ඕනෑම කෙනකුට මානන්නට හැකි තුවක්කුකරුවෙකු නිර්මාණය කර ඇත.


මේ දිනවල ලොකුම කතාබහ ගොනා කෝවිලේ රොහාය. හැරල්ඞ් රෝහණද සිල්වාගේ චණ්ඩි ආමන්ත්‍රණය ගොනා කෝවිලේ රොහාය. මෙයද මාධ්‍ය හදන නම්ය. කෙසේ වෙතත් ඔහුද ඔහුගේ ගෝලයා මෙන්ම හුදකලාව මුහුදු වෙරළේ කූඩාරමක සිට පොලිසිය සමග තනිව ඔට්ටු වන්නට ගිහින් නිකම්ම මට්ටු වූයේය.


පොලිසිය කියනුයේ රොහා ඉන්දියාවට පලා යෑම සඳහා කොච්චිකඬේට පැමිණ එම වාඩියේ ලැග ඇති බවය. රොහාගේ ආරක්ෂාවට වාඩියේ මුරට ගෝලයන් දෙදෙනෙක් සිට ඇති බවත්, ඒ අය පොලිසිය දුටු ගමන් අත තිබූ ටී 56 අවි දමා පණ එපෝ කියා රොහාද තනිකර දිව ඇති බවය. දුවන්නේ රොහා නොව රොහා ඇතුළේ තනියම වෙසෙන බව ටක්කෙටම දත් පොලිසිය දුවන මුවන් අතහැර කොටියාවම ඉලක්ක කර ඇත.


කොතරම් කෙරුමන් වුවත් මෙරට පොලිසිය ඉදිරියේ හා පැටව් වන මෙරට පාතාලය අන්තිම මොහොතේ පොලිසිය සමග තනිව යුද වදින්නට යෑමෙන් පෙනෙනුයේ ඔවුන්ගේ නිර්භීතකමද පොලිසියේ පිටපතේ අඩුවද යන්න නොසිතා සිටීම හොඳ දෙයක් නොවෙති.


මේ සෑම මෙහෙයුමක්ම සිදුවන්නේ බස්නාහිර දකුණු නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේය. ඔහුගේ අනුදැනුම ආශිර්වාදය සහ මගපෙන්වීම යටතේය. කාර්ය සාධක බලකායේ කාර්යක්ෂමතාව අගෝස්තු මාසයේ සිට මේ දක්වා අත්විඳින පාතාලය තමන් හංගපු ආයුධ සොයා ගත් සැණින් පොලිසියට ගහන්නේ කෙසේද යන්න සිතනවා නොඅනුමානය.


ඒ අතර ලැසීලා හඬන එක හිනාවෙන්නට කාරණයක් නොවේ. කුඩු විනාශ කරනවා යැයි කියනුයේ ඒවා අල්ලා ගිනි තැබීම නම් පාතාලය සහමුලින්ම නැති කරනවා යැයි කියනුයේ ආයුධ පෙන්වන්න යෑම සහ ආයුධ ගෙන පොලිසියට පහරදීමට උත්සාහ කිරීමත් ඊට ප්‍රතිචාර ලෙස පොලිසිය මැරෙන්නම වෙඩි තැබීමද?


පාතාලය සහමුලින් නසන්නට මෙලෙස ක්‍රියා කරද්දී රොහාගේ මරණය ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලිය මල් වෙඩි ගසා සමරන්නේ කෙසේද? දැන් පොලිසිය ඒ අයගේ ආයුධ හොයන්නට යන්නේ කවදාද? කාර්ය සාධක බලකාය එම කාර්ය නොකර සිටින්නේ යැයි සිතීම මුලාවකි. මිය යන්නේ පාතාලයෝ කියා ජනතාව ලෙස පාතාල සතුටක් ලැබිය යුතුද? තව කොතෙක් ආයුධ පෙන්වනු ඇත්ද? තව කොතෙක් මියයනු ඇත්ද? මෙහි කෙළවරක් තිබිය හැකිද? පොඩි ලැසී හඬනු දැක ජනතාව ඔහු සමග සිනාසිය යුතුද? හැඬිය යුතුද?


මේ ලියවිල්ල හාස්‍යජනක ස්වරූපයක් ගෙන ඇත. එය එසේමය. මන්ද මිනිස් ජීවිත මේ තරම් හෑල්ලුවට, හාස්‍යයට ගෙන චප්ප කළ හැකි නම් ඒ දෙස පාතාලයොනේ යැයි කියා සතුටු විය හැකි නම් මාධ්‍ය තක්කඩින්ට පොලිසියේ වික්‍රම ඩීමන් ආනන්ද පන්නයට ලිවිය හැකි නම් වාක්‍ය පමණක් බරසාර කර කුමකටද? හැමදේම හෑල්ලුවට ගෙන ගෝඨා සර්ට හුරේ දමමු.


සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩ නැගිය හැක්කේ සඟවා ඇති ආයුධ සොයා ගැනීමෙන් සහ සොයා ගත් පසු ඒ අය මරා දැමීමෙනි. ලංකාවේ පොලිසිය කොතරම් අවංකදයත් මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට අද දක්වාම ආයුධ සොයන්න යෑම ඒ ආයුධවලින් තමන්ට ගහනකම් බලා සිට ඒ ක්ෂණයෙන් ඔවුන් විනාශ කිරීම එකම ලෙස කරගෙන යෑම තුළින්ම තහවුරුය. අනුර සේනානායක, වාස් ගුණවර්ධන මෙන්ම දේශබන්දු තෙන්නකෝන්ටවත් කරන්නට සිදුවූයේ එයම නම් මේ පාතාලය කවදා වෙනස්වේදැයි සිතාගත නොහැකිය. සියල්ලම කෙසේ වෙතත් කොටසක් හෝ විනාශ කරන බව නම් කාර්ය සාධක බලකායේ කාර්යක්ෂමතාවයෙන්ම පැහැදිලිය. දැනට අපැහැදිලි හෙට කවුද යන්නය. බය දැනෙන්නේ පොඩි ලැසීට පමණක් නොව, ඇඬෙනුයේ පොඩි ලැසීට පමණක් නොවන බව ජනතාව තදට සිතිය යුතුය. මරන්න ඕනෑම නම් පාතාල කළ නොහැක්කේ කාවද? ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here