සුනන්ද දේශප්‍රිය

ජනාධිපති රාජපක්ෂගේ ජාතිය ඇමැතීම සියලු රෑපවාහිනී නාලිකා සහ සියලු ගුවන් විදුලි නාලිකා මඟින් සජීවීව ප්‍රචාරය කරන බව ජනාධිපතිම ටිවීට පණිවිඩයකින් අපට දැනුම් දී තිබුණි.

එම නිවේදනයෙන් පෙනෙන්නේ එළෙස සියළුම නාලිකා මඟින් සිය කතාව ප්‍රචාාය කරනු ඇති බව ජනාධිපති රාජපක්ෂ දැන සිටි බවයි. එය කවර හෝ පූර්ව සැලසුමකි.

ලෝකයේ වෙන රටවලත් රාජ්‍ය නායක නායිකාවෝ ජාතිය අමතති. නමුත් රටෙහි ඇති සියලුම රෑපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා මඟින් එම කතා ප්‍රචාරය කළ යුතු යැයි නියෝගයක් පනවන්නේ හෝ ඉල්ලීමක් කැරෙන්නේ හෝ නැත.

ප්‍රේමදාස ජනාධිපති යුගයෙහි සියලුම රෑපවාහිනී ප්‍රවෘත්ති වල මුල් විනාඩි දෙක තුන වෙන් කළ යුතු වුයේ ඔහුගේ කතාවකටය. එය ඇත්තය.

ඔහු කිසිත් නොකී දවසක රෑපවාහීනී ප්‍රවෘත්ති සංස්කාරකවරු මහත් අකරතැබ්බයකට පත් වූහ. මන්ද යත් මුල් විනාඩි දෙක පිරවීමට අලුත් කතාවක් නොතිබූ නිසාය. පසුව ඔව්හු මෙසේ ප්‍රචාරය කළහ. “අද ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා කිසිවක් කීවේ නැත”.

ඒ විහිලු කතාව මෙන් තවත් රසවෑහෙන විහිලු කතා ජේ. ආර්. ජයවර්ධන ගැන මෙන්ම ආර්. ප්‍රේමදාස ගැනද එකළ දනන් තුඩ තුඩ රැව් දුන්හ. මන්දයත් කතා කිරීමට නිදහස නැතිවන විට හාස්‍ය පෙරමුණ ගන්නා නිසාය.

සිය කතාව සියලූ රෑපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා හරහා ප්‍රචාරය කළ යුතු යැයි ජනාධිපති රාජපක්ෂ තීරණය කලේ ඇයි දැයි දන්නේ ඔහුම පමණක් විය හැකිය. දේශපාලනයට උනන්දුවක් නොදක්වන විශාල පිරිසක් රටෙහි සිටින අතර  කවුරු  ජනාධිපති වුනත් ඒ පිරිස් ජාතිය අමතන කතා අහන්නේ නැත. ඒ ඔවුන්ගේ අයිතියයි. ඒ අයිතිය නැති වෙන්නේ හැම චැනලයකම එකම චුරු චුරැවක් ඇහෙන විටය.

සැම චැනලයකම සිය කතාව ප්‍රචාරය කරවා ගැනීම මඟින් පෙනෙන්නේ සාර්ථකත්වයක් නොව බලයෙන් ඇස්සවීමකි. පාස් නම් හැමෝම කතාව අසනු ඇත්තේ ආසාවෙනි. කැමැත්තෙනි. බලයෙන් ඇස්සවිය යුත්තේ පේල් නම්ය.

ජනාධිපති රාජපක්ෂ වසරක් සම්පූර්ණ කරන්නේ දෙපාර්ශවයකින් එල්ල වන විවේචන මැදය. එක් විවේචනාත්මක පාර්ශවයක් නම් සිවිල් සහ දේශපාලන විපක්ෂයයි. ගෝටා ෆේල් යන්න ජනගත කරන ලද්දේ එම පාර්ශවය විසිනි.

