නිමල් අබේසිංහ

ශ‍්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු වන නන්දන මුණසිංහ, දේශබන්දු තෙන්නකෝන් යන නිලධාරීන් දෙදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් හත්දෙනෙකු තමන්ට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බැහැ දැක කරුණු ඉදිරිපත් කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය විය.

ඔවුන්ට සිදුවූ අසාධාරණය කුමක්ද? අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම නිසා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ වී තිබීම එකී අසාධාරණය වේ. මෙම නිර්දේශය සිදුකර ඇත්තේ අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමය. එහි සභාපතිවරයා වූයේ අදටත් සේවයේ යෙදෙන විනිසුරුවරයෙකි.

උක්ත කොමිසමෙන් මොවුන්ට එරෙහිව නඩු පැවරීමට නිර්දේශ වී තිබුණද තවමත් එබඳු නඩු කටයුත්තක් ආරම්භ කර හෝ නඩු පැවරීමක් සිදුව නැත. එසේ නිර්දේශ වූ මේ නිලධාරීන්ට සේවා උසස්වීම්ද හිමිව තිබේ. නඩු පැවරීමට නිර්දේශ වූ නිලධාරීන්ට උසස්වීම් පිරිනැමීමේ සම්ප‍්‍රදායක්ද පොලිසියේ නොපවතී.

එවන් පසුබිමක මේ පිරිස අටමස්ථානාධිපති නාහිමියන් සහ මල්වතු මහ නායක හිමියන් බැහැ දැක තමන්ට සිදුවූ අසාධාරණය ගැන පැවසීම මවිතයට කරුණකි. කෙනෙකුට සිදුවූ අසාධාරණයක් ගැන තවත් කෙනෙකුට පැවසීමේ අයිතියක් ඇති බව ඇත්තය. එහෙත් මේ නිලධාරීන් නාහිමිවරුන් බැහැ දැකීමට ගියේ සිය නිල ඇඳුමින් සැරසීගෙනය. එලෙසින්ම ඔවුන් සිය රාජකාරි වාහනද මේ ගමනට යොදාගෙන තිබේ. නිල ඇඳුම හා නිල වාහන භාවිත කරමින් මේ ගමන යන්නට ඔවුනට අවශ්‍ය වූයේ නම් ඒ සඳහා පොලිස්පතිවරයාගේ අවසර ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. එසේ නොකළේ නම් බරපතළ විනය විරෝධී කටයුත්තක් ඔවුන් සිදුකර ඇති බව පැහැදිලිය.

දැනගන්නට තිබෙන තොරතුරු අනුව නම් පොලිස්පතිවරයා මේ සඳහා අවසරයක් ලබාදී ඇති බවක් නොපෙනේ. එසේ නම් පොලිස්පතිවරයා හෝ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ ගැන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළ යුතුව තිබිණ. එවැන්නක්ද තවමත් සිදුව නැත. එසේම පොලිස්පතිවරයා මෙම විනය විරෝධී ක‍්‍රියාවට එරෙහිව ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවක් ද නොපෙනේ. ඒ තවමත් පොලිස්පතිවරයා හෝ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ඒ ගැන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් නොකිරීමෙන් ඒ බව පැහැදිලි වේ.

මේ තුළ රහසක් පවතින බවක්ද පෙනේ. මෙම නිලධාරීන් මහානායක හිමිවරුන් බැහැ දැකීමට යන බව කිසියම් ආකාරයකින් දැන සිටියේද? මෙම නිලධාරීන්ගේ ගමන පොලිස්පතිවරයාටත් ඉහළින් සිටින කිසියම් බලවන්තයකුගේ අනුදැනුම හෝ මෙහෙයවීමක් මත සිදුවූවක්ද? එයද සැකයට බඳුන් වන්නකි. එයට හේතුව ස්වාධීන පොලිස් කොමිසම, විෂය භාර අමාත්‍ය සරත් වීරසේකර යන අයද මේ සම්බන්ධයෙන් මුනිවත රැුකීමය.

