dav

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


හෘද රෝග හෝ නාල අවහිරතා සම්බන්ධයෙන් හඳුනා ගැනීම් සිදුවන ඇන්ජියොග්‍රෑම් (Angiogram) පරීක්ෂණ සිදුකර ගැනීමට වසර කීපයක් ම බලා සිටීමට කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන ඇතැම් රෝගීන්ට සිදුව තිබෙන්නේ ය. ඒ සමහර රෝගීන්ට මෙම පරීක්ෂණය සඳහා පැමිණීමට දින ලැබී තිබෙන්නේ 2022 වසරට ය. ඒ අනුව ඔවුන් එම පරීක්ෂණය සඳහා දෙවසරක කාලයක් බලා සිටිය යුතු ය. පොරොත්තු ලේඛනය එතරම්ම දිගු ය. මෙරට සෞඛ්‍ය සේවාවේ දියුණුව සම්බන්ධයෙන් කෙතරම් සුන්දර කතාන්දර අප ඇසුවද සැබෑ ලෙසම මෙරට මහජනයාට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව නොලැබෙන බවට ඕනෑ තරම් මෙවැනි උදාහරණ අපට හමුවන්නේ ය.


කෙටි පාරෙන් එන හිතවතුන්


වසර ගණන් දිගු පොරොත්තු ලේඛන තිබුණ ද ඒවායේ වසර ගණන් බලා සිටීමට හෝ මිය යන්නට සිදුවන්නේ සාමාන්‍ය මහජනයාට වුවත් දේශපාලන බලය හෝ හිතවත්කම් තිබෙන අයට ඒවා ගැටලු නොවන්නේ ය. කරාපිටිය ශික්ෂණ රෝහලේ ද එවැනි අය දිගු පෝලිම්වල හෝ ලේඛනවල බලා නොසිට කෙටි පාරෙන් ප්‍රතිකාර ලබා ගන්නා අවස්ථා ඕනෑ තරම් තිබෙන බව එම රෝහල් ආරංචි මාර්ග අපට සඳහන් කරන්නේය. දුරකථන ඇමතුම් ලබා දී තමන්ගේ හිතවතුන් කරාපිටිය රෝහලේ පොරොත්තු ලේඛනවල හෝ ප්‍රතිකාර ලබා ගන්නා පෝලිම්වල ඉදිරියටම යවන දේශපාලඥයන් නම් ඕනෑ තරම්ය. සාමාන්‍ය රෝගියෙක් කලින්ම ගෙදර යවා හෝ සාමාන්‍ය වාට්ටුවකට යවා බලවතුන්ගේ හිතවතුන්ට ඉඩ සලසා දීමට කාර්ය මණ්ඩලයටද සිදුවන අතර ඔවුන්ට ද ඊට එරෙහිව නැගී සිටීමට හැකියවක් නැත. මෙරට ගොඩනැගීමට හා මහජනතාව වෙනුවෙන් සේවය කිරීමට යැයි පවසමින් පත්වන පාලකයන් විසින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම බොහෝ ක්ෂේත්‍රයන් හි කටයුතු කරන්නේ එලෙස බව නොරහසකි.


වඩා නරක කාරණය වන්නේ, තමන්ගේ හෝ තම හිතවතුන්ගේ අවශ්‍යතාවය ඉටුකරගැනීම විනා මෙවැනි දීර්ඝ පෝළිම් හෝ වසර ගණන් දිගු පොරොත්තු ලේඛන තිබෙන්නේ ඇයි දැයි සොයා බැලීමට ඒ කිසිදු පාලකයෙකු වෙහෙසෙන්නේ නැති වීම ය. තමන් එසේ කර තිබේ දැයි රෝහලේ කාර්ය මණ්ඩලයට දුරකථන ඇමතුම් ලබා දී තම හිතවතුන්ට අවස්ථා ලබා ගන්නා දේශපාලඥයන් දැන් හෝ තමන්ගෙන් ම විමසිය යුතු ය. මන්ද, ඔවුන් හෙට දවසේ ද තමන්ගේ හිතවතුන් වෙනුවෙන් පමණක් එවැනි දුරකථන ඇමතුම් ඕනෑ තරම් වෛද්‍ය කාර්ය මණ්ඩල වලට දෙනු ඇත. රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවේ ලබා ගත නොහැකි තත්ත්වයක් තිබීම සම්බන්ධයෙන් සොයා බලා ඉන් ඉදිරියට හෝ එම අත්‍යාවශ්‍ය සේවාවන් විධිමත් කිරීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට හෝ පොදු ජනයා වෙනුවෙන් ඒවා දියුණු කිරීමේ වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීමට එවැනි පාලකයන් කිසිවිටක උත්සාහ ගන්නා බවක් නම් පෙනෙන්නට නැත. එසේ කළා නම් කරාපිටියේ 2022 වසර දක්වා දිවෙන පොරොත්තු ලේඛන ද තිබෙන්නට ඉඩ නැත.