අනෙකක් පාර්ශවය කියන්නේ ගෝටා ද්‍රෝහියෙක් වෙමින් සිටින බවය. ඒ වනාහී ගෝඨාභය රාජපක්ෂ සිය කරෙන් ගෙනැවිත් රජ පුටුවේ තැබූ අන්තවාදී සංඝයාය. සමාජ මාධ්‍යයන්හි දැන් එම සංඝයා ජනාධිපති රාජපක්ෂ හදුන්වන්නේ කැත අසභ්‍ය බසිනි. මේ විවේචනයන් එල්ල වන්නේ ගෝඨාභයගේ පුද්ගලික නීතිවේදියා සහ අධිකරණ ඇමැතිවන අලි සබ්රිද පටලවා ගෙන අන්ත ජාතිවාදී වෛරයෙනි.

සිවිල් සහ දේශපාලන විපක්ෂයට අවකාශයක් උදා වී ඇත්තේ රටෙහි පවත්නා ආර්ථික සහ සමාජීය අසහනය නිසාය. අන්තවාදී සංඝයාට අවස්ථාව උදාවී ඇත්තේ රාජපක්ෂවරුන් විසින්ම ගිනියම් කරන ලද ජාතිවාදය නිසාය.

පාලකයකු සිය විවේචකයින්ගේ බෝල වලට පහර දීමට පියවර ගන්නේ නම් ඉන් පෙනෙන්නේ ඔහුට රිදී ඇති බවයි. එමෙන්ම ප්‍රහාරක නොව ආරක්ෂක ඉරියව්වක ක්‍රීඩා කිරීමට ඔහුට සිදුව ඇති බවයි. මේ කතාව සම්පුර්ණයෙන්ම  පසුපස පාදයේ ආරක්ෂක ඉරියව්වක ක්‍රීඩා කිරීමකි. ඔහු අන්තිමට කියන මේ වචන වලින් ඇහෙන්නේ හයියක් නම් නොවේ.

“මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජනවලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්නවලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.” හරියට හන්දියේ බීමත් චන්ඩියකු වැන්න.

ඊළගට ඇත්තේ තර්ජනයකි. සමහර විට එය අන්තවාදී සංඝයා ඉලක්ක කර කියන ලද්දක් විය හැකිය.

“හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු වූ පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකර දීමටයි. ඒ අරමුණ ඉටු කරගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව, අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ.”

ජනාධිපති රාජපක්ෂගේ කතාවේ වැඩිම ඉඩ වෙන්වී ඇත්තේ ඔහු විසින් කරන ලදැයි කියන වැඩ කිඩ දැක්වීමටය. මෙවැනි ලැයිස්තු සිරිසේනටත් වික්‍රමසිංහටත් දිය හැකිව තිබුණි. ආණ්ඩුවක් නම් නිකම්ම තිබෙන්නේ නැත. එය මොනවා හා් වැඩ කල යුතුය. ජනාධිපති රාජපක්ෂගේ ලැයිස්තුවේ තියෙන බෙහොමයක් දේ අලුක් කෑලිය. ලොකු වැඩ නැත.

කරන ලද වැඩවල ලැයිස්තු ඉදිරිපත් කරන්නට වෙන්නේම ජනයාට ඒවා නොපෙනෙන නිසාය. මේ අබැද්දියම ඊනියා යහපාලකයින්ටත් සිදු විය. දැන් වුනත් යහපාලකයින්ගේ මුල් වසරේ ලැයිස්තුව කියවා බැලුවොත් රාජපක්ෂ ලැයිස්තුවට වඩා දිග වැඩිය.

රාජපක්ෂ ලැයිස්තුවේ සඳහන් කරන්නට අමතක වූ බව පෙනෙන වැඩද තිබේ. ජනාධිපති රාජපක්ෂගේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන පළිගැනීම් පිළිබඳ කොමිසම  ගැන එම කතාවේ වචනයක්වත් නැත. එය පුදුමයට කරුණකි.

