නාලක ගුණවර්ධන

වංශකතාවල හමු වන, නැතහොත් කිහිප දෙනකු විසින් සිතාමතා ප්‍රතිශෝධනය කරනු ලැබූ ඉතිහාසයේ (revisionist history) එල්බ ගෙන, එම ඉතිහාසයේ බරින් මිරිකී සිටින සමාජයක සාමූහික දර්ශනයේ බරපතල සීමා ගැන අප ගිය සතියේ සාකච්ඡා කළා.


මෙරට සිටින ප්‍රවීණතම ජෛව සහ පරිසර විද්‍යාඥයකු වන ආචාර්ය රනිල් සේනානායක සමග මා කළ දිගු සම්මුඛ සාකච්ඡාවක කොටස් උපුටා දක්වමින් මා තර්ක කළේ එවැනි තමන්ට ගැලපෙන ඉතිහාසයන් සහ කොහොමටත් පක්ෂග්‍රාහීකම් බහුල වංශකතාවල එල්බ ගෙන සිටින තාක් කල්, වර්තමානයේ සංකීර්ණ සමාජ සහ දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් සොයා ගැනීම දුෂ්කර බවයි.


ආචාර්ය රනිල් සේනානායක පැවසූ පරිදි, “ඉතිහාසය කෙතරම් විසිතුරු එකක් වුවත් එහි සිදුවීම් සියල්ල හමාරයි. එහි එල්බගෙන සිටීමෙන් අපට අතීතකාමයක් ලද හැකි වුවත් ප්‍රායෝගිකව ලද හැකි ප්‍රයෝජන ඉතා සීමිතයි. එහෙත් සිංහල මෙන්ම දෙමළ දේශපාලකයන් ද හැකි තරම් කරන්නේ ඉතිහාසය අවියක් ලෙස යොදා ගනිමින් සිංහල ජනයා සහ දෙමළ ජනයා තවත් බෙදා වෙන් කිරීමයි.”


මැතිවරණ සමයකදී ඉදිරිය බලනවාට වඩා ගෙවුණු කාල ගැන ආපස්සට හැරී බලන්නට සමාජයක් හැටියට අප මෙතරම් කැමති ඇයිද යන්න යළි යළිත් විමසුමට ලක් කළ යුතුයි.


කිසිම රටක හෝ සමාජයක ඉතිහාසය තනි ආඛ්‍යානයක් (single narrative) විය යුතු නැහැ. එකම පුරාවිද්‍යාත්මක සහ වෙනත් ලේඛනගත සාක්ෂි මත පදනම් වී වුවද එකිනෙකට වෙනස් පර්යාලෝකයන් (perspectives) යොදා ගැනීම හරහා විවිධාකාර වූ විග්‍රහයක් කිරීමට හැකිවීම විවෘත සමාජයක තිබිය යුතු නිදහසක්.


මගේ තර්කය කිසිසේත් එම නිදහසට එරෙහිව නොවෙයි. කිසිදු සාක්ෂියක් නොමැතිව පරිකල්පනීය ප්‍රබන්ධ මත පමණක් පදනම් වූ ඉතිහාසයන් ගැන අප බෙහෙවින් ප්‍රවේශම් විය යුතු බවයි.


ඉතිහාසය මෙන්ම පොදු ජන මතකය (public memory) යන සාධකය ද ජනමතය වෙත සැලකිය යුතු බලපෑමක් කරනවා.
පොදු ජන මතකය යනු කුමක්ද? පර්යේෂකයන් මෙය අර්ථ දක්වන්නෙ තනි පෞද්ගලික මතකයන්ගෙන් ඔබ්බට ගොස් යම් ප්‍රජාවක් සාමූහිකව රඳවා ගෙන තිබෙන මතකයන් සමුදායයි.


මේ පොදුජන මතකයන් සැබැවින්ම සිදු වූ සිදුවීම්වලට වඩා යම් තරමක් හෝ බොහෝ තරමක් වෙනස් විය හැකි බවද මානව විද්‍යා පර්යේෂකයන් පෙන්වා දෙනවා.


නිල හා ලේඛනගත ඉතිහාසයන්ට වඩා පොදුජන මතකයන් නොවිධිමත්, බහුවිධ සහ කලින් කල වෙනස් වන සුළුයි. 1980 ගණන්වල පටන් සමාජ විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් මහත් ඕනෑකමින් අධ්‍යයනය කරන්නේ විවිධ ජන සමාජ තමන්ගේ පොදුජන මතකය කෙසේ පවත්වා ගනී ද යන්නයි. එසේම ජන මතකයට බලපෑම් කරන්නේ කුමන සාධක ද යන්නයි.