අනූ හතරේ සිටම ඇඳන් 14 යි


එමෙන්ම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙ හි කාඩියොලොජි ඒකකයේ(හෘද ප්‍රතිකාර ඒකකය) වෛද්‍ය කාර්ය මණ්ඩල මෙන්ම රෝගීන් සංඛ්‍යා වර්ධනය වුවත් එහි රෝගීන්ට අවශ්‍ය ඉඩකඩ හෝ ඇඳන් ධාරිතා මෙන්ම කැතීට ලැබ් පහසුකම් වර්ධනය වී නැත. එහි ප්‍රතිකාර හෝ පරීක්ෂණ සඳහා පැමිණෙන රෝගීන්ට මේ සියලු ගැටලු වලට මුහුණ දීමට සිදුවන්නේ එබැවිනි. 1994 වසරේ සිටම එම ඒකකයේ වාට්ටුවේ රෝගීන් සඳහා තිබෙන ඇඳන් ධාරිතාවය 14 කි. ඒ එක් පැත්තක 6 ක් සහ අනෙක් පැත්තේ 8 ක් ලෙස ය. ඒ සීමිත ඇඳන් සංඛ්‍යාවේ ඉඩ බලවතුන් හෝ හිතවතුන්ගේ රෝගීන්ට අවශ්‍ය වුවහොත් එහි සිටින වෙනත් රෝගීන්ට වේලාසනින්ම ගෙදර යෑමට සිදුවිය හැකිය, එසේත් නැති නම් සාමාන්‍ය වාට්ටුවක් වෙත යෑමට සිදුවීම විය හැකිය. එවැනි අසාධාරණ බොහෝ විට සිදුවන්නේ ද කිසිදු දේශපාලන සම්බන්ධතාවයක් හෝ වෙනත් බලතල නොමැති සාමාන්‍ය ජනයා අතරින් එන රෝගීන්ට බව එහි ප්‍රතිකාර සඳහා පැමිණි අය පවසති.


මෙම ශික්ෂණ රෝහලෙහි කාඩියොලොජි ඒකකය තුළ සායනයට පැමිණෙන රෝගීන් ද මුහුණ දෙන්නේ විශාල අසීරුතාවයකට ය. සැබවින් ම ඔවුන්ට ඒ සඳහා රැඳී සිටීමට හෝ ප්‍රමාණවත් ඉඩකඩක් එම ඒකකය තුළ නොමැත. ඒ ඇතැම් රෝගීන් දිගු පෝළිමක රැඳී සිට ක්ලාන්ත වන අවස්ථා ද තිබෙන බවත් එහි රැඳී සිටීමට තරම් ඉඩකඩ පහසුකමක් ද නොමැති බවත් එහි ප්‍රතිකාර සඳහා පැමිණෙන අයෙක් අප සමඟ පැවසුවේ ය.


මෙතරම් දීර්ඝ කාලයක් පුරා මෙම ගැටලු වලට කිසිදු විසඳුමක් නැතත් මහජන නියෝජිතයන් අතරින් හෝ මහජනයා අතරින් හෝ රෝහල් පරිපාලනය අතරින් මේවා විසඳා ගැනීම කෙරෙහි එතරම් අවධානයක් හෝ බලපෑමක් යොමු ව තිබෙන බවක් ද පෙනෙන්නට නැත. එසේ වූවා නම් මෙතරම් කාලයක් ගත වන තුරු ද මෙම පහසුකම් සපයා ගැනීමට නොහැකි වේ යැයි සිතිය නොහැකි ය. ඇතැම් අවස්ථාවල එහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පෞද්ගලික උත්සාහයෙන් හා පෞද්ගලික මැදිහත්වීමෙන් එහි යම් යම් සංවර්ධන කටයුතු සිදුකර තිබූ අවස්ථා තිබුණත් ඔවුන්ට ද ඒවා සිදුකිරීමට සිදුවන්නේ සීමාසහිතව පමණි. එමෙන්ම මෙම අංශයේ වගකීම හා කාර්යභාරය ද ධාරිතාව ද වැඩි බැවින් ඇතැම් වෛද්‍ය කාර්ය මණ්ඩලවල අය එම අංශයේ රාජකාරි භාර ගැනීමට මැලි වන අවස්ථා ද තිබෙන බව එහි කාර්ය මණ්ඩලයේ අය පවසති.