එමෙන්ම ඔහු බලයට පත්වූ විගසම වාගේ කරන ලද ගංගා හාරා ඇති තරම් වැලි ජාවාරම් කිරීමට අවසර දීම සහ පස් හරා ජාවාරම් කිරීමට ඉඩ දීම ද ලැයිස්තුවේ නැත.

මෑතදී චක්‍රලේඛනයක් නිතුක් කිරීම මඟින් වනාන්තර අක්කර ලක්ෂ ගණනාවක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර  ප්‍රාදේශීය සභාවන්ට ලබා දීම මෙන්ම මහානර්ඝ සොයාගැනීමක් විය යුතු කොවිඩ් වසංගතය පැරදවිය හැකි දේශීය ඖෂධ නිශ්පාදනයද එහි නැත.  කැළනි ගංගාව දෙබෑකරගෙන මතුවූ නයා ගැන කීමට නොහැකි නයා ආවේ ජන්දයට කලින් නිසාය.

එම ක්‍රියාකාරකම් සිය ලැයිස්තුවට ඇතුළත් නොකළේ මන්දැයි දන්නවා ඇත්තේ ජනාධිපති රාජපක්ෂ පමණකි. සමහර විට ඒ්වායේ පරහක් ඇතැයි එතුමා කල්පනා කරන නිසා වීමටත් පුලුවන.

සමහර කතාවල ඇත්ත සොයා ගැනීමට නම් පේළි අතර කියවිය  යුතු යැයි කියනු ලැබේ. මේ කතාවේ පේළි අතර කියවන්නට දෙයක් නැති තරම් නමුත් එහි නොකී දේ මගින් ජනාධිපතිවරයා තේරුම් ගැනීමට ඉඩක් තිබේ.

කතාව පටන් ගන්නේම තමා බලයට පත් කරන ලද්දේ සිංහල ජනයා විසින් බව කියමිනි. ජනාධිපති මෙසේද කියයි:”බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත්, එදා රුවන්මැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියාකොට තිබෙනවා. සෑම මසකම ත්‍රෛයි නිකායික ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශන සභාවක් හමුවී රාජ්‍ය පාලනය පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිළිවෙළකුත් මම අනුගමනය කරනවා.”

ඔහුගේ කතාවෙහි කිසිම තැනක මෙරට පවතින අනෙක් ආගම්, එනම් හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් ආරක්ෂ කරන බවට වචනයක්වත් නැත.

එපමණක් නොවේ. මෙරට ජීවත්වන දෙමළ සහ මුස්ලිම් ජනයා ගැන එක වචනයකින් හෝ සඳහන් කැරෙන්නේ නැත.

නිදහස ලැබූ දා සිට මෙරට පවත්නා ජනවාර්ගික ගැටළුව ආමන්ත්‍රණය කිරීම පිනිස ගත් හෝ ජාතික සංහිදියාව ඇති කිරීම පිනිස ගත් හෝ කිසිම පියවරක් ගැන එක වචනයක්වත් සඳහන් වන්නේ නැත.

අද දේශපාලන ලෝකයේ ප්‍රධානතම කථිකාවක් වන මානව හිමිකම් යන වචනය එම කතාවේ කොතැනක හෝ නැත.

අන්තවාදින් විසින් කෙළෙසන ලැදැයි කියන බෞදධ පුරාවස්තු රැක ගැනීම ගැන කතා කරන නමුත් ඔහු ජනමාධ්‍ය නිදහස ගැන කතා කරන්නේ නැත.

ජනාධිපති රාජපක්ෂගේ කතාව යළි අවධාරණය කරන්නේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය සහ ආර්ථික සංවර්ධනය ගෝඨාභය දැක්ම බවයි. මානව හිමිකම් හෝ ජනවාර්ගික සංහිදියාව කියා දෙයක් එහි නැත.

ගෝඨාභය යටතේ ශ්‍රී ලංකාව කොයිබටද යන ප්‍රශ්ණයට පිළිතුර මෙම කතාවේ හිස්තැන් කියවීමෙන් අප තේරුම් ගත යුත්තේ එළෙසය.










LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here