අපි උදාහරණයක් ගනිමු. 1983 ජූලි 23 වනදා ඇරඹී දින ගණනක් තිස්සේ ඇවිල ගිය බිහිසුණු ජාතිවාදී ප්‍රචණ්ඩත්වය කළු ජූලිය ලෙස හඳුන්වනවා. අපේ මෑත ඉතිහාසයේ අතිශයින් තීරණාත්මක සිදුවීම් මාලාවක් වුවද, කළු ජූලිය ගැන සිංහල සහ දෙමළ ප්‍රජාවන් දෙකටම එකඟ විය හැකි මැදහත් අපක්ෂපාතී ඉතිහාස ලේඛනගත කිරීමක් සොයා ගැනීම දුෂ්කරයි.
මේ ප්‍රජාවන් දෙක දැඩි ලෙස ධ්‍රැවීකරණය කිරීමට දායක වූ කළු ජූලිය, විවිධ ඉතිහාසඥයන්, මාධ්‍යවේදීන් සහ වෙනත් විචාරකයන් බෙහෙවින් වෙනස් ලෙසට විග්‍රහ කරනු දැකිය හැකියි. විදේශීය විද්වතුන් පවා බොහෝවිට කළු ජූලිය ගැන ලියද්දි ලක් සමාජයේ පවතින ආඛ්‍යානයන්වල බලපෑමට හසු වනවා.


1980 දශකය මුලදී සිදුවූ තවත් අපරාධයක් රටේ අනාගතය ප්‍රබල ලෙස දිශාගත කළා. 1981 ජූනි 1 වනදා අලුයම යාපනයේ මහජන පුස්තකාලය ගිනි තබා විනාශ කිරීම, සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර ඓතිහාසික ආතතීන් වාර්ගික යුද්ධයක් බවට පත්වීමට තල්ලු කළ හැරවුම් ලක්ෂය ලෙස මා දකිනවා.


මිල කළ නොහැකි පුස්තකාල පොත් රාශියක් සහ මුද්‍රිත පොත් 97,000 පමණ තිබුණු මෙම පුස්තකාලය පැය කිහිපයකින් අළු බවට පත් කළ මහා සංස්කෘතික අපරාධයට දකුණේ සිට උතුරට ගිය එවකට පාලක පක්ෂයට සම්බන්ධ සිංහල දේශපාලකයන් හා ඔවුන්ගේ මැර අනුගාමිකයන් සම්බන්ධ වූ බවට සාක්ෂි තිබෙනවා.


නමුත් දකුණේ සිංහල ජනයා එම අපරාධයේ බිහිසුණු බව අද දක්වාම හරි හැටි තේරුම් ගත් බවක් පෙනෙන්නට නෑ. 1983 කළු ජූලිය ගැන අවංකවම ස්වයං විවේචනය කරන සිංහලයන් පවා, විසිවන සියවසේ විශාලතම පොත් ගිනි තැබීමක් සිංහල මැරයන් පිරිසක් විසින් අපේ දූපතේ එක් කෙළවරක සිදු කිරීමේ ආදීනව වටහා ගෙන තිබේද?


පොදුජන මතකය පර්යේෂණ තේමාවක් ලෙස අපේ රටේ මීට වඩා බෙහෙවින් අධ්‍යයනයට ලක්විය යුතු යයි මා සිතනවා. එයට අදාළ වැදගත් සාධක දෙකක් එහිදී සැලකිල්ලට ගත යුතුයි. එනම් රටේ ජනගහන සංයුතිය සහ ජනමාධ්‍යයවල දායකත්වයයි.
රටක ජනගහනය, ජනවිකාස විද්‍යාඥයන් (demographers) නොයෙක් ආකාරයෙන් විශ්ලේෂණය කරනවා. එයින් එක් ආකාරයක් නම් ජනගහනයක මධ්‍යස්ථ වයස (Median Age).


මධ්‍යස්ථ වයස කියන්නේ එම ජන පිරිස වයස අනුව සංඛ්‍යාත්මකව එක සමාන කාණ්ඩ දෙකකට බෙදිය හැකි වයසයි. එනම් ජනයාගෙන් හරි අඩක් එම වයසට වඩා බාල වන විට ඉතිරි අඩ එම වයසට වඩා වැඩිමහල් වනවා.


ජනගහනයක මධ්‍යස්ථ වයස් අගය කාලයත් සමග වෙනස් වනවා. 1970දී අවුරුදු 19.6ක් වූ මෙම අගය, 1990දී අවුරුදු 24.2 වූවා. 2012දී අවසන් ජන සංගණනය කළ අවස්ථාවේ මෙරට මධ්‍යස්ථ වයස 31.0යි. 2019 වන විට එය අවුරුදු 32.6 දක්වා ඉහළ ගිහින්.


ජනගහනයක ළමා හා තරුණ ප්‍රතිශතය කෙමෙන් අඩු වන විට මධ්‍යස්ථ අගය වැඩි වනවා. (60ට වැඩි ජනගහනය බෙහෙවින් ඉහළ ජපානයේ මධ්‍යස්ථ වයස අවුරුදු 47.3යි. ඉන්දියාවේ එම අගය අවුරුදු 28.1ක් වන අතර පාකිස්ථානයේ එය අවුරුදු 23.8යි.)


මධ්‍යස්ථ වයසේ ප්‍රායෝගික වටිනාකම කුමක්ද?