පළාත් කීපයටම මැෂින් එකයි


ඇන්ජියොග්‍රෑම් පරීක්ෂණ ආදී කැතීට ලැබ් පරීක්ෂණ සඳහා මෙතරම් දීර්ඝ පොරොත්තු ලේඛන තිබීම සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීරගෙන් අප විමසුවෙමු. “ඇන්ජියෝග්‍රෑම් සඳහා මේ රෝහලේ තිබෙන්නේ එක මැෂින් එකයි. ඒ කියන්නේ එක කැත්(කැතීට) ලැබ් එක යි. ඒකේ එක දවසකට විශාල රෝගීන් ප්‍රමාණයකගේ පරීක්ෂණ කරනවා. ඒ නිසා එහි ධාරිතාවයට වඩා වැඩි ප්‍රමාණයක් කිරීමට සිදුවෙනවා. ඒ වගේම එක මැෂින් එකක් පමණක් තිබීම නිසා ඒකේ හෘද රෝග වලට අදාළ ඒවා පමණක් නෙමෙයි තවත් පරීක්ෂණ කිරීමට සිදුවී තිබෙනවා. ඒ වගේම ප්‍රදේශ ගණනාවක රෝගීන් එන්නේ මෙහාට යි. ඒ සියලුදෙනාටම තිබෙන්නේ මේක විතරයි. පොරොත්තු ලේඛනය හුඟක් දීර්ඝ වෙලා තියෙන්නේ ඒ නිසා යි.” රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර පැවසුවේ ය. තිබෙන එකම මැෂින් එක ද වසර දහයකට වඩා පැරණි බවත් එහි මේ වන විට පරීක්ෂණ දහතුන්දහසක් පමණ කර ඇති බවත් ඔහු පවසන්නේ ය. වෙනත් රටවල නම් පරීක්ෂණ හය හත්දාහක් පමණ කළ පසු ඔවුන් ඒවා අලුත් කළ ද තිබෙන එකම මැෂින් එක එසේ ඉවත් කළ නොහැකි බැවින් එය අලුත්වැඩියා කරමින් පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යන බව ද ඔහු ප්‍රකාශ කරන්නේ ය. කෙසේ වෙතත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ මේවා සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කර තිබෙන බව ය.


සබරගමුව, ඌව පළාත්වල ද කොළඹ දිස්ත්‍රික්කයේ විශාල ජනගහණයක් සහිත දිස්ත්‍රික්ක වන කළුතර සහ ගම්පහ ද එන්ජියොග්‍රෑම් පරීක්ෂණ සඳහා අවශ්‍ය වන මැෂින් නැත. මේ හේතුවෙන් ඌව, සබරගමුව මෙන්ම කළුතර දිස්ත්‍රික්කවල රෝගීන් ද බොහෝ විට පැමිණෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහල වෙතය. බස්නාහිර පළාතේ ජාතික රෝහලෙහි මෙම පරීක්ෂණ පහසුකම තිබුණ ද කළුබෝවිල හෝ රාගම ශික්ෂණ රෝහල්වල ද එම පහසුකම නැත. එහෙත් එකම පළාතේ වන පොළොන්නරුව, අනුරාධපුර රෝහල්වල හා කුරුණෑගල, මහනුවර රෝහල්වල ද මේ පරීක්ෂණ පහසුකම් තිබෙන්නේ ය. යාපනයේ ද මෙම පරීක්ෂණ පහසුකම තිබෙන්නේ ය. කෙසේ වෙතත් මේවා සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් අනුව කටයුතු සිදුවිය යුතු වුවත් එය එසේ සිදුව තිබෙන බවක් ද පෙනෙන්නට නැත. එබැවින් ඇතැම් ප්‍රදේශවල සිටින දේශපාලඥයන්ගේ උනන්දුව මත හෝ එම ප්‍රදේශ වලට එවැනි පහසුකම් අවශ්‍ය පරිදි සැපයුනත් ඇතැම් ප්‍රදේශ වලට ඒවා කිසිසේත් ම ලැබී නැත.