මේ පූර්වාදර්ශය අනුව යමින් ඉදිරියේදීත් පොලිස් නිලධාරීන් තමන්ට මතුවෙන රාජකාරි ගැටලූවකදී, තමන්ට මුහුණදීමට සිදුවන විනය හෝ නීතිමය ගැටලූවකදී මහ නාහිමිවරුන් මුණ ගැසී පිහිට පැතීමේ ප‍්‍රවණතාවක් ඇතිවීම වැළැක්විය නොහැකිය. එසේ වුවහොත් ඒවාට වගකියන්නේ කවුද?

කෙසේ වුවත් මෙම සිද්ධිය මෙම නිලධාරීන් විසින් සිදුකරන ලද විනය හා සදාචාර විරෝධී ක‍්‍රියාවක් බව පැහැදිලිය. පහරදීම් වධහිංසාවන් වලට චෝදනා ලබන පොලිසියේ නිලධාරීන්ද මේ පූර්වාදර්ශයම ගනිමින් මහා නායක හිමිවරුන්ගේ පිිහිට පතන්නට ගියහොත් තත්ත්වය කුමක් විය හැකිද? මෙහිදී තවත් ප‍්‍රශ්නයක් පැන නගී. ඒ ඕනෑම නීති විරෝධී ක‍්‍රියාවකට චෝදනා ලද්දෙකු මහ නාහිමිවරුන් විසින් ඉල්ලා සිටින්නේ නම් ඔහුව නිදහස් කරන්නට කිසිවෙකුට හෝ හැකියාවක් තිබේද යන්නය.

ඒ අතරේ මේ අවස්ථාවට සහභාගි වූ නිලධාරියෙකු කළ බරපතළ ප‍්‍රකාශයක්ද ඇත. ඒ තමන් මෙකී චෝදනාවට බඳුන් වන්නේ සිංහල බෞද්ධ නිලධාරීන් නිසා බව පැවසීමය. මෙකී ප‍්‍රකාශය තුළ ජාතිය හා ආගම හා ජාතිය මුල්කර ගනිමින් මෙබඳු ප‍්‍රකාශයක් නිල ඇඳුම් ලාගෙන සිදු කිරීම තුළ අනියමින් ජාති ආගම් භේදයක් අවුස්සාලීමේ සංඥාවක් සපයයි. එය හරි නම් අයිසීසීපීආර් පනතේ වගන්ති උල්ලංඝනය කිරීමකි. ඒ ගැන සොයා බලන්නට පැමිණිලි කරන්න කිසිවෙකුත් නැත. පාස්කු ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පත් කළේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. ඒ කොමිසමට මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් මෙම ප‍්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබිය යුතු බවට නිර්දේශ කර ඇතැයි කතාවක් පවතී. මෙහි සත්‍ය අසත්‍යතාව කෙලෙස වුවත් කොමිසම විසින් නඩු පැවරිය යුතු යැයි නිර්දේශ කර ඇති පුද්ගලයන්ගේ අනාගත අපේක්ෂාභංගවීමේ ඉඩක් පවතින බව සැබෑය. එවිට දැඩි ආශාවෙන් කෑදරයෙන් බලා සිටින පොලිස්පති තනතුරු පවා අහිමි විය හැකිය.

අනෙක් අතින් මෙවැනි නිහීන ක‍්‍රියාපිළිවෙත්හි යෙදෙන පුද්ගලයන්ට පොලිස්පති තනතුරු හිමිවුවහොත් ඔවුන් කෙසේ කටයුතු කරනු ඇත්දැයි අපට සිතාගත හැකිය.

මෙම සිද්ධිය අරභයා හිටපු පොලිස්පතිවරයකුගෙන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් අදහස් විමසීමට ලියුම්කරු කටයුතු කළේය. ඒ විශ‍්‍රාමික පොලිස්පති මෙරිල් ගුණරත්න සහ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොටකදෙණිය යන දෙදෙනාගෙනි. ඔවුන් දෙදෙනාම එක හෙළා පැවසුවේ මේ නිලධාරීන් විනය සහ සදාචාර විරෝධී ක‍්‍රියාවන්හි යෙදී ඇති බවය.