අපේ ජනගහනය සම්බන්ධයෙන් බලන විට අද රටේ ජීවත්වන සමස්ත ජනයාගෙන් බාගයක්ම 1987 හෝ ඊට පසුව උපන් අයයි.


අලුත උපන් දරුවන්ට ජීවිතයේ මුල් වසර කිහිපයේ පුළුල් සමාජයේ සිදුවන දේ ගැන ග්‍රහණය නොවන නිසා 1990ට පෙර සිදු වූ කිසිවක් ගැන සෘජු මතකයන් හෝ අත්දැකීම් අද ලක් සමාජයෙන් බාගයකට නොමැති බවයි.
ඒ කියන්නේ 1983 කළු ජූලිය, සිවිල් යුද්ධයේ මුල් වසර කිහිපය, 1987 ඉන්දු ලංකා ගිවිසුම හෝ 1987-89 භීෂණ සමය ගැන අපේ ජනයාගෙන් අඩකට තමන්ගේම කියා මතකයන් කිසිවක් නැහැ.


1990ට පෙර තීරණාත්මක දේශපාලනික සහ සමාජයීය සිදුවීම් හා වෙනස්කම් ගැන අපේ ජනයාගෙන් බහුතරයක් දෙනා දැනගන්නේ තමන්ට වඩා වැඩිමහලු සමීපතයන්ගෙන්, නැතහොත් පොතපතින් හා ජනමාධ්‍ය වලින්.


1970-77 වකවානුවේ සමාජවාදයේ නාමයෙන් පවත්වා ගෙන ගිය (බහුතරයකට දුක් කරදර දුන් එහෙත් පාලක ප්‍රභූ පිරිස කැපකිරීම් නොකළ ආකාරයේ) සංවෘත ආර්ථිකය ගැන අද ජීවත්වන පරම්පරා දෙකක්ම වැඩිමහලු අයකුගෙන් අසා දැන ගත යුතුයි.


රටේ බහුතරයක් දෙනාට බහුකාර්ය මහවැලිය සංවර්ධන වැඩසටහන, 1982 ජනමත විචාරණය හෝ 1977 ආර්ථිකය විවෘත කිරීම ආදිය අසා හෝ කියවා දැන ගන්න සිදුවීම් පමණයි.


මෙය වැදගත් වන්නේ මේ නිසයි: නිදහස් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය ගැන නොයෙක් දෙනා මාධ්‍යවල හා දේශපාලන වේදිකාවල මෙන්ම සරසවි දේශනාගාරවලත් නොයෙක් විග්‍රහයන් කරනවා. අමූලික බොරු මෙන්ම ඉතිහාසය ප්‍රතිශෝධනය කිරීම් එමටයි.


මෑතකාලීන වැදගත් සිදුවීම් ගැන පොදුජන මතකයන් සීමිත සහ චපල වූ පසුබිමක, තම තමන්ට රිසි පරිදි නිදහසින් පසු ඉතිහාසය ප්‍රතිශෝධනය කිරීමේ ලොකු බලයක් ජනමාධ්‍ය හිමි කර ගෙන සිටිනවා.


“ජනමාධ්‍යවේදය යනු ඉතිහාසයේ මුල් රළු කෙටුම්පත සටහන් කිරීමයි” (“Journalism is the first rough draft of history”) යන්න ලොව පිළිගත් කියමනක්. සිදුවීම් දිග හැරෙන මොහොතේම ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු යටතේ හසු කර ගැනීම වෙන කිසිවකුටත් වඩා හොඳින් කිරීමේ හැකියාව ඇත්තේ පුවත් මාධ්‍යවලටයි.


එසේ වූ පමණට යම් සීමාවකින් ඔබ්බට ඉතිහාසය තමන්ට රිසි පරිදි ලේඛනගත කිරීමට හෝ විග්‍රහ කිරීමට මාධ්‍යවේදීන්ට වරමක් නැහැ. සාක්ෂි මත පදනම් වූ තර්කානුකූල මාධ්‍යකරණයක යෙදෙන කිසිදු මාධ්‍යවේදියකු තමන්ගේ පරිකල්පනයන් හෝ මතවාදී රුචි අරුචිකම් රටේ ඉතිහාසය ලෙස ස්ථාපනය නොකළ යුතුයි.


අපේ බහුතරයක් ජනමාධ්‍ය විවිධ දේශපාලන සහ මතවාදී කණ්ඩායම්වලට පක්ෂග්‍රාහී වූ පසුබිමක මැදහත් ලෙස මෑත ඉතිහාසය සාකච්ඡා කිරීමට කෙතරම් ඉඩක් තිබේද?


පොදු ජන මතකය සහ මහජන මතය යන දෙකම කෙරෙහි විශාල බලපෑමක් එල්ල කිරිමේ හැකියාව ඇති නිසාමයි ජනමාධ්‍ය දැඩි ලෙස අපේ විමර්ශනයට ලක්විය යුත්තේ. ප්‍රකාශන සහ මාධ්‍ය නිදහස පලුදු නොවන පරිදි ජනමාධ්‍ය නියාමනයක් අවශ්‍ය වන්නේ ද එනිසායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here