මන්දගාමී සංවර්ධන ව්‍යාපෘති


ප්‍රදේශවාසීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ අය පවසන්නේ කරාපිටිය ශික්ෂණ රෝහල මෙරට අනෙකුත් ශික්ෂණ රෝහල් වලට සාපේක්ෂව සංවර්ධනය වන්නේ ඉතා මන්දගාමී ස්වරූපයකින් බව ය. සැබවින් ම එම රෝහලේ බොහෝ දුරට තවමත් භාවිත වන්නේ මීට වසර හතළිහකට පමණ ඉහත ගොඩනගන ලද ගොඩනැගිලි ය. මෙම ශික්ෂණ රෝහල සමග සම මට්ටමක තිබූ මහනුවර ශික්ෂණ රෝහල ද සංවර්ධනය වී ජාතික රෝහලක් බවට පත් වුවත් කරාපිටිය තවමත් තිබෙන්නේ ඉතා මන්දගාමී සංවර්ධනයක ය. කෙසේ වෙතත් එහි වෙනත් ඒකක සඳහා දැවැන්ත ව්‍යාපෘති ලෙස අති විශාල ගොඩනැගිලි ගණනාවක්ම වසර ගණනාවක සිටම ඉදි වෙමින් පවතින්නේ ය. ඒ සියල්ල ද ඉතා මන්දගාමී ලෙස ඉදිවන බව රෝහල් කාර්ය මණ්ඩලය ද පවසති. ඒවා ඉදිකර අවසන් වූ දිනක රෝහලේ මේ වන විට තිබෙන ඇතැම් ගැටලු වලට විසඳුම් ලැබීමට ඉඩ ඇතත් ඉන් සමහර ගැටලු වලට නම් තවමත් විසඳුමක් පෙනෙන මානයකවත් නොමැත. ඒ ඇන්ජියොග්‍රෑම් පරීක්ෂණ වැනි ඒවා මෙන් ම කාඩියොලොජි ඒකකයේ තිබෙන අනෙකුත් ගැටලු ය.


“දැනට කරාපිටිය ශික්ෂණ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති අටක් නවයක් විතර ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒවා කරගෙන යාමේ දී මුදල් සැපයීමේ ගැටලු එක්ක ඒවා අපි හිතන තරම් වේගයෙන් සිදු වුණේ නැහැ. තට්ටු දහයක වෛද්‍ය ප්‍රතිකාර වාට්ටු ඒකකයක්, තට්ටු දහයක මහාචාර්ය ඒකකයක්, තට්ටු දහයක පිළිකාවලට ඒකකයක්, තට්ටු අටක වකුගඩු සඳහා ඒකකයක්, තට්ටු අටක දන්ත ඒකකයක් සහ ළමා රෝග වලට වෙනම කොටසක් ලෙස විශාල ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ සමහර ඒවා 2012 දී පමණ ආරම්භ කළ ඒවා යි. ඒවා සඳහා තිබෙන එකම ප්‍රශ්නය ප්‍රමාද වීම යි.” ඒ, කරාපිටිය ශික්ෂණ රෝහලෙහි අධ්‍යක්ෂවරයා ය.


කරාපිටිය ශික්ෂණ රෝහලෙහි මෙම ගැටලු සම්බන්ධයෙන් විමසීමට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට කීපවරක් උත්සාහ කළ ද ඇය කාර්ය බහුල බව සඳහන් කළා ය. කෙසේ වෙතත් කරාපිටිය ශික්ෂණ රෝහලෙහි මන්දගාමී සංවර්ධනය පත් වූ නව ආණ්ඩුවෙන් හෝ වේගවත් වනු ඇතැයි යන්න සියලුදෙනාගේ අපේක්ෂාව වන්නේ ය. එමෙන් ම සංවර්ධනයක් පිළිබඳ ඉඟියක් හෝ නොමැති ඒකක වලට ද නිසි අවධානය යොමුවිය යුතු වන්නේ ඉන් පීඩාවට පත් වන විශාල පිරිසක් සිටින බැවිනි. තම හිතවතුන්ට පමණක් කෙසේ හෝ ඉඩ සලසා දීමේ ප්‍රතිපත්තිය වෙනුවට ප්‍රදේශයේ දේශපාලඥයන් මහජනයා වෙනුවෙන් තම වගකීම ඉටුකළ යුතුව තිබෙන්නේ ය. ඒ නිසි මැදිහත්වීම මෙම නව ආණ්ඩුවේ සාමාජිකයන්ගෙන් හෝ ඉටුවේ යැයි රෝහල් වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම පොදු මහජනතාව අපේක්ෂා සහගතව බලා සිටිති.