නිල ඇඳුමින් සැරසී නිලය භාවිත කර තම බලප‍්‍රදේශයෙන් පිටව යන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පූර්ව අවසරයක් ලබාගැනීම අනිවාර්ය බව මේ දෙදෙනාම පැවසූහ. එය පූර්ව අවසරයක් නොගෙන ගොස් නිල රථය අනතුරකට බඳුන්ව එහි ගමන් ගත් නිලධාරියාද තුවාල ලැබුවහොත් හෝ වෙනත් ව්‍යසනයක් වුවහොත් ඒ ගැන වගකීම භාරගන්නේ කවුද යන ගැටලූව මතුවෙන බවද ඔවුහු පෙන්වා දුන්හ.

අමාත්‍යාංශ ලේකම්වරයෙක් වශයෙන් සේවය කර විශ‍්‍රාමිකයකු වන අශෝක පීරිස් පවසන්නේ මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ පමණක් නොව, සමස්ත රාජ්‍යතන්ත‍්‍රයේම පිරිහීම පිළිබිඹු කරන ලක්ෂණයක් බව ප‍්‍රදර්ශනය කරන බවය. අනෙක් අතින් උසස්වීම් විනය පරීක්ෂණ හෝ අධිකරණමය ක‍්‍රියාමාර්ග අත්හිටුවා ගැනීම සඳහා පරිබාහිර තම ආයතනය වුව ඉහළ නිලධාරීන් ලවා බලපෑම් කරවා ගැනීම වරදක් වීම තුළ මෙසේ බාහිර පාර්ශ්වයන් වෙත තම රාජකාරිමය ප‍්‍රශ්න විසඳා ගැනීමට ප‍්‍රසිද්ධියේම යමින් මාධ්‍යයට ප‍්‍රකාශ නිකුත් කිරීම ඉතා නරක පූර්වාදර්ශයක් බවය.

පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මේ වන විට එවකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඩු පවරා ඇත. ලිපියේ සඳහන් වන නිලධාරීන්ට නඩු පැවරීමක් මේ වනතුරුත් සිදුව නැත.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් මේ නිලධාරීන් මෙතරම් කලබල වී ඇත්තේ ඇයිද යන්න සිතා ගැනීම සඳහා එකී සිද්ධියට මෙම නිලධාරීන් ගෑවෙන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම සඳහා පාස්කු ප‍්‍රහාරයට පෙර පොලිසිය ක‍්‍රියා කළ ආකාරය සඳහන් කිරීම වටී.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට පෙර පොලිස්පතිවරයාට ලැබුණ ලිපියක සඳහන් වන්නේ අපේ‍්‍රල් 21 නැගෙනහිර පළාතේ සහ බස්නාහිර පළාතේ කතෝලික දේවස්ථානවලටත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයටත් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් තිබෙන බවය. ප‍්‍රහාරය සිදුවිය හැකි ආකාරයත්, ප‍්‍රහාරයට සම්බන්ධ වන පුද්ගලයන් පිළිබඳ විස්තරත් එම ලිපියේ පැහැදිලි කර තිබුණේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මේ ලිපියේ (FNA – ෆෝ නෙසසරි ඇක්ෂන්) සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගැනීම සඳහා යනුවෙන් යොදා අත්සන් කර නැගෙනහිර සහ බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළුව පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමු කරන්නේය. මෙම ලිපියට අනුව කටයුතු කරමින් අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම මෙම නිලධාරීන්ට විරුද්ධව නැගිය හැකි චෝදනාවය. පාස්කු කොමිසම නිර්දේශ කර ඇත්තේද එකී චෝදනාව යටතේ නඩු පැවරීමට නිර්දේශ කිරීම පාස්කු කොමිසම විසින් සිදුකර ඇත.

පාස්කු ප‍්‍රහාරයට පෙර ක‍්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කිසිවක් ලිවීමට ඉක්මන් නොවී මෙවැනි සටහනක් තැබීමට කැමැත්තෙමු.

කසිප්පු හෝ ගංජා පිළිබඳ තොරතුරක් පමණක් (ලිඛිතව නොව වාචිකව) පොලිසියට ලදහොත් කොතරම් කඩිනමින් ඔවුන් ක‍්‍රියාත්මක වනවාද? ඒවාට තිබෙන උවමනාව මෙහිදී යටපත් වූයේ ඇයි?